හාල් එළවළු නැති රටේ මස් බිත්තරත් කාලා හමාරයි!…ආර්ථික්යට මුක්කු ගැසූ තවත් කර්මාන්ත දෙකක ඛේදාන්තය

426

ඉදිරියේදී මස්, බිත්තර මිල තවත් වැඩි වෙනවා…

මේ වෙනකොට කුකුළු ගොවිපළවල් 80% ක් වැහිලා…

ආහාර ලබාදී නඩත්තු කරන සතුන් කෝටි 13ට වැඩියි…

රටේ ප්‍රෝටීන ඌණතාව තවත් ඉහළ යනවා…

දිරාපත් වෙමින් තිබෙන විසල් ගොඩනැඟිලි වල්වැදී තිබේ. එම ගොඩනැඟිලි සමීපයෙහි නතර කර තිබෙන ලොරි, ට්‍රැක්ටර්, ටිපර් රථවල රෝද මත වේ හුඹස්ය. සේවකයන් දුව පැන වැඩ කළ, මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදුන් සත්ත්ව ගොවිපළවල් පාළු වී ඇති අයුරු දකින විට සිත තෝන්තු විය. හදවත හිරිවැටිණි. හෙට, අනිද්දා වෙනකොට මස් කෑල්ලක්, බිත්තරයක් කන්න නැතිවන බව පසක් වන විට බඩ, පපුව පත්තු වී ගියේය. එහෙත් කළ හැකි කිසිවක් නැත. ඉස්තාලය බිඳගෙන අශ්වයා පැන ගොස් හමාරය.

මේ වනවිට මෙරට මස්, බිත්තර කර්මාන්තයේ ග්‍රාමීය සත්ත්ව ගොවිපළවල් 80% කට ආසන්න සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බව වාර්තා වේ. මෙරට මස්, බිත්තර කර්මාන්තයේ 70% ට වැඩි සත්ත්ව ගොවිපළවල් සංඛ්‍යාවක් පිහිටා තිබෙන වයඹ පළාතේ පමණක් කුඩා පරිමාණයේ සත්ත්ව ගොවිපළවල් විශාල සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා අපට කීවේය. දැන් අප සිටිනුයේ ද වයඹ පළාතේ හෙට්ටිපොළ, පන්නල, කොබෙයිගනේ ප්‍රදේශයේ වැසී ගිය කුකුළු ගොවිපළක් තුළය. නටබුන් බවට පත්වෙමින් තිබෙන මේ කුකුළු ගොවිපළේ අප නතර වූයේ එම භූමියේ මිනිස් පරාන දෙකක් සිටින අයුරු දුටු නිසාය. වාරියපොල, හෙට්ටිපොළ, නිකවැරටිය ආදී අසල්වාසී ගම්මානවල ඈවර වූ ඇතැම් සත්ත්ව ගොවිපළවල මිනිසෙක් නොව, සුනඛයෙක්වත් දැකගැනීමට නොලැබිණි. එමෙන්ම ඈවර වූ ඇතැම් සත්ත්ව ගොවිපළවල් කොහු කර්මාන්ත ලෙස නැවත විවෘත කර තිබෙන අයුරු ද විටින්, විට ඇස ගැටිණි.

වැසී ගිය කුකුළු ගොවිපළක හිමිකරුවෙක් කියන කතාව…

“ෆාම් එක කරගන්න බැරිව සතුන් ටික විකුණපු අලුත කොහු කර්මාන්තයක් ආරම්භ කරන්න අදහසක් තිබුණා. ඒත් ණය මුදලක් ගන්න ක්‍රමයක් නැති වුණා. ඒ තරමට අපි බැංකුවලට ණය වෙලා. දැන් අපිට කරකියා ගන්න දෙයක් නෑ. බැංකුවලින් ණය වාරික ඉල්ලල කතා කරනවා. ලීසිං කොම්පැණිවලින් කතා කරනවා. ආදායමක් නැතිව අපි කොහොම ගෙවන්නද? අපේ ෆාම් එකේ සේවකයො දහසයක් වැඩ කළා. අද ඒ කිසිම කෙනෙකුට රස්සාව නෑ. පහුගිය කාලේ නම් ඒ මිනිස්සු කොහු මෝල්වල හරි වැඩට ගියා. ඉන්ධන ගැටලුව දැඩිව උත්සන්න වීමත් එක්ක කොහු මෝලුත් කරගෙන යන්න බැරි තත්ත්වයට පත්වෙලා. අද වෙනකොට මේ ප්‍රදේශයේ කොහු මෝලුත් විශාල ප්‍රමාණයක් වහලා දාලා තියෙනවා…” අකාලයේ වැසී ගිය එම කුකුළු ගොවිපළේ අයිතිකරු මොහොමඩ් රම්සි පෙළගැසෙන කතාවට එසේ ප්‍රවේශයක් ලබා ගත්තේය.

කම්බි දැල්වලින් ආවරණය වූ විශාල ගොඩනැඟිලිවල වහළයේ තහඩු ගැල වී ගොස්ය. ගොඩනැඟිලි ඇතුළත එකම කුණු ගොඩකි. අවට කැලෑව අරක් ගෙනය. ඈත, මෑත දුවන මගේ දෑස් රම්සිගේ හඬ අසල නතර විය.

“ගොවිපළ වහලා දැන් මාස තුනකට වැඩියි. අපේ තාත්තා අවුරුදු ගානක් කරගෙන ආව ගොවිපළ. හොඳට ආදායම් තිබුණා. කොරෝනා පැතිරිලා රට වැහුවට පස්සෙ අපේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරගන්න බැරිව කුණු වෙලා ගියා. එතැනින් කඩා වැටෙන්න ගත්ත කර්මාන්තය දිගටම වැටුණා. ආර්ථික අර්බුදය පැමිණීමත් සමඟ අපේ කර්මාන්තයේ විනාශය වේගවත් වුණා. ගැටලු උත්සන්න වෙනකොට අදාළ බලධාරීන්ට, නිලධාරීන්ට වාචිකව, ලිඛිතව දැනුම් දුන්නා. ඒ කිසිම කෙනෙක් අපිට ඇහුම්කන් දුන්නෙ නෑ. කර්මාන්තයේ පරිහානිය ගැන සොයා බැලුවේ නෑ. දැන් සියල්ල ඉවරයි. මේ වෙනකොට අපේ කර්මාන්තකරුවන් හුඟදෙනෙක් ණයකාරයො වෙලා. හෙට, අනිද්දා වෙනකොට ණය ගෙවාගන්න බැරිව මිනිස්සු සියදිවි හානි කරගන්න ඉඩ තියෙනවා…” දිගු සුසුමක් පිට කළ මොහොමඩ් වල්වැදුණු ගොඩනැඟිලි දෙසත්, එක්තැන් වූ ලොරි රථ දෙසටත් දෑස් යොමු කළේය. ඒ දෑස් බොඳය. අසරණකමේ පතුලටම වැටී සිටින බව ඔහුගේ කතාවෙන් වැටහිණි. ඔහු පමණක් නොව පවතින අර්බුදය හමුවේ වසා දැමුණු කුකුළු ගොවිපළ දෙකක හිමිකරුවන් ද අත්ව ඇති ඛේදජනක තත්ත්වය ගැන කම්පනයෙන් යුක්තව අපට කීවේය. ඒ පුද්ගල කතාවලට වඩා මෙරට සමස්ත මස්, බිත්තර කර්මාන්තයේ කඩාවැටීම ගැන සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක කියන කතාවට අපි ප්‍රමුඛතාව දුන්නෙමු.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපති කියන කතාව…

හාල් එළවළු නැති රටේ මස් බිත්තරත් කාලා හමාරයි!…ආර්ථික්යට මුක්කු ගැසූ තවත් කර්මාන්ත දෙකක ඛේදාන්තය

“මෙරට කුකුළු මස්, බිත්තර කර්මාන්තයේ ග්‍රාමීය ගොවිපළවල් 5000 ක් විතර තියෙනවා. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ ගොවිපළවල් 120 ක් විතර තියෙනවා. වයඹ පළාතේ පමණක් කුකුළු මස්, බිත්තර කර්මාන්තයෙන් යැපෙන සෘජු සහ වක්‍ර රැකියාකරුවන් ලක්‍ෂ 08 ආසන්න පිරිසක් ඉන්නවා. මේ වෙනකොට මස්, බිත්තර කර්මාන්තයේ 80% ට ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. සේවකයො හයසීයක් විතර වැඩ කරපු අපේ ෆාම් එකෙත් දැන් වැඩ කරන්නේ සේවකයො එකසිය පනහයි. මෙහෙම හරි අපි ඉතුරු වෙලා ඉන්නෙ මහා පරිමාණයෙන් කර්මාන්තය කරගෙන ගිය නිසයි…” සරත් රත්නායකගේ කතාවට අපි කෙටි විරාමයක් තැබුවෙමු.

මෙරට මස් පරිභෝජනය විශාල වශයෙන් අඩු වී ඇති බව වාර්තා වේ. 2020 වර්ෂය වනවිට කිලෝ දහයක්ව පැවැති වාර්ෂික ඒකපුද්ගල කුකුළු මස් පරිභෝජනය මේ වනවිට සැලකිය යුතු මට්ටකින් පහත වැටී ඇත. එයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මස් මිල ඉහළ යෑමය. මේ වන විට කුකුළු මස් කිලෝවක මිල රුපියල් දහකට ආසන්නය. සාමාන්‍ය බොයිලර් කුකුළෙකුගේ බර කිලෝවයි, ග්‍රෑම් 400 ට ආසන්නය. පාරිභෝගික ජනතාවට එවැනි කුකුළෙක් මිලදී ගැනීමට රුපියල් 1400 ක් 1500 ක් අතර මුදලක් වියදම් කිරීමට සිදුව ඇත. එමෙන්ම ආර්ථික අර්බුදයට පෙර රුපියල් 350 ට 400 ට තිබුණු ඌරු මස් කිලෝව අද රුපියල් 750 ත් 1200 දක්වා මිල ඉහළ ගොස් තිබේ. රුපියල් 750 ට 800 ට අලෙවි වූ හරක් මස් මස් කිලෝව දැන් රුපියල් 1800 ට ආසන්නය. එළු මස් කිලෝව රුපියල් 2200 ත් 2500 ක් දක්වා මිල ඉහළ ගොස් තිබේ. මස්, බිත්තර මිල මෙතරම් වැඩිවීමට බලපා ඇති ප්‍රධාන සාධකය සත්ව ආහාර මිල ඉහළ යෑම සහ සත්ව ආහාරවලට තිබෙන දැඩි හිඟතාව බව වෛද්‍ය මංගල අමරසිංහ මහතා ද අප සමඟ පවසා සිටියේය. හේ කුකුළු සෞඛ්‍ය, පෝෂණය සහ සත්ත්ව පාලනය පිළිබඳ විශේෂඥයෙකි. උපදේශක පශු වෛද්‍ය මංගල අමරසිංහ පවසන ආකාරයට ආර්ථික අර්බුදයට පෙර මෙරට මස්, බිත්තරවලින් ස්වයංපෝෂිත මට්ටමේ තිබුණු රටකි.

උපදේශක පශු වෛද්‍ය මංගල අමරසිංහ….

“2000 වර්ෂය වන විට මෙරට වාර්ෂික ඒකපුද්ගල කුකුළු මස් පරිභෝජනය කිලෝ තුනයි. ක්‍රමයෙන් වර්ධනය වෙමින් 2020 වර්ෂය වන විට වාර්ෂික ඒකපුද්ගල කුකුළු මස් පරිභෝජනය කිලෝ දහයක් බවට පත් වෙලා තිබුණා. ඒක හොඳ ප්‍රවණතාවක්. ඒත් පවතින ආර්ථික අර්බුදය සමඟ වාර්ෂික ඒකපුද්ගල කුකුළු මස් පරිභෝජනය කිලෝ හයකටත් අඩු මට්ටමකට පහළ බැහැලා තියෙනවා. සත්ත්ව ආහාර මිල ඉහළ යෑමත් සමඟ තවදුරටත් මස් මිල වැඩි වී පරිභෝජනය අඩුවීමේ ප්‍රවණතාව වැඩියි…” පහතින්
පෙළගැසෙන්නේ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක සහ පශු වෛද්‍ය මංගල අමරසිංහගේ පොදු හඬය.

“අපේ ගොවියො බහුල වශයෙන් සතුන්ට ආහාර වශයෙන් ලබා දෙන්නේ රයිස් පොලිෂ්, හුණුසහල්, බඩඉරිඟු, පුන්නක්කු සහ සෝයා. රුපියල් 10-15 ට බිත්තර මිල තියෙනකොට මෙරට වෙළෙඳපොළේ රයිස් පොලිෂ් කිලෝ එකක් මිල වුණේ රුපියල් 45-48 යි. මේ වෙනකොට රයිස් පොලිෂ් කිලෝ එකක් රුපියල් 110-120 යි. රුපියල් 55 ට තිබුණු හුණුසහල් කිලෝ එක දැන් 145 යි. බොල් හාල් 125 යි. පිදුරු ට්‍රැක්ටරය රුපියල් 5000 යි. දහයියා බෑගයක මිලත් රුපියල් 100 ත් 140 ත් අතර මිලක් වෙනවා. කුකුළන් දහසක ගොවිපළකට දහයියා බෑග් 60 ක් ඕනෑ. ඒ වගේම රුපියල් 35 තිබුණු පුන්නක්කු කිලෝව අද රුපියල් සීයට ආසන්නයි. සෝයා කිලෝ එක රුපියල් 400 යි. බඩඉරිඟු කිලෝ එකක් රුපියල් 175 යි. දේශීය සත්ව ආහාරවල මිල 150% න් සහ සමහර සත්ව ආහාරවල මිල 200% න් විතර ඉහළ ගිහින් තියෙනවා. පසුගිය වර්ෂයේ මාර්තු මාසය වන විට රුපියල් 85 ට තිබුණු බොයිලර් කුකුළු කෑම කිලෝව මේ වන විට රුපියල් 345 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම කුකුළු මස් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් බඩඉරිඟු, සොයා ඇතුළුව 75% ක් ආනයනය කරන්නේ පිටරටවලින්. ආනයනික අමුද්‍රව්‍ය 11 ක් තියෙනවා. මේ වන විට ආනයනික අමුද්‍රව්‍යවල මිල 300% න් ඉහළ ගිහින් තියෙනවා. විශේෂයෙන්ම සතුන්ට ලබාදෙන සියලුම විටමින් වර්ගවල මිල 400% න් විතර ඉහළ ගිහින් තියෙනවා. මේ මිල වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා තියන්නේ ඩොලර් හිඟවීම…” පශු වෛද්‍ය මංගල අමරසිංහගේ හඬ උස් විය.

“වැට් එක නැතිව දැන් බොයිලර් කුකුළු කෑම කිලෝ පනහක මල්ලක් රුපියල් 17250 ක් විතර වෙනවා. දවස් තිහකට වැඩි සෑම කුකුළන් හයදෙනකුට කෑම කිලෝ එකක් දෙන්න ඕනෑ. එක සතෙකුට කෑම ග්‍රෑම් 150 ක් දවසකට දෙන්න ඕනෑ. ඒ වගේම එක සතෙකුට ආහාර වෙනුවෙන් දවසකට ආසන්න වශයෙන් රුපියල් 51 ක මුදලක් වියදම් වෙනවා. දවස් තිස්අටක් වෙනකොට කුකුළෙකුට කෑම කිලෝ 3 යි, දශම පහක් කවන්න ඕනෑ. ඒ වගේම අපි මේ කතා කරන මොහොත වෙනකොටත් මේ රට පුරා කුකුළු ෆාම්වල සහ අභිජනන ගොවිපළවල ජීවත්වන කුකුළන් සහ කිකිළියන් සංඛ්‍යාව මිලියන 32 ක්. බිත්තර ලබාදෙන කිකිළියන් පමණක් කෝටි තුනහමාරක් ජීවත් වෙනවා. ඒ සතුන්ගේ ආහාර සඳහා වසරකට අවම බඩඉරිඟු පමණක් මෙටි්‍රක් ටොන් ලක්‍ෂ හතරක් අවශ්‍ය වෙනවා. ආසන්න වශයෙන් බඩඉරිඟු මෙටි්‍රක් ටොන් තිස්තුන්දහසක් මාසයකට අවශ්‍ය වෙනවා. කිලෝ දෙකක කුකුළෙක් නිෂ්පාදනය කරන්න වැය වන මුදලින් 70% ක් වියදම් වෙන්නේ කෑම සඳහා. බඩඉරිඟු සහ අනෙකුත් සත්ව ආහාර නැති වෙලා නිසි වෙලාවට සතුන්ට කෑම දෙන්න බැරි වුණොත් පෝෂණය අඩුවීමත් එක්ක ප්‍රතිශක්තිය අඩු වෙලා කුකුළු ෆාම්වලට ලෙඩ රෝග බෝවීම වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මෙරට කුකුළු කර්මාන්තයේ සතුන්ගේ මරණ අනුපාතය 4% යි. සත්ව ආහාර හිඟයත් සමඟ මේ වෙනකොට ෆාම්වල සත්ව මරණ අනුපාතය 8% ක් බවට පත් වෙලා තියෙනවා…”

“ඒ වගේම කුකුළු පැටවකුගේ මිල රුපියල් 100 ක් 125 ක් වෙනවා. කිලෝ දෙකක් බරැති කුකුළෙක් හැදීමට විදුලිය, දහයියා, කම්කරු වියදම් රුපියල් 40 ක් එකතු වෙනවා. වෙනත් වියදම් එකතු වෙලා එනකොට කිලෝ දෙකක් බරැති කුකුළෙක් හදාගන්න රුපියල් 70 ත් 80 අතර වියදමක් යනවා. කෑම, එන්නත්, බෙහෙත් වියදම එකතු වුණාම කිලෝ දෙකක බරැති කුකුළෙක් නිෂ්පාදනය කරන්න රුපියල් 1400 ක් විතර වැය වෙනවා. ඒ වගේම පවතින ජීවන වියදමත් එක්ක කුකුළු ෆාම් එකක වැඩ කරන කම්කරුවකුට කෑම, බීම නැතිව දවසකට රුපියල් 1500 ක් ගෙවන්න ඕනෑ. නිෂ්පාදන වියදම වැඩිවීමත් එක්ක එවැනි වේතනයක් ලබාදීම කර්මාන්තකරුවන්ට ගැටලුවක් වෙලා තියෙනවා. ඊට බාහිරව ප්‍රවාහන වියදම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පළමු දින දහයේදී පුංචි කුකුළු පැටවුන්ට රස්නය ලබා දෙන්න ඕනෑ. අවශ්‍ය රස්නය ලබාදීලා පළමු දින දහයේදී ග්‍රෑම් 300 ක් බර එන්න කුකුළු පැටවු ලොකු කරගන්න බැරි වුණොත් හැදීම බාල වෙනවා. සාමාන්‍යයෙන් ෆාම්වල කුකුළු පැටවුන්ට රස්නය ලබාදෙන්නෙ ගෑස්වලින් හෝ දරවලින්. පවතින අර්බුදය තුළ ගෑස් නෑ. දරත් ගණන්. මෙරට සත්ව ආහාර නිෂ්පාදනයත් මහා පරිමාණයෙන් අඩු වෙලා. වැඩි මිලට ගන්නවත් සත්ව ආහාර නෑ. පිටරටවලින් කරන ආනයනයටත් සීමා පනවලා තියෙනවා. ඩොලර් හිඟය නිසා නිසි වේලාවට ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වෙලා ගනුදෙනුකරුවන් අතර විශ්වාසය පලුදු වෙමින් තියෙනවා. මේ ගැටලුවට විසඳුමක් නොලැබෙන්න මෙරට පුරා තියෙන සුළු, මධ්‍ය, මහා පරිමාණ සියලු කුකුළු ෆාම් හයදහසම වැහිලා යන්න පුළුවන්. එවැනි තත්ත්වයක් උදා වුණොත් කුකුළු ෆාම් තුළ සේවය කරන සේවකයන් වගේම වක්‍රාකාරයෙන් කර්මාන්තයට සේවය සපයන ලක්‍ෂ දහයකට වැඩි පිරිසකගේ ආදායම් අහිමි වෙලා ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙනවා…”

“ඒ වගේම මස් නිෂ්පාදනය සඳහා කරගෙන යන අනෙකුත් සත්ත්ව ගොවිපළවලටත් මේ ගැටලුව පොදුයි. හරක්ට, ඌරන්ට කුකුළන්ට වඩා කෑම ප්‍රමාණයක් ලබාදෙන්න ඕනෑ. ආහාර ලබාදීලා ඇති කරන කුරුල්ලො ඉන්නවා. සුරතලේ ඇති කරන සතුන් ඉන්නවා. මිනිසුන් විසින් ආහාර ලබාදීලා නඩත්තු කරන සතුන් කෝටි 12 ක් 13 ක් මේ රටේ ඉන්නවා. ආහාර හිඟය මිනිසුන්ට වගේ සතුන්ටත් දැඩිව බලපනවා. ඒත් අදටත් මේ රටේ ජීවත්වන සතුන්ගේ පෝෂණය ගැන ආණ්ඩුවේ අවධානය යොමු වෙලා නෑ. ඒ වගේම ඉදිරියේදී මස්, බිත්තර මිල තව, තවත් ඉහළ යයි. එවැනි තත්ත්වය මස් බිත්තර පරිභෝජනය තවත් අඩු වෙනවා. රටේ ප්‍රෝටීන උණතාව තවත් ඉහළ යනවා. අර්බුදයෙන්, අර්බුදයට පත් වෙලා අපට වෙන දේ හිතාගන්නවත් බැරි වෙනවා…” පශු වෛද්‍ය මංගල අමරසිංහ සහ සරත් රත්නායක මෙරට මස් කර්මාන්තය වැටී තිබෙන භයානක තත්ත්වය ගැන එසේ පැහැදිලි කරන විට පෝෂණවේදීන් කියන කතාවටත් අපි සවන් දුන්නෙමු.

පෝෂණවේදීන්ගේ මතය….

මෙරට පෝෂණවේදීන්ගේ මතය අනුව අප ජීවත්වන සමාජයේ කුඩා දරුවන්, ක්‍රියාශීලී වැඩිහිටියන්, මහලුවියේ පසුවන්නන් යන ඕනෑම කාණ්ඩයක පුද්ගලයන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතාවයේදී සමබල ආහාර වේලක් ගත යුතුය. එම සමබල ආහාර වේලට ප්‍රෝටීන් සහිත ආහාර අනිවාර්යෙන්ම අන්තර්ගත විය යුතුය. ප්‍රෝටීන අපට අවශ්‍ය වන්නේ දේහ වර්ධනය සඳහා ශරීරය තුළ සිදුවන විවිධ ජීව ක්‍රියාවන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඇමයිනෝ අම්ල සපයන පෝෂක සංඝටකය ලෙසය. එම ඇමයිනෝ අම්ලවලින් 09 ක් මිනිසාගේ ශරීරය තුළදී නිෂ්පාදනය කරගත නොහැක. එමෙන්ම එම ඇමයිනෝ අම්ල අත්‍යවශ්‍ය ඒවා ලෙස හැඳින්වේ. එම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මිනිස් ශරීරයට ලබාගත හැකි වනුයේ සත්ත්ව ප්‍රෝටීනවලින් පමණි. ඒ අනුව කුකුළු මස් හෝ මාළු නිර්දේශිත ප්‍රමාණවලින් දෛනික ආහාර වේලට එකතුකරගත යුතු බව පෝෂණවේදීන්ගේ අදහසය. එමෙන්ම මිනිසාගේ පෝෂණ අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමට වඩාත් ආරක්‍ෂාකාරී, සෞඛ්‍යාරක්‍ෂිත සත්ත්ව මාංශ ප්‍රෝටීන සපයන ආහාර ප්‍රභේදය වනුයේ කුකුළු මස්ය. ලාභදායී සත්ත්ව මාංශ ප්‍රෝටීන සපයන ආහාර ප්‍රභේදය ලෙස කුකුළු මස් ලෝකයේ බොහෝ රටවල ප්‍රසිද්ධය. එමෙන්ම වෙළෙඳපොළේ පවතින ගව, එළු, ඌරු මස්වල අඩංගු සංතෘප්ත මේද අම්ලවලට වඩා කුකුළු මස්වල අඩංගු සංතෘප්ත මේද අම්ල ඉතා අවමය. සත්ත්ව මාංශවලින් අවම සංතෘප්ත මේද අම්ල අඩංගු වන්නේ මාළුවලය. සංතෘප්ත මේද අම්ල බෝ නොවන රෝග වර්ධනයට ප්‍රධාන හේතුවකි. එමෙන්ම අසංතෘප්ත මේද අම්ල මිනිසාගේ පෝෂණයට ඉතා වැදගත්ය.

මාළු සහ මස් පාරිභෝජනයේ වැදගත්කම ගැන තවත් පුළුල්ව විස්තර කිරීමට හැකිය. එහෙත් දැන් ඒ ගැන කතා කිරීම දුකකි. මේ වන විටත් මෙරට බොහෝ දිළිඳු පවුල්වල මාසයකට එක කෑම වේලකට හෝ මස්, මාළු එකතු කරගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව රහසක් නොවේ. දැනටත් මෙරට ජන සමාජයේ ප්‍රෝටීන් ඌණතාවක් තිබෙන පසුබිමක අනාගතයේදී එම තත්ත්වය වර්ධනය වීමට තිබෙන ඉඩ බොහෝ වැඩිය. වයස අවුරුදු තුනත්, පහළොවත් අතර දරුවන්ගේ වර්ධනයට මේද කොටස්, සත්ව ප්‍රෝටීන් අත්‍යවශ්‍යය. එමෙන්ම වැඩිහිටි ජනතාවට බෝ නොවන රෝගවලින් පාලනය වී නිරෝගී සම්පන්න ජීවිතයක් ගතකිරීමට ප්‍රෝටීන් බහුල සමබල ආහාර වේලක් අත්‍යවශ්‍යයි. එහෙයින් මස් මාංශ පරිභෝජනය අඩුවන මෙරට අනාගතයේදී පෝෂණ ඌණතා සහිත ළමයි බිහිවීමට ඇති ප්‍රවණතාව ඉතා ඉහළය. රට තුළ බෝනොවන රෝග උත්සන්න වීමට ඇති ප්‍රවණතාව වැඩිය.

එහෙත් මස්, මාළු, බිත්තර නොකන මිනිසුන් ද නිරෝගීමත් ජීවිත ගත කරන බව අමතක නොකළ යුතුය. තිරිසන් අපාය තුළ ශාක භක්ෂක සත්වයන් ජීවත් වෙති. එහෙයින් සත්වයාගේ පැවැත්මට ප්‍රෝටීන් ලබාදෙන්නේ මාස්, මාංසවලින්ම පමණක් නොව, ශාක ආහාර තුළින්ද ප්‍රෝටීන් උත්පාදනය කෙරේ. මෙරට ජනතාවගේ ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවය ශාක ආහාරයක් වන බත්ය. එහෙත් ශාක ආහාරවලින් සත්ත්ව ප්‍රෝටීන් නොලැබේ. ශක්ති සම්පන්න නීරෝගීමත් ජීවිතයක් ගත කිරීමට සත්ත්ව ප්‍රෝටීන් අත්‍යවශ්‍ය බව පෝෂණවේදීන්ගේ මතයයි. එහෙත් මස්, බිත්තර මිල වේගයෙන් ඉහළ යන පසුබිමක නිරෝගී සම්පන්නව ජීවත්වීමට ශාක ප්‍රෝටීන බහුල සමබල ආහාර වේලක් පිළියෙල කරගැනීමට අවශ්‍ය දැනුම හෝ ජනතාවට ලබාදීම පවතින රජයේ වගකීමකි. එළවළු, පලතුරු මිල ද විශාල වශයෙන් වැඩි වී තිබෙන පසුබිමක මස්, මාළුවලින් තොර සමබල ආහාර වේලක් පිළියෙල කරගැනීම ද මෙරට බහුතරයකට ගැටලුවකි. එවැනි තත්ත්වයක රට තුළ පෝෂණ ඌණතාවක් උද්ගතවීම නොවැළැක්විය හැකි කාරණයක් බව සැබෑය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment