හාල් ද මෝල් ද?- (1)

1176

අපේ ආර්ථික ඉතිහාසයට අනුව මේ රට තුළ ආර්ථික සමෘද්ධියක් උදා වූ එකම අවුරුද්ද 1949 යි. 1948 දී සුද්දෝ ශ‍්‍රී ලංකාවට නිදහස දී පලා යති. ඒ වනවිටත් මේ රටේ ආර්ථිකය පාඩු ලැබූ අතර අය වැය හිඟය පුළුල් වෙමින් තිබූ නිසා මෙරටට නිදහස දීමට ලැබීම සුද්දන්ට ස්වීප් එකක් ඇදුනා හා සමාන විය. ශ‍්‍රී ලංකාව අත්පත් කරගැනීමෙන් පසු එංගලන්තයේ යටත් විජිත භාර මහ ලේකම්වරයා විසින් මේ රට පාලනය කළේ තවත් යටත් විජිතයක් වූ ඉන්දියාවේ Account එක හරහා ය. ලංකාව එක ගුණයක් සූරාකන විට ඉන්දියාව තුන් හාරසිය ගුණයකින් සූරා කෑමට ඉඩ ලැබුණු බැවින් ඉතා වැඩි මෙහෙයුම් වියදමක් හෙවත් Operational Cost එකක් සහිත ලංකාව ගැන සුද්දන් එකල ඒ තරම් තැකුවේ නැත. එහෙත් ඉන්දියාවට නිදහස දීමෙන් පසු ලංකාව තවදුරටත් නඩත්තු කිරීමට බි‍්‍රතාන්‍ය කිරීටයට බැරි විය. ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රාජ්‍යයක් වූ නමුදු එංගලන්ත කිරීටයේ කුහක පාලන ක‍්‍රමවේදය නිසා 1900 න් පසු ගොවියන් බිහිවීම ශීඝ‍්‍රයෙන් අඩුවී ක්ලාර්ක් ලා බිහිවීම ශීඝ‍්‍රයෙන් වැඩි විය.

ක්ලාර්ක් ලා ට ගණන් හිලව් තැබීමට හැකි වුවද කුඹුරු වැපිරීමට බැරි විය. හේන් කෙටීමට ද බැරි විය. එබැවින් මතුයම් දවසක සහල් පිටරටින් ගෙන්වා මේ රටේ වැසියන්ට ගිල්ලවීමට සිදුවන බව එංගලන්ත කිරීටයට පෙනින. ශ‍්‍රී ලංකාව අත්හැරිය යුතු බවට එංගලන්ත පාර්ලිමේන්තුව මුල්වරට සාකච්ඡා කර තිබුණේ 1900 මුල් කොටසේදීය. එහෙත් ඒ වනවිටත් ශ‍්‍රී ලංකාවෙන් ලැබෙමින් තිබූ තේ ආදායම සහ කුරුඳු ඇතුළු කුළු බඩු ආදායම සැලකිය යුතු මට්ටමක තිබූ හෙයින් මේ රට අත්හැර දැමීමට එංගලන්තයට බැරි විය. සිංහලයා යනු ඉතා වේගයෙන් සුඛෝපභෝගීත්වයට හුරු පුරුදු වන ජීවියෙකි.

එබැවින් 1940 පනින විට සුද්දන්ගේ සුදු පැහැයට වඩා දීප්තිමත් සුදකින් යුතු ජීවිත ගත කිරීමට සිංහලයෝ පුරුදු වෙමින් සිටියහ. 1947 දී ඉන්දියාවට නිදහස දෙන විට එංගලන්තය කනගාටුවෙන් සිටියද 1948 දී ලංකාවට නිදහස දීමට සිදුවන බව මතක් වීමෙන් ඔවුන් සතුටු වන්නට ඇති. අපට නිදහස ලැබීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ රබර්වලට ජාත්‍යන්තර ඉල්ලූමක් හිටිහැටියේම ඇති විය. ඒ අනුව 1949 වනවිට රට තුළට විශාල වශයෙන් විදේශ විනිමය ගලා ආවේය. එයින් මහත් වූ ආර්ථික සමෘද්ධියක් හටගත්තේය. එහෙත් වසන්තය නිමා වීමට ගතවූයේ ඉතා කෙටි කාලයකි. ඒ, 1950 ජූනි 25 දා කොරියන් යුද්ධය පටන් ගැනීමෙනි. එතැනදී අපේ රබර් මාර්කට් එක කඩා වැටිණ. අපට ඉතිරි වූයේ රබර් ගස් වටා ඇති රබර් ඔට්ටපාළුවලින් කැටපෝල තනා අඹ ගැටවලට විදීම පමණි. මෙතැන් සිට ශ‍්‍රී ලංකාව තුළ කිසි කලෙකත් ක‍්‍රමානුකූල ආර්ථික අභිවෘද්ධියක් හටගත්තේ නැත. ක‍්‍රමානුකූල ආර්ථික අභිවෘද්ධියක් යනු සෑම අවුරුද්දකම ආර්ථික වර්ධනය කලින් අවුරුද්දට වඩා වැඩි වීමය. එහෙත් එවැනි තත්ත්වයක් නැති වූ බැවින් අප හැමදාමත් අය වැය පරතරය පියවා ගත්තේ සල්ලි ණයට ගැනීමෙනි.

මේ ෆන් එකේ ඉහළම තැනකට අප පිවිසෙන්නේ කොරෝනා වසංගතයත් සමගය. එම වසංගතයේ දෙවන අවුරුද්ද ද පසුවෙමින් තිබෙන මේ මොහොතේ රට වැසියා සිටින්නේ පාන් ගැනීමටත් බැරි, හාල් ගැනීමටත් බැරි, පොල් ගැනීමටත් බැරි, සීනි ගැනීමටත් බැරි, කිරි පිටි ගැනීමටත් බැරි, කොටින්ම රීකන්ඩිෂන් යට ඇඳුමක්වත් ගැනීමට බැරි තත්ත්වයක ය. මේ මොහොතේදී කෑම බඩුවල මිල ඉහළ ගොස් ඇති ප‍්‍රමාණය දැරිය නොහැකි තරම්ය. මිල පහළට ගිය එකම ද්‍රව්‍යය බිත්තර ය. මේ දවස්වල බිත්තරයක් රුපියල් 13 ටත් මිලදී ගැනීමට හැකිය. එහෙත් සියලූ දෙනා පුදුමයට පත් කරමින් රුපියල් 380 ට තිබූ කුකුල් මස් කිලෝව රුපියල් 750 ක උපරිමයක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙයින් වැටහී යන්නේ කිකිළියන් විසින් බිත්තර කෙළින්ම (Direct Marketing) පාරිභෝගිකයන්ට විකුණන බවත් කුකුළු මස් ව්‍යාපාරය අතරමැදියන් රැසක් හරහා ක‍්‍රියාත්මක වන බවත් ය. මේ සියලූ කරුණු අතර ඉතා පුදුම සහගත ලෙස හාල් මිල ඉහළ ගොස් ඇත.

මෙයට වසර 15 ට පෙර කීරි සම්බා කතන්දරයක් ලංකාවේ නොතිබුණි. ඒ වෙනුවට සම්බා නොම්බර 1 යනුවෙන් සහලක් විය. 2006 දී පමණ සම්බා කිලෝව රුපියල් 60 ට ගියේය. එකල මේ රටේ ආර්ථික උද්ධෘත පාඨය ‘රට පෙරට’ යනුවෙන් වූ නිසා ‘රට පෙරට හාල් හැටට’ යනාදී වශයෙන් කතු වැකි ලියමින් අපි ආණ්ඩුවට පහර දුන්නෙමු. කොරෝනා විනාශයෙන් අවුරුද්දක් ගතවන විට එවකටත් රුපියල් 100 ට අඩුවෙන් තිබූ සහල් මිල ක‍්‍රමයෙන් ඉහළ නැගීමට පටන් ගත්තේය. අවසානයේදී ගිය මාසයේ මැද හරිය වනවිට සාමාන්‍ය සම්බා (නොම්බර 2) කිලෝවක් රුපියල් 150 දක්වාත් කීරි සම්බා රුපියල් 220 දක්වාත් ඉහළ නැග්ගේය. සුදු කැකුළු, රතු කැකුළු, තම්බපු හාල්, පොන්නි යනාදී කිසිම සහලක් රුපියල් 120 ට අඩුවෙන් තිබුණේ නැත. මේ දුක් සීන් එක දරාගැනීමට බැරි වූ බැවින් ආණ්ඩුව සැප්තැම්බර් 2 දා අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් සහල් සහ සීනි සඳහා පාලන මිලක් පැනවීය. ඒ අනුව කීරි සම්බා කිලෝව රුපියල් 125 ක උපරිමයකට ද සුදු – රතු තම්බපු සම්බා කිලෝව රුපියල් 103 ක උපරිමයකට ද සුදු – රතු නාඩු රුපියල් 98 ක උපරිමයකට ද සුදු – රතු කැකුළු රුපියල් 95 උපරිමයකට ද යටත් කරනු ලැබීය. මේ ගැසට් නිවේදනයෙන් පැය 24 ක් තුළ ලංකාවේ තිබූ සියලූ සහල් තොග අතුරුදන් වී තණ හාල් පමණක් ඉතිරි විය.

තණ හාල් යනු කැඳ පිසින තෘණ බීජයක් මිස හොදි මාළු සමග කෑ හැකි ආහාරයක් නොවේ. එහෙත් සමහර සුපර් මාර්කට්වල කිලෝව රුපියල් 220 බැගින්, ගැසට් නිවේදනයට යටත් නොවූ සූදුරු සම්බා අලෙවි කරන ලදී. ඒවා තිබුණේ කිලෝ 5 බෑග් වශයෙනි. ඒ බෑගයක් රුපියල් 1100 කි. සැබවින්ම මෙහිදී හාල් මෝල්කාරයන් කර තිබුණේ සූදුරු සම්බා යනුවෙන් මුද්‍රණය කළ බෑග්වල කීරි සම්බා දමා අලෙවි කිරීමය. ශ‍්‍රී ලංකාව තුළ කීරි සම්බාවලට කිසිදු නිර්ණායකයක් නැත. ඕනෑ නම් සම්බා හාල් ඇටය තවදුරටත් පොලිෂ් කර ප‍්‍රමාණයෙන් කුඩා වීමට සලස්වා කීරි සම්බා ලෙස විකිණිය හැකිය. මේ ගේම තනිකරම දී තිබුණේ හාල් මෝල්කාරයන් විසිනි. ලංකාවේ හාල් මෝල් සහ ආණ්ඩුව අතර ලොකු අර්බුදයක් තිබේ. 1977 දී එවකට පැවති යූ.එන්.පී. ආණ්ඩුව වී අලෙවි මණ්ඩලය අඩපණ කර හාල් මෝල්කාරයන් කෙළින් කිරීමෙන් පසු ඔවුහු ඇමරිකන් යුද හමුදාව මෙන් බලවත් වූහ. හාල් මෝල්කාරයන් ගහන ගේම සහ ඔවුන් ඉදිරියේ ආණ්ඩුව නන්නත්තාර වූ හැටි හෙට කතා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment