හාල් මෝල් සහ මෝල් හාල්

381

සහල් ගැන ලියන මෙම කතුවැකියේදී පාඨකයාට කිව යුතු මූලික කාරණයක් තිබේ. එනම් අප සහල් මෝල්කාරයන් සමඟ කිසිදු තරහක් නැති බවයි. ලංකාවේ වෙසෙන අපගේ මූලික ආහාරය බත් ය. මෙයට අවුරුදු සියයකට පෙර මේ රටේ සිටි ජනයා තුන්වේලක් බත් කෑහ. මෙයට අවුරුදු පනහකට පෙර මේ රටේ සිටි ජනයා දෙවේලක් බත් කෑහ. අද වන විට ඔවුන්ගෙන් වැඩිදෙනා එක වේලක් පමණක් බත් කා ඉතිරි වේල් දෙක සඳහා පාන් රොඩු, ඉඳියාප්ප, කොත්තු රොටි යනාදිය ගිල දමති. කොත්තු රොටි යනු මේ රටේ තිබෙන සුවිශේෂී ආහාරයක් බව කිව යුතුය. සියලූ ක්‍ෂණික ආහාරවල (යම) රජු ලෙස සැලකෙන කොත්තු රොටි මතු යම් දවසක මේ රටේ ජාතික ආහාරය වීමට පවා ඉඩ තිබේ. මේ රටේ මනුස්සයාට මෙතරම් කරදරකාරී තත්ත්වයක් තිබියදී පවා එක වේලක් හෝ බත් අවශ්‍යය. අප බත් කන විට එම සහල් කවර මෝලකින් එන්නේද යන්න ගැන අපට හැඟීමක් නැත. අපට කිසියම් හැඟීමක් එන්නේ එය ලාබෙටත් හොඳටත් ලබා ගැනීමට හැකි නම් පමණි. එහෙත් කොරෝනා වසංගතය ආරම්භ වීමටත් පෙර සිටම මේ රටේ සහල් ප‍්‍රශ්නයක් පවතී. එය ක‍්‍රමානුකූල ලෙස වර්ධනය වූවකි. ශ‍්‍රී ලංකාවේ සහල් මිල පිළිබඳ ඉතිහාසය කෙටියෙන් මෙසේය; 1945 – 1952 අතර කාලය තුළ සහල් සේරුවක් සත 25 කි. 1953 දී සත 70 කි. 1955 දී සත 50 කි. 1970 දී රුපියලකි. 1973 දී රුපියල් 2 කි. 1977 දීත් රුපියල් 2 කි. 1977 ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රටේ සහල් මිල ‘යූ ටර්න්’ එකක් ගසා මිල නගින්නට පටන් ගත්තේය. 1977 දක්වා මේ රටේ තිබුණු සහල් වර්ග ස්වල්පයක් පමණි. සුදු කැකුළු සහ රතු කැකුළු ද, සම්බා වර්ග 1 ක් ද, මිල්චාඞ් ද ජනයා බහුල වශයෙන් අනුභව කළ සහල් ය. ඉතා මහන්සි වී වැඩ කරන මිනිස්සු ‘යබර’ නමැති සහලක් අනුභව කළහ. ‘යබර’ නමැති වචනය වූ කලී යකඩ උණුකරන විට උඩට මතුවන තද දුඹුරු පැහැති යබොර නමැති අපද්‍රව්‍යයේම තවත් ස්වරූපයකි.

මෙසේ කාලය ගතව ගොස් වසර දෙදහස වන විට සහල් කිලෝවක මිල රුපියල් හැටක් බවට පත්විය. මේ මිල ඉදිරියේ දී මේ රටේ ජනයා පිස්සු වැටුණු අතර එවකට තිබූ ආණ්ඩුවට හතර අතේ බනින්නට පටන් ගත්හ. එවක තිබුණේ යුද්ධය පමණි. කොරෝනා වැනි වසංගතයන් එකල තිබුණේ නැත.

සහල් සේරුවක බර ග‍්‍රෑම් 908 කි. කිලෝවක බර ග‍්‍රෑම් 1000 කි. ඒ නිසා සේරුව සහ කිලෝව අතර ග‍්‍රෑම් 100 කට කිට්ටු වෙනසක් ඇත. මේ රටේ ජනයා 1945 – 1952 අතර තිබූ සත 25 මිලට අද සහල් ඉල්ලන්නේ නැත. 1977 දී තිබූ රුපියල් 2 ට සහල් ඉල්ලන්නේත් නැත. ජනයාගේ අවශ්‍යතාව රුපියල් 100 ට රුපියලක් හෝ අඩුවෙන් සහල් ලබා ගෙන කන එක බත්වේල හෝ හිතට ගැලපෙන පරිදි අනුභව කිරීමය. එහෙත් මේ රටේ සහල් මෝල්කාරයන් යුද්ධය නිම වීමෙන් පසු කිසිම දිනෙක සාක්කුවට ගැලපෙන පරිදි සහල් ලබාගැනීමට පාරිභෝගිකයාට ඉඩ දුන්නේම නැත. දැනට මේ රටේ තිබෙන රතුහාල් වැඩිහරියක කිසිදු කොලිටියක් නැත. කිරිබතින් මෙහා බතක් පිසීමට ඒ සහල්වලින් නොහැක. රුපියල් 150 ට කඬේ තිබෙන සම්බා තඹ තුට්ටුවකට වැඩක් නැත. සම්බාවලට ආවේණික කපටි වර්ණය සහ නාසය රවටන සුවඳ ඒ සම්බාවල නැත. මේ අතර ලස්සන ඇඳුමක් ඇතිව වෙස්වලාගත් අලූත් සම්බා ජාතියක් අවුරුදු හත අටක සිට මේ රටේ වෙළෙඳපොළට කඩාවැදී තිබේ. ඒ වූ කලී කීරි සම්බාය. මෙකල එහි අඩුම කොලිටිය රුපියල් 175 කි. හොඳම කොලිටිය රුපියල් 250 ටත් තිබිණ. මේ නිසා ලංකාවේ ජනයාට උදාවූයේ තවදුරටත් බත් කෑමට නොහැකි කාලයකි. ඒ මදිවාට සීනි හිඟයකුත් ඇති විය. කිරි පිටි නැත්තටම නැති විය. එළවළු මිල නැංගේය. ගෑස් අතුරුදන් විය.

මේ අතර ආණ්ඩුව ගේමට බැස්සේය. පෞද්ගලික වෙළෙඳුන් විසින් ගෙන්වනු ලැබ ගබඩාවල සඟවා තිබී සීනි ටොන් 29000 ක් අත්අඩංගුවට ගත් රජය රුපියල් 122 සිට සීනි කිලෝව මිලට ගැනීමට ජනයාට ඉඩ දුන්නේය. රජයේ ඊළඟ පියවර වූයේ සහල් පාලන මිලකට ජනතාවට නිකුත් කිරීමය. එහෙත් වී මෝල්කාරයන් එයට අනුකූලතාවක් දක්වන බවක් පෙනී ගියේ නැත. යුද්ධය පටන් ගන්නේ මෙතැන් සිටය. මේ වන විට ප‍්‍රධාන වී මෝල් වටලා සහල් ටොන් දහස් ගණනක් අත්පත් කර ගැනීමට රජයට හැකි වී ඇත. ලංකාවේ සහල් මාෆියාවක් ඇතැයි සමහරු කියති. එහෙත් මාෆියාවක් යනු කිසියම් ප‍්‍රමිතියකට වැඩ කරන දාමරික සංවිධානයකි. ලංකාවේ ඇත්තේ සහල් මාෆියාවක් නොව සහල් ඒකාධිකාරියකි. එය මෝල්කාරයන් විසින් පසුගිය ආණ්ඩු තුන හතරක් යටතේම කිසිම උපද්‍රවයක් නැතිව පවත්වාගෙන යන ලදී. දැන් ඉතින් ඉදිරි මාස දෙක තුන තුළ යම් තරමකට අඩු මිලට සහල් ලැබෙනවා ඇත. ඉන්පසු යළි පරණ තත්ත්වයම පටන් ගන්නවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment