හාල් වැඩේ ගැන ආණ්ඩුවට හරි දැනුමක් නෑ – පාඨලී චම්පික රණවක

54

ආහාර ගෙන්වීමේදී රටට ආදායමක් නොඑන හොර කවුළුව යළිත් විවෘත වෙලා
ලාල්කාන්ත සත්තු ගැන කියපු කතාව පුළුවන් නම් පාර්ලිමේන්තුවෙන් එළියෙදි කියන්න

හාල් තොග පවත්වා ගැනීම සහ බෙදා හැරීම පිළිබඳව ආණ්ඩුවට විධිමත් දැනුමක් නැතැයි ද හාල් සහ පොල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන්නේ යැයි ද එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (11 දා) සඳහන් කළේය.

එක්සත් ජනරජ පෙරමුණ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කීවේය.

ආණ්ඩුව බලයට පත්වීමට පෙර හාල් මෝල් හිමියන්ට එරෙහිව දැඩි ප්‍රකාශ කළ නමුත්, බලයට පත්වීමෙන් පසු ඔවුන් සමග එකඟතාවකට පැමිණ හාල් මිල ඉහළ දැමීමට කටයුතු කළ බවට ද රණවක මහතා චෝදනා කළේය.

රණවක මහතා මෙසේ ද කීවේය.

“මහ මෝල් හිමියන් කියනවා

වී කිලෝ සීයකින් හාල් කිලෝ හැට දෙකයි දශම පහයි හදන්න පුළුවන් කියලා. කෘෂිකර්ම අමාත්‍යාංශය කියනවා වී කිලෝ සීයකින් හාල් කිලෝ හැට අටක් හදන්න පුළුවන් කියලා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරයේ ඉන්න මාරඹේ මැතිතුමා ඇතුළු අය කියනවා නෑ හැත්ත දෙකක් පුළුවන් කියලා. කුඩා මෝල් හිමියෝ කියනවා පනස් දෙකයි පුළුවන් කියලා. ඇත්තටම මේ පනහගත්තත්, පනස් දෙක ගත්තත්, හැට දෙක ගත්තත්, හැට අට ගත්තත්, හැත්තෑ දෙක ගත්තත් ලංකාවේ හාල් හිඟයක් නැහැ. මේ සංඛ්‍යා ලේඛන දිහා බැලුවහම ඒක පේනවා. එහෙනම් මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඉතාම පැහැදිලියි මේ බෙදා හැරීම සහ සහල් තොග පවත්වා ගැනීම පිළිබඳව විධිමත් දැනුමක් වෙළඳ ඇමැතිට හෝ කෘෂිකර්ම ඇමැතිට හෝ ජනාධිපතිට හෝ ඒ අදාළ ආයතනවලට නෑ.”

හාල් මිල පාලනය කිරීමේ වගකීම වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට පැවරී තියෙනවා. ඔහු වාණිජ ඇමැති හැටියට අලි ගම් වැදිලා මේ විනාශය වෙනවා. මාෆියාකාරයෝ හාල් හංගං ඉන්නවා වගේ උත්තර දෙන්න බෑ. මේක තමයි ඔහුගේ වගකීම. ඒ නිසා ඒ වගකීම ඔහු ඉටු කරනවා ඇතියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

ලංකාවට ආහාර ද්‍රව්‍ය ගෙන්වීමේදී රේගු දෙපාර්තමේන්තුවේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තාවකාලික බලපත්‍රවලින් තමයි සීයට හැට පහක් වෙන්නේ. ඒකෙන් රටට කිසිම ආදායමක් දෙන්නෑ. අන්න ඒ හොර කවුළුව මේ රජය විවෘත කරලා තියෙනවා නැවතත්.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත්, ජනතාව ගැන සිතා කටයුතු කරන ලෙසත් අපි ඉල්ලනවා.

පොල් ප්‍රශ්නයේ දී රිලව්ගේ ප්‍රශ්නයක් නැහැ කියලා අපි කියන්නේ නැහැ. රිලව්ගේ ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලිව. දඬු ලේන්නුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලිව. හැබැයි මේ දින පනහ ඇතුලේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි ඒක.

හාල් සහ පොල් යන දෙඅංශයේම ගැටලු විද්‍යාත්මකව විසඳීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

අස්වනු බේරා ගන්න ගොවියට තුවක්කු දෙනවා, රිලව් මරන්න, දඬු ලේන්නු මරන්න, අලි මරන්න, ඉත්තෑවෝ මරන්න කියලා නිකන් මිනිස්සු චූන් කරලා වැඩක් නැහැ. ඇත්ත, මේ සත්තු විසින් විශාල විනාශයක් කරනවා. ලාල්කාන්ත මහත්තයා මතක තියාගන්න ඕනේ ඔහු කෘෂිකර්ම ඇමැති වෙලා ඉන්නේ, රටේ නීතියට අනුව බව. රටේ වෘක්ෂලතා වනජීවී පනත තියෙනවා. ඒ පනතට අනුව ආරක්ෂිත සතුන් කියලා ජාතියක් ඉන්නවා. ඒ වගේම අනාරක්ෂිත කට්ටියක් ඉන්නවා. එතකොට ඒ පනතට අනුකූලව මේ ඔහුට බැහැ පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වලා අපි මේ අයිතිය දෙනවයි කියලා කියන්න. එහෙනම් අර පනතට අනුව ඔහු කටයුතු කරන්න ඕනේ. මම ඔහුට කියනවා පුළුවන් නම් පාර්ලිමේන්තුවෙන් එළියේ කියන්න ඔය කටයුත්ත කියලා. ඔහු එතකොට නීතිය කඩ කළා වෙනවා. එතකොට ඔහුට වෙනවා ඒ අනුව වනජීවී පනත අනුව නඩු භාරයකට මුහුණ දෙන්න.

ඇත්තටම දඬු ලේන්නු, එහෙම නැත්නම් ඉත්තෑවෝ, එහෙම නැත්නම් රිලව් වැඩිවෙලා තියෙනවා නම් ඔහු කළ යුත්තේ මොකක්ද? වනජීවී නියම පිරිස ගෙන්නලා, පරිසරවේදිනුත් ගෙන්නලා, ගොවියොත් ගෙන්නලා, මේ ආරක්ෂිතයි කියන සත්තු ඕනෑවට වඩා වැඩිවෙලා තියෙනවද? දැන් ඒගොල්ලෝ ආක්‍රමණශීලී වෙලා තියෙනවද කියලා යම් දත්ත පද්ධතියක් අරගෙන, ඒ දත්ත පද්ධතියට අනුව ක්‍රියා කරන එක.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ උපසභාපතිනි ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය, මධ්‍යම කාරක සභිකයන් වන කිංස්ලි පෙරේරා සහ සචිත් රණසිංහ යන මහත්වරු ද එක්ව සිටිය හ.

අනුරාධ හිරිපිටියගේ


advertistmentadvertistment