හාස් හූස් හාස් හූස් කූල්!

919

අසීරුතා මැද වුව උතුරේ ගොවිතැන් සහ ධීවර රස්සා ඇදගෙන යන්නේ ජනතාවම ගොඩනැඟූ සමූපකාර සමිතිය

යාපනයේ, කිලිනොච්චියේ සහ මුල්ලයිදීවුවල කෘෂිකර්මය සහ ධීවර රස්සාවන් එකිනෙකට සමාන අභියෝගයන්ට මුහුණ දෙනවා

ඔඩියාල් කූල් කියන්නේ හොද්දක් කියාලා. තවෙකෙක් කියාපි ඒක සුප් එකක් කියාලා. තව හාස් හූස් ගාණ කටවලට කතා කරන්නට පණක් තිබුණා නම්, තවත් කෙනෙකු, එය කැඳක් කියා කියන්නටත් ඉඩ තිබුණා. කවුරු මොනවා කිව්වත් කූල් හරි සැරයි. කූල් හරි රසයි. අනිවාර්යයෙන් ඒකේ මුහුදෙන් ගන්න පුළුවන් හැම මුහුදු කෑමක්ම තියෙනවා.

හාස් හූස් ගාමින් කට්ටිය තරගෙට කූල් බොනවා. බොනවා කිව්වාට පිඟානට බෙදාගත්ත කූල් වඩියේ තියෙන මාළු, කුළුවන් හා ඉස්සන් ආදී හැම මුහුදු ජීවියෙක්ම මුලින් අතපත ගාලා කන්න ඕනෑ. පිඟානට දෙතොල් තබා බොන්න ඕනෑ. තල් කොළවලින් කූල් බොන්නට පොඩි ගොට්ටක් හදා ගන්නත් පුළුවන් ඈත අතීතයේ පිඟන් නොතිබුණු කාලෙ බිව්වේ එහෙමලු. ඒත්, පිඟන් හැඳි තියෙන කාලෙක තල් කොළ කඩ කඩා වැඩි අරුමෝසම් දමන්නේ නැතිව අපේ උදවිය පිඟානට කට තබා කූල් බිව්වා.

සැරයි. දිවට පමණක් නොවෙයි, දෙතොල්වලට පවා ඒ සැර දැනෙනවා. එයින් පස්සේ තල් රා උගුරකින් තමයි සැර නිවාගන්න සිද්ධ වෙන්නේ. වැඩිපුර තල් රා බොන්න හොඳ නෑ. රා බොනකොටත්, ඉස්සර කාලෙ නම් තල් කොළවලින් ගොටු හැදුවා. දැන් නම් ප්ලාස්ටික් වතුර බෝතලෙන් පොල් කට්ටකට නැත්නම් කෝප්පෙකට නැත්නම් කපා දාපු මෙගා බීම බෝතල් බාගෙක රා බොනවා. දූපත්වල තල් රා බී, බෝට්ටුවකින් යන්නට ගොහින් මඟදී අපේ තෘප්ත වූ උදර විසින් අනවශ්‍ය දේවල් කියන්නට ඉඩ තියෙනවා. කවදාවත් ආමාශය ගැන විශ්වාස තබා ඔවැනි ගමන් යන්නට හොඳ නෑ. ආමාශය චපලයි.

‘කූල්!’ මොනවාද මේ කූල්

අපි ඇහුවෙ, එළුවදීවු ධීවර සංගමේ තරුණ රැහෙන්. භාෂාව අමාරුවෙන් ගැලපුවාට මොකද, ඉතා කෙටි වෙලාවකින් අපි හැමෝම යාළුකමේ මුහු වුණා. එයාලා මූදු යන අය. අපි මාධ්‍ය රස්සාවට රට වටේ යන අය. අපි හැමෝම ඉතින්, කම්කරුවෝ තමයි. දූපත වටේ රවුමකුත් ගහලා එනකොටයි ලෑන්ඩ් මාස්ටර් එකට වෙද පප්පාගේ අරිෂ්ඨ හැලිය වගේ කල්දේරමකට කූල් එක ගොඩ කර ගත්තේ.

කූල් ගැන ඇහුවාම එක්කෙනෙක් කියාපි, ඔඩියාල් කූල් කියන්නේ හොද්දක් කියාලා. තවෙකෙක් කියාපි ඒක සුප් එකක් කියාලා. තව හාස් හූස් ගාණ කටවලට කතා කරන්නට පණක් තිබුණා නම්, තවත් කෙනෙකු, එය කැඳක් කියා කියන්නටත් ඉඩ තිබුණා. කවුරු මොනවා කිව්වත් කූල් හරි සැරයි. කූල් හරි රසයි. අනිවාර්යයෙන් ඒකේ මුහුදෙන් ගන්න පුළුවන් හැම මුහුදු කෑමක්ම තියෙනවා.

අපි කණ්ඩායමේ ඇතැමෙක් තවමත් හාස් හූස් ගාණ අතරේ, අපි අම්මා කෙනකුගෙන් රෙසිපිය අහගත්තා. අපට කූල් රසය විඳින්න ලැබුණේ යාපනේ එළුවදීවු නම් වූ දූපතේදීයි.

අම්මා කී විදියට කූල් වෙනුවෙන් එක් පැත්තකින් බත් ටිකක් තම්බාගෙන එක් පැත්තකින් තබාගන්නට ඕනෑ.. අපි බීපු කූල් එකේ තිබුණු හාල ඇවිල්ලා යාපනේ තඩි හාල. අපි කන හාල නෙවෙයි. අනෙක් පැත්තෙන් ඔඩියාල් පිටි ටිකක් වතුරේ හෝදා, මිශ්‍ර කර තබා ගන්නට ඕනෑ. ඔඩියාල් පිටි ඒ කිව්වේ තල් පිටි තමයි කූල්වල රහස.

ඊට පස්සෙ මෑකරල්ද, කොස් ඇටද තව කැමති එළවළුවක් තිබේ නම් ඒකද දාගන්න ඕනෑ. ඒකට අතට අහුවෙන ඕනෑ මාළු, ඉස්සන්, කකුළුවන් ආදිය දාගන්න ඕනෑ. අපේ ගං පළාත උඩරට නිසා තවම වැරදිලා කකුළුවන්ට කක්කුට්ටන් කියලාත් කියැවෙනවා. නම කොහොම වරද්දාගත්තත්, කකුළුවන් එකතු වුණාම තමයි කූල් හරි රහ.

හොඳ වතුරෙන් අර මාළු, එළවළු ආදිය තම්බන්න ඕනෑ. කහ සහ මිරිස් ආදී රහ එකතුකරන අනෙක් දේවල්, ලුණු හෙමත් තැම්බුම් හොද්දට දාන්න ඕනෑ බව අමුතුවෙන් කියන්නට දෙයක් නැහැනේ. එයින් පස්සේ බත් ටිකයි ඔඩියාල් ටිකයි ආදියත් එකතු කරගෙන, හොඳින් මාළු කෑලි කුඩුවෙලා මිශ්‍ර වෙන විදියට කලත්තන්නත් ඕනෑ. අපට කූල් ගෙනාවේ වෙද පප්පාගේ අරිෂ්ඨ හැළිය වාගේ ලොකු හැළියක.

හාස් හූස් හාස් හූස් කූල්!

කූල් විතරක් නෙවෙයි, යාපනේ ගමන් බිමන්වලදී අපට සම්මුඛ වන කෑම වර්ග බොහොමයි. යාපනය කීවාම ඇතැමුන්ගෙ හිතේ ක්ෂණයෙන් මැවෙනු ඇත්තේ, නිර්මාංශ වූ තෝසේ, වඩේ සහ සාම්බාරුවලින් සමන්විත ඉන්දීය සම්භවයක් ඇති කෑමවේල් පමණයි. එසේනම්, ඔබට යාපනය සම්පූර්ණයෙන් සම්මුඛ වී නැහැ. ඔඩියාල්වලින් හැදෙන පිට්ටු, කැවුම් යනාදී කෑමවලට අමතරව තව කෑම වර්ග ගොඩක් යාපනයේදී හමුවෙනවා. ඒ සියල්ලට වඩා, ධීවර සම්පතින් අනූන වන නිසා විවිධාකාර රසවත් මාළු කෑම වර්ග යාපනයේ තියෙනවා. ඉතින්, යාපනයේ කෑම ගැන කතාව යම් දුරකට ධීවරයා සහ ගොවියා ගැන කතාවකුත් වෙනවා.

යුද්ධෙ කාලේ දූපත්වල නැවතිලා හිටි අය මුහුදු යන්න බය වුණා. කොහෙන් වෙඩි වදීවිද කියා දැන හිටියේ නෑ. සරලව කීවොත්, 1986 දී මේ ආසන්නයේ ඇති පුණ්කුඩුතිව් දූපතේ ධීවරයන් පිරිසක් කුමුදුනී කියන බෝට්ටුවෙන් මූදු ගිය වෙලාවේ ආරක්ෂක අංශවලින් ඝාතනය කර දමා තිබුණා. 31 දෙනකු මෙලෙස ඝාතනය වූ අතර වාර්ෂිකව ධීවරයන් එය සමරනවා.

තල් කෑමවලට අමතරව මුහුදට හෙමින් ඇවිදගෙන ගිහින් හෝ පොඩි තෙප්පමකින් ගිහින් ගත හැකි පොඩි මත්ස්‍ය ආහාර ප්‍රමාණයක් පමණයි මූදු යෑම යුද්ධයට මැදි වීමේ අවදානමක් වූ කාලෙක ගත හැකි පියවර වුණේ. ඒ හැරුණාම සියලු බෝග වර්ග අසීරු තත්ත්වයන් යටතේ වගා කර ගන්නට ඔවුනට සිදු වුණා. ඒ කෙසේ වෙතත්, ඔවුන්ගේ ගොවිතැනට වගා ණය හෝ, කෘෂිකර්ම පර්යේෂණ හෝ, ගොවි නියාමක සහයෝගය හෝ, අස්වනු අලෙවි කිරීමට දකුණේ පවතින අන්දමේ බිඳී ගිය ක්‍රමවේදයක්වත් තිබුණේ නෑ.

යාපනයේ දූපත්වලින් බැහැර ප්‍රදේශවල වුව ගොවිතැන ඉතා අසීරු කටයුත්තක්. වතුර සැපයීමේ සිට විකිණීම දක්වා අභියෝග රාශියක්.

හැත්තෑ ගණනවල අවසන, යාපනයේ හිටපු දිසාපතිවරයකු වූ ලයනල් ප්‍රනාන්දු මහතා වතාවක් කී පරිදි ගොවීන්ට මධ්‍යම රජයේ සහයෝගය දැඩිව ඉල්ලා සිටියත් එදා රජය පැහැදිලිව එය ප්‍රතික්ෂේප කළා. වතාවක් විෂයභාර ඇමැතිවරයකු යාපනයට පැමිණි මොහොතක, ගොවීන්ට අවශ්‍ය සහයෝගය පැහැදිලිව වැඩපිළිවෙළක් පෙන්වා දුන්නත්, එය ප්‍රතික්ෂේප වූ බව ඔහු කීවා. ඉතින්, යුද්දෙට කලින් රජයට වුවමනාවක් තිබුණේ නෑ. යුද්ධය කාලයේ රජයට වුවමනාවක් තිබුණේ නෑ. යුද්ධයෙන් පසුත්, සිදු වූ දෙයක් නෑ.

රජය ඇඟිලි නොගහපු කාලෙක ධීවරයන්ට, ගොවියන්ට ආහාර නිෂ්පාදනය කරන්නට සිද්ධ වුණා. යුද්ධය කාලයේ පවා වගා කරමින් ජනතාවට කෑම සපයන්නට සිද්ධ වුණා. ආහාර නිෂ්පාදනය සැරටම තිබුණා. ඒ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය, යුද්ධයෙන් පසුත් ක්‍රියාත්මක වෙද්දී උතුරේ ඉතාම ශක්තිමත් සමූපකාර ව්‍යාපාර ගොඩනැඟුණා. ගොවීන් අතරින් බිහි වූ තල් නිෂ්පාදනවලට, ධීවර රස්සාව කරන අයට සහ අනෙකුත් ගොවීන්ට ණය සහනවල සිට අනෙකුත් පහසුකම් ලබාගැනීමටත්, අලෙවියටත් මෙවැනි සමූපකාර සමිතිවලින් සහයෝගය ලැබුණා. අසීරුතා මැද වුව උතුරේ ගොවිතැන් සහ ධීවර රස්සා ඇදගෙන යන්නේ ජනතාවම ගොඩනැඟූ එවැනි සමූපකාර සමිති.

කූල්වලට දැම්මේ තල් පිටි. ශ්‍රී ලංකාව පොල් නම් වූ ආහාරමය බෝගයේ රහගුණ සම්පත්තිය ගැන කතා කරනවා. තල් කියන්නේ, ප්‍රවර්ධනය කළ යුතු ශාඛයක්. බෝගයක්.

යාපනයේ ගිහින් එන බොහෝ අය කොළඹට රැගෙන එන හකුරු, මිදි වයින් ආදී නිෂ්පාදන අතර, කොට්ටකිලංගු කියන්නේත් සුලභ කොටහක්. මේක තල් ගහේ පුංචි පැළ ඔය හපන්නේ මේක ළපටි තල් කඳක්.

හාස් හූස් හාස් හූස් කූල්!

කනගලක්ෂ්මී කියන්නේ තල් වගා කරන ගෙවිළියක්. නැදුන්දීවුවල හිටපු ඇය කොට්ටකිලංගු ගැන ටිකක් කීවා. අපිත් කූරක් හප හපා කතාව අහං හිටියා.

‘පොඩි කාලෙ ඉඳන් ගොවිතැන් කරනවා. ඔඩියාල් වගාවත් කරනවා. මෙහේ තමයි පොඩි කාලෙ ඉඳන් හිටියේ. පවුලේ ළමයි තුන්දෙනෙක් හිටියා. දැන් කසාද බැඳලා වෙන්වෙලා. මමයි, සැමියායි පුතෙකුයි ගෙදර ඉන්නවා.

තල් ඇට අරගෙන ගිහින් දානවා. හොඳට වැස්ස ආවේ නැත්නම් ඇට පැළ වෙන්නේ නෑ. තල් ගහෙන් ඇට වැටුණ විගස, ඒක ඇහිඳගෙන ඇවිත් තියා ගන්නවා. එකම කාලේ තමයි ඔක්කොම ඇට පැළ වෙන්නට දාන්නේ. ළපටි පැළය මාස තුනක් ඇතුළත ගන්න ඕනෑ. නැත්නම් ඕනෑවට වඩා මෝරනවා. හයවැනි, හත්වැනි මාසවල ඉඳන් ඇට එකතු කරනවා. දහවැනි මාසයේ විතර තමයි පැළ කරන්නේ. ජනවාරි හෝ පෙබරවාරි මාසය වෙද්දී පැළ ගන්න පුළුවන්.

එයින් පසු නෙළා ගන්නා තල් පැළ ගෙනත්, පොතු අයින් කරලා, භාජනේකට දාලා තම්බනවා. උතුරලා පෙණ එනතුරු නටවන්න ඕනෑ. මේ ළපටි තල් කඳේ තියෙන සැර පෙණ විදියට එළියට යන්න ඕනෑ. එයින් පස්සේ මේක වටේට තියෙන පොඩි පොතු ආදිය අයින් කරලා, වේලෙන්න දානවා. ලණු කෑල්ලකින් ගැටගහලා තමයි වේලෙන්න දාන්නේ. ලණුවකින් ගැටගහලා දාන්නේ කාක්කන් අරගෙන යන හින්දා.

මේවා බිම දැම්මොත් නැවෙන්න පුළුවන්. එල්ලලා වේලද්දී තමයි කෙළින් වෙන්නේ.

මාකට් එකට ගිහින් කොට්ටකිලංගු විකුණනවා. ඒක පොළේ විකුණද්දී මාකට් එකේ වරිපනම් බදුත් ගහනවා. ඒ නිසා අපි මුදලාලි කෙනකුට තමයි රුපියල් තුන්සීයට විකුණන්නේ. දූපතට ඇවිත් ගන්නවා නම් විකුණන්න වෙන්නේ රුපියල් සීයක් අඩුවෙන්. අවුරුද්දට කිලෝ තිහක්, තිස්පහක් ඵලදාව විකුණන්න පුළුවන්. අවුරුද්දට රුපියල් 25,000ක් විතර තමයි ආදායම විදියට ලබන්නේ. මේ වැඩේට සල්ලි දාන්නේ නැති නිසා ඒ ඔක්කොම සල්ලි ලාභය තමයි. ඇය කියන විදියට මාස ගාණක් තිස්සේ කරන ක්‍රියාදාමයකින් පස්සේ, ඇය අතට එන්නේ ඔච්චර තමයි.

මේ වෙද්දී, තල් ඇට ලැබෙන්නේ අඩුවෙන් බව ඇය කියනවා. ඵලදායීතාව අඩු වෙලා.

තල්වලට වඩා ඔවුන් අනෙකුත් බෝග කිහිපයක් වගා කරනවා. ඇගේ වත්තේත් එළවළු වර්ග වවා තිබුණා. අප එහි යද්දී කරවිල, බණ්ඩක්කා, මෑ කරල් දාලා තිබුණා.

මේ වගාවන්ට වතුර ගන්නේ ළිඳෙන්. ඒත්, දූපත්වල වතුර හරි අඩුයි.

හාස් හූස් හාස් හූස් කූල්!

ලූනු වගාවත් ඔවුන්ගේ එක් ආදායම් මාර්ගයක්ව තිබුණා. මෑත කාලයේ වගාව අත්හැරලා. වරුසාව එක්කයි ලූනු වගාව හරියට කරගෙන යන්න ඕනෑ. අම්මලාට වර්ෂයේ වැහි වහින කාලය හඳුනගන්න අමාරුයිලු. අම්මා එච්චර තේරුම් නොගත්තාට ඇත්තම හේතුව දේශගුණ අර්බුදය. දැන් දැන් වහින කාලෙ හරියට අඳුනගන්න කාලගුණ විද්‍යාවටත් බෑ.

මෑත කාලයේ නැදුන්දීවු ආදී දූපත් විතරක් නෙවෙයි, යාපනය අර්ධද්වීපය පවා හුණුගල් මත තිබෙන්නේ. කැල්සියම් පැත්තට බර වූ වතුර හෙවත් කිවුලට බර වතුර එක්කයි වගා කරන්නේ. පහුගිය වසර පහක විතර කාලයක් තිස්සේ නැදුන්දීවූවල වතුර වැඩි වැඩියෙන් කිවුල් වෙලා. ඒකට හැබෑ හේතුව නාවික හමුදා කඳවුර විසින් දූපතේ තියෙන භූගත ජලය සීමාව ඉක්මවලා අවභාවිතා කිරීම බව ඔවුන් කියනවා.

වරුසාවත් හරිහැටි කල් තියා අනුමාන කරන්න බෑ. භූගත ජලයත් නෑ. ඉතින්, ඉස්සර අවුරුද්දට දෙවතාව වගා කරපු බෝග එක් වතාවක් පමණක් වගා කරන්නට සිද්ධ වෙලා.

මේ දූපත්වල වගාවට මෙන්ම, යාපනයේ, කිලිනොච්චියේ සහ මුල්ලයිදීවුවල කෘෂිකර්මය සහ ධීවර රස්සාවන් එකිනෙකට සමාන අභියෝගයන්ට මුහුණ දෙනවා. අප කලින් කී බෝග වර්ගවලට අමතරව යාපනය අර්ධද්වීපයේ දුම්කොළ, මිරිස් ආදී බෝග වාණිජ බෝග ලෙස වගා කරනවා. චාවකච්චේරි ආදී ප්‍රදේශවල දැවැන්ත කුඹුරු යායවල් තියෙනවා. අඹ, මිදි ඇතුළු පළතුරු වවනවා. මේ වෙද්දී කාබනික ගොවි ක්‍රම සුලභ වෙමින් පවතිනවා. සාර්ථකව කරගෙන යන්නේ නම් ලාභ ලැබීමට මෙවැනි වගාවලින් හැකියාව තිබෙනවා.

එහෙත්, ජලය ලබාගැනීමේ සිට මිලක් ලබාගැනීම දක්වාත්, ජාතික ආහාර පද්ධතියට නිෂ්පාදන සම්බන්ධ කිරීමට නියම ක්‍රමවේද නැතිකමත් ඔවුන්ගේ නිෂ්පාදනවලට බාධාවක් වෙලා.

අනෙක් පැත්තෙන් ධීවර නිෂ්පාදනවලට අභියෝගය වී තිබෙන්නේ ප්‍රමුඛ වශයෙන් ඉන්දීය ධීවරයන්ගේ කඩාවැදීම. ඒ ගැන ඕනෑ තරම් අප කතා කර තිබෙන නිසා, වැඩි කතාවක් මෙහි සටහන් කරන්නේ නැහැ. එයට අමතරව, උතුරේ ධීවර කර්මාන්තයට තවම බොහෝදුරට යොදාගන්නේ සාම්ප්‍රදායික පන්න ක්‍රම. අනෙකුත් ධීවර කණ්ඩායම් එක්ක තරග කරන්නට ඒ පාරම්පරික ක්‍රමවලට හැකියාව නැහැ. ඔවුන්ව ශක්තිමත් කිරීමත් අවශ්‍යතාවක්.

අප කලින් වතාවක් නැදුන්දීවු ගැන කී ජන කතාවකට ආපහු එන්නට ඕනෑ. කෙටියෙන් කීවොත්, නැදුන්දීවුවල ලොකු ළිං කපන්නට සහ අනෙක් වැඩවලට ඉන්දියාවෙන් භූදංගල් හෙවත් භූතයන් ගෙනාවාලු. ඒ කියන්නේ යෝධයන් වාගේ ශක්තිමත් පිරිසක් වැඩ ගන්නට ගෙනාවාලු. ඉතින්, එදා ගොවියෝ ඒ භූදංගල්ගේ බඩවල් පුරවන්නට තරම් වගා කළාලු. පස්සේ කාලෙක ඒ භූදංගල්ගෙන් වැඩ ගන්න එක නවත්වලා හරවලා ඉන්දියාවටම යැව්වේත් ඒ බඩවල් පුරවන්නට තරම් ආහාර නිපදවන්නට අසීරු නිසාලු. ලංකාවේ අපේ අයගේ බඩවල් ටික පුරවන එක වැදගත් වූ නිසාලු භූදංගල් හරවලා යැව්වේ.

උතුරේ ආහාර නිෂ්පාදනයට ලොකු ලොකු භූතයන්ගේ බඩවල් පුරවන්නට බැරිව ඇති. එහෙත්, මෙරට ආහාර නිෂ්පාදනයට උතුරේ ගොවිතැනෙන් සහ ධීවර කර්මාන්තයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. ඉන්දියාවේ භූතයන්ට මෙරටට ඇවිත්, ධීවර සම්පත් කොල්ලකෑමට ඉඩ නොදිය යුතුයි. ඉන්දියාවේ භූතයන්ට මෙරටට ඇවිත් විවිධාකාර මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කියා උතුරේ ගොවීන්ගේ ඉඩම් කොල්ලකෑමට ඉඩ නොදිය යුතුයි.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment