ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය විසින් සංවිධානය කළ විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය (2023) ඉකුත් සැප්තැම්බර් 01 දා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුමංගල ශාලාවේදී පැවැත්විය. එහිදී වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙස ලක්ශාන්ත අතුකෝරල විසින් රචිත “හැඟුම් ගඟෙහි හැංගිලා” කෘතිය සම්මානයට පාත්‍රවිය. ඉකුත් 14දා පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී ද වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙස එම කෘතිය සම්මානයට පාත්‍ර විය.වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස මනෝහරී ජයලත් විසින් රචිත “ගිරිජා” සම්මානයට පාත්‍ර විය. පහත පළවන්නේ එම ජයග්‍රාහී කෘතීන් දෙක රචනා කරන ලද ලක්ෂාන්ත අතුකෝරල සහ මනෝහරී ජයලත් සමඟ සිදුකළ කතා බහක්ය.
● විප්‍රවාසී ජීවිතයක් ගත කරමින් සිටින ඔබ මෙවර වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහයට හිමි විද්‍යෝදය සම්මානය හිමි කර ගන්නවා. රටින් බැහැරව සිටින ඔබට ඒ විශිෂ්ටත්වය දැනුණේ කොහොමද?
විදේශයක සිටියත් නිර්මාණකරණයට සම්බන්ධ මනෝමය පසුබිම ලංකාවේ පරිසරය බවයි මට හිතෙන්නෙ. සම්මානවලට නිර්දේශ වීම, සම්මාන ලැබීම, මේවා සතුටුදායක දේවල් තමයි. මට මුල්ම වරටයි විද්‍යෝදය සම්මානයක් ලැබෙන්නෙ. එහි විශේෂත්වයක් දැනෙනවා. ඒත් මට හිතෙන්නෙ ලිවීම නැත්නම් සාහිත්‍යකරණයේ නිරත වීම සහ හොඳ නිර්මාණ බිහිකිරීමට උත්සාහ දැරීමයි වඩා වැදගත්. සම්මාන, අගය කිරීම් ආදිය ලේඛකයාට උත්තේජන සපයනවා. නිර්දේශ වූ සම්මාන ලැබූ සියලු සහෝදර ලේඛක ලේඛිකාවන්ට සුබ පතන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා.
● මීට පෙර අවස්ථා කිහිපයකදීත් කවියකු ලෙස ඔබ රාජ්‍ය සම්මානය ඇතුළු සම්මාන කිහිපයක් ම හිමි කර ගන්නවා. දිගින් දිගට ම එවැනි ඇගයීම් ආදියට ලක් වීම තුළ පෙනී යන කරුණක් තමයි කවිය තුළ ඔබ පරිණතයි කියන කාරණය. ඒ මතය හා ඔබ එකඟ ද?
යමකුගේ කවිවල හෝ සාහිත්‍ය නිර්මාණවල වෘද්ධිය හෝ පිරිහීම දකින්නේ අනෙක් අය කියලයි මට හිතෙන්නෙ. එය සාපේක්ෂයි කියලා හිතෙනවා. නිරායාසයෙන් ම වගේ මගේ ප්‍රධාන සාහිත්‍යමය ප්‍රකාශන මාධ්‍යය කවිය බවට පත් වෙලා තියෙනවා. මම එය හදාරමින් සතතාභ්‍යාසයේ යෙදෙමින් සෑහෙන කාලයක් තිස්සේ වැඩ කරන බව තමයි මට කියන්න පුළුවන්. එහෙමයි කියලා කරන හැම නිර්මාණය ම සාර්ථක වෙයි හෝ හැමෝම කැමති වෙයි කියලා කියන්න බැහැනෙ. කවිය කියන්නෙ සාපේක්ෂ බව සෑහෙන්න බලපාන මාධ්‍යයක්. කවියා ඔහුගේ සිතැඟි අනුව නිර්මාණ කරනවා. ඇතැම් පාඨකයකු එයට ප්‍රිය කරන අතරේ තවත් පාඨකයකුගේ හැඟුම් සමග එය නොපෑහෙන්නටත් පුළුවන්.
● ඔබේ ඊළඟ කාව්‍ය සංග්‍රහය මෑතක දී නිකුත් වීමට නියමිත බව අසන්නට ලැබුණා. ඒ ගැනත් යමක් කියන්න.
ඔව්. ‘චතුරස්‍රය ඉස්සරහ’ නම් පොත ළඟදීම පළ වීමට නියමිතයි. ජනක ඉණිමංකඩ විසින් විදර්ශන ප්‍රකාශනයක් ලෙස එය පළ කෙරෙනවා.
● ඔබ විසින් පරිවර්තනය කරන ලද විදෙස් කාව්‍ය කෘතීන් පිළිබඳව යම් හැඳින්වීමක් කළ හැකි ද?
විදෙස් කවි පරිවර්තනය මට තෘප්තියක් ගෙන දෙන නියැලීමක්. විවිධ වැඩ සඳහා යොදා ගැනීමට වරින් වර විදෙස් කවි විශාල ප්‍රමාණයක් සිංහල බසට පරිවර්තනය කරන්න මට අවස්ථා ලැබුණා. ‘සමවැහි රේඛාව’ නමින් මම අනිද්දා පුවත්පතට ලියපු තීරු ලිපි මාලාවේදිත් ඉංග්‍රීසි කවි සහ ගීත රැසක් යොදා ගත්තා. පොත් වශයෙන් ප්‍රකාශයට පත් වුණු ඒවා තමයි, සිරගත නොවූ සිතුවිලි (හෝ චි මිං ගේ Prison Diary කවි පොතේ පරිවර්තනය), සිපුම් සීරුම් කෙනිත්තුම් (කමලා දාස්ගේ කවිවල පරිවර්තන), ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතාවක් (පැබ්ලෝ නෙරූදාගේ Twenty Love Poems and A Song of Despair කවි පොතේ පරිවර්තනය) සහ වැස්සක් අසන්නෙකු සේ මා අසන්න (ඔක්ටාවියෝ පාස්ගේ කවිවල පරිවර්තන). ඒවාට අමතරව, මා මෑතක දී අවසන් කළ කෘතිය, ගැහැනු හදක් ගැහෙන හඬක් (මායා ඇන්ජලෝ කිවිඳියගේ කවිවල පරිවර්තන) නොබෝ දිනක දී පළ වීමට නියමිතයි. අතුල ජයකොඩි විසින් සූරිය ප්‍රකාශනයක් ලෙස එය පළ කෙරෙනවා.
● සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ මේ මොහොතේ සිංහල කවිය ස්ථානගතව ඇති තැන සහ එහි සාධනීය ලක්ෂණ පිළිබඳව ඔබේ මතය කුමක්ද?
කවිය නිතර සාකච්ඡාවට බඳුන් වන සාහිත්‍යාංගයක් බවට පත්ව තිබෙනවා. විවිධ අත්හදාබැලීම් ඔස්සේ සිංහල කවිය වර්ධනීය ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙන බව කියන්න පුළුවන්. නිර්මාණශීලී කාව්‍යාත්මක ප්‍රකාශනය කියන දෙය සමාජයකින් මැකී යන්නේ නැහැ. කලින් කලට එය මතු වෙනවා. ඇතැම් විට කවිය ඊට නිසි තැනට වඩා පහළින් ඇතැයි කෙනෙකුට හැඟෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒත් මට හිතෙන්නෙ නව කවි කිවිඳියන්ට ලියමින් ම දියුණු වෙන්නට ඉඩ දිය යුතුයි. එයට යම් කාලයක් ගතවෙනවා. ඒක තමයි ස්වභාවය. මට නම් පෙනෙනවා සමාජ මාධ්‍ය ආදිය ඔස්සේ කවිය ජනප්‍රිය සාහිත්‍යාංගයක් ලෙස වර්ධනය වෙමින් තිබෙන බව.
● කවිය පිළිබඳ ඔබේ නිර්වචනය කුමක් ද?
භාෂාව සියුම් සහ සුමට ලෙස පාවිච්චි කරමින් ප්‍රබල හෝ මනරම් අදහස් ඇඟවීම.
● ඔබ සිතන පරිදි මනුෂ්‍ය ජීවිතයට කවිය වැනි කලාංගයකින් ලැබෙන ප්‍රයෝජන මොන වගේ ද?
ජීවිතය තුළ සෑම මනුෂ්‍යයකුට ම පොදු දේවල් තිබෙනවා. ආහාර, ඇඳුම්, ඉපැයීම, ප්‍රේමය, අසනීප, මරණය, ශෝකී අද්දැකීම්, සංවාසය, කෝපය, පවුල, මිත්‍රත්වය… මේ වගේ දේවල්. මනුෂ්‍යයන් අතර බොහෝ වෙනස් දෙයක් තමයි සිතන විදිහ. ඒ කියන්නෙ එකිනෙකා දේවල් දකින විදිහත්, ඒවා සම්බන්ධව පිළිපදින විදිහත් වෙනස්. හැබැයි හැමෝ ම ජීවිතය තුළ දී යම් මානසික රසයක්, ජීවිතය පිළිබඳ අරුත් මානයක් අපේක්ෂා කරනවා. ඒක එක්තරා විදියකින් දාර්ශනික වූත්, තවත් පැත්තකින් කලාත්මක වූත් විඳීමක්. මං හිතන්නෙ අන්න ඒ අපේක්ෂාව ඉටු කරන්න පුළුවන් මාධ්‍යයක් තමයි කවිය.
● සැබෑ ජීවන අවස්ථා කවියකට හසු කර ගැනීමේදී කවියා කොතෙක් දුරට ප්‍රවේශම් සහගත විය යුතු ද?
කවියා පරෙස්සම් විය යුතුයි කියලා දෙයක් නැහැ. ඒත් අද්දැකීම් ඇසුරෙන් නිර්මාණයක් බිහි වීමේ දී යම් සුසර කිරීමක් සිදු වෙනවා. කවියාගේ නිදහස ඇතුළෙ සිටිමින් ම තමන්ගේ අද්දැකීමේ පෞද්ගලික ආලෝක කැරැලි යම් පමණකට සිඳ දාලා පොදු බවක් මතු කර ගන්න නිර්මාණකරුවාට සිදු වෙනවා. අනෙක් අතට කොහොමත් කවියකට මුල් වෙන්නේ සැබෑ ජීවන අද්දැකීම් සහ අත් විඳීම් හෝ ඒවාට සම්බන්ධ සිතිවිලි තමයි. නමුත් කවිය ගොඩ නැගීමේදී එහි හැරවුම් ලක්ෂ්‍යය තීරණය වෙන්නේ කවියාගේ ජීවන දෘෂ්ටිය, සමාජ දැක්ම, රසකාමීත්වය වගේ දේවල් මත කියලා මට හිතෙනවා. ලිවීමේදී සැලකිලිමත් විය යුතු ඇතැම් සියුම් දේවල් නැත්තෙ නැහැ. සැම විට ම කවිය, එහි අදහස, එහි ඇතුළත් සංකල්ප සහ ඉංගිත මතු කිරීමයි වැදගත්. කවියා කවිය ඉක්මවා මතු විය යුතු නැහැ. ඒ වගේ දේවල් විශේෂයෙන් සිතා බැලීම වටිනවා.
● සංකීර්ණ ලෝකයක් කවියෙන් විනිවිද දැකීම තුළ බිහි වෙන නිර්මාණ මෙන් ම සෞන්දර්යාත්මක අතින් පොහොසත් නිර්මාණ ද ඔබේ කවි අතර තිබෙනවා. පාඨක විචාරක පර්ශද පවා ඒ මතය දරනවා. නිර්මාණ කටයුත්තකදී ඔබ වඩාත් බර තබන්නේ ඉහත සඳහන් ප්‍රභේද දෙකෙන් කුමක් සඳහා ද?
මං හිතන්නෙ ඔය දෙයාකාරයේ දී ම විතරක් නෙමෙයි සෑම කවියකදි ම වැදගත් ම වෙන දෙයක් තමයි යමක් කියන ආකාරය. අදහස් ප්‍රකාශනයේ ඇති අමුතු බව. කාව්‍යාත්මක ප්‍රකාශනය කියන්නෙ ඒකටනෙ නේද? කවිය මාධ්‍යයක් වශයෙන් ප්‍රබල වෙන්නේත් ඒ නිසා ම තමයි. මං උත්සාහ කරනවා සැම විට ම කාව්‍යාත්මක ප්‍රකාශනය පවත්වා ගන්න. ඒ උත්සාහයේදි යම් සෞන්දර්යාත්මක බවක් එකතු වෙනවා වෙන්න ඇති.
● ඔබේ පරම්පරාව නියෝජනය කරන වත්මන් කවි කිවිඳියන් ගත් විට සම රේඛාවක ගමන් කරන කවි කිවිඳියන් ලෙස හඳුනා ගත් පිරිසක් දකින්නට ලැබෙනවා ද?
නෑ. කවිය විවිධාකාර විය යුතුයිනෙ. මං හිතන්නෙ එකිනෙකා වෙනස් ආකාරවලින් කවිය තුළ රැඳෙන්නෙ. එක් දාස් නමසිය අනූ ගණන්වල ඉඳන් කවි ලියන අය ගැන හිතුවාම මට එකවර ම මතක් වෙන්නෙ අපට කලින් මෙන් ම අපට පසුවත් පුවත්පත් කවි පිටුවලට කවි ලියපු කවි කිවිඳියන්. නම් ගණනාවක් කියන්න පුළුවන්. හැබැයි යම් කිසි හේතුවකට ඒ සමහර අය නිර්මාණකරණයෙන් දුරස් වුණා. සමහර අය වෙනත් කලා මාධ්‍යවලට යොමු වුණා. හැබැයි ඉතින් අර මං කලින් කිවුවා වගේ සමාජයක කවිය නැති වෙන්නේ නැහැ. සැම විටම වෙනස් සිතන්නන්, දක්ෂ ලියන්නන් මතු වෙනවා. සිංහල කවිය පිරිහිලා ගන්න දෙයක් නැහැ කියලා යම් යම් කාලවල අදහස් පළ වෙනවා. එහෙම වෙන්නෙ නැහැ. කවිය පවතිනවා. දුර්වල කවි අතරේ විශිෂ්ට කවිත් ලියවෙනවා. මට එක කනගාටුවක් තියෙනවා. කවිය ලිවීමට යොදා ගන්නා මාධ්‍යය වන සිංහල භාෂාව පිළිබඳ නිසි සැලකිල්ලක් නැති වීම. බොහෝ පොත්වල භාෂා වැරදි සහ විශේෂයෙන් අක්ෂර වින්‍යාස වැරදි තිබෙනවා. වෙන කෙනෙකු ලවා සෝදුපත් පිරික්සූ බව කියන පොත්වලත් වැරදි තිබෙනවා. භාෂාවක් කියන්නෙ ශත වර්ෂ ගණනක් තිස්සේ ගොඩ නැගුණු මහා දැනුම් සම්භාරයක්. මේ දැනුම උකහා ගැනීම වැඩිවන තරමට සාහිත්‍යකරුවකුගේ නිර්මාණ ශක්‍යතාව වැඩි වෙනවා.
සියලු වරපට මුදාහැරි ගැහැනිය ගිරිජා – මනෝහරී ජයලත්
● ඔබ නවකතාකරණයට එහෙමත් නැත්නම් නිර්මාණාත්මක ලේඛනය පිණිස යොමු වුණේ කොහොමද?
දීර්ඝ කාලයක් මට ගත කරන්න තිබුණේ අතිශයින් කාර්ය බහුල ජීවිතයක්. රැකියාව වගේම ගෘහ ජීවිතයත් එහෙමයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් බලාගෙන අම්මාවත් රැකබලාගෙන සියල්ල කරන්න තිබුණා.
ඉතිං එකවරම මට හිස් තැනක් ලැබුණා. ඒක අනපේක්ෂිත ලැබීමක්.
රැකියාවෙන් දීර්ඝතර විවේකයක් ලැබුණා. ජීවිත සැලසුම් සියල්ල ඇනහිටියා. ඒ කොවිඩ් නිවාඩුව.
ඒ එක්කම දරුවෝ දෙන්නාම උසස් අධ්‍යාපනයට යොමු වුණා.
ඉතිං ඒ ලොකු හිස්තැනදි නැවත මට මාව හමු වුණා වගේ දෙයක් වුණේ. මට මා එක්කම ඇසුරක් ගොඩ නැගුනා. ඒක හරි මිහිරියි.
මගේ ඇතුලාන්තය මට කතන්දර කියන්න ගත්තා.
කාලයක් තිස්සේ පොත් පත් ඇසුරේ සහ විවිධ සමාජ තලවල ඇසුරෙන් තැන්පත් වෙලා තිබුණ නිර්මාණ බිජු වැඩෙන්න ඒ හිස් තැන ලොකු පිටිවහලක් වුණා.
මම සමාජ මාධ්‍ය ඇසුරු කළ කෙනෙක් නෙමෙයි. මුලින්ම මම මුහුණුපොතේ ගෲප්වලට ලිට්මස් කතා නමින් කතා ලිව්වා. ඒ කතාවලට ඉතා ඉක්මනින් දහස් ගණන් ප්‍රතිචාර ලැබුණා. ඒ තුළින් තමා ලියන්න පෙළඹවීමක් ඇති වුණේ. මුලින්ම මැට්ටි පොත ලිව්වා. ඒ පොත ප්‍රකාශයට පෙර ලැබුණු ප්‍රතිචාර සහ ප්‍රශංසා තමා මාව නිර්මාණකරණයට යොමු කළේ.
● මෙවර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි විද්‍යෝදය සම්මානය හිමිකරගැනීම පිළිබඳව ඔබ තුළ පවතින්නෙ මොනවගේ හැඟීමක්ද?
නිර්මාණයක්, නවකතාවක් ලියනකොට කිසිසේත්ම මට සම්මාන අරමුණු වුණේ නෑ. ඇත්තටම මම තාමත් නවකයෙක්. මම සම්මාන ගැන දැනගත්තෙත් මගේ කෘති සම්මානනය වීම නිසායි.
මට හිතෙන්නේ නෑ සම්මාන ඉලක්ක කරගෙන ලිව්වොත් ඒ කතා නිදහස්ව ගලාගෙන යයි කියලා. එහෙම වුණොත් කතාව යම් රාමු තුළ හැඩතල තුළ හිරවෙයි. නමුත් විචාරාත්මක ඇගයීම් සහ සම්මාන ලේඛකයෙකුව ප්‍රමුදිත කරනවා. ඒක ආශ්වාදයක්.
ගිරිජා විද්‍යොදය සාහිත්‍ය සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස සම්මානනය වුණා. ඒ මොහොත මට සුවිශාල සතුටක්. එයින් මගේ ලේඛන ජීවිතය විශිෂ්ටත්වයට පත් වුණා වගේ අතිශයින් නිහතමානී ආඩම්බරයක් ඇති වුණා. මං හිතන්නේ ලියන කෙනෙකුට ඉන් පන්නරයක් ලැබෙනවා.
විද්‍යෝදය සාහිත්‍ය සම්මානය තමා විශ්වවිද්‍යාලයක් මගින් ප්‍රදානය කරන එකම සම්මානය. සාහිත්‍ය පිළිබඳ විශ්ව දැනුමක පරිභාෂිතයක යෙදෙන වියතුන්ගේ විශිෂ්ඨතා ඇගයීමක් කියන්නේ ලේඛන දිවියක විශිෂ්ටත්වයට පත් වීමක්. විද්‍යෝදය සරසවිය කියන්නෙ මේ රටට ඉතිහාසයේ ඉඳන් වියතුන් රැසක් සාහිත්‍යධරයන් රැසක් දායාද කළ විශ්වවිද්‍යාලයක්.
මේ සම්මානනය විනිවිදභාවයකින් යුතුව උගතුන් වියතුන් වෙතින් විවේචනයට සහ විචාරණයට බඳුන්ව සිදු වූ දෙයක්. ආඩම්බරයෙන් දෑතට ගන්න පුළුවන් සම්මානයක්. එය මේ වසරේ මගේ දෑතට ලැබීම මාව ලොකු සතුටකට පත් කළා. විද්‍යෝදය සම්මානය අන් සියලු සම්මානවලට වඩා වෙනස් රාමුවක ලකුණු සනිටුහන් කරනවා. නිර්මාණයක පැවතිය යුතු හා පැවතිය හැකි සියලු ගුණාංග එහි විමර්ශනයට බඳුන්ව තිබුණා. සම්මාන අපේක්ෂාවෙන් නොලියන නමුත් සම්මානනය වීමෙන් ලේඛකයකුට නිර්මාණයක නිරත වීමට පෑනට තීන්ත ලැබෙනවා.
ඉතිං ගිරිජා සම්මානය ප්‍රදානය කරනතුරු ඒ වටා සෑම පියවරකම සිටි සියලු දෙනාට ස්තුති.
●“ගිරිජා” ඉතිහාසයේ යම් පැතිකඩක් විවරණය කරන නවකතාවක්. ඉතිහාසයේ සඳහන් යම් සිද්ධි මාලාවක් නිර්මාණාත්මක ලියවිල්ලක් බවට පත් කිරීමේදී ඔබ කොතෙක් දුරට ප්‍රවේශම් සහගත වූවාද?
ගිරිජා ඉතිහාසයේ පැතිකඩක් විවර කරන නවකතාවක්. නමුත් මං හිතන්නේ ගිරිජා ඉතිහාසය තුළ සිරවී නැහැ. ගිරිජා ඉතිහාසයේ සිට වර්තමානයට ආ ගැහැනියක්. ඉතිහාසයේ සියලු වරපටවලින් නිදහස් වූ ගැහැනියක්. අතීතයේ උඩරට විවාහ කුල සිරිතක් තමා සහෝදරියන් දෙදෙනෙක් එක පුරුෂයෙකුට දීග යෑම. එක ගෙයි කෑම. ඉංග්‍රීසින් විසින් තහනම් කරන තුරු ඒවා අපේ රටේ ඉතා සාමකාමීව පැවතුන විවාහ විධි. වර්තමාන පුරුෂයින්ටත් භාර්යාවන් දෙන්නෙක් ඉන්න අවස්ථා බහුලයි. මගේ වෘත්තිය තුළ එවැනි අත්දැකීම් බහුල නිසා ඒ පුද්ගලයන්ම එකගෙයි කෑමේ විවෘතභාවය හාස්‍යයට නැංවීම විහිළුවක්.
වර්තමානයේදි එක්කෙනෙක් නීත්‍යානුකූල, සහ අනිකා අනියම් භාර්යාව වශයෙන් හඳුන්වනවා. ඔවුන් අතර නිරන්තර ගැටුම්. නමුත් එකගෙයි කෑම, සිදු උනේ සහෝදරයන් අතර. ඒ නිසා ඔවුන් අතර එවැනි ගැටුම් බහුල උනේ නෑ. පොදු මිනිස් චින්තන එක්ක ඔවුන් නිවුනු ජීවිත ගතකළා. ගිරිජා එවැනි අක්කා නගෝ දෙදෙනෙකුගේ කතාවක්.
ඒ වගේම යුග පරිවර්තනයක දී නොබියව මුහුණ දී ජීවිතය ජයගත් ගැහැනු. ගිරිජා මගේ ප්‍රබන්ධයක්. මම ඉතිහාසඥයෙක් විදියට නෙමෙයි ලිව්වේ. මම ගොන්න ගහට ගිහින් කල්ටල් බැලුවා අපි දෙන්නටම සහකාරයෙක් ලැබෙනකල්. මම වතුමුල්ලට ගිහින් හේන් කෙටුවා. මට ඔබෙන්, පාඨකයන්ගෙන් පරිස්සම් වෙන්න කිසි දෙයක් තිබුණේ නෑ. මට වචන, සිද්ධි භාවිතා කරන්න කිසි බයක් දැනුනේ නෑ. ප්‍රබන්ධ කතාකාරයකුගේ පූර්ණ නිදහස මං භාවිතා කළා.
මම කැමතියි නිර්භයව ලියන්න. මා වටා සීමා නැතිව. වචන, භාෂාව, හා කතාව මම නිදහසේ වපුරනවා. එහි ප්‍රතිපලය සම්මානයක් ද අවමානයක් ද කියලා අමතක කරන්න මට පුළුවන්. මම ප්‍රවේශම් වෙන්නේ පාඨකයාගේ විශ්වාසය බිඳ වැටීමෙන් ආරක්ෂාවීමට පමණයි. ගිරිජා පොතේ භාෂාව වගේම එකගෙයි කෑමේ චාරිත්‍ර වාරිත්‍ර, මහ පොළව හා සම්බන්ධ අතීත බැඳීම් ලියලා තියෙනවා. මම පාඨකයා ඉච්ඡාභංගත්වයට පත් නොකර ඔවුන් සමඟම කෙළවරට යන්න උත්සහ කරනවා. නමුත් මම ලියද්දි මා වටේ සීමා පනවා ගෙන නෑ.
● මීට පෙර ඔබ විසින් රචනා කරන ලද කෘතීන් පිළිබඳව යම් හැඳින්වීමක් කරනවා නම්
මම පළවෙනියට ලිව්වේ මැට්ටි. බුක් රැක් ආයතනය ප්‍රකාශයට පත් කළ එය යොවුන් සාහිත්‍ය කෘතියක්. මැට්ටි 2021 වර්ෂයේ හොඳම යොවුන් කෘතිය ලෙස රාජ්‍ය සම්මාන ලැබුවා.
එහි තියෙන්නේ දැරියක් වටා ගෙතුනු කතාවක්. දරුවන් තුළ වැඩිහිටි ලෝකය ගැන තියෙන නිර්ව්‍යාජ විනිශ්චය එහි තියෙනවා. හාස්‍යයෙන් යුතුයි. යොවුන් කතාවක් කිව්වත් මං හිතනවා ඒක වැඩිහිටියන්ට වඩා හොඳින් රස විඳින්න පුළුවන් කියලා. මගේ පළමු නවකතාව, සංසක්කාරි. විදර්ශන ප්‍රකාශනයක්. ඒ පොතේ තියෙන්නේ උඩරට රජසමයේ අවසන් දින කීපය තුළ සිදුවීම් පෙළක්. රිදී කෙල්ලකගේ හදවතේ ඇතිවූ ආදරය නිර්භීතකම, අව්‍යාජත්වය එහි ලියැවුණා. සංසක්කාරි 2021 වර්ශයේ ගොඩගේ සම්මාන වසරේ ප්‍රශස්ථම නවක දායකත්ව සම්මානය ලැබුවා.
මම පැණි ලුණු දෙහි නමින් කෙටි කතා පෙළක් සහිත පොතක් ලිව්වා. එහි තියෙන්නේ මුහුණුපොතේ ලියූ හාස්‍ය රැගත් කතා පෙළක්. ඊට පසුව නැනී කියන යොවුන් කෘතිය ලිව්වා. කුඩා දැරියක් තේරුම් ගැනීමට සහ ඒ ජීවමාන අංකුර තලා නොදමා වැඩීමට ඉඩදීමට වැඩිහිටියන්ට ආරාධනා කරමින් ලියූ පොතක්.
ඒ පොත සම්මානයට නිර්දේශ වී තියෙනවා. මගේ අලුත්ම නවකතාව කඩදොර. මේ වසරේ ප්‍රකාශ වූ විදර්ශන පොතක්. කොත්මලේ ජලශය ඉදිකිරීමේදී ගිලී අවසන් වී ගම්මානයක හැදුනු වැඩුනු ගැහැනු ළමයෙකුගේ කතන්දරයක්. මහා ජල කඳටත් යට නොවූ කඳුළු බිංදුවක් එහි තියෙනවා. ගොඩක් වැඩිහිටියොත් දරුවන්ව වඩා හොඳ ප්‍රතිපල සඳහා වෙනස් මාර්ගවලට හරවන්න හදනවා. සමහරවිට ඒවායින් ලැබෙන ප්‍රතිපල අනපේක්ෂිත ව්‍යසන වෙන්නත් ඉඩ තියෙනවා.
ඒ පොතට ගොඩක් පාඨක ප්‍රතිචාර ලැබෙනවා. මේ දිනවල මම නිකිලා නමින් පුංචිම පාඨකය වෙනුවෙන් පොත් විස්සකින් යුතු පොත් පෙළක් ලියනවා. ඉන් තුනක් සැප්තැම්බරයේ නිකුත් වේවි. එහි ඉංග්‍රීසි පරිවර්තනය සමග.
● ඔබ විසින් නවකතාවක් රචනා කිරීමේදී වඩාත් සැලකිල්ලක් දක්වන්නෙ ඒ සඳහා උපයුක්ත භාෂාව පිණිසද. එසේත් නැත්නම් එහි තිබිය යුතු සර්වකාලීන ගුණය පිළිබඳව ද?
නවකතාවක් ලිවීමේදී එහි සර්වකාලීන ගුණය ඉතා වැදගත්. එය තමා වැදගත්ම සාධකය. විශ්ව, සාහිත්‍ය තුළ ඒ සර්ව කාලීන ගුණය මත තමා නවකතාවක් රැඳී තියෙන්නෙත්. සර්වකාලීන කියන්නේ වර්තමානය කියන එක නෙමෙයි. කතාව වර්තමානයේ රස විඳින්නන් සඳහා විය යුතුයි කියන පටු සීමාව නෙමෙයි.
මං හැමතිස්සෙම ඒ රාමුවෙන් පිට පනිනවා. මම අතීත කාමයෙන් යුතු කෙනෙක්. ඒ නිසා මම වඩාත් රසවත් වන්නේත් කුළු ගැන්වෙන්නේත් අතීතය තුළ.
නමුත් අපිට පුළුවන් වෙන්න ඕනේ වර්තමන පාඨකයන් මෙන්ම අනාගත පාඨකයන් තුළත් ඒ අතීත වින්දනය ඇති කරන්න. නවකතාවක් සර්වකාලීන වියයුත්තේ කතා තේමාව තුළ නොව වර්තමාන, අනාගත දේශීය විදේශීය ඕනෑම පාඨකයකු තුළ චමත්කාරය හා වින්දනය ඇති කිරීමට තිබෙන හැකියාව මත.
ඒවා කලෙක යල්පැනගිය නවකතා නොවිය යුතුයි. සර්වකාලීන ගුණය ආරක්ෂා වීමට හොඳම මෙවළම තමා උපයුක්ත භාෂාව. අපි දැන් භාවිතා කරන්නේ ඔපනැංවුණු භාෂාවක්. සමහර සිංහල වචන ඉංග්‍රීසි භාෂාව තුළ කොච්චර ගිලී ගිහින් ද කිව්වොත් දැන් ඒ වචන භාවිතයේවත් නැහැ. ඉතිං ඒ නවීකරණය වූ භාෂාවකින් අතීත කතාවක් ලිවීමෙන් ඒ කතාවේ සන්දර්භයට මෙන්ම පාඨක විශ්වාසයට තද පහරක් එල්ල වෙනවා.
● වර්තමාන පාඨකයා වැළඳගන්නේ නැතිනම් සර්වකාලීන වෙන්නේ කෙසේද?
කුමන කාලයේ වුවත් පාඨක හදවත තදින් පැහැරගෙන පැළපදියම් වීමේ ගුණය රඳවා ගැනීමට නම් උපයුක්ත භාෂා භාවිතය විතර මෙවලමක් තවත් නෑ කියලා මට හිතෙනවා. ඔබ දකින ආකාරයට අද්‍යතන සිංහල සාහිත්‍යය තුළ නවකතාකරුවාගේ භූමිකා විය යුත්තේ කුමක්ද?
සිංහල සාහිත්‍ය තුළ නවකතා සඳහා දශක දෙකකට පෙර තිබූ තත්ත්වයේ විශාල වෙනසක් තියෙනවා. ඒ කාලේ විද්‍යුත් මාධ්‍ය තිබුණේ නෑ. පාඨකයන්ට පරිකල්පනයට විශාල ඉඩක් තිබුණා. දැන් පාඨකයන් ශීඝ්‍රයෙන් ප්‍රේක්ෂකයන් බවට පත් වෙනවා. ප්‍රේක්ෂක භූමිකාව වඩා පහසුයි වගේ. බලාගෙන ඉන්න විතරයි. පරිකල්පනයත් කරලම දෙනවා.
නමුත් පාඨකයෙකුගේ කියවීම ඊට වඩා වෙනස්. අපි සියලුදෙනාටම ප්‍රේක්ෂකයන් පමණක් වීමෙන් සමාජ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. අපිට ඊට වඩා වගකීමක් තියෙනවා සමාජය කියවා ගන්නා වඩා හොඳ මැදිහත්වීමක් තියෙන පාඨකයන් විය යුතුයි. ඒ නිසා නවකතාව තුළින් සමාජය කියවා ගැනීමේ හුරුව මුවහත් කිරීමේ වගකීම නවකතාකරුවන්ට තියෙනවා. මම එයින් අදහස් කරන්නෑ නවකතාව, සෑම විටම සමාජයට මඟ පෙන්වන අනුශාසනා සපයන ලියවිල්ලක් විය යුතුයි කියලා.
මගේ කතාවලදි මම ආදර්ශයක් පණිවිඩයක් සමාජගත කරන්න උත්සහ කරන්නෑ. මම කතා කියනවා. අපේ ලාංකික සමාජය ගත්තොත් අපි මුල ඉඳන්ම ආසයි කතා අහන්න. ඒකයි අපිට අද්විතීය ජනකතා සාහිත්‍යයක් තියෙන්නේ. සමාජයට පණිවිඩ, ආදර්ශ පමණක් නෙවෙයි චමත්කාරය, ආශ්වාදය ආහ්ලාදය මෙන්ම සහකම්පනයත් අවශ්‍යයි.
නවකතාවක් කියවන පාඨකයා සමහරවිට ඒ කම්පනයෙන් දින ගණනක් පෙළෙනවා. ඔහු චරිත එක්ක සැනසෙනවා. වැළපෙනවා. ඒ සහනුකම්පාව සමාජය තුළ දැල්වීමට ප්‍රබල මාධ්‍යයක්. නවකතා වර්ගීකරණය එක්ක මම එකඟ නැහැ. හැම මාදිලියකම රස විඳින්නන් ඉන්නවා. නවකතාකරණය තුළ ඔවුන් සියලුම දෙනාගේ රසයන් නියෝජනය විය යුතුයි.
කියවද්දි පාඨකයා හා පොත අතර සම්බන්ධයක් ගොඩ නැඟෙනවා. ඔහු පොතේ චරිත හා එක්ව ඒ පරිසරය පෞද්ගලිකව භුක්ති විඳිනවා. ඒ නිසා නවකතාව ප්‍රාසාංගිකත්වය චමත්කාරය පෞද්ගලික හෘද සාක්ෂිය සමඟ එක්ව කියවන්නා රසකාමියකු බවට පත් කිරීමේ වගකීම නවකතාවට තියෙනවා. බොහෝ විට නවකතාවක් කියවන්නේ සාමකාමීව සන්සුන්ව විවේකය ගත කිරීමටයි. පාඨකයා විශ්වාසවන්ත අඩිතාලමක රඳවාගැනීමත්, ඔහුට පෞද්ගලිකව අත් විඳීමට තරම් සාරවත් ආහ්ලාදයක් ලබා දීම වගකීමක්.
● අවිවේකී නීතිඥ වෘත්තිය තුළ ඔබ විසින් ලිවීම සඳහා කාල කළමනාකරණය කරගන්නේ කොහොමද?
කාල කළමනාකරණය නම් ඕනෙම කෙනෙකුට ජීවිතේට ගොඩක් වැදගත් කාරණයක්. ඕනෑම අවදියකදි ඒක සාර්ථකත්වයට සෘජුව බලපානවා. මැට්ටි, සංසක්කාරි නිර්මාණ කරන අවදියේ මට රාජකාරී කටයුතු තිබුණේ නෑ. කොවිඩ් වසංගත තත්ත්වය නිසා දින නියමයක් නැතිව අධිකරණ කටයුතු පවා අඩපණ වෙලා තිබුණේ. කාලය ඕනෑවටත් වඩා මට ලැබුණා.
දැන් තත්ත්වය නම් වෙනස්. අවිවේකී බව තදින් දැනෙනවා. මගේ නවකතාවල මම ලියන භාෂා විධිවලට ආරූඪ වෙන්න මට ප්‍රමාණවත් වෙලාවක් නිස්කලංක වෙන්න ඕනේ. හරියට පෙර සූදානමක් වෙනවා වගේ. චැනල් එකක් මාරු කරනවා වාගේ එකවර ඒක කරන්න අමාරුයිනේ. ඉතිං මට දැන් ඒ අන්තර්කාලය ලබා ගන්න හරිම අමාරුයි. මට නිදි මරාගෙන පොත් ලියන්න බැහැ. මම හිතන්නේ මගේ ඇඟිලි අතරෙන් නිරායාසෙන් පොත් ලියවෙන්න ඕනේ කියලා. කතාවක රිද්මයක් ළයාන්විත බවක් තියෙන්න නම් සිතුවිලි සමාදාන වෙන්න ඕනේ. ඒ නිසා මම බොහෝ විට වෙහෙස නැති ප්‍රාණවත් කාලය තුළ ලියනවා.
විශේෂත්වයකුත් මම දකිනවා. මට ලියන්න වෙන්වූ කාමරයක්, මේසයක් පරිසරයක් නෑ. මම ලියන්නේ දුරකථනයේ. ඒ නිසා මට ලැබෙන හැම මොහොතකම මම ලියනවා. ඕනෙම වටපිටාවකදි. ඒනිසා මට කාලය ගොඩක් පිරිමැහෙනවා. නිර්මාණ වගේ නෙමෙයි වෘත්තීය කටයුතු නිදිවරාගෙන කරන්න පුළුවන්.
● ලැබෙමින් පවතින ඇගයීම් මත ඔබේ ඉදිරි නිර්මාණ ජීවිතය මොන වගේ හැඩයක් ගනීවිද?
ඔබ විශ්වාස නොකළත් මුද්‍රණයෙන් පිට වුණාට පස්සේ මම මගේ පොත් කියවලා නැහැ. ඉතිං ඒ පොතකට ලැබෙන සම්මාන අවමාන සියල්ලක්ම සම සිතින් භාර ගන්න පුළුවන්. වාසනාවකට වගේ මට සාධනීය හොඳ ප්‍රතිචාර තමා ලැබෙන්නේ.
සාකච්ඡා – රුවන් ජයවර්ධන