හැටනව ලක්ෂයක් පක්ෂ වුණාට පනස් දෙකක් විරුධයි ලු…

382

දීර්ඝ සති අන්තයකින් පසුව තවත් කාර්යබහුල උණුසුම් සතියක් උදා විය. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් රටේ දේශපාලනය ගැන උනන්දු කොයි කවුරුත් මේ උණුසුම් දින කීපය පුරා මහත් උනන්දුවෙන් බලා සිටියේ රටේ අලූතෙන් කුමක් වේ ද නොවේද කියාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ගොස් නව වසරේ අලූත් පාර්ලිමේන්තු සැසිවාරය පටන්ගෙන කරන ලද රාජාසන කතාව කෙරෙහි කොයි කවුරුත් අවධානය යොමු කර සිටියහ. ඒ රාජාසන කතාවෙන් ජනාධිපතිවරයා රටේ තිබෙන අර්බුද ප‍්‍රශ්න හා අරගල ගැන කුමක් හෝ අලූත් දෙයක් කියාවි කියා බලා සිටි පිරිසක් ද වූහ. එහෙත් ජනාධිපතිවරයා හා රජය සමඟ අවබෝධයෙන් සිටි බහුතර ජනයා මේ කතාවෙන් විශ්වකර්ම ප‍්‍රාතිහාර්යපෑමක් බලාපොරොත්තු වූයේ නැත. ඔවුන් බලාපොරොත්තු වුණේ රටේ දැන් පවතින යථාර්ථය ජනාධිපතිවරයා හොඳින් අවබෝධ කරගෙන, ග‍්‍රහණය කරගෙන ඊට අනුව කළ යුතු ඉදිරි වැඩ කොටස ගැන සැලැස්මක් ඉදිරිපත් කරනු ඇතැයි කියාය. කතාවෙන් ආශ්චර්යයක් හෝ විශ්වකර්ම වැඩක් කළ හැකියැයි ඔවුහු විශ්වාස නොකළහ. එහෙත් මේ වෙලාවේ විපක්ෂයට අවශ්‍ය වූයේ ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් රට හමුවේ ප‍්‍රබල විවේචනයක් ඉදිරිපත් කිරීමටයි. එය කිසිසේත්ම රටේ තත්ත්වය හා බරපතළකම අවබෝධ කර නොගත් විශ්වාසනීයත්වයෙන් තොර ප‍්‍රලාපයක් පමණක් බව විපක්ෂයේ තර්කය වූහ. රටේ නායකයෙක් පාර්ලිමේන්තු සැසිවාරයක් අරඹමින් කරන ලද රාජාසන කතාවක් ගැන මේ තරම් විවේචන පැමිණි තවත් අවස්ථාවක් අප මතකයේ නැත. මුළු සතිය පුරාම විපක්ෂය එම විවේචන අත්හළේ නම් නැත.

කෙසේ වෙතත් ගතව ගිය දීර්ඝ සති අන්තයේ රටේ සෙසු ජනතාව මෙන්ම ජනාධිපතිවරයා ද අවිවේකීව සිටියේය. ඔහු බොහෝ වැඩ රාජකාරිවලට සම්බන්ධ වූයේය. බොහෝ ගමන් ගියේය. බොහෝ විවෘත කිරීම්වලට සම්බන්ධ වූයේය. අදහස් දැක්වීම් හා කතා ද වෙනදාටත් වඩා කළේය. මේ නිසා ඔහුගේ ක‍්‍රියාකාරකම් ගැන කතා කරන්නට පසුගිය සතියේ අපිට නම් කරුණු කාරණා බොහෝ තිබිණි.

පසුගිය දීර්ඝ සති අන්ත නිවාඩුව ආරම්භ වූයේ 14 වැනි සිකුරාදා යෙදී තිබූ තෛපොංගල් උත්සව දිනයත් සමග ය. එදා හවස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සුවිශේෂී උත්සවයකට ජනාධිපතිවරයා හා අගමැතිවරයා සහභාගි වූහ. උත්සවය පැවැත්වුණේ අමරපුර නිකායේ උත්තරීතර මහා නායක පදවියට අභිනවයෙන් පත්වූ දොඩම්පහල චන්ද්‍රසිරි මහනායක හිමියන්ට අක්තපත‍්‍ර ප‍්‍රදානය කිරීම නිමිත්තෙනි.

දාහතර වැනි දා පස්වරුවේ පැවති මෙම උත්සවයට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට අමතරව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට හා අනෙකුත් පක්ෂ නායකයන්ට මෙන්ම ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මැති ඇමැතිවරුන් රැසකට ආරාධනය කර තිබිණි.

ජනාධිපතිවරයා ඇතුළු විශේෂ අමුත්තන් පිරිස වෙස් නැටුම් හේවිසි හොරණෑ සහිත පෙරහැරකින් පිළිගනු ලැබූවහ.

උත්සව සභාවේ දී පිළිගැනීමේ කතාව කරනු ලැබුවේ අමරපුර උත්තරීතර මහා සංඝ සභාවේ සාමාජික පල්ලෙකන්ද රතනසාර හිමියන් විසිනි. සෙසු නිකායන්හි අනුනායක හිමිවරුන්ටත් මෙම උත්සවයට ආරාධනා කර තිබීම විශේෂත්වයකි.

උත්සව අවස්ථාවේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් යම් වැදගත් දෙයක් සාකච්ඡා කරමින් සිටින බව පැහැදිලි විය. මාදම්පාගම අස්සජිතිස්ස හිමියන් විසින් සන්නස් පත‍්‍රය කියවීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් එම සන්නස්පත‍්‍රය මහනායක හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබූ අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධුරයේ විජිනිපත පිළිගන්වන ලදී.

මේ අවස්ථාවේදීම උත්තරීතර මහනායක හිමියන් වෙනුවෙන් සූදානම් කරන ලද ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයක් ද බලපිටිය සිරිසීවලී හිමිපාණන් විසින් අභිනව මහනායක හිමියන්ට පිළිගන්වනු ලැබූහ.

ඉන්පසුව නියංගොඩ විජිතසිරි, මකුලෑවේ විමල ආදි අනුනායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පැවැත්විණි. විශේෂ දේශනය ගතාරේ අස්සජි හිමියන් පවත්වනු ලැබූහ. අමරපුර උත්තරීතර සංඝ සභාවට අද මේ රටේ හිමිව ඇත්තේ තුන් වන ස්ථානය බව පෙන්වා දෙමින් උන්වහන්සේ ප‍්‍රශ්න කළේ වසර 220 පැරණි අමරපුර සංඝ සභාවට සැබවින්ම මේ රටේ හිමිවිය යුත්තේ තුන් වන ස්ථානය ද කියාය. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අභිනව මහනායක හිමියන්ට සුබපතමින් අදහස් දැක්වීම් දෙකක් කරනු ලැබූහ.

මේ සියල්ලෙන් පසුව අමරපුර සංඝ සභාවේ අභිනව මහ නායක දොඩම්පහළ චන්ද්‍රසිරි මාහිමියන්ගේ දේශනයෙන් පසුව උත්සව සභාවේ වැඩකටයුතු අවසන් විය.

චීනය හා ඉන්දියාව
අපව රවටනවලූ….

එක්සත් ජාතික පක්ෂ ක‍්‍රියාකාරී කමිටුව ඉකුත් අඟහරුවාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වූවේ පක්ෂ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එහිදී නායකයා පෙන්වා දුන්නේ රට කොටස් හතරකට බෙදා බිම් මට්ටම ශක්තිමත් කිරීමට වැඩසටහන් සකස් කළ යුතු බවයි.

‘‘ලබන සතියේ අපිට පුළුවන් වෙයි තරුණ කමිටු ටික පිහිටුවන්න. ඊට අවශ්‍ය පහසුකම් ටික මහලේකම්තුමා ලබාදීලා තියෙනවා.” රුවන් නායකයාට කීවේය.

‘‘ඔව් අපි ඉක්මණින් මේ වැඩසටහන් ක‍්‍රියාත්මක කරන්න ඕනේ. 2022 අවසන් වෙන කොට බිම් මට්ටමෙන් අපි ඉහළට පැමිණ සිටින්න ඕනේ. මොකද 2023 අපට සමහරවිට මැතිවරණවලට මුහුණ දෙන්නත් සිදු වෙන්න පුළුවන්.” නායකයා පිරිසට සංඥාවක් ලබා දුන්නේ එසේය.

‘‘නායකතුමා කලින්ම ඉල්ලපු හින්දා ජනාධිපතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ගැන විවාදය විපක්ෂයට ලැබුණා. කතාවේ ජනතාවගේ ප‍්‍රශ්න කිසිවකට පිළිතුරු නැහැනේ.” රංගේ කතාව වෙනතකට හැරවීය.

‘‘2020 සැප්තැම්බර් මාසයේදීත් මේ කතාවම තමයි කිව්වේ. දැන් කියන්නෙත් ඒකමයි. මේ වෙලාවේ එතුමා කියන්න තිබුණේ කරපු දේ හා කරන්න බැරිවූ දේ ගැනයි. කරන්න බැරිවූ දේ කරන විදිය ගැන කිසිදු සඳහනක් නෑ.” වජිර ද විස්තරයක් කළේය.

‘‘දැන් තෙල් ගේන්න ඉන්දියාවෙන් ණය ගන්නවා. ඉන්දියාවෙන් තෙල් ගන්න නිසා අපේ තෙල් සංයුතියත් වෙනස් කරලා. ඔක්ටේන් 92 ක වෙනුවට දැන් ඔක්ටේන් 91 හ`දුන්වාදීලා. ප‍්‍රමිති ආයතනයේ අනුමැතියත් අරගෙන ඉවරයි.” සාගල ද තමන්ට ලද තොරතුරක් යොමු කළේ එලෙසිනි.

‘‘එක පැත්තකින් විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ අනෙක් පැත්තෙන් තෙල් නැතුව බලාගාර වහලා. ජනතාවට ලයිට් කපන්නේ නෑ කියලා ආණ්ඩුව කියනවා. විදුලිය දෙන්න විදියක් නැතුව මණ්ඩලය විදුලිය කපනවා.” සංදිත් ද ජනතා ප‍්‍රශ්නයක් මතු කරද්දී පිරිස එම කාරණය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

‘‘මහබැංකු අධිපති ඩොලර් තියනවා කිව්වාට ජනතාවගේ අතේ මුදල් නැති නිසා මිනිස්සු දන්නවා මෙයා කියන්නේ බොරු කියලා.” රුවන් ද කීවේ උපහාසයෙනි.

‘‘චීනය හා ඉන්දියාව දෙකම ණය දෙන්නේ ඔවුන්ගේ භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන්. මෙය ප‍්‍රශ්නයට සැබෑ විසදුමක් නොවෙයි. ඒ නිසා දීර්ඝකාලීන ප‍්‍රතිපත්ති රාමුවක් තුළ තමයි මේ ප‍්‍රශ්නය විසදා ගන්න ඕනේ. දිගින් දිගටම මුදල් අච්චු ගැසීම මේ ප‍්‍රශ්නයට විස`දුම නොවෙයි. මෙහෙම මුදල් අච්චු ගහන්න ගියොත් ඩොලරය රුපියල් 260 දක්වා ඉහළ යාවී.” නායකයා කියූ දේ සැවොම හිස සලා අනුමත කළහ.

දෙකෙන් බැරි වූ වැඩ
තුනෙන් කර දෙනවාලූ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සති කිහිපයකට පෙර විශේෂ ප‍්‍රකාශයක් කළේය. සෞභාග්‍යයේ දැක්ම තුළින් රටට යෝජනා කළ තම ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන්නට කොරෝනා වසංගතයෙන් අවුරුදු දෙකක් තිස්සේ ඉඩක් නොලද බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ ජනතාව හමුවේ එක්තරා පොරොන්දුවක් විය. එසේ අතපසු වූ සියලූ වැඩකටයුතු ඉදිරි අවුරුදු තුන තුළ කර අවසන් කරන බවට ඔහු සපථ විය. ඒව තිර අදිටනකින් යුතුව කරන ලද ප‍්‍රකාශයක් ලෙස රටේ බහුතරයකට තහවුරු විය. විපක්ෂයෙන් ඒ සම්බන්ධයෙන් ද නොයෙකුත් චෝදනා හා විවේචන නැගෙන්නට වූහ.

තත්ත්වය මෙසේ තිබියදී පසුගිය 15 වන සෙනසුරාදා තවත් අලූත් දෙයක් විය. ඒ වූ කලී අපේ රටේ අධිවේගී මාර්ග පද්ධතියේ තවත් දිගුවක් වූ උතුරු හා මධ්‍යම අධිවේගයේ ඉතා සුවිශේෂී කොටසක වැඩ නිමවා ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයයි. මෙම අධිවේගී මාර්ග කොටස මීරිගම සිට කුරුණෑගල දක්වා වැටී තිබිණි. මංතීරු හතරක් ඔස්සේ දේශීය තාක්ෂණයෙන් හා දේශීය මුදල්වලින් ඉදි කෙරුණු මෙම මාර්ග කොටස සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කතා කළේ මහත් ආඩම්බරයෙනි. කිලෝමීටර් හතළිස් ගණනක් වූ මෙම මාර්ග කොටසින් කිලෝමීටර් 10 කට වැඩි ප‍්‍රමාණයක් කණු මතින් ඉදිවූ පාලම් සේ නිමවා තිබීම විශේෂත්වයක් ගත්තේය. ප‍්‍රදේශයේ ස්වාභාවික පරිසරය හා සොබා සුන්දරත්වය ආරක්ෂා වන සේ නිමවා තිබෙන මෙම කොටස අපේ රටේ අධිවේගී මාර්ග පද්ධතිවල අලංකාරම කොටස බව බොහෝ දෙනකුගේ පිළිගැනීමයි.

මීරිගම ප‍්‍රදේශය කෝකිලා ගුණවර්ධනගේ දේශපාලන බල ප‍්‍රදේශය බැවින් ප‍්‍රසන්න රණතුංගගේ මගපෙන්වීම මත මීරිගම අධිවේගී මාර්ග උත්සවය සංවිධානය කර තිබුණේ කෝකිලා ය. ඕ දහසකට අධික මහ සෙනගක් මෙම උත්සවයට සියලූ කොවිඞ් මර්දන නීතිරීතිවලට අනුකූලව එක් රැස් කරවා ඔවුන්ට නිසි පරිදි ආහාර පාන ද සපයා දී තිබිණි.

හරියටම සවස 4 වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීරිගම අධිවේගී පිවිසුමට පැමිණියේය. ඒ සමගම අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, නාමල් රාජපක්ෂ මහතාත් එහි පැමිණියහ. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු තවත් මහජන නියෝජිතයින් පිරිසක් ඒ වන විටත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බලාපොරොත්තුවෙන් එහි රැඳී සිටියහ.

කෝකිලා මෙහෙයවූ උත්සව සභාවේ වැඩකටයුතු ඉතා ඉක්මනින් අවසන් විය. නාමල්ට මීරිගම තරුණ පිරිස ගෙන් සෙල්ෆි ඡා යාරූප ගැනීමට ආරාධනා ලැබිණි. නාමල් ජනාධිපතිවරයාගේ මුහුණ බලද්දී ජනාධිපතිවරයා ඊට අවසර දුන්නේ සිනාමුසු මුහුණෙන් සංඥාවක් කරමිනි.

අගමැතිවරයාගේ සුරතින් අධිවේගී පිවිසුමේ සමරු ඵලකය නිරාවරණය විය. මේ සෑම අවස්ථාවකම ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා, අගමැතිවරයා ආසන්නයේම රැඳී සිටියේය.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එක්ව පීත්ත පටිය කපා මාර්ගය ජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව පිරිස අධිවේගී මාර්ගය ඔස්සේම කුරුණෑගල සංවිධානය කර තිබූ උත්සවය සඳහා සහභාගිවීමට පිටත් වූහ. ජනාධිපතිවරයාට එක වාහනයකුත් අගමැතිට හා නාමල්ට තවත් වාහනයකුත් වෙන්ව තිබිණි.

තම වාහනයේ ඉදිරිපස රියදුරෙක් සිටින බව දුටු ජනාධිපති නාමල්ට අනික් පසින් පැමිණ රියදුරු අසුනේ අසුන් ගන්නැයි කීවේය. උසට මහතට සිටි ප‍්‍රසන්නටත් ජනාධිපති කතා කළේය.

”ඔයත් මේකටම එන්න… අගමැතිතුමාගේ වාහනේ ජොනී ගන්න…”

වාහන ගමන් ඇරඹීමත් සමග අගමැතිවරයා ”කෝ අපේ ප‍්‍රසන්න”යි ජොන්ස්ටන් ඇමැතිවරයාගෙන් විමසුවේ ආපසු හැරී පිවිසුම දෙස බලන අතරේයි.

”ප‍්‍රසන්න ඇමැතිතුමා ජනාධිපතිතුමාගේ වාහනයට නැග්ගා.”

”ආ… කමක් නැහැ. කමක් නැහැ. මං බැලූවේ කෝ කියලා” අගමැතිවරයා කීවේය.

අගමැති අධිවේගයේදී
ප‍්‍රසන්නව හොයලා…

හැටනව ලක්ෂයක් පක්ෂ වුණාට පනස් දෙකක් විරුධයි ලු…

ඒ සමගම ආරක්ෂක රථ පසු කරමින් අගමැතිවරයා ගමන් ගත් වාහනය වේගයෙන් ඉදිරියට ගෙන ගිය ජොන්ස්ටන් ඇමැතිවරයා ජනාධිපතිවරයා ගමන් ගත් වාහනයට සමාන්තරව අගමැතිවරයාගේ වාහනයද ධාවනය කළේය. ඒ අතරතුර ප‍්‍රසන්න ඇමැතිවරයාට අතින් සංඥා කළේ වාහනයේ වීදුරුව පහත් කරන ලෙසයි.

”අයියාට මොකක් හරි කියන්න යන්නේ” යි නාමල් ඇමැතිවරයා කීමත් සමග ජනාධිපතිවරයා ද එදෙස බැලූවේ එය අනුමත කරමිනි.

ප‍්‍රසන්න ඇමැතිවරයා වාහනයේ වීදුරුව පහත් කළේය. ඒ සමග ඇමැතිවරයා දුටු අගමැතිවරයා සිනහසුනේ ”ආ ඔය ඉන්නේ” කියන්නා සේය.

ප‍්‍රධාන වාහන දෙක ඉදිරියෙනුත් සෙසු වාහන සියල්ල පිටුපසිනුත් ගමනාරම්භ කළහ. මගතොට රැස්ව සිටි ජනතාවට අත වනමින් මගතොට සිරි විමසා බලමින් එම කිලෝමීටර් 40 යන්නට ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් තරමක් වේලා ගත විය.

ජොන්ස්ටන් සංවිධානය කර තිබූ කුරුණෑගල උත්සව බිමේ දී අධිවේගයෙන් පැමිණි වාහන සියල්ල ජනතාව විසින් පිළිගනු ලැබුවේ රබන් වයමින් සීපද කියමිනි. එහි ඉතා අලංකාර උත්සවයක් සංවිධානය වී තිබිණි.

නියමිත ගාස්තුව ගෙවා ගමන හමාර කළ ජනාධිපතිවරයා ඇතුළු පිරිස උත්සව සභාවට පැමිණියේ ජය ඝෝෂා මධ්‍යයේය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප‍්‍රධාන මහා සංඝරත්නය ප‍්‍රමුඛව සර්ව ආගමික පූජා ප‍්‍රසාදීන් වහන්සේලාගේ සෙත් පැතුම් හා සුභ පැතුම් මධ්‍යයේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් උත්සව සභාවට එක්වූහ. රැකව ජිනරතන හිමියෝ පිළිගැනීමේ කතාව කරනු ලැබූහ.

”එක් එක්කෙනා එක එක පද හදාවි. ඒ පදවලට නටාවි. කවුරු නැටුවත් ඔබතුමන්ලා කලබල වෙන්න එපා. ඒ මොකද ඔබතුමන්ලා රට බේරාගෙන රටට වැඩ කරපු මිනිස්සු. මේ රටේ ජීවිත හැට නව ලක්ෂයක් රටේ වගකීම ඔබතුමන්ලාට භාර දීල ඉවරයි. ඒක හයෙන් පහක බලයක්. නොසැලී ඉදිරියට යන්න…”

මේ කතාව යන අතරේ ජනාධිපතිවරයා බලා සිටියේ කුරුණෑගල අධිවේගී මාර්ග පිවිසුමේ සටහන් කර ඇති නම දෙසය.

”සෞභාග්‍යයේ මංපෙත් විප්ලවය, ඇතුගල්පුර පිවිසුම” යනුවෙන් එහි සඳහන්ව තිබිණි.

ඉන්පසුව කතා කළේ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයාය.

”අපි මේ අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු පටන් ගත්තේ 2014 දී. ඒත් පහුගිය ආණ්ඩුව එක නතර කරල දැම්මා. අපි ආවට පස්සෙ ආයෙත් පටන් ගෙන තමයි දැන් එක කොටසක වැඩ ඉවර කළේ. ඉතිරි කොටස් ටිකේත් වැඩ ඉවරකරලා 2024 දී අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි මේවා කරනකොට විවිධ විවේචන ආවා. සමහරුත් බලා බලා හිටියා මේ අවුරුද්දේ අපිට රට ගෙනියන්න බැරිවෙයි කියලා. රට ජනවාරි 15 දා බංකොලොත් වෙලා කඩා වැටෙනව කියලා අනාවැකි කිව්වා. ඩොලර් මිලියන 500යේ ණය ආපහු ගෙවාගන්න බැරි වෙයි කියලා කිව්වේ. අපි එයත් ගෙව්වා. එදාම අපි මේ අධිවේගයත් මේ දැන් විවෘත කරනවා.”

ජොන්ස්ටන්ගේ කතාවෙන් පසුව අගමැතිවරයා කතා කළේය.

”අපි මේ අධිවේගී මාර්ග හදන්න පටන් ගත්තෙ දෙදහස් පහේදී. එදා මම දක්ෂිණ අධිවේගය හදන්න යනකොට මඩු පාර හදලා දෙන්න කියලා ඉල්ලීමක් ආවා. මම මඩු පාර හදලා දුන්නා. හැබැයි මඩු පාර විවෘත කරන්න මට යන්න දුන්නේ නෑ. ඒකට එල්ටීටීඊ එකෙන් අවසර ගන්න ඕන කියලයි කිව්වේ…

කොටි අවසර ගන්න
මහින්ද බෑ කියලා…

එයාලගෙන් අවසර අරන් මම ඒ ගමන ගියේ නෑ. කවදහරි දවසක එල්ටීටීඊ එක විනාශ ම කරලා ඉවරවෙලා මම ඒ ගමන යනවා කියලා හිතා ගත්තා. අන්න එහෙමයි අපි අධිවේගී මාර්ග හදන්න පටන් ගත්තෙ. අපි මේව හදනකොට විපක්ෂය එක එක කතා කිව්වා. බැන්නා. බැණ බැණ මේකෙම ගියා.” අගමැතිවරයා කතා කිරීමෙන් පසුව ජනාධිපති කතා කරමින් ජොන්ස්ටන්ට ස්තුති කළේය.

දේශීය සමාගම් මේ මාර්ග හදද්දි කැපකිරීම් කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කොවිඞ් නිසා ද ඉදිකිරීම්වලට අති විශාල බාධා සිදු වූ බව පෙන්වා දුන්නේය.

”අපි මේ මාර්ගය අනුරාධපුරයට හා නුවරට දීර්ඝ කරනවා. පවිත‍්‍රා මගෙන් හැමදාම අහනවා රත්නපුරයට කවදද සර් අධිවේගයෙන් අපි යන්නේ කියලා. මම එතුමියට කියනවා වැඩි දවසක් යන්නෙ නෑ…”

”ලබන මාසේ අපි වැඩ පටන් ගන්නවා…” ජොන්ස්ටන් කීවේය.

”අන්න ඒකයි… ජොන්ස්ටන්ල වගෙ කාර්යශූර ඇමැතිවරු ඉද්දි අපිට මේ වගේ වැඩ ගැන බයවෙන්න දෙයක් නෑ… ජොන්ස්ටන්ලා නිසා මේ වගේ වැඩ අපිට කජු කනවා වගේ පහසුයි… ඒ විතරක් නෙවෙයි ඉදිරි අවුරුදු දෙකහමාර ඇතුළත අපි මේ අධිවේගී මාර්ග සියල්ලේම වැඩ අවසන් කරලා ඉවර කරනවා. හැටනව ලක්ෂයකගේ බලාපොරොත්තු අපි ඉෂ්ට කරනවා.

කොවිඞ් නිසා අපිට ගොඩක් අභියෝග ආවා. අපට ප‍්‍රශ්න ඇති වුණා. මේක ගෝලීය වසංගතයක් කියලා අපේ විපක්ෂය තේරුම් ගත්තෙ නෑ. ඒගොල්ලොත් දිගටම දේශපාලනය කළා. අද අපි ඒ ප‍්‍රශ්න ජය අරගෙන ඉවරයි. කොවිඞ් නිසා වහපු දේවල් දැන් ඇරීගෙන ඇරීගෙන යනවා. වහපු හෝටල් ඇරිලා. සංචාරකයෝ එනවා. අපිට කරන්න බැරිව ඉතුරු වුණු දේවල් කරන්න ඉදිරි අවුරුදු තුන හොඳටම ඇති. අපි ඒක කරනවා. මාධ්‍ය වුණත් අපට සහාය දෙනවට වඩා විපක්ෂයට සහයෝගයක් දුන්නා. විවේචනවලට වැඩි ඉඩක් දුන්නට කමක් නෑ. හැබැයි ජනතාව බය කරන විදියේ ප‍්‍රචාරවලට ඉඩ දෙන්න හොඳ නෑ. විවේචන කරන අතරම මේ කෙරෙන සංවර්ධන වැඩ කටයුතු ගැනත් කතා කරන්න මාධ්‍යවලට යුතුකමක් තියෙනවා.

අපි සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන දහයක් බලාපොරොත්තු වුණා. නමුත් ඒකේ ප‍්‍රතිඵලය බින්දුවට වැටුණා. එහෙම වුණාම මේ වගේ දුෂ්කරතා අපට ඇති වෙනවා. ඒ පරිචඡේදය දැන් ඉවරයි. දැන් සංචාරකයෝ එනවා. දකුණේ හෝටල් පිරිලා.

හැට නව ලක්ෂයක් අපට ඡුන්ද දුන්නට තවත් ලක්ෂ පනස් දෙකක් අපට විරුද්ධව ඉන්න බව ඉන්න බව අමතක කරන්න හොඳ නෑ. ඒ අයගේ හඬ තමයි දැන් ප‍්‍රබලව ඇහෙන්නේ. දේශපාලනයේ හැටි ඔහොම තමයි.

මම සිරිපාල ගම්ලත් ගෙන් ඇහුවා ඔයාල වී ගන්නෙ කීයටද කියලා. තෙත වී අසූවක් වියළි වී අනූවක් විතර මිලකට ගන්නවා කියලා කිව්වා. ඒත් සල්ලි යන්නේ ගොවියට විත්තිය අමතක කරන්න හොඳ නෑ. සෑම කෘෂි නිෂ්පාදනයකම මිල ඉහළ ගිහින් තියෙනවා කියන්නේ ගොවියට සල්ලි යනවා කියන එක.

රජය අනිත් අයටත් හැකි ඉහළම ආකාරයට සැලකුවා. මොන ප‍්‍රශ්න ආවත් රජයේ සේවකයන්ගේ වැටුප්වලට අත තිබ්බේ නෑ. අපිට පුළුවන් විදියට අපි අපේ ජනතාව බලා ගත්තා.”

ජනාධිපතිවරයාගේ කතාව තනිකරම අපේක්ෂා සහගත ධනාත්මක සිතුවිලිවලින් පිරුණු කතාවක් විය. එම කතාවත් සමග උත්සවයේ කතාබස් අවසන් වූ අතර ඉන් පසුව සතුටු සමාලෝචන කතාබහක් ඇති විය.

අධිවේගය විවෘත කිරීම නිමිත්තෙන් නාමල් රාජපක්ෂ පාපැදි තරගයක් ද සංවිධානය කර තිබිණි.

දස වැනි ඉරිදා ජනාධිපතිවරයා රත්නපුර මහ සමන් දේවාලයට ගියේය. එහිදී ජනාධිපතිවරයා පිළිගන්නට පවිත‍්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, ජානක වක්කුඹුර, ගාමිණී වලේබොඩ, අකිල එල්ලාවල ඇතුළු දේශපාලනඥයෝ රාශියක් පැමිණ සිටි අතර, මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා ද ජනාධිපති පිළිගන්නට එක් විය.

මහ සමන් දේවාලය වැඳපුදාගත් ජනාධිපතිවරයා ඉන්පසුව බස්නායක නිලමේවරයාගේ නිල නිවස්නයේ දී ප‍්‍රදේශයේ දේශපාලනඥයන් සමග සාකච්ඡා වක් ද පවත්වනු ලැබීය.

සමන් දේවාලයේ වැඩකටයුතු ඉතා කෙටි වේලාවකින් හා ඉක්මනින් අවසන් විය. ජනාධිපතිවරයාට හදිසියේ තවත්
ගමනක් යන්නට අවශ්‍ය විය.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඊළඟට ගියේ කූරගල විහාරස්ථානයටයි.

කූරගල බොහෝ ප‍්‍රශ්න තිබුණු තැනක් වුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතා සංයමයෙන් යුතුව මුස්ලිම් ජාතිකයින් හා ඉස්ලාම් ආගමිකයින් හා සාකච්ඡා කරමින් ගැටුමකින් තොරව ප‍්‍රශ්නය විසඳා ගන්නට සමත් විය. ඒ අනුව කූරගල පුදබිමේ බෞද්ධයන්ට අයත් උරුමයන් ආරක්ෂා විය.

කූරගල පුදබිමේ ඉදිකිරීම් ආරම්භ වූයේ ඉන් පසුවයි. ජනාධිපතිවරයා එදින එහි ගියේ ඊට පසු දා පෝය දිනට යෙදෙන කූරගල පුදබිමේ ආගමික උත්සව ගැන තොරතුරු හා වග විස්තර නිරීක්ෂණය කිරීම සඳහාය.

17 වැනිදා හෙවත් පෝය දිනය ජනාධිපතිවරයා ආගමික වතාවත්වලට කාලය මිඩංගු කරමින් ඉතා විනෝදයෙන් කල්ගත කළේ යැයි කීවාට වරදක් නැත.

2022 අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් විවෘත කිරීමට යෙදී තිබුණේ 18 වැනි දා උදේ 10.00 ටය. ඒ සඳහා සහභාගී වන්නට ජනාධිපති උදේ 9.30 වන විට පාර්ලිමේන්තුවට ගියේය. ජනාධිපතිවරයාට කලින් අගමැතිවරයා ද පැමිණ සිටියේය. අගමැති මහින්ද රාජපක්ෂ ද පසුගිය ජනවාරි පළවැනිදා කතරගම ප‍්‍රදේශයේ පැවති පුද සත්කාර හා ආගමික උත්සවවලින් පසුව ඉතාමත් උද්යෝගිමත්ව දේශපාලන කටයුතු වලට සම්බන්ධ වී සිටින ආකාරයක් දැකගත හැකි විය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රධාන ද්වාරය අසල දී පිළිගත්තේ කථානායකවරයා හා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසිනි. ඉන්පසුව පාර්ලිමේන්තුවේ ඉහළ මහලේ දී නාවල ජනාධිපති බාලිකා විදුහලේ සිසුවියන් විසින් ජයමංගල ගාථා කියමින් ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

පැළඳුම් කාමරයට ගොස් ටික වේලාවකින් පසුව යළිත් එළියට පැමිණි ජනාධිපතිවරයා සභාගැබ ආසන්නයේදී දිනේෂ් ගුණවර්ධන හා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් පිළිගනු ලැබූහ.

වසරේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාගැබට පිවිසියේය. රාජාසන කතාව සඳහා ප‍්‍රධාන අසුනේ අසුන්ගත් ජනාධිපතිවරයා හරියටම දහයට සිය කතාව පටන් ගත්තේය.

ජනාධිපතිවරයාගේ කථාව දෙස වඩාත් විමසිල්ලෙන් බලා සිටියේ විපක්ෂයයි. ජනාධිපති කවර අන්දමේ කතාවක් කළත් එය පාර්ලිමේන්තුවේ දී දැඩි ලෙස විවේචනයට ලක් කළ යුතු බව විපක්ෂයේ එකඟතාවය විය. ඒ වන විට ඒ බැව් ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට ආරංචි වී තිබිණි. එපමණක් නොව, රාජාසන කතාවෙන් පසුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විෂයෙහි පවත්වනු ලබන තේ පැන් සංග‍්‍රහය වර්ජනය කරන්නට ද ඒ වන විට විපක්ෂය පොදු තීන්දුවක් ගෙන තිබිණි. ඒ බැව් ද ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයාට වාර්තා වී තිබිණි. ජොන්ස්ටන් එම ආරංචියෙන් අගමැතිවරයා දැනුවත් කර තිබිණි.

ජනාධිපතිවරයා පැයකට ආසන්න වෙලාවක් කතා කළේය. ඔහුගේ කතාව සත්‍ය වශයෙන්ම වර්තමාන අර්බුදය පැහැදිලි කිරීමක් ම විය. එහෙත් විපක්ෂය ඊට වඩා දුර දිග ගිය කතාවක් ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වූ බවට ඔවුන් පසුව කළ ප‍්‍රකාශවලින් හා හැසිරීම්වලින් අනාවරණය විය. එහෙත් සැසිවාරයක් ආරම්භයේ කරන රාජාසන කතාවෙන් කවර විප්ලවයක් හෝ කවර ආශ්චර්යක් බලාපොරොත්තු වන්නට දැයි කියා සිතන පිරිසක් ද මේ අතර සිටියේ නැතුවාම නොවේ.

පාර්ලිමේන්තු සැසියේ ඉදිරි වැඩකටයුතු බදාදා පස්වරුව දක්වා කල්තබනු ලැබීය.

ඒ අතර සියල්ලන්ටම විශේෂ තේ පැන් සංග‍්‍රහය සඳහා ආරාධනා කර තිබිණි. විපක්ෂයේ මන්ත‍්‍රීවරු කතා කරගත් පරිදි ඒ පෙදෙසට ගියේවත් නැත.

කෙසේ වෙතත් අවසානයේ කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා පමණක් තනිව තේ පැන් සංග‍්‍රහය තිබෙන්න ශාලාව වෙත පැමිණ සිටියේය…

”විපක්ෂයේ කට්ටිය අද මේක වර්ජනය කරලා තිබුණට ඔබතුමා ආව එක ලොකු දෙයක්… ඒකෙන් පේනවා ඔබතුමා ඉන්නේ විපක්ෂයත් එක්ක නෙවෙයි අපිත් එක්ක කියලා…” ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු ඔහුට විහිළු කරන්නට පටන් ගත්තේ එසේය.

”නෑ නෑ මම ඔය කාත් එක්කවත් නෑ… මම ඉන්නේ ජනතාවත් එක්ක…” වෙල්ගම කීවේය.

ඉතින් ඒගොල්ලො ඔබතුමාටත් එන්න එපා කියලා කිව්වේ නැද්ද…

”කවුරුත් දන්නවනේ මම ඔය එක එකාගේ පදයට නටන්නේ නැති බව…” කියමින් කුමාර වෙල්ගම රජයේ ප‍්‍රධාන මැති ඇමැතිවරු සිටින පැත්තට ගියේය.

ආණ්ඩුවට වැරෙන් ගහන්න
සජබයෙන් යෝජනාවක්….

සමගි ජන බලවේගය ඇතුළාන්තයේ පසුගිය දිනවල විවිධ සාකච්ඡා ඇතිවිය. විපක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුව සමග වැඩ කිරීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රියා පිළිවෙත ගැන සජිත්ගේ දැක්ම වෙනස් එකක් විය. හැකි තරම් වේගයෙන් ආණ්ඩු පක්ෂයේ වැඩකටයුතු විවේචනය කළ යුතු බව ඔහුගේ අදහස් විය.

වාද විවාදවලදී ආණ්ඩු පක්ෂය ආරක්ෂා කර ගැනීමට දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කථිකයන්ගෙන් වත් විමල්, වාසු, උදය වැනි ප‍්‍රබල කථිකයන්ගෙන් වත් සහයෝගයක් නොලැබෙන බැවින් තම කථිකයන්ට ඉදිරියේ දී ඉතා පහසුවෙන් එය කළ හැකි වේ යැයි සමගි ජනබලවේගයේ බොහෝ දෙනකු විශ්වාස කළහ.

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම් දෙකක් පැවැත්වුණි. පාර්ලිමේන්තු සතියේදී කටයුතු කළ යුතු ආකාරය ගැන එක් සාකච්ඡා වකදී කතා බහට ලක්විය.

ජනාධිපති එයා ඒවාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය වගේ මෙවර රාජාසන කතාව කරන්න හිතා ගෙන ඉන්න බවයි පේන්නේ. අපි එතෙන්දි අනුගමනය කරන ස්ථාවරය මොනවගේ එකක් විය යුතුද ….. සජිත් ප‍්‍රශ්න කළේය.

ජනාධිපති වැඩ කරන්නේ හිතුවක්කාරයෙක් වගේ…. එයා එක පාරටම පාර්ලිමේන්තුව වහලා දැම්මා. එයාට අලූතින් විවෘත කරන දෙයක් නෑ. මේක උත්සවාකරයෙන් විවෘත කරන්න තියෙන දෙයක්ද… ඉරාන් වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කළේය.

‘‘ඉරාන් මන්ත‍්‍රීතුමා කියන කතාව ඇත්ත. අපි කණ්ඩායමක් විදියට පාර්ලිමේන්තුව රැස්වන දවසේ උදේ හමුවෙලා තීරණයක් ගනිමු. සජිත් තීරණය ගැනීමේ වගකීම පාර්ලිමේන්තු කණ්ඩායමට පැවරුවේය.

ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වූ දිනයේ උදෑසන කණ්ඩායම් රැස්වීම පැවැත්විණි.

‘‘අපි පාර්ලිමේන්තුව වර්ජනය කරන්න ඕන නෑ. මේ වෙලාවේ ජනතාවගේ ප‍්‍රශ්න ගැන කතාකරන්න පාර්ලිමේන්තුව පැවැත්වීම වැදගත්’’.. සජිත් කීවේය.

එහෙත් ජනාධිපතිවරයා විසින් ලබාදෙන තේ පැන් සංග‍්‍රහය වර්ජනය කිරීමට මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කළේය.

මහින්දගේ අඩිපාරේ
දයාසිරි යන්න කැමතියි

හැටනව ලක්ෂයක් පක්ෂ වුණාට පනස් දෙකක් විරුධයි ලු…

පසුගිය 19 දා අගමැති මහින්ද රාජපක්ෂ කොළඹ ප‍්‍රධාන පෙළේ හෝටලයක පැවති මංගල උත්සවයකට සහභාගි වන්නට ගියේය. ඒ වන විටත් එහි දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් හා කලාකරුවන් රැසක් පැමිණ සිටියහ.

බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, දයාසිරි ජයසේකර, කරු ජයසූරිය, වජිර අබේවර්ධන අගමැති දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන අයද ඒ අතර වූහ.

බන්දුල, විමල්, දයාසිරි අමාත්‍යවරුන් තැනක කතා බහක සිටියදී ‘‘ආයුබෝවන්!” කොහොමද ඔබතුමාලට” අසමින් වජිර අබේවර්ධන එතැනට ලංවිය.

‘‘බන්දුල ඇමැතිතුමා ! මෙයා පහුගිය දවසක එළවළු ටිකක් පෙන්වමින් බඩු මිල ගැන කතා කළා. මේ අයගෙ කාලෙ ගැන අමතක වෙලා වගේ” කියමින් ඇමැති විමල් බන්දුලට කීවේ වජිර පෙන්වමිනි,

‘‘ඔය බඩු මිල වැඩි වීම් තාවකාලිකයි. අත්‍යවශ්‍ය බඩුවල මිල අඩු වේවි. එතකොට ඔයාල ඒකත් මාධ්‍යට පෙන්නනවද? බන්දුල ඇසුවේය.

‘‘ලෙඩෙකුට සුප් එකක් හදල දෙන්න මම බඩු ටිකක් ගන්න ගිය වෙලාවෙ තිබුණු බඩු මිල ගැන මම කිව්වෙ.” වජිර සිනාසෙමින් කීවේය.

‘‘අද කියන කතා හෙට ගැන හිතල පරිස්සමින් කරන්න ඕනෑ. ඒ දවස්වල කළ සමහර කතා සමාජ මාධ්‍යවල දැන් මතු කරන කොට කොහොමද? කුමාරසිරි හෙට්ටිගේ කියද්දී ‘‘ඔව්! ඔව් ඒක ඇත්ත මටත් එහෙම වෙලා තියෙනව. මට මතක හැටියට අගමැතිතුමාටත් එක වතාවක් එහෙම වුණා.” දයාසිරි දේශපාලන වේදිකාවේ අතීත මතක සටහන් සිහිපත් කරමින් කීවේය.

‘‘යූ එන් පිය කියන ඒවා දැන් මිනිස්සු ගණන් ගන්නෙ නෑ. එක මන්ත‍්‍රී ආසනයකට බැහැලනේ තියෙන්නෙ.” විමල් කීවේය. වේග රිද්ම සංගීත රාවය උත්සව ශාලාවේ සිටි අයගේ සුහද කතා බහට තරමක බාධාවක් වුවත් අගමැතිවරයා තමා ළඟට පැමිණි බොහෝ දෙනාට ඉතා ලෙන්ගතුව කතා බහ කළේය.”

‘‘සර් ශබ්දය වැඩි වගේ නේද ? ගොඩක් මංගල උත්සව වල මෙහෙම තමයි. අනිත් එක මුව ආවරණත් දා ගෙන කතා කරනව කියන්නෙ හරි අමාරු වැඩක්.” කුමාරසිරි හෙට්ටිගේ කීවේ අගමැතිවරයාට වතුර වීදුරුවක් ද දෙමිනි.”

‘‘මේ දවස්වල ගොඩක් මංගල උත්සව තිබුණ. ඒ තැන්වලත් ශබ්දයේ අඩුවක් නෑ. අගමැතිවරයා සිනා සෙමින් කීවේය.

‘‘දයාසිරි ඇමැතිතුමා කියන්නෙ එතුමා සර්ගෙ අඩි පාරෙ යනව කියල.” හෙට්ටිගේ කතාව වෙනතකට යොමු කරද්දී ‘‘ආ එහෙමද? බොහොම හොඳයි. හැබැයි පරිස්සමින්” අගමැතිවරයා ඊට සිනා සෙමින් ප‍්‍රතිචාර දැක්වීය.

‘‘සර්ගෙ දේශපාලන ජීවිතයෙ සමහර දේවල් මගේ දේශපාලන ගමනට අත්දැකීම් හැටියට ගත්ත. ඒක මං හැමදාම කියනව අනිත් එක සර් වගේ නායකයෙක් ගිය අඩි පාරේ ගමන් කළාට මොකද වෙන්නේ.” දයාසිරි ජයසේකර කීවේය.

අනුගාමිකයෙක් නොවී නායකයකු වෙන එකයි හොඳ… අපේ තියන හොඳ දේවලූත් අරගෙන වැරදිත් හදාගෙන පුළුවන්නම් අපට වඩා දුර දිග ගමනක් යන්න. අන්න ඒක තමයි උතුම්ම දේශපාලන ගමන වෙන්නේ….’’ අගමැති කීවේය.

‘‘අපි ඉතිං සුභපතුමු එයාට…..’’ එතන සිටි දේශපාලනඥයෝ කියන්නට වූහ….

රාජාසන කතාවත්
ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක්….

පසුගිය අඟහරුවාදා නව පාර්ලිමේන්තු සැසිවාරය පටන්ගැනීමත් සමඟම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කරන ලද රාජාසන කතාව ආණ්ඩුවේ බොහෝ දෙනෙක් භාරගත්තේ එක්තරා අන්දමක ආණ්ඩුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් කළ පසු විපරමක් ලෙසය.

එහෙත් සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය හා පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂයේ පක්ෂ එම කතාව ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ලෙස භාරගත් බවට සැකයක් නැත. කෙසේ වෙතත් සමගි ජන බලවේගය නම් මුල පටන්ම සිටියේ මේ අවුරුද්ද පටන් ගැනීමේ සිටම ආණ්ඩුවේ වැඩකටයුතු කෙරෙහි තම ප‍්‍රතිරෝධය හා විවේචන වඩාත් වේගවත් කිරීමේ ප‍්‍රතිපත්තියක ය. ඒ සඳහා ස ජ බ මන්ත‍්‍රීවරුන් ලොකු සූදානමක සිටි බවද පසුගිය සතියේ පැහැදිලි විය. රාජාසන කතාවෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ කථානායක මහින්ද යාපාගෙන් කළ ඉල්ලීමකට අනුව රාජාසන කතාව සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් ලබාදෙන්නට රජයේ එකඟත්වය පළ විය. 19 හා 20 දෙදින තුළ මෙම විවාදය පවත්වන්නට කථානායකවරයා තීන්දු කළේය.

මෙම විවාදයේ දී රනිල් වික‍්‍රමසිංහ අදහස් දක්වනු ලැබුයේ 20 වෙනි බ‍්‍රහස්පතින්දාය. රටක් දියුණු කළ හැක්කේ පුද්ගලානුබද්ද දේශපාලනයෙන් නොව ප‍්‍රතිපත්තිය මූලික කොටගත් දේශපාලනයෙන් බව පෙන්වා දෙමින් රනිල් වික‍්‍රමසිංහ සිය කතාව ඉදිරිපත් කළේය…

‘‘අපට අවශ්‍ය වැටුණු ආණ්ඩුව නඟාසිටුවන්න නෙවෙයි… වැටුණු ජනතාව වැටුන මිනිස්සු ගොඩගන්න… අන්න ඒ නිසයි අපි මෙහෙම කතා කරන්නේ…” රනිල් සිය කතාව අවසානයේ කීවේය…

රනිල්ගේ කතාව විපක්ෂයේ අන් අයගේ කතාවලට වඩා කැපී පෙනෙන එකක් විය….

විවාදයේ දී කතා කළ සමගි ජන බලවේගයේ තරුණ පිළේ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනකු ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් සිය තර්ක විතර්ක ඉදිරිපත් කළා පමණක් නොව, ජනාධිපතිවරයා බොරු කීවේ යැයි කියමින් ඔහුට ප‍්‍රසිද්ධියේ බැන වදින්නට පවා පසුබට වූයේ නැත. විශේෂයෙන් මුජිබර් රහුමාන් වැන්නන් සුපුරුදු කලහාකාරී විලාසය පාර්ලිමේන්තුවේ දී ද පෙන්නුම් කරමින් ජනාධිපතිවරයාගේ කතාව බරපතළ ලෙස අපහාසයට ලක් කර සිටියේය.

ඒ සියලූ කතාවලට වඩා ඉතා පරිණත කතාවක් ලෙස රනිල් වික‍්‍රමසිංහගේ කතාව එම විවාදය තුළ කැපී පෙනෙන්නට විය.

රනිල් කතාව නිම කර වාඩිවෙද්දීම විපක්ෂයේ මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක්ම පැමිණ ඔහුට සුබ පැතුවේ… කාලෙකට පස්සේ විපක්ෂයෙන් අහපු හොඳම කතාවක් යැයි කියමිනි. නායක රනිල් පාර්ලිමේන්තු ලොබියට පැමිණෙද්දී එහි සිටි මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු ඔහු හා කතාවට පැමිණි අතර ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු ද ඒ අතර වූහ.

‘‘කාක්කෙකු ඉගිල යන විදියත්, හංසයකු ඉගිලී යන විදියත් පාර්ලිමේන්තුවේ අද උදේ විපක්ෂයේ කතා අහගෙන ඉ`දිද්දි අපට දකින්න ලැබුණා.” ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරයකු නායකයාට කීවේ සිනාසෙමිනි.

‘‘ඔබතුමා කියූ දේ හැමදාම ඇත්ත වුණා. ආණ්ඩුවෙත් බොහෝ දෙනකු කියන්නේ ඔබතුමා කියූ ලෙස අයි.එම්.එෆ්. ගියා නම් මේ ප‍්‍රශ්න එන්නේ නැහැ කියලායි. ප‍්‍රතිපත්ති දේශපාලනය තමයි අද රටට අවශ්‍ය වන්නේ.” මන්ත‍්‍රීවරයකු කීවේ නළල රැළි කරමිනි.

‘‘අපිට වගේම පකිස්තානයටත් ඩොලර් ප‍්‍රශ්නය ආවා කොවිඞ් නිසා. හැබැයි පකිස්තානය අයි.එම්.එෆ්. ගිය නිසා ප‍්‍රශ්නය විස`දා ගන්න ඔවුන්ට හැකිවුණා. අපි අපේ මට්ටමින් බලන්නේ නැතුව රට පැත්තෙන් බලලා තීන්දු ගන්න ඕනේ. ප‍්‍රතිපත්ති දේශපාලනයේ අගය මම කියන්නේ ඒක නිසයි.” එසේ කියමින් නායකයා පිරිස අතරින් නික්ම ගියේය. නායකයා අනතුරුව කෙලින්ම ගියේ විවාහ මංගල්‍යයකට සහභාගි වීම සඳහාය.

බ‍්‍රහස්පතින්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගම්පහ දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන කීපයකට ගියේය. ඒ අතර ජනාධිපති කාර්යාලයයේදී භික්ෂූන් වහන්සේලා පිරිසක් හමුවන්නට ද වැඩසටහනක් යොදාගෙන තිබිණි.

දිවයින පුරා තිබෙන දුෂ්කර ප‍්‍රදේශවල අඩු ආදායම්ලාභී විහාරස්ථාන ගැන අධ්‍යයනයක් කර ඒවාට අතහිත දීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරන්නට ජනාධිපතිට අවශ්‍ය විය. ඒ ස`දහා ගන්නා මූලික පියවරක් ලෙස මුලින්ම යොදා ගත්තේ දිවයින පුරා තිබෙන මෙවන් විහාරස්ථානවලින් නායක ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළඹට ගෙන්වාගෙන උන්වහන්සේලා හා සාකච්ඡා කර අඩුපාඩු සොයා බැලීමයි.

ජනාධිපතිවරයා බියගම හා වැලිවේරිය ප‍්‍රදේශයේ විහාරස්ථාන දෙකකට ගොඩවන්නට කල්පනා කළේ ඒ අතරතුරය.

ජනාධිපතිවරයා මුලින්ම ගියේ වැලිවේරිය නාරන්වල ශ‍්‍රී බෝධිරුක්ඛ මහා විහාරයේ පැවැත්වෙන රාමඤ්ඤ නිකායේ හැත්ත දෙවැනි උපසම්පදා උළෙලට සහභාගි වන්නටය. රාමඤ්ඤ නිකායේ මෙම උත්සවයට අග‍්‍රාමාත්‍යවරයාට සහභාගි වන්නට මුලින් යොදාගෙන තිබුණත් වෙනත් කුමක්දෝ හේතුවක් නිසා එතුමන්ට ඒ ස`දහා එන්නට නොහැකි විය. ජනාධිපති ගෝඨාභය ඒ අඩුවක් පුරවනු ලැබීය. විහාරස්ථානයේ විහාර මළුවට මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව රාමඤ්ඤ නිකායේ මහා නායක හිමිවරුන් සහ ජනාධිපතිවරයා අතර සුහද සාකච්ඡා වක් ඇති විය. සියල්ලෝම උත්සව සභාවට ආවේ ඉන් පසුවයි… උත්සව සභාවේ මුලසුන හෙබවූයේ රාමඤ්ඤ නිකායේ උත්තරීතර මහා නායක මකුලෑවේ විමල නාහිමියන් විසිනි. උන්වහන්සේ ජනාධිපතිවරයා පිළිගෙන විශේෂ අනුශාසනාවක් ද පවත්වනු ලැබූහ.

‘‘අපි දන්නවා මේ පහුගිය කාලේ කොරෝනා වසංගතය නිසා වසර කීපයක් අපට උපසම්පදා උත්සවය වත් කරගන්න බැරි වුණා. මේ ඉන්න පින්වත් නායකයාගේ ¥රදර්ශී ක‍්‍රියා පිළිවෙත නිසා කොහොම හරි අපට ඒ අර්බුදය ජය ගන්න පුළුවන් වුණා. රටේ ජනතාව එන්නත් කරලා වසංගතයෙන් ආරක්ෂා කරගෙන තියෙන නිසයි අපට අද ඒකාරාශී වෙලා මේ වගේ උත්සවයක් පවත්වන්න ඉඩක් ලැබිලා තියෙන්නේ…. මේවා බලා ඉන්න බැරි අය මොනව මොනව කිව්වත් ජනාධිපතිතුමා කිසි දේකින් සැලෙන්න එපා. ඔබතුමා පටන් ගත්ත ගමන ඉදිරියටම යන්න. ඔබතුමා එක්ක අපි හැමෝම මේ රටේ ජනතාව ඉන්නවා…”

උත්සවයේ වැඩකටයුතු මේ තරම් දුර දිග ඇදේ යැයි ජනාධිපතිවරයා සිතුවේ නැත. රාමඤ්ඤ නිකායේ සාමණේරයන් වහන්සේලා උපසම්පදා කරන ස්ථානයට ද යා යුතුව තිබිණි. ඒ යන අතරමඟ තවත් විහාරස්ථානයකට ගොඩවන්නට ද යොදාගෙන තිබිණි. ඒ නිසා එම ස්ථානයෙන් ඉතා ඉක්මනින් සමුගත් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ඊළඟට ගියේ බියගම සුධර්මාරාම මහා විහාරයේ වාහල්කඩ විවෘත කිරීමට සංවිධානය කර තිබූ උත්සවයට ය….

එහි විහාරාධිපති හිමියන් සමග විහාරස්ථානයට ගොස් මල් පහන් පූජා කර නැවත පැමිණ වාහල්කඬේ විවෘත කිරීම් කටයුතුවලට ඉතා ඉක්මනින් සහභාගි වූ ජනාධිපතිවරයා ආපසු යන්නට සූදානම් වෙමින් විහාරාධිපති හිමියන්ට මෙසේ කීවේය…

හදිසි වැඩ කටයුතු කීපයක් යොදාගෙන තියෙන හින්දා අපෙ හාමුදුරුවනේ මම දැන් යනවා… මට මෙතන බලන්න දේවල් තියෙන නිසා ආපහු වෙලාවක එනවා…

එසේ කියා එතනින් සමුගත් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඊළඟට කඩුවෙල පාලමට ඉතා ආසන්නයේ පිහිටි උපසම්පදා සීමා මාලකය වෙත පැමිණියේය.

එය ඉදිකර තිබුණේ ගඟ මැද බෝට්ටුවක් මත ය.

එම ස්ථානයට යෑමට නම් තවත් බෝට්ටුවකින් යා යුතුය. හතරවටින් කළුවර වී අවසන්ය. ජනාධිපතිවරයා හා බෝට්ටුවක නැ`ගී ගඟ මැදට යෑම අවදානම් සහිත ක‍්‍රියාවක් බව පෙන්වාදුන් ආරක්ෂක අංශය එම ගමන ප‍්‍රතික්ෂේප කර සිටියහ…

එහෙම බැහැ… මම මහනායක හිමියන්ට පොරොන්දුවක් වුණා කොහොමහරි මෙතැනට එනවා කියලා… උන්නාන්සෙ මග බලාගෙන ඉන්නවා… අනිත් එක බෝට්ටුවල යෑම මට අලූත් දෙයක් නෙවෙයි… මම හමුදා සෙබළෙක් බව අමතක කරන්න එපා….

ජනාධිපතිවරයාගේ දැඩි ඉල්ලීම මත ආරක්ෂක අංශවලටත් එම ගමනට එකඟ වන්නට සිදුවිය. බෝට්ටුවලින් ගඟ මැද පිහිටි සීමාමාලකය වෙත ගිය ජනාධිපතිවරයා ඇතුළු පිරිස සීමාමාලකයේ තිබෙන බුදු පිළිමයට මල් දමක් පළඳවා පුද සත්කාර කළේය….

සියලූ කටයුතු අවසන් කළ ජනාධිපතිවරයා ආපසු එන්නට මහා නායක හිමියන්ගෙන් අවසර ලැබ ගත්තේය…

ජනාධිපතිවරයා ඇතුළු පිරිස ආපසු කොළඹට එන විට හොඳටම ? බෝ වී තිබිණි. පැය ගණනක් තිස්සේ ජනාධිපතිවරයා බැහැ දකින්නට සූදානම්ව සිටි ඈත එපිට විහාරස්ථානවල නායක හිමිවරුන්ට එදා ජනාධිපතිවරයා හමුවන්නට අවස්ථාව සැලසුණේ නැත. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් පැමිණ ස්වාමීන්වහන්සේලා අත තිබූ ඒ ඒ විහාරස්ථානවල අඩුපාඩු දන්වා ලියන ලද ලිපි සියල්ලෝම එකතු කරගත්තේ නැවතත් දවසක ජනාධිපතිවරයා නිසැකවම උන්වහන්සේලා හමුවීමට පැමිණෙන බව දන්වා සිටිමිනි.

මම හිතන්නේ බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස පක්ෂයේ තරුණ මන්ත‍්‍රීවරුන් වෙත පසුගිය දිනවල වගකීම් රැසක්ම පවරා සිටියේය. සටන්කාමීව ආණ්ඩු පක්ෂයට තර්කාන්විතව ප‍්‍රහාර එල්ල කිරීමේ ක‍්‍රියාන්විතය වේගවත් කිරීම එක් ඉලක්කයක් විය.

එම වැඩසටහනට අනුව ක්ෂණික විහිදුම් බළකායක් පක්ෂ මූලස්ථානය ස්ථාපිත කිරීම සජිත් භාර කළේ හේශා විතානගේ ට හා චමින්ද විජේසිරි ට ය. පසුගිය සතියේ සජිත් එම කාර්යාලය විවෘත කළේය.

එම ක්ෂණික විහිදුම් බළකාය මඟින් සංවිධානය කරන සම්මන්ත‍්‍රණ මාලාවක ආරම්භක සම්මන්ත‍්‍රණය පසුගිය සතියේ රත්නපුරයේදී පැවැත්විණි. එයට සහභාගි වූ ඔහු හොඳ කතාවක් කළේය.

අද මේ ආණ්ඩුව ගෙනියන ආර්ථික ක‍්‍රියා පිළිවෙත වැරදියි. ලෝකයම ඉන්න ආර්ථික විශේෂඥයො ඒ ගැන කියනවා. නමුත් ආණ්ඩුව ඒ ගැන කිසිදු සැලකිල්ලක් නැතුව තමන්ගෙ පාඩුවෙ තමන්ගේම ගමනක් යනවා… දැන් රට ආර්ථික වශයෙන් ලෝකයේ තියන දියුණු ශ්‍රේණිගත කිරීම් වල පහළම තලයට වැටිලා. ලෝකෙ කවුරුවත් දැන් අපිට ණයක් වත් දෙන්නෙ නෑ.

ඒකෙ අනිත් පැත්ත තමයි මේ රටට ආයෝජකයෝ එන්නෙත් නැහැ. ණයක් ගන්න, ඩොලර් ටිකක් හොයාගන්න විදියක් නැති නිසා අද අපිට ඉන්ධන ගෑස් වගේ දේවල් අර්බුදයට ගිහින්. අත්‍යවශ්‍ය ආහාර දෙන එකක් ප‍්‍රශ්නයක්. ඉස්සරහට බේත්හේත් ටික ගේන එකක් අපිට ප‍්‍රශ්නයක් වේවි…. සජිත් එම සම්මන්ත‍්‍රණය අමතා වේගවත් කතාවක් කරමින් පෙන්වා දුන්නේ ය.

ගොන්පොරයක් ගැන
සජිත්ගෙන් විවේචන

සජිත් පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුළදී ද ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කළේ ආණ්ඩුවේ නායකයන්ට පවා එක එල්ලේ ඇඟිල්ල දිගු කරමිනි. සමහර අවස්ථාවලදී ඔහු රජයේ ක‍්‍රියා පිළිවෙත දැඩි විවේචනයට ලක් කළේ ස්පාඤ්ඤයේ පවත්වන ගොන් පොර උදාහරණයට ගනිමිනි…

ආණ්ඩුව දැන් යන්නේ කොහෙද කියා නොදැන ඉබාගාතේ යන බව ඔහු කීවේ ගොන් පොරවල ගොන්නු රතු රෙද්දක් පෙන්වන විට ඒකට වේගයෙන් පැන හෙම්බත්වී අනතුරට පවා ලක් වන ආකාරය උදාහරණයට ගනිමිනි. පසුගිය සතිය පුරාම අපේ රටේ තිබූ තවත් බරපතළ ප‍්‍රශ්නයක් වූයේ විදුලි කප්පාදුවයි. රටේ ඩොලර් නැති නිසා දැවිතෙල් ඞීසල් සහ ගල් අඟුරු අවශ්‍ය ප‍්‍රමාණ වලින් ගෙන්වා ගැනීමට නොහැකිව පසුගිය කාලයේ විදුලිබල මණ්ඩලයත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් යන දෙකම බරපතළ ලෙස අර්බුදයට ලක් වූහ. රට තුළ විදුලිය නොකපා දිගටම විදුලිබලය පවත්වාගෙන යන්නට නම් ඒ සඳහා තෙල් සංස්ථාව ඉන්ධන ලබා දිය යුතු බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ කීවේය. මේසා විශාල ණය කන්දක් තිබියදීත් තවදුරටත් පාඩු ලබන ආයතනයක් ලෙස ඛනිජ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ණයට ඉන්ධන දිය නොහැකි යැයි ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල කීවේය. අවසානයේ මේ ප‍්‍රශ්නය ජනමාධ්‍ය ඔස්සේ සාකච්ඡා වට ලක් වූයේ ගාමිණී ලොකුගේත් උදය ගම්මන්පිලත් අතර අරගලයක් ලෙස ය. දෙදෙනා පසුගිය සතියේ මාධ්‍ය හමුවේ හෙළිදරව් කළ අදහස්වලින් ද පැහැදිලි වූයේ දෙදෙනා අතරත් යම් විරසකයක් පවතින බවකි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙදෙනාම පසුගිය සති අන්තය වන වනවිට සිටියේ සැහැල්ලූවෙනි. මෙම ප‍්‍රශ්න සියල්ල ඉතා ඉක්මනින් නිරාකරණය කරගන්නට තමන්ට හැකිනන බට බරපතළ විශ්වාසයක් ජනාධිපතිවරයාටත් තිබුණි. අගමැතිවරයාටත් තිබුණි.

සිරගත කර සිටින රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාගේ සුව දුක් විමසීමට සජිත් පසුගිය සතියේදී බන්ධනාගාරයට ගියේය. රංජන්ගේ සුව දුක් විමසූ ඔහු රංජන්ට පොරොන්දුවක් දුන්නේය.

‘‘අපි ඔයාව නිදහස් කරගන්න කොහොම හරි කටයුතු කරනවා. ඔයා නිදහස් කරගන්න සටන හරින් ප‍්‍රමුඛ තරුණ මන්ත‍්‍රීවරුන්ට භාර කරනවා. සජිත් කීවේ රට පුරාම රංජන් නිදහස් කරන ලෙසට වන සටනට ශක්තියක් දෙමිනි.

මේ අතර විපක්ෂ නායකවරයා සිකුරාදා දිනයේදී ජනාධිපතිවරයාට තවත් ලිපියක් යැව්වේය. ඒ රංජන්ට සමාව ලබාදෙන ලෙසට ඉල්ලමිනි. රංජන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ඔහු ජනාධිපතිවරයාට යැවූ තෙවැනි ලිපියයි.

  • බුලිත ප‍්‍රදීප් කුමාර
advertistmentadvertistment
advertistmentadvertistment