හැට දක්වා සේවා දීර්ඝය වංගුව ගැසීමක් ද? දේශපාලන ගේමක් ද?

186

මහලූ ජනගහනය වැඩි රටකට පනස් පහ, හැට වීමේ හොඳ නරක

පසුගියදා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබී, පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත, රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවකයන් සඳහා විශ‍්‍රාම ගැනීමේ වයස අවුරුදු හැට දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව මේ වනවිට මතභේදයට තුඩුදී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩ කරන ජනතාව අතර කලබැගෑනියක් නිර්මාණය නොවුණේ මුත් දේශපාලන දෘෂ්ටි කෝණයෙන් පමණක් සියල්ල බලන පුද්ගලයෝ මෙම යෝජනාව ද ආණ්ඩු විරෝධය දෙසට හරවා, පහරදීම සඳහා උත්සාහ දරන බව පෙනුණි.

පනස් පහ යන විශ‍්‍රාම වයස් සීමාව ඇති වූයේ, 1947 අංක 2 දරණ ආඥා පනතේ දෙවැනි වගන්තියෙන් විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග‍්‍රහය ලංකාවේ පැනවූ නීතියේ කොටසක් බවට පත්විය. මෙම කාලය වන විට ලංකාවේ ජනතාවගේ උපතේදී අපේක්ෂිත ආයු කාලය තිබුණේ, වයස අවුරුදු පනස් දෙකේ පමණ මට්ටමේය. උදාහරණයක් ලෙස 1950 වන විට එය වයස අවුරුදු පනස් දෙකක්, 1955 දී අවුරුදු 56ක්ද ආදී ලෙස වර්ධනය වි පැමිණ මේ වන විට ශ‍්‍රී ලංකා ජනතාවගේ උපතේදී අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 72.22 දක්වා වර්ධනය වී තිබේ.

මෙම සංඛ්‍යා ලේඛන දෙස බලා කිව හැක්කේ විශ‍්‍රාම යන වයස අවුරුදු 55 දක්වා තීරණය කරන සමය වන විට, එකල පුරවැසියකුගේ ජීවිත කාලය ද ඒ හා සමාන බවය. ‘මැරෙනකම්ම රස්සාව කරනවා’ යන්න එම කාලයේදී සැබෑවක් බවට පත්ව තිබූ බව කිව හැකිය. එසේ නමුත් අද වන විට එම තත්ත්වය සපුරා වෙනස් මානයකට පැමිණ ඇත්තේ වයස සහ උපතේදී ආයු අපේක්ෂාව අතර ඇති යෝධ පරතරය නිසාය. පනස් පහෙන් විශ‍්‍රාම යන පුද්ගලයකු තවත් අවුරුදු විස්සක් පමණ ජීවත්වීම දැන් තිබෙන තත්ත්වය බව කිව හැකිය.

වැඩි කාලයක් ජීවත්වීම පුද්ගලානුබද්ධව ගත්විට භාග්‍යයක් වුවද, එය සාමාජීය ලෙස ගත් විට අර්බුදයක් බවට පත්වෙන අවස්ථා ද නැත්තා නොවේ. දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන වියපත් ජනගහනය සිටින ශ‍්‍රී ලංකාවේ, 2020 වසර වන විට පුරවැසියන්ගෙන් පහෙන් එකක් ම වයස අවුරුදු 60ට වැඩි වන බව සංඛ්‍යාලේඛන ගතය. වයස්ගත ජනගහණය අර්බුදයක් බවට පත්වීම ආකාර කිහිපයකින් විස්තර කළ හැකිය. වැඩිහිටි ජනගහනය සිය ජීවිතයේ අපේක්ෂා සපුරා ගැනීම සඳහා ආර්ථික අතින් සවිමත් කිරීම එක් පාර්ශ්වයක් වන අතරේ, ඔවුන් එම අපේක්ෂාව සපුරා ගත නොහැකි තත්ත්වයකට පත්වන විට ඒ සඳහා කරදීමට සිදුවනුයේ, සිය ජීවිතයේ ආර්ථික පදනම දමා ගනිමින් සිටින තරුණ ප‍්‍රජාවට වීම අනිත් ඛේදවාචකය ය. රජයේ නව යෝජනාව සිදු කර ඇත්තේ මේ සියල්ල සඳහාම සවිමත් විසඳුමක් ඉදිරිපත් කිරීමකි. මේ සඳහා වන වැදගත් පර්යේෂණයක් ෂෙල් ආයතන සිදු කර තිබේ.

ෂෙල් ඔයිල් සමාගම සිදු කරන ලද අධ්‍යනයේදී, වයස අවුරුදු 55 දී විශ‍්‍රාම ලැබූ පිරිස සහ වයස අවුරුදු 60 දී විශ‍්‍රාම ලැබූ පිරිස, අතර සංසන්දනය කරන විට 55 දී විශ‍්‍රාම ලැබූ පිරිස හැටේදී විශ‍්‍රාම ලැබූ පිරිස මෙන් දෙගුණයක් මරණ වාර්තා කර තිබුණි. මෙම අධ්‍යයනය සඳහා ලක් කළ, සේවකයින් 839 ක් සහ සේවකයින් 55 ක් සේවයේ නියුක්තව සිටි 55 ක් හා 1929 සේවක සේවිකාවන් 60 දෙනකුගේ විශ‍්‍රාම වැටුප සමීක්ෂණයකට ලක් කර ඇත. මෙහිදී පෙනී ගියේ සෞඛ්‍ය තත්ත්වය අතින්ද පනස් පහේදී විශ‍්‍රාම ලබන පාර්ශ්වයට සාපේක්ෂව හැටේදී විශ‍්‍රාම ලැබූ පිරිස හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවය. අනික් අතට ශ‍්‍රම බලකාය සඳහා වන වයස් සීමාව හැට දක්වා පවතී. පනස් පහෙන් විශ‍්‍රාම ගිය ද එම සියලූ පිරිස් පාහේ තම ආර්ථික ශක්තිමත් කර ගැනීම සඳහා යළිත් රැකියාවක් සඳහා පිය මනින බව සමාජය තුළ දැක ගත හැකිය. බොහෝ විට එම රැකියාව එම පිරිස් කලින් දැරූ රැකියාවට වඩා වෙනස් හෝ පහළ මට්ටමේ රැකියාවක් හෙයින් එම පිරිස් ලක් වන අපහසුතාවය ද සුළු පටු නැත.

හැට දක්වා සේවා දීර්ඝය වංගුව ගැසීමක් ද? දේශපාලන ගේමක් ද?

මේ සියල්ල සඳහාම වයස හැට දක්වා සේවය කිරීමට ඉඩ ලබාදීම අනගි පියවරක් බව කිව හැකිය.

කම්කරු කොමසාරිස් ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ පිළිබඳව සඳහන් කරන්නේ,

”ලංකාව ඇතුළු රටවල් කිහිපයක තමයි, පෞද්ගලික අංශයට විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාවක් නැත්තේ. ඒ සඳහා පනතක්වත් නැහැ. නමුත් 90% ක්ම විශ‍්‍රාම ගැන්වීමේ වයස් සිමාව වන්නේ අවුරුදු 50 හෝ 55. ඉන්පසු සේවය දිගු කරන්නේ කොන්ත‍්‍රාත් පදනම මතයි. නමුත් අවුරුදු 50-55 සීමාවේදී ආයු අපේක්ෂාව තිබුණේ අවුරුදු 60-62. නමුත් මේ වන විට ආයු කාලය අවුරුදු 74-75ක් වෙලා. මේ සියලූ කරුණු කාරණා සමඟ විශ‍්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා සිදුවිය යුතුය යන්න පිළිබඳ අප දීර්ඝ කාලයක් සාකච්ඡා කළා. 2020 අයවැය යෝජනාවේදී මෙන්ම සෞභාග්‍ය දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙහි මේ කරුණ ඇතුළත් කළා. මෙම කරුණ සම්බන්ධයෙන් අගමැති ප‍්‍රමුඛ කමිටුවේ එකඟත්වය ලබා ගත්තා. ඒ අනුව තමයි පනත් කෙටුම්පත සකස් වුණේ. ඉදිරියේදී මෙය නීතියක් ලෙස සම්මත කරනවා.” කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන අන්දමට මෙය නීතියක් බවට පත් වී ක‍්‍රියාත්මක කරන මොහොත වන විට වයස අවුරුදු 55 පිරි ඇත්නම් අවුරුදු 57 දක්වාද, වයස අවුරුදු 54 ක් වී ඇත්නම් නම් විශ‍්‍රාම

ගැන්වීමේ වයස අවුරුදු 58 දක්වාද, වයස අවුරුදු 52 හා 53 නම් වයස අවුරුදු 59 න්ද , අවුරුදු 52 ට අඩු නම් වයස අවුරුදු 60 දක්වාද සේවය කළ හැකිය. මේ සඳහා යම් පිරිස් චෝදනාවක් ලෙස එල්ල කරන ලද ”ආණ්ඩුව අපේ ඊපීඑෆ් එක කොල්ල කන්න හදනවා” යන්න සඳහා ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පිළිතුරක් ලබාදී තිබුණි. පෞද්ගලික අංශයේ සේවකයන් වයස අවුරුදු 55 සම්පූර්ණ වී සේවය අවසන් කරන්නේ නම් ඔවුන්ට හිමි සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රතිලාභ ලබාගත හැකි බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කර තිබුණි.

පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යෑම අවුරුදු 55 සිට 60 දක්වා දික්කරනු ලැබුවත් යම් සේවකයෙක් අවුරුදු 55න් විශ‍්‍රාම යන්නේ නම් ඔහුට හිමි සේවක අර්ථසාධක අරමුදල් (ඊපීඑෆ්) ලබා ගැනීමට මෙතෙක් තිබූ හැකියාව ඒ අයුරින්ම තබා එම පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කළ බවද හෙතෙම පවසා සිටියේය.

මෙම යෝජනාවට එරෙහිව කරුණු දක්වා තිබුණු, රංජිත් කිර්ති තෙන්නකෝන් සඳහන් කර තිබුණේ මෙම තත්ත්වය හේතුවෙන් රාජ්‍ය පරිපාලන ක්‍ෂේත‍්‍රයේ ගැටලූකාරී තත්ත්වයන් මතු වන බවය. ”පළමු ශ්‍රේණියෙන් විශේෂ ශ්‍රේණියට යෑමේ දී නිර්බාධක උසස්වීම් නැත. විශේෂ ශ්‍රේණියට සුදුසුකම් ලබන නමුත් තනතුරු පුරප්පාඩුවක් සිදුවන තුරු එම තනතුරේ සිටින්නට පරිපාලන (සහ සමාන්තර ශ්‍රේණි) නිලධාරීන්ට සිදු වේ. දැන් මේ විශේෂ ශ්‍රේණියේ අය 55 න් 60 නොව 65 දක්වාම විශ‍්‍රාම යන්නේ නැත. ඉතින් අලූත් තනතුරු ද නැත. දැනට සිටින විශේෂ ශ්‍රේණියේ 387 දෙනාට ද, අලූතන් එක්වන 13 දෙනාට ද එහි උපරිම වාසිය ලැබේ. දැන් පරිපාලන සේවයේ 2000 කණ්ඩායමේ නිලධාරිනියකට ද රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයක් ලැබී ඇත. නමුත්, එම තනතුරු නොලැබුණු 1991 කණ්ඩායමේ නිලධාරීන් ද වේ. ඔවුන්ට ‘අබ සරණ’ ය. 2003 පරිපාලන සේවා කණ්ඩායම, උතුරු නැගෙනහිර කණ්ඩායම, 2006 සහ 2007 කණ්ඩායම්වලට උසස්වීමක් හිතාගන්නට හෝ නොහැකි වනු ඇත. දැනට මේ පීඩාවේ දොරකඩ 650 කට වඩා සිටී.

ජනාධිපතිවරයාට අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස කැමති ඕනෑම අයෙකු පත් කළ හැකිය. එම නිසා මේ අර්බුදය අමාත්‍යාංශ ලේකම් ධූරයන්ට බලපාන්නේ නැත. නමුත්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් පත් කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙකුගේ අපේක්ෂා භංගත්වය මතුවන්නේ මෙතැන දී ය’ යන ඔහුගේ තර්කනයට අනුව මෙම නීතිය නිසා රාජ්‍ය සේවයේ ශ්‍රේණි අතර බරපතල අර්බුද මතුවීමට ඉඩ ඇත. එසේම එය දේශපාලන ගැටයක් ලෙස ද ඔහු හඳුන්වනු ලබන්නේ, වයස් සීමාව හේතුවන් රජය කියන කියන පදයට ඉහළ නිලධාරීන් නටන බව පවසමිනි. වයස් සීමාව දික්වීම රජයේ නීතියක් මිස යම් කිසි පිරිසකට ලබා දෙන වරප‍්‍රසාදයක් නොවන තත්ත්වයට පත් කිරීමෙන් මෙම තත්ත්වය සමනය කර ගත හැකිය. එසේම සියලූදෙනාටම මෙම හැටේ සීමාව ලැබෙන බැවින්, කියන තරමට තත්ත්වය දරුණු නැති බව කිව හැකිය.

වෘත්තීය සමිති ගණනාවක් වසර ගණනකට පෙර සිටම මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි. නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය මෙම යෝජනාව 2018 වසරේදී ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කර තිබුණේ, උපතේදී ආයු අපේක්ෂාව සලකාය. එය දේශපාලන ගැටයක් යන ආස්ථානයට ලඝු නොවී එහි ඇති සාධනීය අංශ කරා ප‍්‍රථමයෙන් අප අවධානය යොමු කළ යුතුය.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment