හැට නව ලක්ෂක පැතුම් පුරෝගෙන රුවිතෙට යන ආණ්ඩුව

160

සියල්ලට මුල් වූ මුල අමතක වීම

ආණ්ඩුව ගෙනෙන්නට කැපවූවන් ඉදිරියේ මැති ඇමැති දුරකතන නිහඬ වෙයි

යහපාලනයේ අදූර්දරශී සහ ද්‍රෝහී විජාතික කඳවුරට ගැතිවූ රාජ්‍ය පාලනය හමුවේ ඉකුත් 2019 වසර වන විට මේ රටේ ජනතාව සිටියේ ආණ්ඩුවට පාඩමක් කියා දීමට අවස්ථාවක් ලැබෙනතුරු ඇඟිලි ගනිමිනි.

අවස්ථා ගණනාවකදීම සිරගත කරන්නට වෙහෙසුනු සීඅයිඞීයේ අලජ්ජී කුමන්ත‍්‍රණ සමඟ ගෝඨාභය රාජපක්‍ෂ සලකුණ රටේ ජනතාවගේ හදවත් තුළ ආදරණීය ලෙස සනිටුහන් වෙමින් ක‍්‍රමයෙන් මෙරට ඊළඟ රාජ්‍ය නායකත්වයට සුදුසුම විකල්පය ලෙස මතුවෙන්නේ මේ අතර කාලයේය.

අවසානයේ රටේ මිනිස්සු ලද පළමු අවස්ථාවේදීම එදා ඒ තීන්දුව ගත්හ. ඔවුහු දෙස් විදෙස් ආදී ලෙසින් එක පොදියට රොදබ`දිමින් එසේ කරද්දී ඒ හදවත් තුළ තිබූ බලාපොරොත්තුද කන්දක් තරම් වූහ.

කලින් කලට කි‍්‍රයාත්මක වූ මජර දේශපාලනය හමුවේ අති බහුතරයක් මිනිසුන්ට දේශපාලනඥයා අරහං වී තිබීම සහ ඒ වෙනුවට සුදුසු විකල්පයක් පහසුවෙන් මතු කර ගැනීමට හැකිවීම එකී ජනතා බාපොරොත්තුවලට හේතුව විය.

වත්මන් ජනාධිපතිවරයා මේ රටේ ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී ප‍්‍රකට කළ නිවැරදි ඍජුභාවයද එසේ වීමට තවත් ප‍්‍රබල සාධකයක් විය. මේ තත්ත්වය තුළ ඉකුත් 2020 මහමැතිවරණයේදී ආණ්ඩුවට අවැසි නිසි බලය නොපිරිහෙලා ලබා දෙන්නටද රටේ මිනිස්සු දෙවරක් නොසිතාම කටයුතු කළහ. එහෙත් එසේ බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ජනතා ආකර්ෂණය දෙවසරක් ගෙවී යන මේ මොහොතේ පවතින්නේ කොතැනකද?

ඕනෑම අයකුට හිත හදාගනු පිණිස සිහින ලෝකවල අතරමංව විවිධ ප‍්‍රකාශ කළ හැකිය. එසේම ජනතාව දේශපේ‍්‍රමී හැඟීමෙන් යුතුව වත්මන් රජය බලයට ගෙන ඒමෙන් පසු ගුවන් කරණම් ගසා ආණ්ඩුවේ මූලස්ථානය ලෙස සැලකෙන නෙළුම් මාවතට පැරෂුට්වලින් ආ ඇතැම් සට්ටඹියන්ටද නොයෙකුත් මහාප‍්‍රාණ කතා කීමට පුළුවන.

ඒ කවුරුන් මොන දේ කීවද පැහැදිලි ඇත්ත වන්නේ ආණ්ඩුව අද පවතින්නේ බිංදුවෙනුත් පල්ලෙහාය යන්න බව නම් අමුතුවෙන් කිව යුතු නැත. පුරෝහිත වෙස් ගත් ඇතැමුන් කුමක් කීවත් මහ පොළොවේ යථාර්ථය පවතින්නේ එතැනය.

ආපසු හැරවීමට අසීරු තැන දක්වාම දැන් සියල්ල සිදුවී අවසන්ය. මෙවන් තත්ත්වයක් ඇතිවීමට කුමක් හේතු වූයේද? මේ ප‍්‍රශ්නයට එක් පැහැදිලි පිළිතුරක් අගමැති මහින්ද රාජපක්‍ෂයන් විසින් ඉකුත්දා පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ සංවත්සර උළෙලේදී සිය කතාව පවත්වමින් කාට කාටත් පෙන්වා දුන්නේය.

‘මේ රජය බලයට ගෙන ඒමට කැපවුණු මිනිස්සු, තාප්පවල චිත‍්‍ර ඇන්ද තරුණ තරුණියන් කොහෙද ඉන්නේ කියල කවුරුවත් හොයල බැලූවේ නැහැ. ඔවුන් අද රට අතහැර යමින් ඉන්නවා’ මේ රටේ පරිණත දේශපාලන චරිතයක් ලෙස අගමැතිවරයා එදා සියලූ දෙනාට ඒ වරද පෙන්වා දුන්නේ ඉතා හැඟීම්බරවය.

ඉතා සරල භාෂාවෙන් කිවහොත් මේ තත්ත්වය හඳුන්වන්නේ මුල අමතක වීම යනුවෙනි. වත්මන් ආණ්ඩුව බලයට පත්වූ මොහොතේ සිටම සිදු වූ බරපතළම කාරණාව වූයේ එසේ මුල අමතක වීමය. ඉකුත් 2020 මහමැතිවරණය අවස්ථාවේ දේශපාලන වේදිකා මතදී රණවිරුවන් හිසමත තබාගෙන වන්දනා කරන්නට වූවෝ බලය ලද විගස එකී දේශපේ‍්‍රමී වෙස් මාරු කළහ.

හැට නව ලක්ෂක පැතුම් පුරෝගෙන රුවිතෙට යන ආණ්ඩුව

අඩුම තරමේ එගොඩ වූ ඔරුව ගං ඉවුරේ ගැටගසා දමන්නටවත් ඔවුහු කටයුතු නොකළහ. කරනු ලැබුවේ එගොඩ වීමෙන් පසු ඔරුව ගංදියේ සැඩ පහරේ මහ මුහුදට ගසාගෙන යන ලෙස අතහැර දමා තම තමන්ගේ ගමන යෑමය. අගමැති මහින්ද රාජපක්‍ෂයන් කී පරිදි ආණ්ඩුවට මුල අමතක වූ තවත් එක් වැදගත් අවස්ථාවක් ලෙස මෙයද පෙන්වා දිය හැකිය.

විවිධ නඩු කටයුතු හිටි හැටියේ ගැලවී යද්දී බලය ලබා ගැනීම සඳහා ඔවුන් ජනතාව ඉදිරියේදී වන්දනා කළ රණවිරුවන් අදටත් සිටින්නේ උසාවි ගානේය. ආණ්ඩුවේ ගරා වැටීම ඇරඹුණු තැන ලෙසද මෙය පෙන්වා දිය හැකිය. ඒ සමඟම තවත් පැත්තකින් සිදුවූ බරපතළම තත්ත්වයක් වූයේ පරණ හොරු ලෙසින් නම් දරා සිටි ඇතැමුන් රජයේ නොයෙකුත් පුටුවලට යළි පත්ව ඒමය.

එහිදී සිදුවූ එකම දෙය වූයේ කොන්දේසි විරහිතව රට ගොඩනැඟීමේ තිර බලාපොරොත්තු සහිතව ආණ්ඩුව බලයට ගෙන ඒමට හැඟීමෙන් කැපවූවෝ නිහඬවම ඉවතට යෑම වූහ. රජයේ වර්තමාන කඩා වැටීම ඇරඹෙමින් තිබියදී සිදුවූ තවත් දෙයක් ලෙස විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයද පෙන්වා දිය හැකිය.

එහෙත් එහිදී යහපාලනය විසින් බිහිකළ ව්‍යවස්ථාදායක සභාව, දූෂණ විරෝධී කමිටුව ආදී ලෙසින් පැවති විවිධ දේශපාලන පෙට්ටි කඩද නිල හෝ නොනිල වශයෙන් අහෝසි වී යෑමක් සිදුවූ නිසා ව්‍යවස්ථා සංශෝධනය බරපතළම ගැටලූවක් වෙන තත්ත්වයක් ඇති නොවිනි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහයට ලබා දීමට ගනු ලැබූ උත්සාහයද ආණ්ඩුවේ ජනතා ආකර්ෂණය ඉවතට ඇදී ගිය තවත් කරුණක් ලෙස පෙන්වා දිය හැකිය. මෙහිදී අවසාන මොහොතේ එය හකුලා ගැනීමට කටයුතු කළද ඒ වන විට බොහෝ දේ සිදුවී අවසන්ව තිබිණි. වරාය වෘත්තීය සමිති ගෙන ගිය අරගලය උච්චම තැනට ළඟා වනු තුරු එකී විසඳුම ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් ආණ්ඩුවට නොදැනීම එය රටේ ජනතාවටද දැනෙන ප‍්‍රශ්නයක් දක්වාම දුරදිග ගියේය.

ජාතියේ සම්පත් විකුණා දැමීමට කටයුතු නොකරන්නේ යැයි කියමින් බලයට පැමිණි රජයකින් මිනිස්සු එවැන්නක් බලාපොරොත්තු නොවීම එයට හේතු විය. ඇතැම් විද්වත් මතයන් අනුව එම ගනුදෙනුව තුළින් රටට වාසි රැසක් අත්වන බව සඳහන් වුවද ඒ බව පැහැදිලිව රටට පෙන්වා දීමට රජයේ කිසිවකුටත් නොහැකි විය සියල්ලෝ අසමත් වූහ. අවසානයේ බටහිර පර්යන්තය අදානි සමූහයට ලබාදීමට ඇති කර ගත් එකඟතාවක් සමඟ මුල් ගිවිසුමෙන් ඉවත් වෙන්නට රජය කටයුතු කළේය. එහෙත් ඒවා රටේ මිනිස්සු රජයෙන් ප‍්‍රාර්ථනා කළ දේවල් නොවූහ.

කාලයක සිට රට තුළ පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයද වත්මන් රජය කෙරෙහිවූ ජනතා ආකර්ෂණය සුණු විසුණු කිරීමට හේතුවූ තවත් ප‍්‍රබල කරුණක් විය. ඒ අතරින් කලක් තිස්සේ රට තුළ පැවති ගැටලූවක් වූයේ සීනි හිඟය ය. සිනි ආනයනය සඳහා වූ තීරු බදු ඉවත් කිරීමට රජය පියවර ගනු ලැබුවේ මුල් අයවැයකදීය. එහෙත් ඒ සහනය රටේ ජනතාවට නොලැබුණි. එහිදී සීනි සඳහා පාලන මිලක් ඇති කිරීමට කටයුතු කළද සිදු වූවේ වෙළෙඳ පොළේ සීනි හිඟයක් ඇතිවීමය. එහිදී ගබඩා කඩා සීනි සොයාගත් රජය පාලන මිල ගැසට්ටුව ඉවත් කර සීනි වෙළෙඳපොළට යොමු කිරීමට සිදු කළද එහිදීත් අවසානයේ සිදු වූයේ සීනි සඳහා වූ බදු ඉවත් කිරීමෙන් ලබා දුන් සහනය ජනතාවට අහිමි වී යෑමය.

මේ සෑම තැනකදීම සිදුවූයේ ආණ්ඩුව ජනතාවගේ හාස්‍යයට සහ උදහසට ලකවීම මිස අන් දෙයක් නොවීය. හාල් පිළිබඳ රට තුළ පැවති ගැටලූවද එවැන්නකි. සහල් පිළිබඳ මාෆියාවට පහර දෙමින් මිල පාලනයක් ඇති කිරීමට කටයුතු කෙරිණි. එහිදීත් වෙළෙඳපොළේ සහල් හිඟ විය. මිල පාලනයෙන් ඔබ්බට යමින් සහල් මාෆියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමට රජය අසමත් විය. අවසානයේ සිදු කෙරුණේ නැවත නැවත ජනතාව අතරේ හාස්‍යයට ලක් වෙමින් සහල් මිල පාලන ගැසට්ටුවද රිවස් කරවීම විය. එහිදී ජය ගත්තේ මාෆියාවය.

පොහොර ප‍්‍රශ්නයද ඒ ආකාරයෙන්ම රජය කෙරෙහිවූ ජනතා ආකර්ෂණය ඉවතට යමින් ආණ්ඩුව කෙරෙහි දැඩි නොසතුටක් ජනතාව තුළ ඇති කෙරුණු කරුණක් බවට පත් වූවකි. කාබනික පොහොර යොදා කෙරෙන හරිත කෘෂිකර්මයක් රට තුළ ඇති කිරීමට ජනාධිපතිවරයා ගත් උත්සාහය ඉතා වටිනා එකකි. එහි කතා දෙකක් නැත. මේ ආරම්භයේදී අදාළ රාජ්‍ය නිලධාරීන් කැඳවන ජනාධිපතිවරයා රට තුළ පවතින පොහොර තොග පිළිබඳ විමසීමක් කර ඇත.

දැන ගැනීමට ඇති පරිදි එහිදී ජනාධිපතිවරයාට ලැබී ඇති පිළිතුර වන්නේ මාස තුනකට ප‍්‍රමාණවත් පොහොර තොග රට තුළ ඇතැයි යන්නය. ඒ අනුව විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් රසායනික පොහොර තහනමක් පැනවීමට රජය කටයුතු කළේය. එහෙත් සත්‍යය වූයේ ප‍්‍රමාණවත් පොහොර තොගයක් ගබඩා තුළ නොපැවතීමය. නිලධාරීන් කර තිබුණේ ජනපතිවරයා නොමඟ යැවීමකි.

ඒ අනුව පොහොර ගැටලූව මතුවිය. අවසානයේ චීනයෙන් කාබනික පොහොර තොගයක් ආනයනය කිරීමට රජය කටයුතු කළද එයද අවසන් වූයේ රාජ්‍ය තාන්ති‍්‍රක ගැටලූවක් නිර්මාණය වන තැන දක්වා ගමන් කරමින්ය. එකී ගැටලූව අදටත් නොවිසඳි පවතින්නකි. ඒ අතරේ ඉන්දියාවෙන් ආනයනය කෙරුණු නැනෝ පොහොර තොගයකින් ගසා කෑමේ කතාවක්ද දැන් කරළියේ තිබේ.

අද කරලියේ පවතින විදුලිය සහ ගෑස් අර්බුදයද එවන් ආකාරයේම ඒවාය. මුලින්ම ඇති වූයේ ගෑස් හිඟයකි. ඉන් මිනිස්සු පෝලිම් ගානේ ගෑස් ටැංකි ඔසවාගෙන විෙඳව්වාහ. ගෑස් ලොක්කෝ හතරවරං කතා කියද්දී අවසානයේ ගෑස් ලැබිණි. නියම කතාව එළියට ආවේ ඉන්පසුවය.

මිනිස්සු ගෑස් මිලදී ගත්හ. නිවසට ගෙන ගොස් ඉවුම් පිහුම් කරද්දී ගෑස් පුපුරා යන්නට විය. එයට උත්තර දෙන්නට කිසිවකුත් නොවීය. පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්සකුට්ටිආරච්චි නම් වරෙක කීවේ ගැටලූව ඇත්තේ ගෑස්වල නොව ලිප්වල යැයි කියාය.

එනිසා වහාම කළ යුත්තේ ලිප් පරීක්‍ෂා කිරීම බව මහාචාර්යවරයකු සේ හේ කියන්නට විය. මන්තී‍්‍රවරුන් එසේ මහාචාර්ය වෙස් ගනිද්දී ජනතාවට නිකමට සිතුනේ තමන් වෛiවරුන් වෙමින් තිබෙන්නේ යැයි කියාය.

එහෙයින් තිස්සකුට්ටිආරච්චි මන්තී‍්‍රවරයාගේ කතාව ඇසූ ජනතාව කීවේ එසේ කියන අයගේ මොළ පරීක්‍ෂ කළ යුතුයි කියාය.

කෙසේ වෙතත් ගෑස් ගින්නට අදටත් නිසි විසඳුමක් නැත. ඒ සම්බන්ධයෙන් රට ඉදිරියට පැමිණ කොන්ද කෙළින් තබාගෙන ඇත්ත කතා කිරීමටද ආණ්ඩුවේ කිසිවකුත් නැත. තමන් ජනතාව රැවටූ බව මේ මොහොත වන විට ගෑස් සමාගම පිළිගෙන ඇත. ඉතින් තවත් කවර කතාද?

ආණ්ඩුව අද මතුරන එකම මන්තරය වී තිබෙන්නේ කොරෝනා ආවා ඩොලර් නැහැ යන්නය. රටේ මිනිස්සු ආණ්ඩුවක් පත්කර ගත්තේ එවැනි බරපතළ ගැටලූ එනවිට හැකි උපරිමයෙන් විසඳුම් සෙවීමට මිස ‘නැති බණේ’ අසන්නට නොවන බව එසේ කියන අයට වැටහෙන්නේද නැත.

මේ වන විට රටේ ඇති වී තිබෙන විදුලි අර්බුදයද එවැන්නකි. යුදගනවි බලාගාරයේ කොටස් ඇමෙරිකාවට දෙන්නට ආණ්ඩුව ගිවිසුම්ගත විය. විදුලි ඉංජිනේරුවෝ ඇතුළු පාර්ශ්ව රැසක් එයට එරෙහි වූහ. එහෙත් විසඳුමක් නැත. දැන් දැන් පැය ගණන් රටපුරා විදුලිය විසන්දි වෙන්නේය. ආණ්ඩුව නිහඬය. ජනතාව කළුවරේය. එසේ අඳුරේ සිටින විට ඇතැමුන් ආණ්ඩුව දෙස බලා කියන කතා මේවායෙහි සටහන් කිරීමටද නොහැකිය.

කෙළින්ම කිවහොත් ඒවා හරිම කැත කතාය. ඒ කියන්නේ දැන් දැන් ජනතාව සුද්ද සිංහලෙන් අමතන තැන දක්වාම ආණ්ඩුවේ ඇත්තෝ ගමන් කර අවසන්ව සිටින්නාහ.

රජය කෙරෙහි ජනතා උදහසක් ඇති කරමින් සිදු වූ මෙකී බොහෝ සිදුවීම් දෙස විමසීමෙන් බැලීමේදී පෙනී යන එක් වැදගත් කරුණක් වන්නේ රජයට පක්‍ෂපාතී රාජ්‍ය නිලධාරී යාන්ත‍්‍රණයක් සකස් කර ගැනීමට ආණ්ඩුව අපොහොසත් වීම ගැටලූ රැසකට හේතුවී තිබෙන බවකි.

අද දවසේ සෞඛ්‍ය, විදුලිය, ඛනිජ තෙල්, කෘෂිකර්ම සහ පොලිසිය ආදී වශයෙන් අති බහුතරයක් රාජ්‍ය ආයතන ගෙන බැලීමේදී ඒ බව පැහැදිලිව පෙනී යන්නකි. රජයට එරෙහිව කි‍්‍රයාත්මක වීම සඳහා මේ මොහොත වන විට විපක්‍ෂයට අවි සැපයෙන්නේ මෙකී රාජ්‍ය නිලධාරී යාන්ත‍්‍රණය තුළිනි. බොහෝ තැන්වල මුල් පුටු මාරු කෙරුණද සකී‍්‍රයව සිටිනුයේ ඉකුත් යහපාලන ආණ්ඩුවේ පිරිස් වෙති.

ඔවුන් තුළින් බොහෝ විට සිදු වන්නේ ආදාළ ආයතන තුළ සිටින පක්‍ෂපාතී පිරිස්වලට පහර දෙන අතරේ සූක්‍ෂම ලෙස රජයටද පහර දීමය. සිදු වෙමින් තිබෙන්නේ ලිහාගත නොහැකි තරමටම සියල්ල පැටලවීමය.

එය අවබෝධ කර ගන්නට ආදාළ ආයතනවල මුල් පුටුවලට පත්කර ඇති නිලධාරීන්ටද වුවමනාවක් නැත. ඔවුන් කරනුයේ මමත්වය පෙරට දමා කටයුතු කිරීමය. ඔවුන් මේ සියල්ල කරනුයේ දෙපා දෙපසට තබාගෙනය. අරමුණ කවුරු බලයට පැමිණියත් පුටුව, තනතුර රැකගැනීම වී ඇත. නිලධාරීන් එසේ වෙද්දී බොහෝ මැති ඇමැතීන්ගේ කටයුතු දෙස බැලූවද මෙලෝ රහක් නැත. ඒවාද නියම ඇල්වතුරය.

එසේම රජයේ අරමුණු සමාජගත කිරීමටද ආරම්භයේ සිටම කිසිදු වැඩපිළිවෙළක් තිබුණේද නැත. තිබෙන ඒවා තිබෙන්නේද දොන් ජුවන් න්‍යායේය. මේ සියල්ල හමුවේ බැට කන්නේ රටේ ජනතාවය. ඒ පිළිබඳ වැටහීමක්වත් අද ආණ්ඩුවට තිබෙන්නේ දැයි යන්න ප‍්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇත. සියල්ල සිදු වෙමින් තිබෙන්නේ දිය හැළියට දැමූ කකුළු න්‍යායෙන් බව නොකීවහොත් එය අඩුපාඩුවකි. මෙතරම් ඇද වැටීමක් සිදු වෙද්දී ප‍්‍රබල විපක්‍ෂයක් මේ මොහොත වනතුරුත් රටේ නොපැවතීම එක් අතකින් ආණ්ඩුව ලද වාසනාවකි. එය තනිකරම ලොතරැයියක් වී තිබෙන්නකි. එසේ නොවූයේ නම් මේ මොහොත වන විට ආණ්ඩුව සිටිනුයේ විපක්‍ෂයේය.

අද සියල්ල සිදුවන ආකාරයට පෙනී යන්නේ නම් එකී පෙරළිය සිදුවීමට තවත් වැඩි කාලයක් නම් ගත නොවුනු ඇතැයි කියාය. එහෙයින් දැන් අපට සිදුව ඇත්තේ යථාර්ථය පෙනි පෙනීත් තවදුරටත් පිස්සු තියරියෙන් කටයුතු කරන ආණ්ඩුවේ මැති ඇමැතීන් ඇතුළු සියලූ දෙනා ඒ පුටු මාරුවට සූදානම් වන අයුරු උපේක්‍ෂාවෙන් යුතුව බලා සිටින්නටය. ඉන් එහා කියන්නට දෙයක් දැන් ඉතිරිව නැත.

අද අපට ආණ්ඩුවක් ඇත. දැන් යළිත් ගෑස් නැත. විදුලියද වරින්වර නැතිවෙමින් ඇත. ජීවත් වෙන්නේ කෙසේදැයි ජනතාව කල්පනා කරමින් ඇත. සියල්ල නැත නැත කියනු හැර වෙන ඇසෙන දෙයක්ද නැත. ඒ නිසා රටටම සැනසීමක්ද නැත. එක් අතකට බලන කල ඒකත් හරි සුන්දරය. එසේ සිතා සිත් හදාගැනීම හැර වෙන කරන්නට දෙයක්ද අද රටටම නැත.

සමන් ගමගේ

advertistmentadvertistment