ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ධූරය හොබවන පියනන්ද හිමියන් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ඇමරිකාව සහ බෞද්ධ රටවල් ඇතුළු ලෝකයේ බොහෝ රටවල්වල ගෞරව බහුමානයට පාත්‍ර වූ හිමිනමකි. උන්වහන්සේ ජාත්‍යන්තර ආගමික සංගමයේ නිත්‍ය සාමාජිකයෙකු ද වේ. මෙරට වර්තමාන ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාත්‍යන්තර ආගමික කටයුතු උපදේශක ලෙස කටයුතු කරන උන්වහන්සේගේ හැත්තෑ අටවැනි ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය 02 වැනිදාය. මේ පෙළගැසෙන්නේ උන්වහන්සේගේ ජීවන ගමන ගැන කෙටි සටහනකි.
දක්ෂිණ ලංකාවේ ගාලූ දිස්ත්‍රික්කයේ වල්පොල නම් සුන්දර ග්‍රාමයේ දී, 1943 ඔක්තෝබර් මස 2 වන දින පියනන්ද හිමියන් උපත ලබයි. පියා බුලේගොඩ ආරච්චිගේ දොන් අන්දේරිස් බුලේගොඩ වූ අතර මව දොඹගොඩ ලියනගේ ලෝරා හාමිනේ විය. බුලේගොඩ ආරච්චිගේ ගුණවතී, සුමනාවතී, පුණ්‍යසේකර, චුල්ලවතී, රණවීර, පේමලතා, උර්දිසේන යන සහෝදර සහෝදරියන්ගෙන් පවුල සමන්විත වූ අතර උන්වහන්සේගේ ගිහිකල නාමය පියසේන බුලේගොඩ ආරච්චිගේ විය. කුඩාකල සිටම ස්වභාව සෞන්දර්යය සහ ගැමි ජීවිතය සමග ඉතාම සමීපව ගනුදෙනු කළ උන්වහන්සේ පාසල් ජීවිතය ආරම්භ කරන්නේ ගමේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. පියනන්ද හිමියන් ළමා අවධියේ පටන් ම පැවිදිවීමේ ආශාවෙන් පෙලූණේ ය. අත්තනගල්ලේ බෝපගම ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ, වල්පොල ඤාණරතන හිමියන්ගේ ආරාධනයෙන් පැවිදිවීම සඳහා 1955 ?ජූනි මස සිය නිවසෙන් පිටත්වන විට පියනන්ද හිමියන්ට වයස අවුරුදු 12 සම්පූර්ණ වී නොතිබිණි.
භික්ෂූත්වය ලබාගැනීමට පෙර පන්සලේදී ලබාගත යුතු පුහුණුව සහ හැදෑරීම, අඳුගොඩ ධම්මරතන සහ වල්පොල ඤාණරතන යන ගුරු ස්වාමීන්වහන්සේලා යටතේ සිදුවිණි. පන්සලේ පුහුණුව ලබන අතරතුර පැවති උත්සවයක දී එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ විශේෂ ඇගයීමකට ලක්වීම උන්වහන්සේ ලැබූ සුවිශේෂී අත්දැකීමකි. අනතුරුව 1955 ඔක්තෝබර් 26 වන දින එළැඹුණු සුබ නැකතින් වල්පොළ පියනන්ද නමින් උන්වහන්සේ ප්රවෘජා භුමියට ඇතුළත් වූහ. උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කළේ බෝපැතේ සිරිසඟබෝ පිරිවෙනෙනි. එහිදී පියනන්ද හිමියන්ගේ ගුරු හාමුදුරුවන් වූයේ පරිවෙනාධිපති උඩුනුවර ධම්මරතන හිමියන් ය. අනතුරුව උන්වහන්සේ, අස්වානේ ධර්මරත්නෝදය පිරිවෙනට ඇතුලත් විය. වටිනාපහ පියරතන, මාගම්මන රතනසාර වැනි ස්වාමීන්වහන්සේලා එහිදී ගුරුහිමිවරු ලෙස කටයුතු කළෝය.
මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ හා මහාචාර්ය කොටගම වාචිස්සර හිමියන්ගේ මගපෙන්වීමෙන් පියනන්ද හිමියන් වයස විසිපහේ දී කෝට්ටේ පාර්ශ්වයට අයත් පාමංකඩ ශ්‍රී මහා විහාරීය භික්ෂුවක් ලෙස උපසම්පදාව ලබා ගත්තේ ය. පසුකාලීනව පියනන්ද හිමියන් පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලැබ පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබාගැනීම සඳහා ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලයට පිටත් විය. ජාත්‍යන්තර ධර්මදූත සේවාව සඳහා උන්වහන්සේට දොරටු විවරවන්නේ ඉන්දියාවේදී ය.
පියනන්ද හිමියන්ගේ ධර්මදූත සේවය ඇරඹෙන්නේ ඉන්දියානු ගමනත් සමග ය. එහිදී අධ්‍යාපනය ලබන අතර මහාබෝධි සමාගමේ විවිධ වගකීම් දරමින්, දලයි ලාමාතුමා ඇතුළු විවිධ රටවල ස්වාමීන්වහන්සේලා සහ බෞද්ධ නියෝජිතයින් සමග සමීපව කටයුතු කරමින් නොයෙක් ශාසනික කටයුතු වල නිරත විය. ඇමරිකාවේ City of Ten Thousand Buddha සංවිධානයෙන් මහාබෝධි සමාගමට ලැබුණු ආරාධනාවක් අනුව තුන් මසක භාවනා පුහුණු වැඩසටහනකට පියනන්ද හිමියන් තෝරාගනු ලැබිණි. ඒ අනුව 1976 ජූලි මස 04 වෙනිදා පළමු වරට උන්වහන්සේ ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවරට සැපත්වීය. අනතුරුව ලොස් ඇන්ජලීස් නුවර තිත්තියන් නාන් හිමියන්ගේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ විසීමට පැමිණෙන උන්වහන්සේට ඇමරිකානුවන් සහ වෙනත් රටවල බෞද්ධ හිමිවරුන් සමග සමීපව කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.
ඇමරිකානු සමාජයට බෞද්ධ විවාහ ක්‍රමය හඳුන්වාදීම උන්වහන්සේගේ මැදිහත්වීමෙන් සිදුවූ තවත් සමාජ සේවයකි. එතෙක් කිතුණු පල්ලිය තුළ සිදුවූ විවාහය වෙනුවට පන්සල මුල්කරගත් බෞද්ධ සම්ප්‍රදායානුකූල විවාහ ක්‍රමය, ඇමරිකානු ජාතික යුවලකගෙන් ඇරඹි අතර වර්තමානය වනවිට එය ඇමරිකානු සමාජය තුළ බොහෝ ප්‍රචලිතව පවතී. එමෙන්ම ශ්‍රී ලංකාව දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අභියෝගවලට මුහුණදුන් සෑම අවස්ථාවකදීම පාහේ සක්‍රීයව ම දායක වී ඒ අභියෝග ජයගැනීම වෙනුවෙන් උන්වහන්සේ සටන් කළහ. 1983 කෝලහාලය, ත්‍රස්තවාදී යුද්ධය, 1987 ඉන්දු ලංකා ගිවිසුම, සුනාමි ඛේදවාචකය සහ විවිධ රාජ්‍ය තාන්ත්‍රික ගැටළු ආදීයේ දී උන්වහන්සේ දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද කළ මැදිහත්වීම විශාල ය.
අමිත් ලියනගේ
පන්සල අතිරේකය සංස්කරණය – නිශාන්ත අමරසිංහ