හැත්තෑ එකේ කැරැල්ලේදී කොස්තාපල්ට වෙඩි තබා කඩුගන්නව පොලිසිය ඇල්ලූ ජයතිස්ස

1220

ඉස්සෙල්ලාම තුවක්කුවක් ඇල්ලුවේ එදාමයි..

අම්මා හැමදාම කිව්වේ හොඳ පුතා කියලා විතරයි

පොලිසියට බයේ පැනලා ගිහිල්ලා හැංගිලා ඉද්දි තමයි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ

එදා ඉංග්‍රීසි ගුරුවරයෙක් වුණේ වචනයක්වත් බැරුව ඉද්දී

කැරලි ගහන්න හිතේ තිබුණෙවත් නෑ. හැබැයි වීරයෙක් වෙන්න හිතේ තිබුණා

ඉස්කෝලෙ පුස්තකාලේ කියවන්න මට ඉඩක් දුන්නේ නෑ. ඒ නිසා මම පොත් හොරකම් කරල කියෙව්වේ…

කැරලි ගහල පොලිසියක් අල්ලනවා කිව්වහම දැන් ඉන්න හැමෝගෙම වගේ හිතට එන්නේ අරගලය කාලෙ ජනාධිපති මන්දිරය අල්ලපු හැටි වෙන්න පුළුවන්. නමුත් හැත්තෑ එකේ කැරැල්ල ඒ වගේ එකක් නෙවෙයි. අසංවිධානාත්මක සැලසුම් මත රටේ පාලනය නතුකර ගන්නට තැනූ කැරලිකරුවන්ගේ වෑයමක්. ජවිපෙ වැඩක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ කාලේ දිවි හිමියෙන් කැප වෙලා කැරලි ගහපු කවුරුවත් අද සාධාරණ දේශපාලනයෙ ඉන්නවා කියල හිතන්න අමාරුයි.

බොහොමයක් වෙලාවට ඒ වෑයමට නතු වුණේ රටේ තරුණයින් තමන්ගේ ජවය පාවිච්චි කරලා කැරැල්ලෙදි වීරයන් බවට පත්වෙන්න උත්සාහ කළා. ඒක සිද්ධ වෙලා තිබුණේ පුහුණුවකින් පසුව නෙවෙයි. කටින් කට යවා ගත්ත පණිවිඩ හුවමාරුව මත පමණයි.

ජයතිස්ස කුමාරගේ ඒවගේ කෙනෙක්. ඔහු ඉපදුනේ පිළිමතලාවේ 1953 අප්‍රේල් 11 වෙනිදා. ජයතිස්ස ගේ අම්මා එලිසා. තාත්තා කුමාරදාස කුමාරගේ. දැන්නම් අයියා ඉංග්‍රීසි ගුරුවරයෙක්. නංගි කොළඹ, අක්කා කුරුණෑගල. ජයතිස්ස ඉස්කෝල තුනකට ගිහින් තියෙනවා. මුලින්ම ගිහින් තියෙන්නේ දොඩම්වල ළදරු පාසලට. දෙවැනියට ගිරාගම කනිෂ්ඨ විද්‍යාලයට. ඉන් පස්සේ පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයට.

“ළදරු පාසලේ ඉඳන්ම මම ජයතිස්ස නෙවෙයි ජයේ වුණා. ගුරුවරු පවා මට කිව්වෙ ජයේ කියලා. එහෙමයි කියලා මට වෙනසක් දැනුනේ නෑ. මොකද මගේ පොඩි කාලේ ලස්සන නෑ මට හැමදාම ලෙඩ. හොටුගලනවා, කැස්ස, ඇඟේ කුෂ්ටයක් දාලා තුවාල තැනින් තැන. ඇදුම තිබුණ අපස්මාරය තිබුණා. කෙටියෙන්ම කියනව නම් ලෙඩ ගෝදාවක්. මට මතකයි පුංචි කාලේ මට ගමේ මිනිස්සු කිව්වෙ ගොබ්බා කියලා. “හා ගොබ්බො හොරි හොඳද…?” කියලා ගමේ මිනිස්සු මගෙන් අහනවා මට අද වගේ මතකයි. ඒ විතරක් නෙවෙයි ඉස්කෝලෙදි ගුරුවරු හැම වෙලාවෙම මට දොස් කිව්වා මට මතකයි නහය ශුද්ධ කරගන්න මුහුණ හෝද ගන්න වගේ කතා හරියට කිව්වා මට මතකයි. පුංචි කාලේ මාව හැම අතකින්ම කොන් වුණා මිනිස්සු හැමෝම දැක්ක ලෙඩෙක් විදිහට ඒ නිසාම මහා නිශ්ශබ්ද චරිතයක් විදිහට තමයි මම මගේ පුංචි කාලේ ගෙව්වේ…”

ජයතිස්ස සිය කුඩා කල මතක අවදි කළේය. ඒතරම් දුර්වල වුවත් ඔහුගේ මව ඔහු අත්හැරියේ නැත. පියා ඔහුගේ ආදරය ජයතිස්සට පෙන්වූයේ අමුතුම අන්දමකටය. ඒවා සිහිකරන ජයතිස්ස අදටත් අහස දෙස බලා සුසුම්ලන්නේ ඒ අතීතය මොනතරම් නම් සුන්දරද කියා විය හැකිය.

පුස්තකාලෙ පොත් හොරකම

“ඉස්කෝලේ පන්තියෙන් පන්තියට ගියාට ඉගෙන ගන්න ලොකු උවමනාවක් තිබුණෙ නෑ. ඒ උනාට පොත් කියවන්න පුදුම ආසාවක් තිබුණේ. මම පුස්තකාලවල පොත් කියවන්න හොඳට පුරුදු වෙලා හිටියා. ඒ උනත් ගුරුවරු මට වැඩිය කැමති නැති නිසා මට පුස්තකාලේ පොත් ගන්න ඉඩ දුන්නේ නෑ. වෙලාවකට මට ඒවට හරිම තරහයි. මම ඒ වෙලාවට පොත් හොරකම් කළා. මමත් දැනගෙන හිටියා ඒක හොඳ වැඩක් නෙවෙයි කියලා නමුත් මට පොත කියවන්න තිබුණෙ අසීමිත ආසාවක්. ඒ කාලෙ පොත් ගන්න හැකියාවක් තිබුණෙත් නැහැනේ.

මම කියවපු හැම පොතකම වීර චරිත තිබුණා. මම හිතෙන් ඒ චරිත මවා ගත්තා. සමහර වෙලාවට මට ඕනෑ වුණා වීරපුරන්අප්පු, ගොංගාලෙ ගොඩබණ්ඩා වගේ චරිත වෙන්න. ඒ වගේ චරිත ගැන අහුවෙන අහුවෙන පොත් මං හොඳටම කියෙව්වා. කියෙව්වා විතරක් නෙමෙයි සෙල්ලම් කරනකොට ගමේ කොල්ලෝ කුරුට්ටො එක්ක මම මේ පුරන්නප්පු වගේ චරිතයක් තමයි කියන සිතිවිල්ලෙන් තමයි කටයුතු කළේ. පුංචි කාලේත් වෙලක් ඉපනැල්ලක් ලන්දක් කැලෑවක් ඉතුරු කළේ නෑ. පිළිමතලාවෙන් පටන් ගත්තම දන්තුරේ මැණික්දිවෙල කෙළවරට යනකම්ම ඇවිදගෙන යනවා. සෙල්ලම් කරනවා ගඩා ගෙඩි කනවා.. කොල්ලෝ කුරුට්ටෝ එක්ක රණ්ඩු කරනවා. පොඩි එවුන් උසුළු විසුළු කරන හින්දා කකුල් දෙක වැහෙන්න හැම වෙලේම සරම ම තමයි ඇඳගෙන හිටියේ. ඒ තරම්ම කටුකයි මගේ ළමා කාලේ…”

සූර සරදියෙල් රොබින්හුඩ් වීමට ආසාව

හැත්තෑ එකේ කැරැල්ලේදී කොස්තාපල්ට වෙඩි තබා කඩුගන්නව පොලිසිය ඇල්ලූ ජයතිස්ස

බොහෝ විට අයෙකුගේ ජීවිතයේ හොඳ නරක යහපත් අයහපත් සියල්ල තීරණය කරනුයේ පාසල් ජීවිතය ය. ජයතිස්ස නමැති කැරලිකරුවා බිහි වන්නට ද පාසල් ජීවිතය බලපාන්නට ඇතැයි අපි සිතමු. දරුවකුගේ කායික මානසික සංවර්ධනය උදෙසාත් ආකල්ප සංවර්ධනය උදෙසාත් අත්දැකීම් බලපානුයේ මුහුදු රැල්ල පරිද්දෙනි. ජයතිස්සට ද එලෙසය.

“අපේ අම්ම තාත්තත් කසාද බැඳලා තිබුණේ අහඹු සිදුවීම් ගොන්නක් එක්ක. ඒ දෙන්න හරිම සතුටින් ආදරෙන් ජීවත් උනා. දරුවෝ හදා වඩා ගත්තා. මට බාල මල්ලි කෙනෙකුත් හිටියා. එයා මියගියා.

හයේ පන්තිය හතේ පන්තිය වගේ වෙනකොට මගේ හොරි දද කුෂ්ට රෝග හොඳ වුණා. ඒත් මම පන්තියෙ බොහොම නිහඬ චරිතයක් වුණා. අලුතින් ආපු ළමයි මට බය වුණා. මට හිතාගන්න බැරි වුණා ඒ මොකද කියලා. දවසක් මම අහගෙන හිටියා එක ළමයෙක් කියනවා මං අර අරූට තමයි බය කියලා. මට තේරුණා මුං මගේ නිශ්ශබ්දකමට තමයි බය කියලා. මට හිත ඇතුළෙම පොඩි සතුටකුත් ආවා. ඔය කාලෙ මම රොබින්හුඩ් බලනවා… සිංහල හින්දි චිත්‍රපට බලනවා රොබින්හුඩ් සූරසරදියෙල් ගාමිණි ෆොන්සේකා මගේ ඔළුවේ රජ කරනවා. සූර සරදියෙල් වගේ චරිතයක් වෙන්න මට ලොකු උවමනාවක් තිබුණා.

ආරක්ෂිත තෛලයේ බලය

ඔය අතරේ මගේ ජීවිතේ සියලුම සංසිද්ධියන් වෙනස් කළ සිද්ධියක් සිද්ධ වුණා. අපේ ගෙදර බුදු පහන තියලා බොහෝම ධර්මානුකූල චාරිත්‍ර විධි සිදුකරපු තැනක්.

ඔන්න දවසක් තාත්තා කතරගම ගිහිල්ල එනකොට ආරක්ෂිත තෛලයක් අරගෙන ආවා. මේ තෛලය ගෙදර ඉස්සරහ දොර උඩින් උළුවස්ස උඩ තියලා තිබුණා ගේ ඇතුලට විශාල ආරක්ෂාව ලබාගන්න. මේ දවස්වල අපි කැලෑ පනිනවා. ඒ කියන්නේ කුරුට්ටෝ ඔක්කොම එකතුවෙලා කැලෑ වැදිලා ගඩා ගෙඩි කාලා සෙල්ලම් කරලා එනවා. අපේ කණ්ඩායමේ හිටපු එකෙක් මගෙත් එක්ක පොඩි නොහොඳ නෝක්කඩුවක් තිබුණා. ඒ ළමයාගේ වැඩේ මට ගහන එක. මට හිත ඇතුළෙ පුදුම කේන්තියක් තිබුණේ. ඒ කොල්ලට තඩි බාන්න මට ලොකු වුවමනාවක් තිබුණා. මං හිතුව අර ආරක්ෂිත තෛලය තිබුණොත් වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයි කියලා. එහෙම හිතලා මම ආරක්ෂිත තෛලය සරමෙ ඉනේ තද කරගෙන ගැටයක් ගහලා තියාගෙන එදා ළමයි එක්ක සෙල්ලම් කරන්න ගියා. කොහොම හරි මම ටිකක් ඔය කාලේ මන්ත්‍ර ගුරුකම් විශ්වාස කරනවා. එදා තෙලේ බලෙන් හොඳ පාරවල් ටිකක් දෙනවා කියලා හිතාගෙනමයි මං ගෙදරින් ගියේ. කොහොම හරි රණ්ඩුවකුත් ඇවිස්සුනා. මම ගැහුවා කියන්නේ මට හිතාගන්න බැරි උනා කොහොමද ඒ තරම්ම මම ඒ ළමයට ගැහුවෙ කියල. ඒ ළමයා නැගිට ගන්න බැරි තරම් ගුටි කෑවා. මම ඉතින් අර තෙල් බෝතලේ තවදුරටත් විශ්වාස කළා.

පහුවදා මට තෙල් බෝතලේ අරගෙන යන්න බැරි වුණා. එදත් ඔය ළමයි අපිත් එක්ක ආවා. මාව කන්ඩ වගේ තරහකින් තමයි ඔය ළමයා හිටියේ. අපි වැල කඩල කෑවා. වැල ගෙඩිය ප්‍රශ්නෙකට ආයිත් අපි දෙන්නා රණ්ඩු වුණා. එදත් මම හොඳටම ඒ ළමයට ගැහුවා. ඒ ළමයාව තුවාල වෙන තරමටම බිම ඇදගෙන වැටුණා. තෙලේ බලයක් නැතුව කොහොමද මම ගැහුවෙ කියල මටම පුදුමයි.

ඒ වෙනකම්ම මම දැනන් හිටියේ නෑ මට ගහගන්නවත් මොනවත් කරගන්න පුළුවන් කියලා. ඔන්න ටික දවසකින් මට තේරුණා මගේ ඇඟේ හයියයි හිතේ හයියයි දෙක එකට එකතු උනහම ලොකු ශක්තියක් ඇති වෙනවා කියල. ඒ විශ්වාසය මත එදා ඉඳන් මම කොලු රැලේ ලොක්කා වුණා…”

ඔය අතරම මම ගෑනු ළමයෙක් යාළු කරගන්න වශී ගුරුකමකුත් කරා. ඉස්සර පත්තරවල තියනවනෙ වශී ගුරුකම් කරනු ලැබේ කියලා. ඒ අනුව සල්ලිත් එක්ක නම් දෙකක් යවලා බලාගෙන හිටියා. ඕකට මගේ යාළුවෙකුත් උදව් කරා. අන්තිමට තහඩු කෑල්ලකුත් ආවා ඒක අරගෙන ගිහින් ගෑනු ළමයගෙන් ඇහුවාම ගෑනු ළමයා වශී වෙයි කියලා තමයි ඒකේ ලියලා තිබුණේ. මොන වශී වෙනවද වෙනදට මුහුණ දිහා බලපු ගෑනු ළමයා එදා බලන්නේවත් නැතුව යන්න ගියා. දැන් නං ඒ අතීතය හරිම රසවත් කියලා මට දැනෙනවා…”

හොරාකමින් දන් දීම

ජයතිස්සගේ ජීවිතේ පියවරෙන් පියවර රසවත්ය. තමන් ලද අත්දැකීම් මත ඉදිරියට යන්නට ඔහුට අවස්ථාව උදා වී තිබිණි. ජීවිතයේ පෙරළිකාරම යුගය එළැඹී ඇත්තේ වයස අවුරුදු පහළොවෙන් පසුවය. ඒ වනවිට ඔහු පාසලේ කැපී පෙනෙන දක්ෂයින් අතර සිටි සිසුවෙක් විය. සාහිත්‍ය සංගමයේ ලේකම්, ශිෂ්‍ය නායක තනතුරු ලබා සිටි ජයතිස්ස ක්‍රීඩා කෞශල්‍යයන් ප්‍රගුණ කළ සිසුවෙක් විය. උස පැනීම, දුර පැනීම දාසයෙන් පහළ ශූරතා කුසලාන. ඒ සියල්ලට උරුමකම් කියූ ජයතිස්ස විභාගවලට පෙනී සිටීම හොර රහසේම ප්‍රතික්ෂේප කළ සිසුවෙක් විය.

“වයස අවුරුදු 15 දාසය වෙනකොට නම් මම මැරකල්ලි නායකයෙක් වගේ. රණ්ඩුවක් කොතැනද මම එතන. ඒ වෙනකොට අම්ම තාත්තත් දැනගෙන හිටිය මම නාහෙට අහන්නැති දරුවෙක් කියලා. හැබැයි තාත්තා හැම වෙලේම මං ගැන විමසිල්ලෙන් හිටියා ඒක තමයි එයාගේ ආදරේ මට දැනුන තැන. අම්මත් එහෙමයි වෙලාවකට මම ගුටි ගහගෙන ආවහම හිනා වෙනවා මිසක් මුකුත් කියන්නේ නෑ. මම ගෙදරින් දෙසැරයක් විතර පැනල ගිය ළමයෙක්. අම්ම තාත්තා අඬා වැළපිලා නෑ. කොහොම හරි ඕකා ආයෙ ගෙදර එයි කියන විශ්වාස ඒගොල්ලන්ට තිබුණා…”

ජීවිතේ හිතට දැනෙන තවත් ලොකු අත්දැකීමක් ලබපු අවස්ථාවක් තමයි ගුරුවරු මාව හෑල්ලු කරපු වෙලාවල්. දවසක් බුද්ධාගම ගුරුවරයා පන්තියෙන් ඇහුවා ඉන්දියාවට ළඟම රට මොකක්ද කියලා.

මම බොහොම උජාරුවෙන් කිව්වා ශ්‍රී ලංකාව කියලා… මම ඒ කියපු හඬට ගුරුවරයා මාව පුටුවක් උඩට නග්ගලා දඬුවම් කළා. අපිට පන්තියක් ඉහළින් හිටිය බණ්ඩාර මැණිකේ වෙලාවකට සිංහල උගන්වන්න අපේ පන්තියට එනවා. එයාට බණ්ඩාර මැණිකේ කිව්වා කියලත් මං දඬුවම් ලැබුවා. ඒවා මගේ හදවතේ පතුලටම දැනුන වේදනාවක්. මේ හැම දෙයක්ම මාව කැරලිකාරයෙක් කරන්න පෙලඹුවා… ඒ විතරක් නෙවෙයි ඉස්කෝලේ මා පිළිබඳ තිබුණු විශ්වාසය මත සාමාන්‍ය ප්‍රතිඵල එන්නටත් පෙර මාව උසස් පෙළ පන්තියට දැම්මා. නමුත් මම දන්නවා විභාගය සමත් නොවන බව මොකද මම හරියට විභාගය කරේ නෑ.”

දවසක් මං නුවර පොලිසියට යනකොට පොලිසියේ බිත්තියේ ගහල තිබුණ දැන්වීමක්. The most wanted 10 (දහ දෙනෙක් අත්‍යවශ්‍යව ඇත) කියලා. මට ඒක තදින් දැනුනා, පොලිසියට ඕන කෙනෙක් වෙන්න. මෙතන පොලිසියට ඕනේ කිව්වේ මහා පරිමාණයේ හොරු.

හැත්තෑ එකේ කැරැල්ලට සම්බන්ධ වීම

හැත්තෑ එකේ කැරැල්ලේදී කොස්තාපල්ට වෙඩි තබා කඩුගන්නව පොලිසිය ඇල්ලූ ජයතිස්ස

71 කැරැල්ල ලෙසින් හැඳින්වෙන 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල යනු, ලංකාවේ කටවහරේ ඇත්තේ අග්‍රාමාත්‍යවර සිරිමාවෝ බණ්ඩාරනායක යටතේ වූ ලංකාවේ ආණ්ඩුවට එරෙහිව කොමියුනිස්ට් ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) විසින් දියත් කෙරුණු පළමු අසාර්ථක අවිගත් විප්ලවය ලෙසය. 1971 අප්‍රේල් 5 දින ඇරඹුණු කැරැල්ල, 1971 ජුනි මස වන තුරු පැවතිණි. සන්නද්ධ හමුදාවන් විසින් එම ප්‍රදේශ යළි-අල්ලා ගැනුමට පෙර, සුළු නගර සහ ගම්බද පළාත් කිහිපයක්, සති කිහිපයක් මුළුල්ලෙහි අල්ලා ගෙන යටත් කරගෙන සිටීමට කැරලිකරුවෝ සමත් වූ බව එවකට මාධ්‍ය හරහා ප්‍රකටව ගිය කතාවක් විය. ඒ වග ජයතිස්ස මහතාගේ කථාවෙන් හොඳ හැටි පැහැදිලි විය.

මව්බිම නැත්නම් මරණය

මව්බිම නැත්නම් මරණය කියල කණ්ඩායමක් බෙදිලා සටන් කරන්න ලෑස්ති වෙද්දි මගෙත් ඇඟේ ලේ කකියන්න පටන් ගත්තා. විප්ලවීය පන්නරයක් ලබන්න මමත් පොලු කණ්ඩායමට බැඳුනා. ඒ කාලේ කණ්ඩායම් පහක් සන්නද්ධ වෙලා හිටියේ. දන්තුරේ පාර දඹලන්ද හන්දියේ තමයි රැස්වීම් පැවැත්තුවේ. මං එතන වීරයෙක් වගේ හිටියේ. හිත ඇතුලෙ ආඩම්බරේ දෝරෙ ගලනවා. මොකද මට ඕනේ වෙලා තිබ්බේ වීරයෙක් වෙන්න නේ? මම අම්මට මේ ගැන කියල තමයි ගෙදරින් ආවේ අම්ම කිව්වා පිටිපස්සට වෙලා පරිස්සම් වෙන්න කියලා එතන තමයි පොඩ්ඩක් හිත රිදුනේ. මං කොහෙද පිටිපස්සට යන්නේ මම ඉස්සරහින්ම යන්නේ.

තවත් රැස්වීමක් පැවැත්වූවේ පේරාදෙණියේ කැම්පස් එක ඇතුලේ හැම එකේදිම මම මුලටම ආව.

“ශ්‍රී ලංකාව දූපතක් දික් ගැසුණු ගරිල්ලා සටන් මේකේ කරන්න බෑ. එක රාත්‍රියකින් අපි රට අල්ලන්න ඕනේ කියලා…” මේ කණ්ඩායම්වල දැක්ම වෙලා තිබුණා. අපිටත් ඉතින් ආයේ දෙයක් නෑ. ඇඟේ තිබ්බ ගැම්මත් හිතේ තිබුණ ගැම්මත් එකට එකතු වෙලා ඔන්න ඉතින් ලේ කකියන්න පටන් ගත්තා. එදා මොනතරම් ලොකු කතා දැම්මත් අපි ළඟ අවි ආයුධ තිබුණෙ නෑ. එක එක්කෙනා තම තමන්ට ආයුධ හොයාගත්ත විතරයි. මමත් තුවක්කුවක් හොයාගත්තා. ඊට පස්සේ අපි මාලිඟාතැන්න පන්සලේදි එකතු වුණා. මම ඒ වෙලාවේ ලොකු කතාවකුත් කරා අම්මෝ ඔය වෙලාවේ තිබුණ සතුට. කට්ටිය අත්පොළසන් දෙනකොට ඉතින් මම තමයි හිටපු ලොකුම වීරයා…

කඩුගන්නාව පොලිසිය අත් පත් කරගැනීම

කණ්ඩායම් තුනකට බෙදිලා මාලිගාතැන්න පන්සලෙන් අපි පිටත් වුණා හරියටම අප්‍රේල් පස් වැනි දා. එක කණ්ඩායමක් හිටියේ විදුලි රැහැන් කපලා කරුවල කරන්න. තව කණ්ඩායමක් හිටියේ මාර්ග අවහිර කරන්න. අනිත් කණ්ඩායමේ අපි හිටියේ සටන් කරන්න.

අපි නුවර කඩුගන්නාවට යන්න තමයි ගියේ. ඒ අතරේ වැල්ලවාය සටන පටන් අරගෙන තිබුණේ. ඒක කලින්ම ආරංචි වෙච්ච හින්දා රටටම ඇඳිරි නීතියක් දැම්මා මොකද කරන්නේ එවකට ආණ්ඩුව හිතුවේ අපි හොඳ ආයුධ සන්නද්ධ පෙරළිකාර කණ්ඩායමක් කියලා. ඒකෙ ඇත්ත තත්ත්වය දන්නේ අපි. ආයුධ සන්නද්ධ කෙසේ වෙතත් තුවක්කුවක් වත් ඊට කලින් අල්ලලා තිබුණේ නෑ.

කොහොම හරි ඔන්න මාත් එක්ක අට දෙනෙක් පොලිසිය පැත්තට ගියා. කිරිටින් බෝම්බයක් ඇරගෙන පොලිසිය පිටිපස්සෙන් කණ්ඩායමක් ගියා. මගේ අතේ තිබ්බ තුවක්කුවත් දික් කරගෙන මම ඉස්සරහින් ගියා කඩුගන්නාව රේල් පාර පැත්තෙන් පොලිසිය දිහාට යනකොට බල්ලෙක් බුරාගෙන ආවා. ඒ වෙලාවේ පොලිසියත් ලෑස්තිවෙලා හිටියේ.

ශයදීඤචද්‍ධචඳීඥ »රඳී‘ද්‍ධිඬද්‍ධිං ඍදූ‘ද්‍ධඤූ ජංකද්‍ධිඬද්‍ධඬගගගබල්ලා බුරාගෙන එන දෙසට පොලිසියෙනුත් දෙතුන් දෙනෙක් එනවා දැක්කා. කොහොම හරි මාව දැකලා පොලිස්කාරයෝ තුවක්කු බයිනෙත්තු මෙහෙට එහෙට හෙමින් හරවද්දි මම දෙසැරයක් නොහිතා මගේ අතේ තිබුණ තුවක්කුවේ කොකා ගැසුවා. ඉදිරියට ආපු පොලිස් කොස්තාපල්වරයා එතනම මැරිලා වැටුණා.

මට ඉතින් පුදුම සතුටක් මං තරම් වීරයෙක් නෑ මොකද අපේ කණ්ඩායමේ කට්ටිය ප්‍රීති ඝෝෂා කරනවා. මනුස්සයා මැරිල බිම වැටෙද්දී පොලිසියෙ අනිත් අය සීසීකඩ දිව්වා. අපි පොලිසිය ඇතුළට ගිහිල්ලා පොලිසිය අල්ලගත්ත. සටනක් කරන්න මෙච්චර ලේසි ද කියලත් ඒ දවස්වල මට හිතුනා.

ඔය අතරේ පොලිසියේ දුරකථනය නාද වෙනවා. මම හිතුවේ අනිත් කණ්ඩායම් පේරාදෙණියට ගිහිල්ලා පේරාදෙණි අල්ලගෙන එහෙන් මෙහෙට දුරකථන ඇමතුමක් දෙනවා කියල. මම දුරකථනයෙන් ඇමතුම ගත්තා අරගෙන අපි කඩුගන්නාව අල්ලගත්තා කියලා කෑ ගැහුවා. ඇමතුම අරන් තියෙන්නේ පොලිසියෙන්මයි පොලිස් නිලධාරීන්මයි. මට ඇහුනා එහා පැත්තෙන් කියනවා අන්න අරුන් කඩුගන්නාවට රිංගලා කියලා. ටික වෙලාවක් යනකොට හමුදාවෙන් ගිහින් මෙහෙන් ඇවිල්ලා අපිට පහර දෙන්න ගත්තා. කඩුගන්නාව පොලිසි ඉස්සරහ තියෙන කාණුවට මම විසිවෙලා වැටුණා මතකයි. මං හිතුවේ ඒ මැරිලම වැටුණා කියලා. ටික වෙලාවක් ගියහම මට දැනෙනවා අතපය වැඩ කරනවා ශබ්ද බද්ද අඩුවෙලා තිබ්බ. හෙමින් නැගිටල එහාට යනකොට මෙන්න එක එක්කෙනා මගේ පස්සෙන් එනවා බලද්දි අපි හැමෝම ආපහු එකතුවෙලා පැනගත්තා.

පහුවදා දවසක් දෙකක් හැංගිලා හිටියේ. ගෙදර යනකොට වටේ පිටේ මිනිස්සුන්ට පුදුම සතුටක්. මං මැරෙන්නේ නැතුව ගෙදර ආව කියලා අම්මටයි තාත්තටයි ලොකු සතුටක් තිබුණා. ඒ බව තාත්තගෙ මූණෙන් හොඳටම පෙනුනා. එතන තමයි අම්මගේ තාත්තගේ ආදරේ තදින්ම දැනුන තැන.

පොලිසියෙන් ආරක්ෂා වීම

කඩුගන්නාව පොලිස් කොස්තාපල්ට වෙඩි තිබ්බට පස්සේ මගේ ආරක්ෂාව වෙනුවෙන් අම්මල තාත්තලා මාව තැන තැනට යැව්වා. දවසක් පාන්දර සිල් ගන්න යනවා වගේ සුදු ඇඳගෙන දවුලගල පරණපට්ටිය පාරෙන් ගම්පලට ගිහිල්ලා මේරිවිල්ලවත්තේ. ඔය දොළොස්බාගේ පැත්තෙ අවුරුදු එකහමාරක් විතර හැංගිලා හිටියා. ඒ පැත්තෙ මිනිස්සු මං කවුද කියලා දන්නේ නෑ. ඔය කාලේ ඒ පැත්තේ මම හරි ප්‍රසිද්ධයි. තරුණ ජවය මට තිබුණා. කොහොම හරි ජාමේ බේරගන්න මට පුළුවන් වුණා. පරණ බංගලාවක කාලයක් හිටියා. ඒ කිසිම කෙනෙක් මම ජයතිස්ස කියලා දන්නේ නෑ.

ඉංගිරිසි ගුරු වෘත්තිය

එහෙම ඉන්නකොට ඒ ගමේ මිනිස්සුන්ට ඕන උනා තමන්ගේ ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න. දැන් ඉතින් වැඩිහිටියෝ මට කියනවා අපේ ළමයට ඉංග්‍රීසි ටිකක් කියල දෙන්න කියලා. මං කොහෙද ඉංග්‍රීසි දන්නෙ. මං නොදන්න බව පෙන්නන්නෙ නැතුව පොඩි පොඩි පොත් හොයාගෙන පොඩි වචන ඉගෙනගෙන ඒවා ළමයින්ට ඉගැන්නුවා. එතනින් පස්සේ දිගින් දිගටම ඉංග්‍රීසි ඉගෙන ගන්න මට ආසාවක් ඇතිවුණා.

ඔය අතරේ මං ගැන පොලිසියට හෝඩුවාවක් ලැබිලා කියලා අම්මට දැනගන්න හම්බවෙලා තිබුණා. අම්මල තාත්තලා කතා වෙලා හමුදාවේ ජයසිංහ මහත්තයට මාව භාර දුන්නා. ජයසිංහ මහත්තයා මාව උසාවි දාලා මැගසින් බන්ධනාගාරයට එව්වා.

ජීවිතාන්තය දක්වා දඬුවම් සහ තවත් වසර දහයක් සිර දඬුවම් විදිහට නියම වූ හිරකරුවෙක් විදිහට මම බන්ධනාගාරය ඇතුලේ ජීවත් වුණා.

ඒ කාලේ හරිම රසවත්. මං ඉස්සර කියවපු තාගෝර්ගේ පොත්වල හිටපු විශ්වීය මිනිස්සු සියල්ලෝම හිටියේ බන්ධනාගාරේ ඇතුලේ. සිරකාරයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ඉගෙන ගත්තා කොළඹ මැගසින් බන්ධනාගාරේ අවුරුදු හතයි නුවර බෝගම්බර බන්ධනාගාරයේ අවුරුදු දෙක හමාරයි.. විශ්වවිද්‍යාලයකට ගියා වගේ.

මං විතරක් නෙවෙයි රෝහණ විජේවීර, වික්ටර් අයිවන්, සුනන්ද දේශප්‍රිය, විරාජ ප්‍රනාන්දු, මම අපි හැමෝම මැගසින් එකේ විශේෂ කොටසක තමයි රඳවලා හිටියේ. මේ මිනිස්සු හැමෝම ගැන මම ඉතා හොඳින් ඉගෙන ගත්තා.

ඒ අතරින් පොඩි අතුල තමයි මට හුඟක් ආදරේ. අපි හැමෝම අපරාධයේ යුක්ති විනිශ්චය යටතේ නිදහස ලැබුවා. එහෙම වුණා කියලා මට ලොකු සතුටක් දැනුනේ නෑ. නමුත් අම්මයි තාත්තයි මම ජම්බරේ ඇඳලා ඉන්නකොට දුක්වුණ දුක් වීම මගේ හිතට තදින් දැනිලා තිබුණා. ඒ නිසා නිදහස් වීම ඔවුන්ගේ සතුටක් කියලා හිතුවා මම බන්ධනාගාරයෙන් එළියට ආවේ හොඳ ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙලා. ලංකාවේ ජ්‍යෙෂ්ඨතමයෝ ගොඩක් අඳුරගත්තේ බන්ධනාගාරය ඇතුළත දී.

අද මම මේ අතීතයේ සිහි කර කර සතුටින් මගේ පුරුදු ගෙදරට වෙලා ඉන්නවා. පොත් කියවනවා මිනිස්සුන්ට උදව් කරනවා ළමයින්ට ඉංග්‍රීසි උගන්වනවා. තාමත් මගේ ලෝකෙ වීරයා මම තමයි…”

ඒ ජයතිස්ස කුමාරගේ චරිතය ය. එදා වීරත්වය අද සිතින් විඳින ඔහු තවමත් තනිකඩය. ප්‍රේමය විරහව කාටත් සේම ඔහුට ද පොදුය. ඒ සියල්ල තවදුරටත් සිතිවිලි සමග අත්විඳිමින් අත්දකිමින් ඔහු පොළොවේ පය ගසා ජීවත් වෙයි…

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment