බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2017 වර්ෂයේ දී මිලදී ගනු ලැබූ රුපියල් මිලියන 35ක් වටිනා ජීප් රථයක් 2021 වර්ෂයේ දී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙත මුදාහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.
මෙකී ජීප් රථය 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වැනිදා අනතුරකට ලක්ව තිබුණි. මෙකී ජීප් රථයේ අලුත්වැඩියා කටයුතු සඳහා පෞද්ගලික සමාගමක් වෙත රුපියල් මිලියන 19ක මුදලක් ගෙවීමට තිබූ අතර අනතුරට අදාළ රක්ෂණ වන්දි මුදල ලෙස රුපියල් මිලියන 14ක මුදලක් අදාළ රක්ෂණ සමාගමෙන් 2024 පෙබරවාරි මස 09 වැනිදා ගෙවා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් කර ඇත.
මේ වන විටත් අනතුරට අදාළ වගකිවයුතු පාර්ශ්ව හඳුනාගෙන නියෝජිත ආයතනය වෙත ගෙවීමට නියමිතව ඇති ඉතිරි මුදල වන රුපියල් මිලියන 05ක මුදල ගෙවා ජීප් රථයේ අලුත්වැඩියා කටයුතු අවසන්කොට අමාත්‍යාංශය වෙත භාර දී නැති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. අනතුර සඳහා වගකිවයුතු පාර්ශ්ව හඳුනාගෙන අලාභ පියවා ගැනීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශ කර තිබේ. බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කර ඇත්තේ වගකිවයුතු පාර්ශ්ව හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.
බස්නාහිර පළාත් සභාව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
ලලිත් චාමින්ද