ප්‍රේක්‍ෂකයා ඔහුව මුලින්ම හඳුනාගන්නේ පුංචි තිරයෙන්. දඩබිම, කඩවර, සුසීමා, මේ පාරෙන් එන්න, රංසිරිගේ සංග්‍රාමය වැනි ටෙලි නිර්මාණ රැසක කැමරා අධ්‍යක්‍ෂවරයා වන්නේ ඔහුයි. 2001 වසරේදී තිරගත වූ ‘මේ මගේ සඳයි’ චිත්‍රපටයේ කැමරා ශිල්පියා ලෙසින් සිනමා ක්‍ෂේත්‍රයට පිවිසෙන ඔහු තම ප්‍රථම නිර්මාණයෙන්ම නිර්මාණශීලි කැමරා ශිල්පියා ලෙසින් සිග්නීස් උත්තමාචාර ස්වර්ණ සම්මානය හිමිකර ගැනීමට සමත් වෙනවා. එතැන් පටන් ගෙවුණ වසර දහඅටක කාලය තුළ අන්තර්ජාතික සම්මාන තුනක් ඇතුළුව සම්මාන තිහකට අධික ප්‍රමාණයක් ඔහුගේ සම්මාන ගොන්නට එකතු වෙනවා. 2019 වසරේදී තිරගතවූ ‘යූ ටර්න්’ චිත්‍රපටය නිර්මාණය කරමින් චිත්‍රපට අධ්‍යක්‍ෂණයට පිවිසෙන මේ ප්‍රවීණ කැමරා අධ්‍යක්‍ෂවරයා 2024 වසරේදී ‘දූස්රා’ නමින් තම දෙවැනි සිනමා නිර්මාණය රිදී තිරයට ගෙන එනවා. ඔහු චන්න දේශප්‍රිය. ‘දිවයින සිනමා කලා’ මේ සංවාදය චන්නගේ ‘දූස්රා’ ව වෙනුවෙනි.

ඔබ අධ්‍යක්‍ෂණය කළ දෙවැනි සිනමා නිර්මාණය, ‘දූස්රා’ තිරගත කිරීම ආරම්භ වෙනවා?

අපේ සිනමාව තුළ වැඩ අවසන් වුණත් තිරගත කරන්න අවස්ථාවක් නොලැබුණ චිත්‍රපට ගොඩක් තියෙනවා. ඒකට විවිධ හේතුත් තියෙනවා. මගේ දූස්රා චිත්‍රපටයේ වැඩ අවසන් වුණේ 2020 අවුරුද්දේ. නමුත් කොරෝනා සහ රටේ ඇතිවුණ විවිධ ප්‍රශ්න නිසා තිරගත කිරීම ප්‍රමාද වුණා.

හැමදේකම වගේ සිනමාවේත් ක්‍රමවේදයක් නෑ….. - අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය

දූස්රා නිර්මාණය වෙන්නේ කොහොමද?

දූස්රා පිටපත ලියන්නේ මම. ඒකට මම ලබපු පොඩි පොඩි අත්දැකීම් එහෙමත් එකතු කරගත්තා. මේ පිටපත ලියාගෙන හිටියත් නිෂ්පාදකවරයෙක් ගැන අදහසක් තිබුණේ නැහැ. එක දවසක්, දැනට ප්‍රංශයේ ජීවත් වෙන ලක්‍ෂාන් අබේනායක එක්ක මම කතා කරන අතරතුර පිටපත ගැන කිව්වාම ඔහු කැමැති වුණා චිත්‍රපටය නිෂ්පාදනයට දායක වෙන්න. මේ විදිහට තමයි දූස්රා නිර්මාණය වෙන්නේ.

කැමරා අධ්‍යක්‍ෂවරයෙක් වන ඔබ නිර්මාණයේ අධ්‍යක්‍ෂවරයා වන විට මුහුණ දුන් අභියෝග මොන වගේද?

මම කැමරා ශිල්පියෙක් විදිහට ලබපු අත්දැකීම්වලින් ඉතා සුළු ප්‍රමාණයක් තමයි චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා විදිහට කටයුතු කරද්දි මට වුවමනා වුණේ. නමුත් කැමරා ශිල්පියෙක් හැටියට යම්කිසි විදිහකින් මම ගොඩනඟාගත්ත දේවල්, පුද්ගල සම්බන්ධතා නිසා රංගන ශිල්පීන්, අනෙකුත් කාර්මික ශිල්පීන් වැනි අය සමග ගනුදෙනු කිරීමේදී ගොඩක් ප්‍රයෝජනවත් වුණා. කැමරා ශිල්පියෙක් අධ්‍යක්‍ෂවරයෙක් වුණ එක ගැන කෙටියෙන් කිව්වොත්, අධ්‍යක්‍ෂවරයෙක් වෙන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි. හැම මොහොතම අභියෝගයක්. මේ මගේ දෙවැනි චිත්‍රපටය. නමුත් පළමුවැනි එකේදීම මම ඒ බව දැනගෙන තමයි වැඩේට ලෑස්ති වුණේ.

හැමදේකම වගේ සිනමාවේත් ක්‍රමවේදයක් නෑ….. - අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය

කැමරා අධ්‍යක්‍ෂවරයාගේ භූමිකාවෙන් ඈත් වෙන්න අදහසක් තියෙනවාද?

නෑ. එහෙම අදහසක් නැහැ. අධ්‍යක්‍ෂණයත් එක්ක බලද්දි ඒක කොච්චර ලේසිද කියල හිතෙනවා.

චිත්‍රපටයක් ප්‍රදර්ශනයේදී ඇතැම් නිර්මාණකරුවන්ට අසාධාරණයක් සිදුවෙන බවට චෝදනා කරනවා?

අපිට වෙලාතියෙන්නෙ අනෙක් හැමදේකම වගේ සිනමාවේත් ක්‍රමවේදයක් නැති එක. ටෙලි නාට්‍ය හදනවා විතරයි. නමුත් විකාශය කරගන්න බැරිව බොහෝ ප්‍රමාණයක් තියෙනවා. සැපයුම සුලබ නිසා ඉල්ලුම අඩුවෙලා. සිනමාවටත් ඒ වගේ. අනෙක් කාරණාව තමයි ප්‍රදර්ශකයන් සහ නිර්මාණකරුවන් දෙපිරිසක් විදිහට තමයි ඉන්නේ. මේ අය එක තැනකට ගේන්න පුළුවන් ක්‍රමයක් හැදිලා නැහැ. ඉතින් මෙතැනදී මොකක් හරි හේතුවක් තිබුණොත් උඩට එන්න පුළුවන්. එහෙම නැතිව බොහෝ වෙලාවට ප්‍රදර්ශනයේදී නිර්මාණය හොඳයි කියන දේ සාධකයක් වෙන්නේ නැහැ. නමුත් සාර්ථක ධාවනයකට නිර්මාණය ගුණාත්මක විය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ.

සමස්තයක් ලෙස වර්තමාන සිනමා කර්මාන්තය ඔබ දකින්නෙ කොහොමද?

ඇත්තටම ඒක ඒ තරම් සැපපහසු තැනක් නෙමෙයි. අපෙන් පස්සෙ එන අයට තවත් අපහසුතා ඇතිවෙයි. මොකද මේ ක්‍ෂේත්‍රයේ දැන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතර දක්‍ෂ අයත් ඉන්නවා. නමුත් ප්‍රේක්‍ෂකයන් අඩුවෙලා. මේකට හේතුව නිර්මාණවල ගුණාත්මක බවේ අඩුවක් නෙමෙයි, සිංහල ඕඩියන්ස් එක නැතිවෙලා තියෙන්නේ ඔවුන්ට කිසිම සංස්කෘතික වටිනාකමක් නැති නිසා. දමිළ චිත්‍රපටයක් ආවොත් ඔවුන්ගේ ප්‍රේක්‍ෂකයන්ගෙන් සිනමාශාලා පිරෙනවා. එහෙම වෙන්නේ ඔවුන්ගේ සංස්කෘතික ලක්‍ෂණ නිසා. අපිට එහෙම එකක් නැහැ. කලා සංස්කෘතික දේවල්වලට කිසිම සෙන්ස් එකක් නැති ජාතියක් වෙලා. ටිකට් එකක් දීල චිත්‍රපටයක් බලනව වෙනුවට කොහෙන්හරි බාගන්නවා කියන අදහසින් තමයි ඉන්නේ. නමුත් වෙහෙර විහාර හදන්න වියදම් කරනවා. එහෙම ජාතියක් එක්ක සිනමාවක් පවත්වාගෙන යන්නෙ කොහොමද කියල ප්‍රශ්නයක් තියෙනවා.

දූස්රා නිර්මාණයේදී මුහුණ දුන් අභියෝග මොන වගේද?

මම මේ චිත්‍රපටයේ රූගතකිරීම් 2019 වසරේදී අවසන් කරලා පසු නිෂ්පාදන කටයුතු සඳහා ප්‍රංශයට ගියා. එහිදී කොරෝනා වසංගතය පැතිරීම නිසා දවස් පහළොවකින් එන්න අදහස් කරපු මට මාස දෙකහමාරක් ප්‍රංශයේ නවතින්න සිදු වුණා. ලංකාවට ආවත් නිරෝධායනයට ලක්වෙලා තමයි සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් වුණේ. මේ දේවල් එක්ක දූස්රා වැඩකටයුතු කරගන්න එක ලොකු අභියෝගයක් වුණා.

වර්තමාන සිනමාවේ ප්‍රගතියක් තියෙනවද?

රටක සිනමාව විතරක් පිබිදෙන්නෙ නැහැ. හැම ක්‍ෂේත්‍රයකම පිබිදීමක් ඇතිවුණොත් විතරයි සිනමාවේත් පිබිදීමක් ඇතිවෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත්, ලංකාවේ ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ පිබිදීමක් ඇතිවෙනවා කියලා… එහෙම වුණොත් රාත්‍රි එකට දෙකට වුණත් අපිට චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න පුළුවන්. යාපනයේ දැනටමත් රාත්‍රි 1.00ටත් දර්ශන වාරයක් තියෙනවා. දැනට ලොකු දෙයක් නැති වුණත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මට්ටමක තියෙනවා.

මහේෂ් එදිරිසිංහ
සංස්කරණය-දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment