හැමදේම හොඳටයි – රජ්ජුරුවෝ සහ පුරෝහිත කතාව පවිත‍්‍රා සිහි කරයි

625

පවිත‍්‍රා සෞඛ්‍යයෙන් ඊයේ  සමුගනිමින්…

සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ප‍්‍රවාහන අමාත්‍යාංශය තමාට ලැබුණේ අනපේක්‍ෂිත මොහොතක බවත් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හොඳට යැයි කියා සිතන බවත් ඊයේ (16 දා) සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සමුගෙන යන මොහොතේ හිටපු සෞඛ්‍ය ඇමැති සහ වත්මන් ප‍්‍රවාහන ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

තමාට සෞඛ්‍ය අමාත්‍යාංශය අහිමිවේ යැයි ජනාධිපති කාර්යාලයට යනතුරු නොසිතූ බවත් මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්ව යෑමට සිදුවීම ගැන කනගාටුවක් ඇති වන බවත් ඇය පැවසුවාය.

ඊයේ පැවැති කැබිනට් සංශෝධනයේදී සෞඛ්‍ය අමාත්‍යධුරය ඉවත්කර ප‍්‍රවාහන අමාත්‍යධුරය ලැබීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍යාංශයෙන් සමුගෙන යෑමට පෙර සිය කාර්ය මණ්ඩලය අමතමින් එසේ පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද කීවාය.

ජනාධිපති කාර්යාලයට එන්න කියලා පණිවුඩයක් ලැබුණාම කැබිනට් සංශෝධනයක්ද දන්නේ නැහැ කියලා මම කිව්වා. ඒත් මගේ අමාත්‍යාංශය වෙනස්වේ යැයි කියා හිතුවේ නැහැ. නොසිතූ මොහොතක සිදුවූ මෙම අමාත්‍යාංශ වෙනස්වීම මම හිතන්නේ හැම දෙයක්ම සිද්ධ වන්නේ හොඳටයි කියලා.

උපමා කථාවක් තියෙනවා රජ්ජුරුවොයි පුරෝහිතයි ගමනක් යන විට කවදාවත් ඉලක්කය වරදින්නේ නැති රජතුමාට එදා මුවෙකුට දුන්නෙන් විද්ද ඉලක්කය වරදිනවා. එවිට රජතුමා පුරෝහිතගෙන් අහනවා පුරෝහිත ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. පුරෝහිත කියනවා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හොඳටයි කියලා. ඔහොම ඉස්සරහට යනකොට රජ්ජුරුවන්ගේ කඩුවෙන් අතේ ඇ`ගිල්ලක් කැපෙනවා. එතකොටත් රජ්ජුරුවෝ පුරෝහිතගෙන් අහනවා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. එහිදීත් පුරෝහිත කියනවා ඒකත් වෙන්නේ හොඳටයි කියලා.

එය අහලා රජ්ජුරුවන්ට කේන්ති යනවා. රජ්ජුරුවෝ පුරෝහිතව වළක දමා යන්න තියෙන පාරේ නැතිව වෙනත් පාරක යනවා. ඔහොම යනකොට ගෝත‍්‍රිකයන් පිරිසකට හසුවෙනවා. එහිදී ඔවුන් රජතුමාව බිලි පූජාවකට යොදාගන්න හදනවා. නමුත් එහිදී රජ්ජුරුවන්ගේ අතේ ඇ`ගිල්ලක කෑල්ලක් නැති බව දැක බිලිපූජාවට ගැනීම අත්හරිනවා. මොකද බිලි පූජාවට ඕනෑ සම්පූර්ණ මිනිස් සිරුරක්.

මෙම සිද්ධියත් සමග රජ්ජුරුවන්ට පුරෝහිත කියූ දේවල්වල වටිනාකම දැනෙනවා. වහාම ගොස් පුරෝහිතව වළෙන්ගොඩ ගන්නවා. පුරෝහිත මට ඔබ කියූ දෙය වැටහෙන්නේ දැන් කියා සමාව ඉල්ලනවා.

එහිදී පුරෝහිත කියනවා රජතුමනි ඔබ මා වළට දමා නොගියානම් මමයි ඔය බිලි පූජාවේ බිල්ල වන්නේ කියා. එනිසා ඔබ මාව වළට දමාගිය එකෙන් මගේ ජීවිතය බේරුණා කියලා.

ඒ නිසා මේ හැම දෙයක්ම වෙන්නේ හොඳට කියා අපි හිතමු. එන දෙයක් බාරගමු නව ඇමැතිවරයාට ඔබගේ සහාය ලබා දෙන්න. තව සති හතරක් යනවිට එන්නත් කිරීමේ ඉලක්කය සම්පූර්ණ වෙනවා. එවිට අපට මේ කොරෝනා ව්‍යසනයෙන් බේරෙන්න හැකියාව ලැබෙයි.

මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදන, මිලදී ගැනීම් සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සහභාගි විය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment