හැම දේටම උසාවි ගිහින් රට සංවර්ධනය කරන්න බෑ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

177

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ඉන්ටනැෂනල් ඉන්ඩස්ටි්‍ර එක්ස්පෝ 2024 (International Industry Expo 2024) ප්‍රදර්ශනය ඊයේ (19 දා) පෙරවරුවේ විවෘත කරමිනි.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය ඊයේ සිට ජූනි 23 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

විවිධ රටවල් නියෝජනය කරමින් ජාත්‍යන්තර කර්මාන්ත ව්‍යවසායකයින් මෙන්ම දේශීය මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ දහසකට අධික පිරිසක් මීට එක්ව සිටිති. මෙය ප්‍රදර්ශන කුටි 1307කින් සමන්විත අතර හරිත කර්මාන්ත කලාපයක් ලෙස වෙනම පරිශ්‍රයක් පළමු වරට ප්‍රදර්ශනයට එක් කර තිබීම විශේෂත්වයකි. මෙම ප්‍රදර්ශන කාලයේ දී හරිත කර්මාන්තකරණය පිළිබඳ පර්යේෂණාත්මක විද්වත් සමුළුවක් ද පැවැත්වෙයි.

අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන සෑම කටයුත්තකදීම අධිකරණයට යෑමට ඇතැමුන් පුරුදු වී ඇති බවයි. එසේ කිරීමෙන් රට සංවර්ධනය කළ නොහැකි බවත්, ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.


advertistmentadvertistment