හැම රෙද්දකම කුණු සුද්ධ කරන පාරාදීසයේ පෙදෙසේ ලොන්ඩරිවත්ත

149

දැන් ලොන්ඩරිවත්තට කියන්නේ පාරාදීසයේ පෙදෙසේ කියලයි

අපි ගැන බලන්න කවුරුවත් නෑ

යාපනේ රෙදිත් හෝදන්නෙ අපි

වත්ත ඇතුළෙ සිංහල, දෙමළ භේදයක් නෑ.

අපේ දරුවො මේ රස්සාව කරන්න කැමැති නෑ

හොඳින් හිරු පායා ඇත. එබැවින්දෝ ලොන්ඩරිවත්ත බෙහෙවින් කඩිසර ය. ඉණක් තෙක් උස්ව බඳින ලද ටැංකි සියල්ල ම ජලයෙන් පිරී ගොස් ය. ඒ අසල එක් ජල ටැංකියකට එකක් සේ තබන ලද අපුල්ලන ගල් දැකිය හැක. ජල ටැංකි පනහකින් සමන්විත ලොන්ඩරිවත්ත වටකොට තනන ලද කඩ කාමර පනහක් පමණ දැකිය හැක. ඇතැම් කඩ කාමර මුළුමනින්ම වෙන්කර ඇත්තේ සෝදා පිරිසිදු කරන ලද ඇඳුම් මැදීම පිණිස ය. තවත් කඩ කාමර කීපයක් කිළිටි රෙදි ගබඩා කිරීම පිණිස වෙන්කර ඇත. ඉහළ අහසට හොඳින් නිරාවරණය වන එළිමහන වෙන්කර ඇත්තේ සෝදා පිරිසිදු කරන ලද රෙදිපිළි හොඳින් වියළා ගැනීම පිණිස ය.

ඉහත විස්තර කරන ලද්දේ කොළඹ ආමර්වීදිය පැරඩයිස් පෙදෙස පිහිටි එක්තරා වැඩබිමක් පිළිබඳ විස්තරයක් ය. වැඩබිමක් යනුවෙන් හැඳින්වුව ද, එහි යන්ත‍්‍ර සූත‍්‍ර කිසිවක් නැත. එහි ගිය අපට දැක ගත හැකි වූවේ දෑතේ වීරියෙන් ජීවත් වීම පිණිස වෙර දරන මිනිසුන් සමූහයක් ය. ඉණක් ජලයේ බැස රෙදි සෝදන මිනිසුන් ද ඔවුන් විසින් සෝදා පිරිසිදු කරන ලද රෙදිපිළි වියළීම පිණිස රැගෙන යන තවත් පිරිසක් ද එහි අවසන් අදියරය ලෙස පොල්කටු අඟුරු ඉස්ත‍්‍රික්ක භාවිතයෙන් රෙදි මදින මිනිසුන් ද කඩිමුඩියේ තම දෛනික රාජකාරියේ යෙදී සිටින්නේ කාලයෙන් මොහොතක්වත් අපතේ නොයැවීමේ අරමුණෙන් යුක්තව ය. හොඳින් හිරු පායන සෑම දිනකම ලොන්ඩරිවත්ත එබඳු මුහුණුවරකින් යුක්ත ය. ලොන්ඩරිවත්තේදී මුණගැසුණ නාදුනන මිනිසුන් කීපදෙනකු සමග සිදුකළ කතාබහකින් ඒ බව හෙළිදරව් විය. එහිදී ලොන්ඩරිවත්තේ අතීතය පිළිබඳ කෙටි විස්තරයක් අප හමුවේ හෙළිදරව් කළ මැදිවිය ඉක්මවන ලද පුද්ගලයෙක් එම විස්තරය පැවසීම පිණිස කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර සිටියේ තම නම, ගම, ඡායාරූප ආදිය පත්තරේ පළ නොකරන ලෙස ය.

හැම රෙද්දකම කුණු සුද්ධ කරන පාරාදීසයේ පෙදෙසේ ලොන්ඩරිවත්ත

‘‘ඉස්සර මේ වත්තට කිව්වේ ලොන්ඩරිවත්ත’. දැන් ඉන්න පරම්පරාව එය හැඳින්වීමට එච්චර කැමැති නෑ. ඒ හින්ද දැන් මේ ස්ථානය හඳුන්වන්නේ ‘පැරඩයිස් පෙදෙස’ කියලයි. ඒකෙ වරදක් නෑ. මොකද මේක පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ රස්සාවක්. අපේ අත්තල, තාත්තල රස්සාව විදියට කළෙත් මේකම තමයි. ඒ අයගෙන් අපිට මේ රස්සාව ආව. නමුත් අපේ දරුවො මේක කරන්න එච්චර කැමැත්තක් නෑ. මොකද අපි එදා ඉඳන්ම රස්සාව විදිහට කළේ අනුන්ගේ රෙදි හෝදන එකනේ. 1930 දශකයේ මුල් භාගයේ ඉංග‍්‍රීසි හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුම් තමයි මෙතැන හෝදල පිරිසිදු කරල තියෙන්නේ. ඒ රස්සාවෙ නිරත වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතිකයන්. සිංහල, මුස්ලිම් පවුල් කීපයකුත් ඒ අතර ඉඳල තියෙනවා. ඒ අයගෙන් තමයි අපි පැවැත ගෙන එන්නේ. මේ රස්සාවත් එදා ඉඳන් ඒ විදිහට ම පරම්පාරාවෙන් පරම්පරාවට ඉස්සරහට ආව. නමුත් ලෝකය දියුණුවුණාට ඒ දියුණුවත් එක්ක මිනිස් ජීවිත දියුණු තත්ත්වයට පත් වුණාට මේ රස්සාව කරන අපේ ජීවිත මේ වත්ත ඇතුළෙම වතුරට දියවුණා. අව්වට වේළුණා. ඒ හින්ද අපේ දරුවො මේ රස්සාව ඉස්සරහට අරන් යන්න ලොකු කැමැත්තක් නෑ. ඒ අය වෙනත් වෙනත් රස්සා කරන්න එළියට යනවා. අදත් මේ වත්ත ඇතුළෙ සිංහල – දෙමළ භේදයක් නෑ. දෙගොල්ලො ම හොඳින් ඒ භාෂා දෙක ම කතා කරනවා. දෙවියන්ව, බුදුන්ව අදහනව. රට පාලනය කරන පාලකයෝ මේව දන්නෙ නෑ. ඒ හින්ද වෙන්න ඇති මේ වත්තෙ ජීවත්වෙන මිනිස්සු දිහා ඒ අය ඇහැක් ඇරල බලන්නෙ නැත්තෙ….’’ තම පාරම්පරික රැකියාව පිළිබඳවත්, එහි වත්මන් මුහුණුවර සම්බන්ධවත් ඔහු විසින් දක්වා සිටියේ ඉහත සඳහන් අදහස් ය. සියවසකට ආසන්න කාලයක් අනුන්ගේ රෙදි සේදූ මිනිස් සමූහයකගේ වත්මන් තත්ත්වය පිළිබඳ උපන් වේදනාවක් ඔහුගේ කට හඬෙහි විය.

ඉන් අනතුරුව අප සමග කෙටි කතා බහක් පිණිස එක්වූයේ ෂන්මුගදාස් ය. 49 හැවිරිදි විවාහකයකුවන ඔහු සිය ජීවිතයෙන් වැඩි කාලක් වැයකොට ඇත්තේ රැකියාව පිණිස ය. ඔහුගේ අදහස් ප‍්‍රකාශ කිරීම තුළ වැඩි ඉඩකඩක් වෙන්කරන ලද්දේ කොරෝනා වෛරසය විසින් පැරඩයිස් පෙදෙසේ ජීවිත උඩුයටිකුරු කළ ආකාරය පිළිබඳව පැවසීම පිණිස ය.

‘‘උදේට අහස දිහා බලල තමන්ගේ රස්සාව පටන් ගන්න මිනිස්සු පිරිසක් තමයි මේ වත්තෙ ඉන්නෙ. මොකද ඉර පෑයුවොත් විතරයි අපිට රස්සාව කරන්න පුළුවන් වෙන්නෙ. කොච්චර මහන්සිවෙලා රෙදි හේදුවත් වැඩක් නෑ ඉර එළිය එන්නෙ නැත්නම්. මොකද හෝදන රෙදි ටික එදා ම වේළගත්තොත් තමයි මේ රස්සාව හරියට කරන්න පුළුවන් වෙන්නෙ. කොළඹ නගර සීමාවෙ මිනිස්සුන්ගෙ කිළිටි රෙදි විතරක් නොවෙයි මෙතැනදි හෝදල මැදල දෙන්නෙ. වැල්ලවත්ත, දෙහිවල, පානදුර පැත්තෙන්්, ඒ වගේම කැලණිය, ගම්පහ පැත්තෙන් විශාල රෙදි කන්දරාවක් මෙතැනට ගේනව. ඒ වගේම යාපනය, මඩකලපුව පැත්තෙන් ගේන රෙදිපිළි ආදියත් හෝදන්නෙ මෙතැන කියල කිව්වොත් කවුරුවත් විශ්වාස කරන එකකුත් නෑ. නමුත් ඒක තමයි ඇත්ත කතාව. ලංකාවට කොරෝනා එන්න ඉස්සර අපේ මිනිස්සුන්ට කාල ඇඳල ඉන්න දරුවන්ට කන්න බොන්න දෙන්න මේ රස්සාවෙන් හොයාගන්න මුදල ප‍්‍රමාණවත් වුණා. නමුත් කොරෝනාවත් එක්ක තම තමන්ගේ රෙදි ගෙදරදීම හෝදගන්න හුඟදෙනෙක් පුරුදු වුණා. ඒක අපේ රස්සාවට ලොකු පාඩුවක් වුණා. ඉස්සර රෙදි කෑලි පනහක් හැටක් ගෙනාපු කෙනා දැන් ගේන්නෙ පහළොවක් විස්සක් තරමේ ප‍්‍රමාණයක්. හේතුව තමයි සල්ලි නැතිකම. මෙහෙම දේකුත් තියෙනවා. සමහර නෝන මහත්තයල ඉන්නව හරිම පිරිසිදුව පිළිවෙළට ඒ අයට අඳින්න පළඳින්න ඕන. අපි ඒ වැඬේ හරියට පිළිවෙළට කරල දෙන හින්ද කොච්චර ආර්ථික ප‍්‍රශ්න තිබුණත් ඒ අයගෙ රෙදි අපි ගාවට ගේනව. ඒ හින්ද තමයි අදත් මේ රස්සාව කරගෙන යන්න පුළුවන් වෙලා තිබෙන්නේ. පහුගිය කොරෝනා කාලෙ ගත්තොත් අපේ අය හුඟ දෙනකුට රස්සාව තිබුණෙ නෑ. උපන් දා ඉඳල ම මේ රස්සාවට හුරුවෙච්ච ඒ අයට වෙන රස්සාවකට අලූතින් යන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ. ඒ හින්ද මේ රස්සාව කරන හුඟදෙනෙක් අනෙක් මිනිස්සු වගේ ම ලොකු දුකක් පහුගිය කාලෙ වින්ද…. ’’

හැම රෙද්දකම කුණු සුද්ධ කරන පාරාදීසයේ පෙදෙසේ ලොන්ඩරිවත්ත

ෂන්මුගදාස් විසින් පවසා සිටි පරිදි රටට අපමණ විපත් අත්පත් කර දුන් කොරෝනා උවදුර මේ වනවිට තරමක් දුරට මර්දනය වී ඇති ආකාරයක් දැකගත හැක. රජයේ හා පෞද්ගලික අංශයේ රැකියා ආදිය යථා පරිදි ක‍්‍රියාත්මක ය. නැවත පාසල් ආරම්භ කොට ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස කලක් ලොන්ඩරිවත්ත ලෙස හැඳින්වූ පැරඩයිස් පෙදෙස යළිත් සුපුරුදු ජීවයෙන් පිරී යමින් ඇත. වැඩ වැඩිවන තරමට අතමිට සරුවන රෙදි සෝදන රැකියාවේ නිරත විශාල පිරිසක් තම දෛනික රාජකාරියේ යෙදී සිටින අයුරු එහි ගිය අපට දැක ගැනීමට හැකි වූහ.

ඉණතෙක් වතුර පුරවන ලද දියෙහි බැස රෙදි සෝදන පිරිස පනහකට ආසන්නය. ඔවුහු සියල්ලන් ම පිරිමි පුද්ගලයන් වූහ. උදෑසන 8.00ට පමණ තම වෘත්තිය සඳහා පිවිසෙන ඔවුන්ගේ රාජකාරිය බවට පත්වන්නේ වෙනත් පිරිසක් විසින් වෙන්කරන ලද රෙදි සේදීම පමණ ය. ඒ අනුව සුදු රෙදි වෙනමත්, පාට රෙදි වෙනමත් කහට පැල්ලම් ආදියෙන් සමන්විත රෙදි වෙන වෙන ම සෝදා පවිත‍්‍ර කිරීම ය. අංකයක් සහිතව ලබා ගන්නා රෙදිවල ස්වභාවය අනුව පිරිසිදු කාරක අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඔවුන් ඒ කටයුත්තේ නිරතවන ආකාරය දැකගත හැකි වූහ. මෝගන් අපට මුණ ගැසෙන්නේ එවැනි ජල ටැංකයක් අසලදී ය. මද විරාමයක් ලබා ගනිමින් සිටියදී ඔහු හා කෙටි කතා බහක් පිණිස අවස්ථාව උදා විය.

‘‘මගේ උපන් ගම බදුල්ල. දැන් අවුරුදු ගණනාවක් වෙනවා මේ රස්සාවට කොළඹ ඇවිල්ලා. මම වැඩ කරන්නෙ දවසෙ පඩියට. දවසකට මට දෙදාහක් ගෙවනවා. මේක කරදරයක් නැති රස්සාවක්. උදේට මට භාරදෙන රෙදි ටික හොඳට හෝදල දෙන එක විතරයි මට කරන්න තියෙන්නේ. ඒක වේළන්න වෙන කට්ටියක් ඉන්නවා. මදින්නෙ වෙන කට්ටියක්. මේ රෙදි මෙතැනට ගේන්නෙ කවුද? කොහේ ඉඳල ගේනවද කියන්න මම දන්නෙ නෑ. මම දන්න එකම දේ තමයි රෙදි හෝදන එක.’’

දිගු කතාබහක් පිණිස මෝගන්හට කාල වේලා නැත. ටැංකි හිමිකරු විසින් ඔහු වෙත ලබා දුන් රෙදි ප‍්‍රමාණය නියමිත වේලාවට සෝදා පිරිසිදු කර දිය යුතු බැවින් නැවත ඔහු වැඩෙහි නිරතවන ආකාරය දැකගත හැකි විය. එදා දිනය හොඳින් හිරු පායා ඇති දිනක් බැවින් මෝගන් ඇතුළු රෙදි සේදීමේ නිරත පනස්දෙනකු ගෙන් පමණ යුක්ත පිරිසක් එක පෙළට රෙදි සෝදන දර්ශනය දුරට දිස්වන්නේ සරඹ සංදර්ශනයක් ලෙස ය.

අනුන්ගේ රෙදි සේදීම ජීවිකාව කරගත් මෙම මිනිස් සමූහයේ ‘හද ගැස්ම’ පිළිබඳ නිවැරදි කියවීමක් සමාජය තුළ තවම සිදු වී නැත. විවිධ සමාජ මතිමතාන්තර හේතුවෙන් ඔවුන් පීඩාවට පත්ව ඇත. හරිහමන් ගෙයක් දොරක් ඉදිකර ගැනීම පිණිස ඔවුන් වෙනුවෙන් වෙන් කරන ලද ඉඩකඩක් නොමැති වීම හේතුවෙන් ඔවුන් මේ වනවිට ගතකරමින් සිටින්නේ අතිදුෂ්කර ජීවිතයකි.

රැකියාව පිණිස වෙන් කරන ලද කුඩා කඩ කාමර සිය වාසස්ථාන බවට පත් කරගත් බොහෝ පිරිසක් වෙති. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමග ගත්කල එය පිරිසකට ජීවත් වීම පිණිස කිසිසේත් එම ඉඩකඩ ප‍්‍රමාණවත් නොවන බව වැටහී යන්නේ ඔවුන් ගත කරමින් හිඳින ජීවිත සියැසින් දකිනවිට ය. ඊට විසඳුමක් ලෙස පිරිසක් එම කුඩා ඉඩකඩ තුළ රාත‍්‍රිය ගත කරනවිට තවත් පිරිසක් රැය පහන් කිරීම පිණිස එළිමහන තෝරා ගනිති. එවැනි කීපදෙනෙක් අප හා ප‍්‍රකාශ කර සිටියේ මැසි මදුරු උවදුරු මැද එවැනි රැයක් ගත කිරීම යනු එක්තරා දඬුවමක් බඳු දෙයක් ලෙස ගතහැකි බවකි. පුදුමය උපදවන්නේ මේ කියන සංකීර්ණ වටපිටාව තුළ ජීවත්වන ලොන්ඩරිවත්ත මිනිසුන්ගේ එකමුතුකම සමගිය දකිනවිට ය. ලොන්ඩරිවත්ත භූමියේ හොඳම භූමි භාගය වෙන්කොට ඇත්තේ ශ‍්‍රී මහා කාලි අම්මන් කෝවිල ඉදිකිරීම පිණිස ය. අනුන්ගේ රෙදි සෝදා උපයන මුදලින් එහි පදිංචි වැසියන් විසින් කරන ලද හොඳම ආයෝජනය ලෙස එය නම්කළ හැක. තමන් දිනපතා උපයන මුදලින් කොටසක් ආගමික උන්නතිය පිණිස වෙන් කිරීම එහි පදිංචි සෑම දෙනකු විසින් ම අඛණ්ඩව සිදුකරන කටයුත්තකි. කෝවිල මුල්කර ගනිමින් වාර්ෂික උත්සවයක් පැවැත්වීම ඔවුන්ගේ ජීවිතවල එක් අංගයකි. ඒ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් කෝවිල පරිපාලන කමිටු සාමාජිකයකු සඳහන් කර සිටියේ සිංහල, දමිළ භේදයකින් තොරව එම කටයුත්ත සිදුවන බවත්, එම උත්සව කාල සීමාව තුළ රැකියාවේ නිරත වීම ඔවුන්ගේ පුරුද්දක් නොවන බවත් ය.

හැම රෙද්දකම කුණු සුද්ධ කරන පාරාදීසයේ පෙදෙසේ ලොන්ඩරිවත්ත

තවත් බොහෝ දේ අසා දැන ගත යුතු වුවත් ඒ සඳහා කාලය හරස් වෙමින් ඇත. අප හා කතාබහට එක් වූ ඇතැමෙක් තුළ බැල්මෙන් පවා වෙනකෙකු බිය කරන සුළු පෙනුමකින් යුක්ත ය. එහෙත් ඔවුන්ගේ හදවත් මෘදු බවින් යුක්ත බව වැටහී යන්නේ ඇසුරු කිරීම තුළින් ය. කොළඹ වතු ආශ‍්‍රිත ජීවිත තුළ මෘදු මිනිසුන් ජීවත්වන බව ලොන්ඩරිවත්තේ ගතකළ හෝරාවක පමණ කාලය තුළ වැටහී ගිය කරුණක් විය. කිසිවකුට අතනොපා ජීවත්වීම පිණිස වෙර දරන ලොන්ඩරිවත්ත මිනිසුන්ගෙන්
සමුගැනීමට පෙර වැටහී ගිය වැදගත්ම කරුණත් එය ම විය.

රුවන් ජයවර්ධන
ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment