හෑපොල රිය අනතුරෙන් හිමිවරුන් එකොළොස් නමකට තුවාල

232

බිබිල මහියංගනය මාර්ගයේ හෑපොල රජමහා විහාරය ඉදිරිපිට දී ඉකුත් 15 වැනිදා සවස වෑන් රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ බස් රථයක ගැටීමෙන් වෑන් රථයේ සිටි ස්වාමීන්වහන්සේලා එකොළොස් නමකට සහ එහි රියදුරුට තුවාල සිදුවී ඇතැයි බිබිල පොලිසිය පවසයි.

මොනරාගල කුඹුක්කන හොරොම්බුව ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩවසන ස්වාමීන්වහන්සේලා පිරිසක් අනුරාධපුරයට ගොස් වෑන් රථයකින් ආපසු එමින් සිටියදී මාර්ගය අයිනේ නතරකර තිබූ බස්රථයේ එම වෑන් රිය ගැටී ඇත. මෙම බස්රථය ඇඟලුම් කම්හලකට සේවකයින් ප්‍රවාහනය කරන එකකි. උදේ කාලයේ සේවක සේවිකාවන් ඇඟලුම් කම්හලට බස්සවා ආපසු යන තෙක් බස්රථය

මාර්ගය අයිනේ මෙලෙස නතර කර තිබේ. වෑන්රථයේ රියැදුරුට නින්ද යෑම නිසා අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත. අනතුරෙන් තුවාල ලැබූ ස්වාමීන්වහන්සේලා බිබිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එක් හිමිනමක් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා තිබේ. අනෙකුත් ස්වාමීන්වහන්සේලාගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි. බිබිල පොලිස් ස්ථානාධිපති ඒ. එස්. පී. සී. කේ සෙනරත් මහතාගේ උපදෙස් පිට රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.එච්.එම් ගාමිණී හේරත් මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment