ලෝක ඉතිහාසය යනු ලේ විලකි. මීට අවුරුදු හාර පන්දහසකට පෙර ලෝකය ගෝත්‍රික නායකයන් විසින් ද රජවරුන් විසින් ද පාලනය කිරීම ආරම්භ විය. ඒ හැම රාජ්‍ය පාලකයෙක්මත්, ගෝත්‍රික නායකයෙක්මත් මේ ලේ විලට අලුතින් ලේ එකතු කළේය. ලෝකයේ ඉපැරැණිම අධිරාජ්‍යයක් වූ රෝම අධිරාජ්‍යයේ රජවරුන්ගෙන් වැඩි හරියක් බලයට පත් වූයේ ඊට කලින් සිටි රජා මරා දැමීමෙනි. එසේ රජු මරන විට රජුගේ ගෝලයෝ ද දහස් ගණනින් සංහාරය විය. ඉන් පසු අලුත් රජු අලුත් ගෝලයන් පිරිසක් සමග, පළමු රජු නැවැත් වූ තැන සිට වැඩ පටන් ගත්තේය. ඒ රජු මරන විට ද ගෝලයන් සංහාරය විය. මෙසේ මරන විට විනාශ වන්නේ රජු සහ ගෝලයා පමණක් නොවේ. රජ පවුල එහෙම පිටින්මත් රජුගේ ගෝලයන්ගේ පවුල් දහස් ගණනක් එහෙම පිටින්මත් විනාශ කරන ලදී. පසු කාලයේදී මේ සංහාර ක්‍රමයට අලුත් නමක් ලැබිණ. එම නම වූ කලී දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා යන්නය. දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියාව දිනුම මත ද පමණක් නොව පැරදුම මතද ක්‍රියාත්මක විය. එනම් රජු දිනපු විට පැරදුනු අය මරා දමන ලදී. පැරදුන අයගෙන් ජීවිතය බේරාගත් කොටස හැකි පමණින් රජුගේ කට්ටිය මරා දමති. මෙය දාම ක්‍රියාවලියක් ලෙස ශිෂ්ටාචාරය දිගේ මනුෂ්‍ය වර්ගයා සමග ගමන් කළේය. ජුලියස් සීසර් විසින් දහස් ගණන් ජනයා ඝාතනය කරන ලදී. නීරෝ සහ කලිගියුලා වැනි රෝමන් රජවරු දහස් ගණන් මිනිසුන් මරන ලදී. මේ සියල්ලම දේශපාලන ඝාතන ලෙස හඳුන්වනු ලැබේ. මහ ඇලෙක්සැන්ඩර් ඉන්දියාව දක්වා පැමිණ සංක්‍රාමික ගමනේදී විශාල විනාශයක් කළේය. ධර්මාශෝක රජුගේ අත්වල තිබුණේම ලේය. බිම්බිසාර රජුගේ පුතා වන අජාසත්ත සිය පියා මරවා රජකම ගත්තේය. බිම්බිසාර යනු ඉන්දියාවේ පළමුවන අධිරාජ්‍යාවේ. කොසොල් රජුගේ පුත්‍රයා සිය පියා ඝාතනය කර රජ විය. විජය කුමාරතුංග ඝාතනය ද දේශපාලන ඝාතනයකි. විජේවීර මරා දමන්නේ ද දේශපාලන අස්වැසිල්ලක් ලබාගැනීම පිණිසය. 88-89 භීෂණය තනිකරම දේශපාලන විනාශයකි. අපේ රටට නිදහස ලැබීමෙන් පසු පැවති සෑම මැතිවරණයකදීම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවිය. අඩු ගණනේ විරුද්ධ දේශපාලන මතධාරියකුට භූ හනස්සකින්වත් තලන ලදී. 1970 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ රජය බලයට පත්වීමත් සමගම පශ්චාත් දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් ඇති විය. ඒවා සිදුවුණේ යූඑන්පීයට විරුද්ධවය. 1977දී ජේ. ආර්. ජයවර්ධන බලයට පත්වූ විට 70 ගේම වෙනුවෙන් උපරිම මට්ටමින් පරිප්පු කෑමට ශ්‍රීලනිපයට සිදුවිය. එතැන් සිට මේ ළඟක් වනතුරු පැවති සෑම මැතිවරණයකදීම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය. මිනිසුන් බලා සිටියේ මැතිවරණයට පසුදා හෝ මැතිවරණදා රැයේදී තම ගෙවල් ගිනි තැබීමට ජයග්‍රහණය කළ පිරිස කවර වේලාවක එන්නේ ද යන කාරණය ගැනය. මේ නිසා සමහරු කල් තබාම ගේදොර අත්හැර වෙනත් තැන්වල සැඟවුණහ. එහෙත් පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් පසු කිසිදු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වුණේ නැත. මෙය ඉතා උසස් තත්ත්වයකි. ජන සමාජයක් තුළ හටගත හැකි හොඳම ක්‍රියාවලියකි. ඡන්දයට පසුදා රට කොතරම් සාමකාමී වූයේ ද යත් කලින් දවසේ ඡන්දයක් තිබුණු බවක් කාටවත් මතක තිබුණේ නැත. මෙය අලුත් දේශපාලන සංස්කෘතියක් බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසා තිබේ. ඔහු ඒ ගැන සඳහන් කරන්නේ යාපනයේ චුන්නාකම් පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. සැමට නීතිය සමානව ක්‍රියාත්මක කරන්නැයි රජය තමන්ට නියෝග කර ඇති බව වැඩබලන පොලිස්පති එහිදී කීය. ඒ නිසා තම දිනකට පසු පැවැත්වෙන මහ මැතිවරණයෙන් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවන බව මේ රටේ ජනයා දැනටමත් විශ්වාස කර ඇත. එය ඉතා යහපත් විශ්වාසයකි. රජය විසින් මහජනතාවට දෙන ලද සාධනීය පොරොන්දුවකි. ලංකාව තුළ ඡන්ද විශාල ප්‍රමාණයක් තිබේ. ජනාධිපතිවරණ, මහ ඡන්ද, පළාත් සභා ඡන්ද, ප්‍රාදේශීය සභා ඡන්ද, සමුපකාර ඡන්ද යනාදී වශයෙන් මේවා හැඳින්විය හැකිය. මෙයට කලකට පෙර මේ හැම ඡන්දයකදීම ගිනිකෙළි සංදර්ශන වැනි ගුටිකෙළි සංදර්ශන ඇතිවිය. ඡන්දයෙන් පසු ඡන්දදායකයන් ඡන්ද ප්‍රතිඵල ගැන මෙන්ම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන උනන්දු විය. අපේ හැඟීම නම් මේ සියල්ල ඉතිහාසයට එකතුවී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ලියැවුණු විදේශීය පර්යේෂණ පත්‍රිකා ඕනෑ තරම් අන්තර් ජාලයේ තිබේ. මෙවන් එක් පර්යේෂණ පත්‍රිකාවක සඳහන් වන පරිදි ක්‍රි.ව. 1820 සිට 1970 දක්වා ගතවූ අවුරුදු 150ක කාලය තුළ මේ රටේ ජනයාගේන් හැට අට ලක්‍ෂයක් ඉතා භයානක ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණ දී ඇත. මේවා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ සිවිල් ප්‍රචණ්ඩත්වය යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේදී රාජ්‍ය විසින් මිනිසුන්ට තලා පෙලා අතපය කුඩු කිරීමත්, මිනි මැරීමත් සිදුවිය. සිවිල් ප්‍රචණ්ඩත්වයේදී සිවිල් ජනයා එකිනෙකා මරා ගත්හ. 1971 සිට 2009 වර්ගවාදී යුද්ධය අවසානය දක්වා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන් කිරීමට නොහැක. 1970 සිට 2009 අවසානය තෙක් ප්‍රචණ්ඩ ක්‍රියා 3ක් රටේ ඇති විය. එයින් පළමු වැන්න 71 කැරැල්ලය. දෙවැන්න 88-89 භීෂණය. තුන් වැන්න 83 ජූලි මාසයේදී පටන්ගෙන 2009 මැයි මාසයෙන් අවසන් වූ ජනවාර්ගික යුද්ධයය. මේ අවස්ථා 3ම දේශපාලන ප්‍රචණ්ඩ අවස්ථා වෙති. 71 කැරැල්ල රාජ්‍ය බලය පැහැර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද්දකි. 88-89 භීෂණය රාජ්‍ය මර්දනයට මුහුණ දීම සඳහා පටන්ගෙන දුර දිග ගිය විස්තරයකි. වර්ගවාදී යුද්ධය තනිකරම දේශපාලන වර්චස් ගොඩකි. වර්ගවාදී යුද්ධයේදී සහ 88-89 භීෂණයේදී මිනිසුන්ට මිනී මැරීම යන්න කිසිම ගානක් නැති වැඩක් විය. ලංකාවේ මේ කැත පුරුද්ද ගෝඨාභය රාජපක්‍ෂ බලයෙන් ඉවත් වීමෙන් පසු ද එසේම තිබිණ. දේශපාලන විරුද්ධවාදීන්ගේ ගෙවල් ගිනි තැබීම සහ පුද්ගල ඝාතන මෙහිදී ද සිදුවිය. ජනාධිපති අනුර දිසානායකගේ එන්.පී.පී. පාලනය මේ කැත සංස්කෘතිය අවසන් කළ බව පෙනේ. තම ප්‍රතිපත්තියේ දිගටම රැඳී සිටින්නේ නම් ඔහුට මේ රට අලුත් රටක් කිරීමට පුළුවන.