ලොරි රථයක පැටවිය හැකි සීමාව ඉක්මවමින් හිංසාකාරී ලෙස එළ ගවයන් සහ මී ගවයන් 30ක් ප්‍රවාහනය කළ ලොරි රථ 2ක් සමග සැකකරුවන් දෙදෙනකු පෙරේදා (8 දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කඳාන සහ රාගම යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති බී. ටී. සුගතපාල මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ හදිසි සෝදිසි මෙහෙයුමකදී සිදු කළ රථ වාහන පරීක්ෂාවකදී අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
මෙම සතුන් මරා කොළඹ ප්‍රදේශයේ හෝටල් සඳහා මස් පිණිස විකිණීමට සෙට්ටිකුලම, පාලාඩි පුලියන්කුලම ප්‍රදේශයේ සිට කොළඹ වැලිසර දක්වා ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ලබාගෙන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මෙම ගවයන් ප්‍රවාහනය කිරීමේ වරදට සැකකරුවන් දෙදෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති බී. ටී. සුගතපාල මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන උපාලි (62580), කරුණාරත්න (36906), ගුණසිංහ (77788), පො.කො. පුෂ්පකුමාර (79743) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කර තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර දූෂණ මර්දන අංශයට යොමු කිරීමෙන් අනතුරුව එම අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උ.පො.ප සාගර උප පොලිස් පරීක්ෂක අනුරසිරි බණ්ඩාර යන නිලධාරීහු ඉදිරි විමර්ශන කටයුතු සිදු කළහ.
මිහින්තලේ රංග චතූ