තව අවුරුදු 30 න් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර තිබෙන ගොඩනැගිලි වලින් 75% ක් චීන බැංකුවලට සින්න වෙතැයි කියමනක් තිබේ. මේ කියමන ආරම්භ වන්නේ ක්‍රි.ව. සිට චීනය ඇමරිකාවේ ව්‍යාපාරිකයන්ට විවිධ ව්‍යාපෘති සඳහා ණය දී ඇප වශයෙන් ගොඩනැගිලි තබා ගැනීමත් සමගය. වසර 2000 න් පසු ලෝකයේ හටගත් විවිධ ආර්ථික අර්බුද නිසා ඇමරිකානු ණය ගැතියන්ට චීනයෙන් ගත් ණය ගෙවා ගැනීමට බැරි විය. චීනය ණය දෙන විට ඇස් නිලංකාර වෙන්නටම දෙයි. මෙය චීන ණය උගුල ලෙස හඳුන්වන නමුදු ශ්‍රී ලංකාවේ පරම මිත්‍රයකු ලෙස චීනය සැලකූ අපි ඒ කතා බැහැර කළෙමු. මේ කතා ඇත්ත බව ඉතිහාසයේ මුල් වරට පිළිගැනීමට අපට සිදුවී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප වෙත ණයක් නිකුත් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන අතර ඒ සඳහා අපේ ණය හිමියකු වන චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ලිපියක් අවශ්‍යව ඇත.
චීනය එම සහතිකය නිකුත් කිරීම දිගින් දිගටම පමා කරයි. මෙහි අරමුණු එකක් හෝ කිහිපයක් ඇති බව අපට සැක කළ හැක. එනම් IMF එක අපට ණය නොදුන්නොත් අපේ රට තුළ සෑහෙන ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බව විශ්වාස කරන චීනය එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන අපේ රටට විශාල බලපෑමක් කිරීමට ඉඩ තිබෙන බවය. දෙවැනි අරමුණ විය හැක්කේ ගෙවීමට ඇති ණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ භූමිය අත්පත් කරගැනීමය. මෙවැනි යටි කූට්ටු අදහස් නැත්නම් චීනය මේ ආකාරයෙන් හැසිරීමට කිසිදු හේතුවක් නැත.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකයක් නිකුත් කිරීම චීනය විසින් දිගින් දිගටම පමා කරන විට එම සහතිකය නොතකා අපට ණය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් වන බවටද ප්‍රවෘත්ති පළවිය. ජාත්‍යන්තර අරමුදලට එවැන්නක් කළ හැකිය. දරුණු යුද තත්ත්වයකට මුහුණ දී සිටින කිසිදු ආර්ථික ස්ථාවරත්වයක් නැති නැගෙනහිර
යුරෝපීය රටක් වූ යුක්‍රේනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා ඩොලර් බිලියන 15 ක ණයක් නිකුත් කරන ලදී. සාමාන්‍යයෙන් යුද තත්ත්වයකදී ඉලක්කයක් බවට පත්ව අසරණ වන රටකට කිසිදු ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් ණය නිකුත් කරන්නේ නැත. ඒත් ඒ සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම බැහැර කරමින් යුක්‍රේනයට ණය ලබා දීම සිදුවිය. එයට හේතුව රුසියාවට රිදවීම සඳහා යුරෝපයේ සෙසු රටවලට ඇති අවශ්‍යතාවයි. යුක්‍රේනය රුසියාව සමග යුද කළද යුරෝපයේ සෙසු රටවල් සමග වැඩි ආර්ථික සම්බන්ධතාවක් පවත්වාගෙන යයි.
ශ්‍රී ලංකාවද තවත් රටකට හෝ බලවේගයකට රිදවීම සඳහා පරිහරණය කළ හැකි නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට පොරොන්දු වූ ණය ලබා දීමට ඉඩ තිබින. අපේ රටේ යුද්ධයකුත් නැත. අප ඩොලර් බිලියන 15 ක් ණයට ඉල්ලන්නේත් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට පොරොන්දු වී ඇත්තේ ඩොලර් බිලියන 2.9 ක් පමණි. ඒ සුළු මුදල පවා අප වෙත නිකුත් නොකිරීමෙන්ද එම ණය නිකුත් නොකර සිටීමට අවශ්‍ය පහසුකම් දීමෙන්ද චීනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන දෙකම සිදුකර ඇත්තේ හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා පමණක් නොව සෞරග්‍රහ මණ්ඩලයම කඩා වැටීම හා සමාන ක්‍රියාවකි.