හිඟයක් නෑ – මම හොරබඩු ගෙනල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එළියට දාපු මනුස්සයෙක් නෙවෙයි – ඇමැති කෙහෙළිය මැතිසබයේ දී කියයි

172

සිසේරියන් සැත්කම් වෙනුවෙන් භාවිත කරන හෙවි මාකේන් ඖෂධයේ කිසිදු හිඟයක් නොමැති බවත් මේ වන විට එම එන්නත් තිස්දහසකට වැඩි ප්‍රමාණයක් රටේ ඇති බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) ප්‍රකාශ කළේය.

“කළුතර රෝහල් අධ්‍යක්ෂවරිය විසින් අභ්‍යන්තර වශයෙන් සිදුකළ දැනුම් දීමක් පදනම් කර ගනිමින් විපක්ෂය මෙවන් ආකාරයට වැරදි මතවාද සමාජගත කිරීමට උත්සාහ දැරීම කිසිසේත් අනුමත කළ නොහැකියි. එම රෝහලට හෙවි මාකේන් එන්නත් මාත්‍රා පනහක් ලබා දුන්නා. එබැවින් එම රෝහලේ අවශ්‍ය තරම් තොග පවතිනවා” යැයි ද ඇමැතිවරයා පැවසීය.

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ සිසේරියන් සැත්කම් වෙනුවෙන් භාවිත කරන හෙවි මාකේන් නම් එන්නත රෝහල් පද්ධතියෙහි නොමැති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් සිදුකළ අදහස් දැක්වීම්වලට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා –

සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතාමත් බැරෑරුම් ප්‍රශ්නයක් විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනකු මේ සභාවේදී මතු කළා. අපේ යම් සදාචාරයක් තිබෙනවා, අමාත්‍යවරයකුගෙන් ප්‍රශ්නයක් විමසනවා නම් හදිසි ප්‍රශ්නයක් නම් 20දෙනකු අත්සන් කර ඒ සඳහා කථානායකවරයා එකඟතාවයක් ගැනීමට. නැත්තම් එය ගැනීමේදී ඒ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයාට දැනුම් දීම මේ සභාවේ සම්ප්‍රදාය හා සදාචාරය වෙනවා. මේ ප්‍රශ්නයට පිළිතුරක් දීමට අවශ්‍යයි. සවිස්තර විස්තරයක් මම පාර්ලිමේන්තුවට ලබා දෙනවා. නියෝජ්‍ය කථානායකතුමනි, හෙවිමාකේන් කියන ඖෂධය ගැන කළුතර අධ්‍යක්ෂවරිය ඉන්ටර්නල් මෙමෝ එකක් යවපු එකක් ගැනයි මේ කතා කළේ. ඉන්ටර්නල් මෙමෝ එක යවලා තිබෙන්නේ තව සති දෙකකට පමණයි. මෙම ඖෂධය තිබෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසයි. අපගේ තොග තිබෙන ස්ථානයට තමයි ඇය එසේ යොමුකළ යුත්තේ. එතුමිය වැරදියි. එය ඉල්ලා සිටිය යුත්තේ ප්‍රධාන ගබඩාවෙන්. ඒක වගකීමක් හා යුතුකමක්. හෙවිමාකෙන් එන්නත 2022 මෙරටට ගෙනවිත් තිබෙන්නේ. අපට බැරිවුණා මිල ගණන් සම්බන්ධයෙන් කියන්නට. මෙය ඇණවුම් කිරීමේ කිසිදු ප්‍රමාදයක් සිදුවී නැහැ. මේ වෙනකොටත් වැක්සින් පනහක් කළුතරට යවා තිබෙනවා. දැන් පරීක්ෂා කර බලන්න. ලංකාවේ කිසිම තැනක හෙවිමාකේන් නැහැයි කියලා කිසිම තැනකින් කියලා නැහැ.

රාජිත සේනාරත්න මහතා කියනවා, මේ වැක්සින් එක නැති වුණොත් දරු ප්‍රසූතියකදී මියයනවා කියලා. ඒක ඇත්ත. අපි දන්නවා. හෙවි මාකේන් පනහක් කළුතරට යවලා තිබෙනවා. ඒ වගේම සති දෙකකට කියපු නිසයි ඒ ප්‍රමාණය යවා තිබෙන්නේ. එය හොඳටම ප්‍රමාණවත්. තව තිස්දහසක් මේ වෙනකොට අප සතුව තිබෙනවා. බොහොම පැහැදිලියි වැරදි තොරතුරු ඉන්ටනල් මෙමෝ එකක් අරගෙන මේ ආකාරයට සාකච්ඡා කිරීම වැරදියි. මේ ප්‍රහාරය එල්ල කරන්නේ නිදහස් සෞඛ්‍ය සේවයට. මම ගාව වාර්තා තිබෙනවා. පේරාදෙණිය රෝහලේදී මියගිය දැරියට භාවිත කළ එන්නත මේ වසරට පමණක් එක්ලක්ෂ හතළිස් දහසකට භාවිත කර තිබෙනවා. ඒ වගේම වෛද්‍ය රජීව් ද සිල්වා සංඛ්‍යා ලේඛන සමගම ඉදිරිපත් කර තිබෙනවා. මේවා දැක දැක බොරු කීම ගැන මම පුදුම වෙනවා.

මම හොරබඩු ගෙනල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එළියට දාපු මනුස්සෙක් නෙවෙයි. මේ චෝදනාවලට පිළිතුරු දීමට මම සූදානම්. විශ්වාස භංගය ගේන්න. දවසකට හෝ දෙකක විවාදයක් කරන්න පුළුවන්.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment