ශ්‍රී ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපළක් වන හිඟුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු ඊයේ (19දා) වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ආරම්භ කරන ලදි.
මෙම ගුවන්තොටුපළ දෙවැනි ලෝක යුද සමයේ එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදි කරන ලද අතර එකල මින්නේරිය ගුවන් හමුදා මධ්‍යස්ථානය ලෙස හඳුන්වා ඇත.
රට මධ්‍යයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපළ මගින් රටේ ආර්ථිකයට ශක්තියක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පරිවර්තනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රජය තීරණය කරන තිබේ. ඒ අනුව 2024 අයවැයෙන් මෙහි මූලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රුපියල් බිලියන 02 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලදි. මෙම මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් ප්‍රථම අදියර යටතේ දැනට තිබෙන මීටර් 2287 ක දිගින් සහ මීටර් 46 ක පළලින් යුතු ධාවන පථය මීටර් 2500 ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනු ලබයි.
මෙම සැලසුම් සහගත ධාවන පථයේ සංවර්ධන කටයුතු මාස 06 කදී නිම කිරීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව එයාර් බස් 320, බෝයිං ඊ737 යන මාදිලිවල ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි වේ. මෙම සමස්ත සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 17 ක් පමණ වැය වන බවත්, සියලු ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන බවත් අධීක්ෂණ කටයුතු ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගම විසින් සිදු කරනු ලබන බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී.එස්. විතානගේ ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.