හිඟුරානටත් සෙනසුරා ලබයි!… හිඟුරාන සීනි යෝධයා රැකගන්න දිගාමඩුල්ලේ මහා සඟරුවන සහ ජනතාව වීදි බසිති…

141

ඇමැති ජානක වක්කුඹුරට එරෙහිව හිඟුරාන නගරයට මහා සඟරුවන සමග ජන ගඟක් ගලයි…

හොඳට දුවන හිඟුරාන සීනි සමාගම විනාශ නොකර වැඞ්ඩෙක් නම් කන්තලේ සීනි සමාගම පටන් ගන්න… ඇමැතිට දිගාමඩුල්ලේ සඟරුවනගෙන් අභියෝගයක්…

ජනාධිපතිතුමනි මහින්ද චින්තනයෙන් පටන් ගත් හිඟුරාන සීනි සමාගම රැකලා දෙන්න

ගල්ඔය ව්‍යාපාරය යටතේ පිබිදුණු දිගාමඩුල්ල හදවත වන් හිඟුරාන සීනි සමාගම 1960 වසරේ ආරම්භ වීය. දශක ගණනාවක් පුරා
දිගාමඩුල්ලේ ජන ජීවිතයේ ජීවනාලිය වූයේද හිඟුරාන සීනි ආයතනයයි. ඇතැම් වෘත්තීය සමිතිවල කාලකන්නි නින්දා සහගත ක‍්‍රියා පිළිවෙත් නිසා සහ එවකට පාලකයින්ගේ අදුරදර්ශී වැඩ පිළිවෙළ නිසා කර්මාන්තශාලාව වසා දැමීමට සිදු විය.

  • හිඟුරාන සීනි සමාගම වසා දැමූ වෘත්තීය සමිති නරුමයෝ…

වීරබාහු නම් පුද්ගලික අයෙකුද මෙම සමාගම පවත්වාගෙන ගිය අතර ඔහුට ද මෙම ආයතනය පවත්වාගෙන යන්නට ඉඩ නොදී පිරිසක් පිශාචයන් මෙන් මෙහි සාරය උරා බොන්නට වූහ. අවසාන ප‍්‍රතිඵලය වූයේ ඔහු ද මේ ආයතනය අත්හැර දැමීමය. කීපදෙනෙකුගේ කුමන්ත‍්‍රණයක් නිසා අන්ත අසරණ වූයේ සීනි සමාගමෙන් පෝෂණය වුණ දිගාමඩුල්ල මිටියාවතේ අහිංසක ජනතාවය. වගාබිම් වල් වැදුණි. ගොවීන්ගේ ආර්ථිකය කඩා වැටුණි. නිලධාරි මහත්තුරු කුලී වැඩ කරන්නට වූහ. සිකුරුටිකම් කරන්නට වූහ. ගල්කොරිවල ගල් කඩන්නට වූහ. සමහරු දිගාමඩුල්ල අත්හැර රැකියා සොයා පිටස්තර ප‍්‍රදේශවලට ගියහ. ඒ අයුරින් ආර්ථිකය බිඳ වැටී නන්නත්තාර වෙද්දි හිඟුරාන සීනි සමාගමෙන් පෝෂණය වූ ජනතාව කුසගිනි නිවාගන්නට ගස්ලබු ගෙඩි තම්බා කන්නට වූහ. ඇළවල් අද්දර තිබූ කංකුන් පලා තම්බා කන්නට වූහ. සමහර කතුන් විකල්පයක් නොමැති කල කුසගින්න නිවා ගන්නට ඇඟ විකුණන්නට වූවාය. මේ ආකාරයට වසර දහතුනක් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළේ කිහිප දෙනෙකුගේ නින්දිත තිරිසන් ක‍්‍රියාවක ප‍්‍රතිඵලයක් ලෙසිනි. ඔවුනට අන්ත අසරණ වූ ජනතාව ශාප කරමින් දෙස් දෙවොල් තබන්නට වූහ.

එතැන් පටන් දිනෙන් දින දිරා පත් වෙමින් තිබුණ හිඟුරාණේ සීනි යෝධයා නැවතත් පණගන්වන ලෙසට අප මාධ්‍ය මගින් ද දිගින් දිගටම අනාවරණය කෙරුවෙමු. එම කාලය තුළ දී පැල්වත්ත සීනි සමාගම මගින් හිඟුරාණේ උක් වගා කිරීම ඇරඹුවද එය ද අසාර්ථක විය. උක්දඬු විකුණා ගැනීමට නොහැකිව ගොවි තවත් අන්ත අසරණ වන්නට වූහ.

  • මහින්ද චින්තනයෙන් පිබිදුන හිඟුරාන සීනි යෝධයා…
හිඟුරානටත් සෙනසුරා ලබයි!… හිඟුරාන සීනි යෝධයා රැකගන්න දිගාමඩුල්ලේ මහා සඟරුවන සහ ජනතාව වීදි බසිති…

2006 වසරේ දී මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ එල්. ඕ.එල්.සී. සහ බ‍්‍රවුන්ස් ආයතනය එක්ව 49%ක පුද්ගලික අංශයේ දායකත්වය මත 51%ක් රාජ්‍ය දායකත්වය යටතේ වැඩ කටයුතු ආරම්භ කරන්නට වූහ.

එකල හිඟුරානේ ගොවියාට සිදුව තිබුණේ උක් දඬුවලින් ගිනි තපින්නටය. සීනි තිත්ත වී තිබුණි. උක් වගාව එපා වී තිබුණි. එනිසා නැවතත් වගා කිරීමට බියවූ ගොවියෝ උක් වගාවෙන් ඈත් වී සිටින්නට වූහ. දහසක් වූ බාධක මැද ගමින් ගමට ගොස් රැස්වීම් තබමින්, දිගාමඩුල්ලේ ගොවීන් දැනුවත් කරමින් ගල්ඔය වැවිලි සමාගම 2012 වසරේදී නිෂ්පාදනය අරඹන්නට වූයේ දිගාමඩුලූ ජනතාවගේ මුහුණු සිනහ මලින් විකසිත කරමිනි.

ඒ ගැටලූ පිට ගැටලූ මැදය. සීනි කම්හල හෙට වැටෙයි යන විවිධ මතිමතාන්තර සමගය. ගැටලූ රැසක් මැද ගල්ඔය වැවිලි සමාගම ලංකා ඉතිහාසයේ දී අනෙකුත් සීනි සමාගම නොතිබූ වාර්තා පිට වාර්තා තබමින් මේ වන විට ඉතා සාර්ථක ගමනක් යමින් සිටියි.

ආයතනයට නිසි මග පෙන්වීමක් ලබා දෙමින් නායකත්වය ලබා දෙන ගල්ඔය වැවිලි සමාගමේ විධායක අධ්‍යක්ෂක දනේෂ් අබේරත්න මහතා සමගින් දිවා රෑ නොබලා අමිල මෙහෙයක් කරන ප‍්‍රධාන විධායක නිලධාරී සුරත් පෙරේරා මහතා සහ ආයතනයේ මානව සම්පත නිසි පරිදි කළමනාකරණය කරමින් ආයතනය දිනෙන් දින දියුණු කිරීමට දායකත්වයක් ලබා දෙන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරුණ මධුෂාන් මහතා ඇතුළු සමස්ත ගල්ඔය වැවිලි සමාගමේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය සේවක සේවිකාවන් එක මිටකට වී සේවය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස 2021 වසරේ මාස හයක් තුළදී බිලියනයක් ලාභ ලබන්නට විය. පසුගිය දෙසැම්බර් මාසයේ සේවකයන්ට වැටුප මෙන් තුන් ගුණයක ප‍්‍රසාද දීමනා දුන්හ. මේ ආකාරයට දිගාමඩුලූ මිටියාවතේ සේවකයන්ට, ගොවීන්ට සහ බෞද්ධ සහ අනෙකුත් ආගමික මධ්‍යස්ථානවලට සත්කාරයන් රැසක් සිදුකරමින් නැගෙනහිර පළාතේ ‘නැෙඟන හිරු’ වෙමින් මහ මෙහෙයක් සිදු කරමින් සිටී. ලොවම කොරෝනා වසංගතයේ කඩා වැටුණු මොහොතක ගල්ඔය වැවිලි සමාගම මෙසේ ලාභ පිට ලාභ ලබමින් සේවකයන්ට සහ ජනතාවට ප‍්‍රතිලාභ ලබා දුන්නේ ලංකාවේ කර්මාන්තශාලා බොහොමයක් තම සේවකයන්ට වැටුප් පවා ගෙවීමට නොහැකිව කඩා වැටුණු යුගයකය.

ගල්ඔය වැවිලි සමාගමට පෙරේත කුම්භාණ්ඩ බැල්ම වැටෙන්නේ මීට වසරකට දෙකකට ඉහතදීය. වසර 30ක් වෙනුවෙන් ගිවිසුම්ගතව ආරම්භ කළ ගල්ඔය වැවිලි සමාගම ලාභ ලැබීමට පටන් ගත් නිසාය.

හිඟුරාන සිනි ආයතනය රජයට පවරා ගන්නට යන බව පවසමින් අදාළ රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය මගින් විවිධ මත පළ කර තිබුණි. යම් හෙයකින් එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් මහා අඳුරු යුගයක් දිගාමඩුල්ලේ ඇතිවන බව මහා සඟරුවනේ අදහසයි.

මේ කුමන්ත‍්‍රණය පිටුපස දිගාමඩුල්ල මිටියාවතේ පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින බව ද හිමිවරු පවසති.

සමහරු ආයතනයේ නීතිරීති වලට පටහැනිව ක‍්‍රියා කළ සේවයෙන් නෙරපා ඇති අයවළුන් බවත් සමහරු තම බිරින්දෑවරු ආයතනය සේවය කරද්දී ආයතනයේ සියලූ ප‍්‍රතිලාභ ලබන ඇතැම් පුද්ගලයෝ ද කාලකන්නි ලෙස මේ ආයතනය රජයට පවරා ගන්නා ලෙස කෑමොර දෙමින් මේ ආයතනය බිඳ දමන්නට කටයුතු කරන බව දිගාමඩුල්ල ජනතාව පවසති.

පසුගිය සඳුදා ගල්ඔය වැවිලි සමාගමට එරෙහිව කිහිප දෙනෙකු හිඟුරාන නගරයේ දී විරෝධතාවක් සංවිධානය කරන්නට සැලසුම් කර තිබුණද ඒ සඳහා ඉතා සුළු පිරිසක් හෝ සහභාගි කර ගැනීමට මේ පිරිසට නොහැකිවීම නිසා එම උද්ඝෝෂණය අතරමග නැවතිණි. මෙම ආයතනයට විරෝධතා දක්වන අය අතර අක්කරපත්තු ප‍්‍රදේශයේ උක් වගා කිරීමට යෑමේදී දැඩි ලෙස විරෝධය පාන අයකු ද හවුල් කරගෙන සීනි ආයතනය භාර ඇමැතිවරයා සමඟ සාකච්ඡා කරමින් කටයුතු කිරීම පිළිබඳ හිඟුරාන සීනි ආයතනය සුරකීමේ සංඝ සභාව සහ ජනතාව අදාළ අමාත්‍යවරයාගේ ක‍්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිති.

එම නිසා පසුගියදා හිඟුරාන උත්තර රජමහා විහාරස්ථානයට රැස්වූ 150 කට අධික මහ සඟරුවන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා දිගාමඩුල්ලේ මුර දේවතාවන් විලසින් පෙරට විත් හඬ නගන්නට වූහ. ඉන්ද නොනැවතී හිතුවක්කාර තීරණ ගන්නා මෙම ඇමැතිවරයාට එරෙහිව හිඟුරාන සීනි ආයතන සුරැකීමේ සංඝ සභාවේ සංවිධානයෙන් පසුගිය 12 වැනිදා දැවැන්ත විරෝධතාවයක් සිදුකරන්නට විය. හිඟුරාන නගරයට ඉතිහාසයේ රැස් වූ වැඩිම ජන ගෙඟන් හිඟුරාන නගරය පිරී ඉතිරී යන්නට වූහ. පන් සියයකට අධික භික්ෂූන් වහන්සේලා සහ දස දහසකට අධික ජන ගඟකින් හිඟුරාන නගරය පිරිණි. ඔවුන් එක හඬින් කෑ ගසා පැවසුවේ ඇමැතිවරයාට කිසිසේත්ම සීනි ආයතනය විනාශ කරන්නට, රජයට පවරා ගෙන පෙර මෙන් වසා දමා නැවතත් ඒ අඳුරු යුගය ඇති කිරීමට ඉඩ නොදෙන බවය.

උතුරු, නැගෙනහිර අධිකරණ සංඝනායක, අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරිඳිවෙල සෝමරතන නාහිමියන් මෙලෙස පැවසූහ.

  • ජනාධිපතිතුමනි, අපි මේ පාරට බැස්සේ ඔබතුමාටවත් රජයටවත් විරුද්ධව නොවෙයි.

සීනි ආයතන භාරව ඉන්න ඇමැතිතුමා එකම දවසක්වත් හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවට ඇවිත් නෑ. කොළඹ ඉඳන් මාධ්‍ය සාකච්ඡා තියෙනවා. ආයතනේ සභාපතිවරයාගේ ක‍්‍රියාවන් රටම දන්නවා. හිඟුරාන සීනි සමාගම වසර 13 වසා දාලා ජනතාව අනේක අසරණ වෙලා තියෙද්දී ගල්ඔය වැවිලි සමාගම විසින් නැවතත් දිරාගිය හිඟුරාන සීනි යෝධයා ගොඩ නගලා ජන ජිවිතය ගොඩ නගද්දී, එය නැවතත් විනාශ කරලා එහි සාරය උරා බොන්න හදන අයට අපේ දැඩි අප‍්‍රසාදය පළ කර සිටිනවා.

හිඟුරාන සීනි සමාගම වසා දාපු නිසා ඒ කාලේ හිඟුරාන ජනතාව දැඩිසේ අසරණ වෙලා හිටියේ. කන්න බොන්න නැතිව මිනිස්සු අන්ත අසරණ වුණා. පාන් ගෙඩියක් වත් විකුණගන්න බැරිව හවස් වෙද්දි හිඟුරාන නගරය පාළු සොහොන් පිටියක් බවට පත්වුණා.

එහෙම තිබ්බ හිඟුරාන නැවතත් ගල්ඔය වැවිලි සමාගම නමින් රාජ්‍ය අංශය හා පුද්ගලික අංශය ඒකාබද්ධව ආරම්භ කර බිලියන 13 වියදම් කරමින් විශිෂ්ට ආකාරයට ආයතන ගොඩ නගලා. මේ වන විට මෙම සීනි ආයතනය වාර්තා පිට වාර්තා තබමින් තිබෙනවා. ඒ වගේම පාසල්වලට, ප‍්‍රජාවට, වෙහෙර විහාරය ඇතුළු ආගමික ස්ථානවලට ජනතාවට මහ මෙහෙයක් සිදු කරමින් ගරා වැටුණු සීනි ආයතනය ගොඩනගලා නිලධාරීන් ඉතා හොඳින් කටයුතු කරනවා. ඊට අමතරව කාබනික පොහොර, විදුලිය, ඇතුළු විවිධ නිෂ්පාදනය වැඩිපුරම කරන එකම සීනි ආයතනය ගල්ඔය වැවිලි සමාගමයි. අද වන විට සේවකයන් 1250 ක පිරිසක් ගොවීන් 8000ක් සහ වක‍්‍ර රැකියා විසි දහසක් ඇති කර තිබෙන ගල්ඔය වැවිලි සමාගමට අත තියන්න එපා කියලා අපි ඇමැතිවරයාට පවසා සිටිනවා. ඒ වගේම වසර 13ක අඳුරු අතීතයට ආයේ හිඟුරාන සීනි සමාගම අරගෙන යන්න එපා. වසර තිහක් යුද්දෙන් බැට කාපු නැගෙනහිර පළාතේ දරුවන්ගේ අනාගතය මෙම සීනි ආයතනයයි. ඉදිරියේදී ගල්ඔය වැවිලි සමාගමේ සුරැකීම සඳහා සඳහා මහ සඟරුවන දිවි හිමියෙන් කටයුතු කරනවා. ත්‍රෛනිකායික මහා නායක නාහිමියන් වහන්සේලා මේ පිළිබඳව දැනුවත් කරන්න කටයුතු කරනවා යැයි සෝමරත්න නාහිමියෝ එම අවස්ථාවේදී අදහස් දක්වමින් පවසා සිටියහ.

උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක දීඝවාපිය පරිවාර දාගැබ් විහාරාධිපති පෝද්දිවෙල චන්දානන්ද නාහිමියන් මෙලෙස පැවසූහ.

ගල්ඔය වැවිලි සමාගම නිසා දිගාමඬුල්ලට සෞභාග්‍යය උදා වුණා. අපි වක්කුඹුර ඇමැතිතුමා ගෙන් අහනවා අද රාජ්‍ය ආයතන මොනාද දියුණු වෙලා තියෙන්නෙ කියලා. ඇල් වතුර දෙන ජලසම්පාදනය පාඩුයි. ජල විදුලිය විදුලි බලය දෙන විදුලිය පාඩුයි. ගුවන් සමාගම පාඩුයි. ඒවාගේ රාජ්‍ය ආයතන දිගටම පාඩුයි. ඒ නිසා අපි කියනවා හිඟුරාන සීනි සමාගමට අත තියන්න එපා. මේ ජන ජීවිතය අවුල් කරන්න එපා කියලා ඇමැතිතුමාට අපි කියනවා” යැයි චන්දානන්ද හිමියෝ අදහස් දැක්වූහ.

කීනවත්ත බෝධිමලූ විහාරස්ථානයේ විහාරාධිපති දමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ඇතිමලේ ආනන්ද හිමියන් මෙලෙස දක්වන්නට වූහ.

බොහොම අමාරුවෙන් ගල්ඔය වැවිලි සමාගම විසින් රජයත් එක්ක ඒකාබද්ධ වෙලා හිඟුරාන සීනි සමාගම ආරම්භ කරා. අද ඉතා සාර්ථකව එය කරගෙන යද්දි අදාළ රාජ්‍ය ඇමැතිවරයා එය විනාශ කරන්න කටයුතු කිරීම කනගාටුවට කරුණක්. රජය නියෝජනය කරමින් අම්පාර මහ දිසාපතිවරයා එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටියා. නමුත් අද අම්පාර මහ දිසාපතිතුමාව අධ්‍යක්ෂක මණ්ඩලයට නොදා වෙනත් අයෙකු දාන්න කටයුතු කරනු ලබනවා. ආයතනය ගොඩනගද්දී රාජ්‍ය බැංකු ණය දෙන්නා කැමති වුණේ නැහැ. එල්. ඕ.එල්.සී. ආයතනය ණය දීලා තමයි මේ ආයතනය ගොඩ ගන්න කටයුතු කළේ. එහෙම ගොඩ ගන්න කටයුතු කළ ආයතනය වසර තිහකට ගිවිසුම් ගහලා ගත්ත ආයතනය අද රාජ්‍ය ඇමැතිවරයකු නැවත රජයට ගෙන විනාශ කිරීමට යෑම පිළිබඳව දිගාමඩුල්ල මහා සංඝරත්නය විදියට අපි දැඩි පිළිකුලින් හෙළා දකිනවා.

අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, සක්නද සංවිධානයේ සභාපති ගම්පහ නාරද හිමිපාණන් මෙලෙස අදහස් දැක්වූහ.

  • අද ගල්ඔය වැවිලි සමාගම තුළ අන්තෝ ජටා බහී ජටා ඇති කරන්නට හදනවා.
හිඟුරානටත් සෙනසුරා ලබයි!… හිඟුරාන සීනි යෝධයා රැකගන්න දිගාමඩුල්ලේ මහා සඟරුවන සහ ජනතාව වීදි බසිති…

සෞභාග්‍යය දැක්ම යථාර්ථයක් කරන්න නොදී එය අමු අමුවේ විනාශ කරන්න හදනවාද කියලයි අපිට ඔය සීනි ආයතනය භාර ඇමැතිවරයාගෙන් අහන්න තියෙන්නෙ.

අද ගල්ඔය වැවිලි සමාගම තුළ අන්තෝ ජටා බහි ජටා, ජටාය ජටිතා පජා… ඇතුළත් ගැට පිටත් ගැට, ගැට පිට ගැට ඇති කරලා මේ ආයතනය විනාශ කරන්න හදන්න අපි ඇමැතිවරයාට ඉඩදෙන්නේ නෑ. අපි ඇමැතිවරයාගේ ඡන්ද ආසනයට එනවා – ඇමැතිවරයාගේ පැටිකිරිය හොයලා මහජනතාව දැනුවත් කරනවා. මේ සීනි ආයතනය විනාශ කරන්න ඉඩ තියන්නේ නැහැ. හැමෝටම සීනි පැණි රසයි. දිගාමඩුල්ල අපිට සීනි තිත්ත කරන්න හදන්න එපා.

මේ ආයතනයේ නිලධාරීන්ට හොරකම් කරනවා යැයි අභූත චෝදන කරනවා. පසුගිය කාලයේ විගණන තිබ්බා, විශේෂ විගණන තිබ්බා, කෝප් කමිටුවට අරන් ගියා. ඒත් කිසිදු හොරකමක් අහු වුණේ නෑ. හොරකම් කරනවා නම් හොරකම් කරන නිලධාරීන් අයින් කරන්න ඒකෙ කිසි වැරැද්දක් නෑ හැබැයි බොරුවට චෝදනා කරන්න එපා යයි යයි නාරද හිමියන් අදහස් දැක්වූහ.

හිඟුරාන උත්තර ජයමහ විහාරස්ථානයේ විහාරාධිපති හිඟුරාන සීනි ආයතනය සුරැකීමේ සංඝ සභාවේ සභාපති හිඟුරාන සිරිධම්ම හිමි මෙලෙස කීහ.

ඔය රාජ්‍ය ඇමැතිතුමාට නොසන්ඩාල හිතුවක්කාර වැඩ කරන්න එපා කියලා කියනවා. කෑදර පෙරේත, මගඩි දේශපාලකයෝ ඉන්නවා. ඇමතිවරයාත් ඒ වගේ කියලායි අපිට පේන්නෙ. නොසන්ඩාල හිතුවක්කාර වැඩ කරන්න එපා කියලා අපි ඇමැතිවරයාට කියනවා. සියයට පනස් එකක් රජයට තියෙන්නෙ. 49%ක් පුද්ගලික ආයතනයට තියෙද්දි විශාල මුදලක් වියදම් කරලා මේ ආයතනය දියුණු කරලා තියෙන්නේ. ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට කියනවා මේ ගල්ඔය වැවිලි සමාගම රැක දෙන්න කියලා යැයි හිඟුරාන සිරිධම්ම හිමියෝ පවසා සිටියහ.

මොරගහපල්ලම සුවිසුද්ධාරාමාධිපති ශාස්ත‍්‍රපති උහන ධම්මික හිමිපාණෝ මෙලෙස අදහස් දැක්වූහ.

සෙවනගල, පැල්වත්ත සීනි ආයතනවලට රජයෙන් අනුග‍්‍රහය ලබා දෙනවා. ගල්ඔය වැවිලි සමාගමට රුපියලක් රජයෙන් ලබා දෙන්නේ නෑ. හිඟුරාන සීනි සමාගම වැහිල තියෙන කාලෙ මිනිස්සු අන්ත අසරණ බවට පත් වුණා. ඒ ආයතන නැවතත් විනාශ කරලා දාන්න අදාළ රාජ්‍ය ඇමැතිවරයා කටයුතු කරනවා. කන්තලේ සීනි සමාගම වහලා තියෙන්නේ. පුළුවන් නම් ඒක පටන් අරන් ක‍්‍රියාත්මක කරන්න. අපි අහනවා ඇමැතිවරයා රෙදි ඇඳගෙන ද මේ කතා කරන්නේ කියලා.

එලෙස අදහස් දැක්වූවේ දිගාමඬුල්ලේ මහ සඟරුවනේ කිහිප නමකි. මුළු දිගාමඩුල්ලේ සංඝයා වහන්සේලා මෙබඳු අදහස් පවසති.

ලංකාවේ ආර්ථිකය කඩා වැටී නන්නත්තාර වී සිටිති. විදේශික ආයෝජකයන් එනතෙක් ආණ්ඩුව කට ඇරන් බලා ගෙන සිටිති. කෘෂිකර්මාන්තය ද කඩා වැටී හාල්, එළවළු මිල අහස උසට නගමින් සිටියි. දිගාමඩුල්ලේ ජනතාව කොරෝනා මැද වුවද කුසගින්න නිවා ගත්තේ ගල්ඔය වැවිලි සමාගමට පින් සිදුවන්නට උක් ගසේ පිහිටෙනි.

  • රජයට කරන්නට බැරිව වැහුව එක ආයේ රජයට කරන්න පුළුවන් ද?

මෙම ආයතනය රජයට කරන්නට බැරිව වැසී ගොස් වසර දහතුනක් අඳුරෙන් අඳුරටම ගොස් තිබුණි. නැවතත් එය පණ ගසා දිගාමඬුල්ලේ ජීවනාලිය බවට පත්ව අද ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබේ. එසේ නම් රජයේ විෂයභාර අමාත්‍යවරයා කළ යුත්තේ මේ ගොඩනැගූ ආයතන තව තවත් දියුණු කිරීමට සහයෝගය ලබාදීම නොවේද? අඩුපාඩු ඇත්නම් පෙන්වා දීම නොවේද?

දිගාමඩුල්ලේ මහා සඟරුවනම ආයතනය වෙනුවෙන් හඬ නගද්දී ඒවාට කන් නොදී කිහිප දෙනෙකුගේ මුසා බස්වලට රැවටීම දැයි දිගාමඩුල්ලේ මහා සඟරුවන ඇමැතිවරයාගෙන් අසා සිටිති.

නමුත් සිදුවෙමින් තිබෙන්නේ වෙන දෙයකි. දේශීය ආයෝජකයන් ශක්තිමත් කරමින් ලංකාවේ වසා දමා තිබෙන කර්මාන්ත ශාලා නැවත විවෘත කරමින් ගරාවැටුණු ආර්ථික ශක්තිමත් කිරීම කඩිනමින් කළ යුතුය. එය විෂයභාර අමාත්‍යවරුන්ගේ යුතුකම නොවන්නේද?

නමුත් මාධ්‍යයට පැමිණ මයික් ටයිසන්ලා වෙන ඇතැම් ඇමැතිවරු කරන්නේ තකතීරු අමන වැඩමය. ජනතාවගේ 69 ලක්ෂ ඡන්දයෙන් බලයට පත් වුණු ආණ්ඩුවක ඇමැතිවරුන්ට පිස්සු නටන්නට සැමදාම ජනතාව ඉඩ නොදෙනු ඇත. 2015 වසරේ රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවා ජනතාව පාඩමක් ඉගැන්වූහ. නැවතත් ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයට පත් කළේ මහත් වූ බලාපොරොත්තුවක් ඇතිවය. යුද්ධය දිනූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දූරදර්ශී වැඩ පිළිවෙළ යටතේ මහින්ද චින්තනය වැඩසටහන යටතේ ගොඩ නැගුණු හිඟුරාන සීනි සමාගම මහත් අභිමානයෙන් පසු වෙති. දිගාමඩුල්ල ජනතාවට එනිසා ඇත්තේ අප‍්‍රමාණ සතුටකි. අද මහින්ද ජනපති තුමන් සහ ගෝඨාභය ජනපතිතුමන් සිහි කරන්නේ බැතියෙනි. නමුත් කිසිත් අවබෝධයක් නැති ආකාරයට දිගාමඩුල්ල පෝෂණය කරමින් තිබෙන මේ ගල්ඔය වැවිලි සමාගමට වින කටින්නට රාජ්‍ය ඇමැතිවරයා සහ ඔහු පිටුපස සිටින පිරිස දෙස සොයා බැලීමට කාලය උදාවී ඇත.

පසුගියදා නිධන් හාරන්නට ගොස් කොටු වූ අයට නම් මෙය මහා නිධානයක් සේ පෙනෙනු ඇත.

ජනාධිපතිතුමනි කන්තලේ උක් කර්මාන්ත ශාලාව වැසී ගොස් තාම මළකඩ කන යකඩ ගොඩක් බවට පත්ව ඇත. වත්මන් විෂයභාර අමාත්‍යවරයාට ගල්ඔය වැවිලි සමාගම බිලි ගන්නට ඉඩ නොදී කන්තලේ කර්මාන්ත ශාලාව නැවත පණ ගන්වන්නට දුන්නොත් නරකදැයි ජනතාව අසති. ඔහු වැඞ්ඩෙක් නම් ඔහුට කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ගොඩනැගීමට හැකියාව තිබිය යුතුමය. දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්නට නම් දේශීය ආයෝජකයන්ට ලබා දෙන්නේ නම් ඒවා දියුණු කර ලාභ ලබන අවස්ථාවේදී ද ඔවුනට දිගින් දිගටම ඒවා දියුණු කරගැනීමට අවශ්‍ය සහාය නිරන්තරයෙන් රජයක් ලෙස ලබාදී යුතුව තිබේ. ඇඹිලිපිටිය සහ වාලච්චේන කඩදාසි කම්හල් විනාශ වෙමින් තිබේ. රජයේ කර්මාන්ත ශාලා විශාල ප‍්‍රමාණයක් වැසී ගොස් ඇත. සිදු කළ යුත්තේ දේශීය ව්‍යවසායකයන් එකතු කොට රජයට බැරිනම් ඔවුන් ලවා හෝ එම ආයතන ගොඩ නැගීමයි.

කළ යුතු දේ පසෙකලා නොකළ යුතු දේ කර ආණ්ඩුව පසුගිය සමයේ අවස්ථා කීපයකම ඇන ගත්තේය. ස්ටාලින් මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නිරෝධායනය කර ගුරුවරු මහපාරට බැස එක් ගැටලූවක් ඇති කර ගත්තාහ. කාබනික පොහොර වගාව කඩිනමින් කර ගොවියෝ පාරට ඇද දමා කෘෂිකර්මාන්තය නැති බංගස්ථාන විය. වී වගාව කඩාගෙන වැටෙද්දී දිගාමඩුල්ලේ ජනතාව උක් වගාවෙන් ඉහළ ආදායමක් ගන්නට වූයේ එය නැවතත් ආරම්භ කරන්නට මුල් වුණ එවකට ජනපති මහින්ද රාජපක්ෂයන්ට පින් දෙමිනි. කිසි දෙයක් තඹයකට මායිම් නොකර පිස්සු නටන අමාත්‍යවරයකු නිසා නැවතත් දිගාමඩුල්ලේ සඟරුවන ඇතුළු ගොවිජනතාව පාරට බැස වීදි සටන් ආරම්භ කර ඇත. රාජ්‍ය ආයතන දිගින් දිගටම පාඩු ලබමින් තිබෙන මොහොතක නැවතත් දියුණුවේ හිණිපෙත්තටම නැගෙමින් තිබෙන ගල්ඔය වැවිලි සමාගම නැවතත් රජයට ගෙන වසා දැමුවහොත් එය හෙණ ගහන අපරාධයකි.

ආණ්ඩු ඉදිරියට ඇත්තේ අභියෝගාත්මක කාලයකි. වැරදුණ තැන් නිවැරදි නොකර කටයුතු නොකළහොත් 2015 මෙන්ම මේ ආණ්ඩුට ගෙදර යෑමට සිදුවනු ඇත. එම නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බුද්ධිමත් ආකාරයෙන් කටයුතු කරනු ඇති බවට දිගාමඬුල්ලේ මහ සඟරුවන සහ ජනතාව බලා සිටිති.

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්ම වළපල්ලට යවන ඇමැතිවරු ගැන දැන්වත් තීරණයක් ගන්නට තවමත් පමා වී නොමැති බව අපගේ ද අදහසයි.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment