හිඟුරානට අත නොතබනු!

825

ආර්ථික අර්බුදය රට ගිලගෙන ඇති මෙවන් මොහොතක නිෂ්පාදන ආර්ථිකයෙන් රටට ආදායම් හා ලාභාංශ ලබාදෙන වැදගත් කර්මාන්ත දෙකක් කඩාකප්පල්කාරී දේශපාලනඥයන්ගේ ග‍්‍රහණයට නතුව ඇති බව මාධ්‍ය වාර්තා කරයි. ඒ හම්බන්තොට ලූණු කර්මාන්ත ශාලාව සහ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව යි.

මේ කර්මාන්ත ශාලා දෙකම රජයට අයත් දෙපළයි. හම්බන්තොට ලේවාය ලංකා සෝල්ට් ලිමිටඞ් නමැති රාජ්‍ය සමාගම මගින් පාලනය කෙරෙන නමුත් හිඟුරාන සීනි කම්හල පාලනය කරනු ලබන්නේ රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම එකතු (ප‍්‍රයිවට්-පබ්ලික්-පාර්ට්නර්ශිප්) වෙනි. එනම් රජයට සියයට 51 ක් සහ පෞද්ගලික සමාගමකට සියයට 49 ක් ලෙස කොටස් දායකත්වයෙනි. ඒ අනුව ගල්ඔය වැවිලි සමාගම නම් සමාගමක් හදා ඒ මගින් හිඟුරාන ෆැක්ටරියේ කළමනාකරණ කටයුතු සිදුකරනු ලබයි.

ආයතන දෙකට පත්වූ නව කළමනාකාරිත්ව යටතේ මිලියන, බිලියන ගණනින් පාඩු ලබමින් තිබූ මෙම කර්මාන්ත ශාලා අද වන විට ආදායම් උපදවා, ලාභ ලබන තත්ත්වයට පත්කර ඇත. එසේම, සේවකයන් සඳහා මෙවර දැනෙන්නට ප‍්‍රසාද දීමනා ද ලබාදී තිබේ. අහෝ කරුමය නම් මේ වැඩබිම් දෙකට බැල්ම දමාගෙන, මේ ආයතනවල සම්පත් හා ආදායම් ගිලගන්නට බලා සිටින කාලකන්නි බහිරව දේශපාලකයින් කිහිප පළක් විසින් ප‍්‍රදේශයේ දුප්පත් ජනතාවට සෙත සලසන මේ ආයතන අද විනාශය කරා ගෙනයන්නට කටයුතු කරමින් සිටීම ය.

හම්බන්තොට ලේවායේ ප‍්‍රශ්නය ගැන අපි මේ දවස් ටිකේ කතා කළ නිසා ඒ ගැන වැඩිමනත් කතා නොකර අද අප හිඟුරානේ ප‍්‍රශ්නයට වැඩි අවධානයක් යොමු කරන්නට කැමතිය.

අද වනවිට රටේ වාර්ෂික සීනි අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් හයලක්ෂ පනස් දහස (6,50,000)කි. ඉන් 89% ක් ම ආනයනය කරනු ලබන අතර, රට තුළ නිපදවන්නේ 11% ක් පමණි. එනම්, සාමාන්‍යයෙන් රට තුළ සීනි මෙටි‍්‍රක් ටොන් 55,000 ක් පමණ නිපදවනු ලැබේ. නමුත්, අනෙකුත් වසරවලට සාපේක්ෂව 2021 වසරේ සීනි මෙටි‍්‍රක් ටොන් 70,000 කට ආසන්න ප‍්‍රමාණයක් රට තුළ නිපදවන්නට සමත්වී ඇත. එය පැසසුමට ලක් කළ යුතු කාරණයකි. ඒ සමගම සීනි විෂය භාර ඇමැතිවරයා වන ජානක වක්කුඹුර මහතා ද ඒ සමගින් නිතැතින්ම පැසසුමට ලක්වේ.

නමුත් ප‍්‍රශ්නය වී ඇත්තේ දේශීය සීනි නිෂ්පාදනයෙන් තුනෙන් එකක් පමණ සිදුකරන හා දිනකට මෙටි‍්‍රක් ටොන් 2000 ක ධාරිතාවක් දක්වා සීනි නිෂ්පාදන හැකියාව දියුණු කරගත් ගල්ඔය වැවිලි සමාගමේ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව යළිත් පූර්ණ රාජ්‍ය සමාගමක් ලෙස පත්කරන්නට ජානක වක්කුඹුර විෂය භාර ඇමැතිවරයා කටයුතු කරන්නේ ඇයිද යන්නය. මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලැබුණේද යන්න හෝ එසේ කරන්නට හේතුව කුමක්ද යන්න අපට පැහැදිලි නැත. නමුත් ඇමැතිවරයා එසේ ප‍්‍රකාශයක් කර ඇති අතර, ඊට එරෙහිව හිගුරාන සුරැුකීමේ භික්ෂු සංවිධානය ඇතුළු ජනයා මේ වනවිටත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කර ඇත.

ජේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා රටේ කර්මාන්ත හා නිෂ්පාදන ආර්ථිකය කඩාවැටුණු බව අමුතුවෙන් කිවයුතු කතාවක් නොවේ. එනිසාම හිඟුරාන ඇතුළු සෙවණගල, පැල්වත්ත හා කන්තලේ කර්මාන්තවල ස්වර්ණමය සීනි අන්දරය දියවී ගියේය. කන්තලේ සීනි කර්මාන්තශාලාව හා එහි දේපළ අදටත් දිරාපත්වෙමින් පවතින්නේ රටේ ඛේදවාචකය මේ බවට පසක් කරමිනි.

හිඟුරාන සීනි කම්හලට ද අත්වූයේ එවන් ඉරණමකි. ඌව වෙල්ලස්සේ මිනිසුන්ගේ බලාපොරොත්තු සහ ආර්ථික සමෘද්ධිය කාබාසිනියා කරන ලද ඒ තිත්ත කතාව ලියැවුණේ 1989 වසරේදීය. එතැන් පටන් හිඟුරාන යකඩ ගොඩක් බවට පත්විය. වසර 13 ක් තිස්සේ වසා දමා මළකඩ ගොඩක් බවට පත්ව තිබුණු හිඟුරාන බිලියන 13 ක් වැනි අති විශාල මුදල් කන්දක් ආයෝජනය කර ගල්ඔය වැවිලි සමාගම යටතේ 2006 දී ආරම්භ කරනු ලබන්නේ ගල්ඔයට, හිඟුරානට, නැගෙනහිරට පමණක් නොව රටටම අරුණලූ උදාකරමිනි.

ඒ අනුව 2012 වසරේදී මෙහි ප‍්‍රථම උක් ඇඹරීම සිදු කරන්නේ දහසක් වූ බාධකයක් මැදය. ඉන් පසු එතෙක් පැවති නිෂ්පාදන වාර්තා වෙනස් කරමින් සමාගම 2014 වසරේ දි උක් මෙටි‍්‍රක් ටොන් 2,46,344ක අස්වැන්නක් ලබා සීනි මෙටි‍්‍රක් ටොන් 19,837 නිපදවා වාර්තාවක් තබා ඇත. 2021 වන විට උක් වගාකරන පවුල් 8219 දක්වා වර්ධනය කර ඇති අතර, හෙක්ටයාර 6827 ක උක් වගාකර, මඩුල්ල, සියඹලාණ්ඩුව, නෙල්ලියද්ද, මහඔය ආදී අලූත් වගා බිම් රැුසක උක් වගාව ව්‍යාප්ත කර ඇත. 2020 වසරේදී එතනෝල් ලීටර් මිලියන 5.62ක් නිපදවා ඇති අතර 2021 වසර වන විට එතනෝල් ලීටර් මිලියන 6.87 දක්වා නිෂ්පාදනය ඉහළ දමා ඇත. උක් ටොන් එකකට අද ගොවියෙකුට රුපියල් 6500ක උපරිම මිලක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත. එපමණක් නොව, 2021 වසරේ අපේ‍්‍රල් මාසයේදී වැටුප් එක හමාරක ප‍්‍රසාද දීමනාවක් ද දෙසැම්බර් මස වැටුප් තුනක ප‍්‍රසාද දීමනාද සේවකයන්ට ලබා දෙන්නට සමාගම කටයුතු කර ඇත.

ඒ අනුව ප‍්‍රදේශයට, රටට විශාල ආර්ථික හා සමාජමය දායකත්වයක් ලබා දෙන හිඟුරානට දේශපාලන බැල්ම හෙළා එහි පරිපාලනය හා කළමනාකාරීත්වය වෙනස් (අවුල) කරන්නට ලහි ලහියේ කටයුතු කිරීම ගැන ප‍්‍රදේශයේ ජනතාවට පමණක් නොව අපට ද ඇත්තේ ප‍්‍රශ්නයකි. ඒ අභිරහස කුමක්ද යන්න අපට නොතේරේ.

එබැවින් ඒ ජනතා විරෝධතා සමග අපට ද සිටගැනීමට සිදුවන අතර, යළිත් හිඟුරාන සොහොන් පිට්ටනියක් කරා දැක්කීමෙන් වළකින ලෙස ද බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නට අප කැමතිය.

advertistmentadvertistment