හිටපු කමාන්ඩෝ සෙබළාගේ සුපිරි කමාන්ඩෝ ගේම් එළිවෙයි

844

බිරිඳ, අනියම් බිරින්දෑවරු දෙදෙනකු කළමනාකාරීත්වයට පත්කර
ගණිකා නිවාස තුනක් පවත්වාගෙන ගිහින්
අනුරාධපුර රාත්‍රී සමාජ ශාලාවල නළඟනන් මත්කුඩු විකුණලා
අනියම් බිරිඳ සමග ලක්ෂ 4කට වැඩි මත්කුඩු රැගෙන යද්දී කොටුවේ

අනුරාධපුර නගරය සහ ඒ අවට රහසිගතව ගණිකා නිවාස තුනක් පවත්වාගෙන ගිය කමාන්ඩෝ බලකායේ හිටපු සෙබළකු අනියම් බිරිඳ සමග ගමන් කරමින් සිටියදී රුපියල් ලක්ෂ 4කට වැඩි හෙරොයින් මත්කුඩු සමග මාතලේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මීට පෙර හිදෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරු මේ වන විට අනියම් බිරින්දෑවරු දෙදෙනෙකු සමග පෙරිමියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටින බව පොලීසිය කියයි.

අත්අඩංගුවට පත් 42 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11යි, මිලිග්‍රෑම් 170 ක් සහ 32 හැවිරිදි සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 200 හමුවූ බව පොලීසිය කියයි.

වරින් වර ස්ථාන මාරු කරමින් අනුරාධපුර නගරය අවට ප්‍රදේශවල නිවාස කුලියට ගන්නා මෙම සැකකාර හිටපු හමුදා සෙබළා තම නීත්‍යානුකූල බිරිඳ සහ අනියම් බිරිඳ බිරින්දෑවරු දෙදෙනා ඒවායේ කළමනාකාරිත්වයට යොදවා මෙම ගණිකා නිවාස තුන පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වූ බව ද පොලීසිය සඳහන් කළේය.

ගණිකා නිවාස වල සේවයේ නියුතු කාන්තාවන්ට සහ අනුරාධපුර නගරයේ සම්බාහන මධ්‍යස්ථානවල රැකියාව සිදු කරන කාන්තාවන් සහ එම ස්ථානවලට සේවය ලබා ගැනීමට පැමිණෙන පිරිමි පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙම හෙරොයින් මත්කුඩු ජාවාරම සිදුකර ගෙන යන බව පොලීසිය කියයි.

හෙරොයින් මත්කුඩු ගංජා අයිස් වෙළඳාම සිදු කරන සැකකරු මීට පෙර කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීම, හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත සිටින අයෙකු බව ද පොලීසිය කියයි

අනුරාධපුර නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක නළඟනන් හට ලබා දීමට මෙම හෙරොයින් මත්කුඩු රැගෙන යන බව අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය ඊයේ (5දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී 1, සංජීව මහානාම යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේකෝන් මහතාගේ අධීක්ෂණයෙන් පො.සැ. බණ්ඩාර (48317), පො.සැ. නිශාන්(61406), පො.කො.රාජරත්න (66934), පො.කො. මධුසංක (29782), කාන්තා පොලිස් කොස්තාපල් වරියක් ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment