හිටපු ජනපතිගේ අයත් පොහොට්ටුවට එපාද?

325

පොහොට්ටු රජයට වසර දෙකකි. ආණ්ඩු පක්ෂය තුළ ගැටුම්කාරී තත්ත්වය උග‍්‍ර අතට හැරී ඇත. ඇත්තවශයෙන්ම විපක්ෂය කරන වික‍්‍රමයක් නැත. විපක්ෂයට කිරීමට රාජකාරියක් නැත. ආණ්ඩු පක්ෂය තනිවම රජයේ සහ විපක්ෂයේ කාර්යය කරයි. ආණ්ඩුවේ විපක්ෂය ද රජය තුළය. පොහොට්ටු පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මෑතකදී අවධාරණය කළේ ආණ්ඩුව තුළ විපක්ෂයක් තිබිය නොහැකි බවයි. එලෙසෙම අභ්‍යන්තර ප‍්‍රශ්න ආණ්ඩුව තුළම විසඳා ගත යුතු බවයි. ආණ්ඩුව තුළ ක‍්‍රියාත්මක විපක්ෂය එම උපදෙස් පිළිපදින්නේ නැත.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට ගෑවුණු එකෙක්වත් පසුගිය මහමැතිවරණයේදී ඡන්දය දෙන්න එපා යැයි තමන් අවධාරණය කළ බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මෑතකදී මතක් කළේය. ඇත්තවශයෙන්ම මෛත‍්‍රිපාල සිරිසේන නායකත්වය දෙන ශ‍්‍රීලනිපය සමග සන්ධානගත වීම ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කළ පොහොට්ටු පක්ෂයේ එකම ප‍්‍රබලයා ප‍්‍රසන්න රණතුංග ය. සංචාරක අමාත්‍යවරයා පවසන්නේ රජය පවත්වාගෙන යෑමට ශ‍්‍රීලනිපයේ සහයෝගය අවශ්‍ය නොවන බවයි. නොවැම්බර් 26 සහ 27 දින රණතුංග අමාත්‍යවරයා අවධාරණය කළේ තම පක්ෂය සමග සන්ධානගත වී සිටින ඕනෑම පක්ෂයකට රජයෙන් ඉවත් විය හැකි බවයි.

ඇමෙරිකානු ‘නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි’ සමාගම සමග පොහොට්ටු රජය ගිවිසුම් ගත වීමට එරෙහි වූ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල නායකත්වය දෙන කණ්ඩායමට ද රණතුංග අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය අදාළය. ශ‍්‍රීලනිපය ද එම කණ්ඩායම නියෝජනය කරයි.

නැවත මහමැතිවරණයක් පැවැත්වීමට නියමිත 2025 දීය. වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය තුළ ඉතිරි වසර තුන පොහොට්ටු පක්ෂයට තනි ගමනක් යා හැකිද? පාර්ලිමේන්තුවේ ආසන 117 හිමි පොහොට්ටු පක්ෂයට මැති සබයේ සුළු බහුතරය හිමි ය. ආණ්ඩු පක්ෂයේ සමස්ත මන්ත‍්‍රීවරුන් ගණන 145 කි. සන්ධානය නොමැතිව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ හැකියාවක් නැත. පොහොට්ටු පක්ෂයේ ප‍්‍රධානතම මැතිවරණ පොරොන්දුව නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීම බව අමුතුවෙන් කිව යුතු නැත. වර්තමාන අර්බුදය ඉතාමත් නරක තත්ත්වයකට හැරී ඇත. පොහොට්ටු පක්ෂය සහ සහෝදර පක්ෂ දැවෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් යම් එකඟතාවයකට වහාම පැමිණීමට අපොහොසත් වුවහොත් ආණ්ඩුවේ අනාගතය සුබ නැත.

පොහොට්ටුවේ අවශ්‍යතාවයන් පරිදි කටයුතු කිරීමට සූදානම් නැත්තම් සන්ධානයේ අනෙකුත් පක්ෂවලට වෙන අතක් බලාගැනීමට බල කිරීම සාධාරණද? ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා නැවත නැවතත් අවධාරණය කරන ස්ථාවරය පොහොට්ටු පක්ෂයේ ප‍්‍රතිපත්තියද?

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට තනි පක්ෂයක් ලෙස ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමට ශක්තියක් තිබේද? ‘නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි’ ගිවිසුමට එරෙහි වී ඇති දේශපාලන පක්ෂවලට කැබිනට් අමාත්‍යධුර 5 ක් ඇත. තම පක්ෂ ‘නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි’ ගිවිසුම සම්බන්ධයෙන් ගත් ස්ථාවරය නොසලකා පොහොට්ටු පක්ෂය කටයුතු කළහොත් තමන්ට හිමිවූ අමාත්‍ය ධුර අතහැර දැමීමට එම කණ්ඩායම සූදානම්ද? රණතුංග අමාත්‍යවරයා එල්ල කරන්නේ ප‍්‍රබල අභියෝගයකි.

ශ‍්‍රීලනිපයට පාර්ලිමේන්තු ආසන 14 ක් හිමිය. අමාත්‍ය ධුර දෙකක් ඇත. ඒ අමාත්‍ය ධුරවල නිමල් සිරිපාල සහ මහින්දානන්ද අමරවීර කටයුතු කරයි. ජාතික නිදහස් පෙරමුණට හිමි අමාත්‍ය ධුරය විමල් වීරවංශටය. එම පක්ෂයට හිමි ආසන ගණන 6 කි. තනි ආසනයක් බැගින් හිමි පිවිතුරු හෙළ උරුමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ ද කැබිනට් අමාත්‍ය ධුර එක බැගින් ලැබී ඇත. එම අමාත්‍ය ධුර පිළිවෙළින් උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර හොබවයි. ‘නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි’ ගිවිසුම අධිකරණය ඉදිරියේය. වාසුදේව, වීරවංශ සහ ගම්මන්පිල අමාත්‍යවරු වෙනුවෙන් නීතිඥයකු ‘නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි’ ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටීම පොහොට්ටු රජයට අභියෝගයක් නොවන්නේද? එලෙසම, අධිකරණයේ තීන්දුව කුමක් වුවත් කැබිනට් ක‍්‍රියාවලිය අවභාවිතා කරන බවට පොහොට්ටු පක්ෂයට චෝදනා කරන කණ්ඩායමට තවදුරටත් රජය තුළ සිටිය හැකිද?

හිටපු ජනපතිගේ අයත් පොහොට්ටුවට එපාද?

රණතුංග අමාත්‍යවරයා පවසන ආකාරයට රජයෙන් ඉවත් වීම එකම විකල්පයද? සංචාරක අමාත්‍යවරයා එවැනි ප‍්‍රබල ස්ථාවරයක් පොහොට්ටු පක්ෂයේ නායකත්වයෙන් විමසීමක් නොකර ගත හැකිද? කෙසේ වෙතත් ආණ්ඩුව දෙකඩ වී ඇති බව අවධාරණය කළ යුතුය. තවදුරටත් පැලැස්තර විසඳුම් මගින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වය දෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම තුළ සංහිඳියාව ඇති කළ නොහැකිය.

‘නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි’ ගිවිසුමට එරෙහි සටනේදී අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන නායකත්වය දෙන මහජන එක්සත් පෙරමුණ හැර දකුණ නියෝජනය කරන සියලූම බලවේග පොහොට්ටු පක්ෂයට එරෙහි වීම ජනතා අවධානයට ලක් වී ඇත. කොමියුනිස්ට් පක්ෂය (පාර්ලිමේන්තුවේ ආසන 1/වීරසුමන වීරසිංහ), යුතුකම සන්ධානය (පාර්ලිමේන්තුවේ ආසන 2/ගෙවිඳු කුමාරතුංග සහ අනුප පැස්කුවල්), ටිරාන් අලස් සහ ඒ. එල්. එම්. අතාඋල්ලා ද ‘නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි’ ගිවිසුමට එරෙහි වී ඇත. පොහොට්ටු ආණ්ඩුව මුරණ්ඩුය. ‘නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි’ ගිවිසුම ආරක්ෂා කර ගැනීමට ඕනෑම වන්දියක් ගෙවීමට පොහොට්ටු ආණ්ඩුව සූදානම් ය. ශ‍්‍රීලනිපය තමන්ට අවශ්‍ය ලෙස හසුරුවාගැනීමට පොහොට්ටු පක්ෂය ප‍්‍රහාර එල්ල කරන බව පැහැදිලිය. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවට පොහොට්ටු රජය පසුගියදා කළ ප‍්‍රකාශය ද ශ‍්‍රීලනිපය මෙල්ල කිරීමට බව පැහැදිලිය. ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කොමිසමේ නිර්දේශ අනුව හිටපු ජනාධිපති සිරිසේනට දඬුවම් දිය යුතු බව ප‍්‍රකාශ කරන්නේ ඒ නිසාය.

කෙසේ වෙතත් පොහොට්ටු සන්ධානය තුළ වේගයෙන් වර්ධනය වෙමින් පවතින අසමගිය සමස්ත ආණ්ඩුවම ව්‍යාකූල තත්ත්වයකට පත් කර ඇත.

පොහොට්ටු පක්ෂය වර්තමාන අභියෝගය දකින ආකාරය සම්බන්ධයෙන් නොවැම්බර් 27 දින ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය ලේකම්වරුන් සඳහා පැවැත්වූ වැඩමුළුවකදී මාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම යම් ඉඟියක් දුන්නේය. මාධ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේ 2015 පෙබරවාරි එජාපය සිදු කළ මහ බැංකු බැඳුම්කර වංචාව එදා ඒකාබද්ධ විපක්ෂය ඉතාමත් සාර්ථක ලෙස යහපාලනයට එරෙහිව පාවිච්චි කළත් වර්තමාන විපක්ෂයට කිසිදු ආන්දෝලනාත්මක සිද්ධියක් සති දෙකකට වඩා ඇදගෙන යෑමට ශක්තියක් නැති බවයි.

මහ බැංකු බැඳුම්කර වංචාව එජාපයට එදා කළ බලපෑම සහ වර්තමාන ආණ්ඩුව මුහුණ දී සිටින අර්බුදය කිසිසේත් සංසන්දනය කළ නොහැක. එදා මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව රාජ්‍ය නොවන මාධ්‍ය කළ මෙහෙයුම නොවන්නට ඒකාබද්ධ විපක්ෂය බරපතල අර්බුදයකට ලක්වීමට තිබිණි. ඒකාබද්ධ විපක්ෂය අද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බවට පත් වී ඇත. වසර දෙකක් තුළ වර්තමාන රජය ප‍්‍රශ්න පැටව් ගැසූ බව නොකියාම බැරිය. මෙවැනි තත්ත්වයක් මීට පෙර කිසිදු රජයක් නිර්මාණය කර නැත.

තුනෙන් දෙකකට ආසන්න බලයක් පාර්ලිමේන්තුව තුළ හිමිකර ගත් ආණ්ඩුවක් මේ ආකාරයට ක‍්‍රියා කරන්නේ ඇයි? අවසන් මහමැතිවරණය ඉහළින්ම ජයග‍්‍රහණය කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩ ආරම්භ කළේ ආනවිලූන්දාවේ රම්සා තෙත් බිම් අභය භුමියේ කොටසක් විනාශ කිරීමෙනි.

මහ මැතිවරණයට මාසයකට පමණ පෙර කුරුණෑගල පුරාවිද්‍යා වටිනාකමක් ඇති බුවනෙකබා රාජ මණ්ඩපය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව ඇතුළු කණ්ඩායමකට චෝදනා එල්ල විය. අගමැති මහින්ද රාජපක්ෂ නියෝජනය කරන කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සිදු වූ එම සිද්ධිය සම්බන්ධයෙන් පොහොට්ටු රජය පසුවිපරමක් කළ යුතුය. පුත්තලම් දිස්ත‍්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ සහෝදරයා වන ජගත් සමන්ත ආනවිලූන්දාවේ කළ විනාශය සම්බන්ධයෙන් රජයේ ප‍්‍රතිචාරය රට පුදුම කළේය. ජගත් සමන්ත හිටපු ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාපතිවරයෙකි. සැප්තැම්බර් 2020 ආනවිලූන්දාවේ සිද්ධිය අවධාරණය කළේ පොහොට්ටු රජය ද ඊට පෙර සිටි ආණ්ඩු මෙන්ම තම කණ්ඩායම ආරක්ෂා කිරීමට සැදී පැහැදී සිටින බවයි.

රටම බලාපොරොත්තු වූ වෙනස එදා පෙන්වා දීමට පොහොට්ටු රජයට අවස්ථාව තිබිණි. සුපුරුදු ලෙස එම අවස්ථාව මග හැරියේය. ඉතාමත් ආකර්ෂණීය ‘එක රටක් එක නීතියක්’ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමසා බැලිය යුත්තේ බුවනෙකබා රාජ මණ්ඩපය විනාශ කිරීම සහ ආනවිලූන්දාවේ කළ විනාශය ද සැලකිල්ලට ගැනීමෙනි. කවුරු කෙසේ කීවත් සෞභාග්‍යයේ දැක්ම ආරම්භ කළේ විනාශකාරී සිදුවීමකිනි.

එම සිදුවීම් දෙකම පොහොට්ටු රජය යටපත් කර දැමුවේය. පළාත් පාලන ඡන්දය (2018 පෙබරවාරි), ජනාධිපතිවරණය (2019 නොවැම්බර්) සහ මහමැතිවරණය (2020 අගෝස්තු) ඉහළින්ම ජයග‍්‍රහණය කළ පොහොට්ටු පක්ෂය අවධාරණය කළේ 20 වැනි සංශෝධනය රට ස්ථාවර කරනු ඇති බවයි. යහපාලනය 2015 දී නීති පොතට එකතු කළ 19 වැනි සංශෝධනය වෙනුවට 20 වැනි සංශෝධනය 2020 ඔක්තෝබර් පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පොහොට්ටු මන්ත‍්‍රී කණ්ඩායමේ කොටසක් ශ‍්‍රීලනිපයට පහර දෙයි. නමුත් ශ‍්‍රීලනිපය නොවන්නට 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට පොහොට්ටු ආණ්ඩුවට නොහැකිය. මෛත‍්‍රිපාල සිරිසේන හැර ශ‍්‍රීලනිපයේ 13 දෙනා 20 ට ඡන්දය දුන්නේය. මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ 19 වැනි සංශෝධනය ගෙන ඒමට ප‍්‍රමුඛ කාර්යක් කළ තමන්ට ඊට එරෙහිව ඡන්දය 20ට දිය නොහැකි බවයි. පොහොට්ටු පක්ෂය සහ ශ‍්‍රීලනිපය ආරම්භයේදී සහයෝගයෙන් වැඩකිරීමට උත්සහා කළ බව පිළිගත යුතුය.

ශ‍්‍රීලනිපය මහත් ආන්දෝලනාත්මක කොළඹ වරාය ආර්ථික කොමිසම පනතට ද සහයෝගය දුන්නේය. නමුත් නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි ගිවිසුම සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපයේ ස්ථාවරය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝගයක් විය. ගුරු වැටුප් ප‍්‍රශ්නය සහ විශේෂයෙන්ම හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පොහොර අර්බුදය රජය පිට පැටවීම සහ කෘෂිකර්මාන්ත ප‍්‍රතිපත්තිය නිර්දය ලෙස විවේචනය කිරීම රජයේ උදහසට හේතු විය. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී සිරිසේන පොහොට්ටු පක්ෂයේ දේශපාලන ක‍්‍රියාමාර්ග සහ උපක‍්‍රම ප‍්‍රශ්න කිරීම ආණ්ඩුවේ නායකත්වයට ඉහිලූම් දෙන්නේ නැත. මෑතකදී සියත නාලිකාව විකාශනය කළ සජීවී වැඩසටහනකදී ශ‍්‍රීලනිප නායකයා පොහොට්ටු පක්ෂයට සිය සහෝදර පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු නොකළහොත් ඊළඟ මහමැතිවරණයේදී පරාජය අත්වන බව අවධාරණය කළේය. අවසන් ජනාධිපතිවරණයෙන් පසු ශ‍්‍රීලනිප නායකයා රජයට එරෙහිව කළ ප‍්‍රබලම විවේචනය සියත නාලිකාව හරහා එල්ල කළේය. ශ‍්‍රීලනිප නායකයා විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ලබා දෙන විශ‍්‍රාමික වැටුප සම්බන්ධයෙන් කළ රජයේ අය-වැය යෝජනාව ද අවඥාවට ලක් කළේය.

ශ‍්‍රීලනිපය සහ ආණ්ඩුව අතර හිටපු ජනාධිපති සිරිසේන සහ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ගැටුමක් ඇතිවන්නේ ඊට පසුවය. සිරිසේන ඇතුළු කණ්ඩායම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත් සම්බන්ධ කර නොගත යුතු බව තමන් අවසන් මහමැතිවරණයට පෙර අවධාරණය කළ බව ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා නැවතත් ආණ්ඩු පක්ෂයට මතක් කර දී ඇත. පොහොට්ටු පක්ෂය සහ ශ‍්‍රීලනිපය අතර අර්බුදය තවදුරටත් වර්ධනය වීමේ ලක්ෂණ ඇත. ආර්ථික සහ දේශපාලන අර්බුද සමාන්තරව තීව‍්‍ර වීමේ අවදානම ඇත. එවැනි තත්ත්වයක් තුළ නව දේශපාලන සන්ධාන බිහි විය හැක. පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට පොහොර අර්බුදය කළ හානිය සුළු පටු නොවේ. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොහොට්ටු රජය සහ කතෝලික පල්ලිය අතර ඇතිවී තිබෙන විරසකය ද ආණ්ඩුවේ ඡන්ද පදනමට බලපෑමක් කරනු ඇත.

පොහොට්ටු පක්ෂය නායකත්වය දෙන රජය නිවැරදි මාර්ගයකට පිවිසිය යුතුය. ආණ්ඩුව ගමන් කරන්නේ වැරදි මාර්ගයක බව ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් අති බහුතරයක ස්ථාවරය බව තේරුම් ගැනීම අපහසු නොවේ. දේශපාලන ශක්තිය පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ ගණනින් හෝ සහෝදර පක්ෂ තම පක්ෂ ලාංඡනයෙන් තරග කිරීම මත තීරණය කිරීම අනුවණකමකි. දේශපාලන ව්‍යාකූලත්වය, මූල්‍ය අස්ථාවරත්වය, දේශපාලන සන්ධාන තුළ වර්ධනය වන අවිශ්වාසය සහ පාර්ලිමේන්තුව තවදුරටත් හෑල්ලූ වීම සමස්ත විනාශයේ ලක්ෂණ නොවේද? පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය අපූරුවට පිළිබිඹු කරන ප‍්‍රකාශයක් කථානායක මහින්ද යාපා අබේවර්ධන නොවැම්බර් 30 දින කළේය. ඇමැතිවරු තම පාර්ලිමේන්තු කාර්යභාරය නොකරන බවත් ජනාධිපතිවරයා මැති සබයට එන දිනට පමණක් මුහුණ පෙන්වීමට එන බව ප‍්‍රකාශ කළේය. පරක්කු වී හෝ සත්‍යය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එතුමාට ජනතාවගේ ප‍්‍රණාමය හිමිවිය යුතුමය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ


advertistmentadvertistment