හිටපු ජනපති රනිල්ගේ නිර්දේශය ඉවත දැමුවැයි – ව්‍යවස්ථා සභාවට එරෙහිව ගොනු කළ පෙත්සම විසිවෙයි

324

ලක්ෂ 20ක් නඩු ගාස්තු ගෙවීමට පෙත්සම්කරුට නියෝග

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර තිබූ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ ව්‍යවස්ථා සභාව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා නීතිඥ බී.පී.එස්.එම්. පතිරත්න මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12දා) නිෂ්ප්‍රභ කළේය.

එම පෙත්සම ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙන්ගප්පුලි හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ එකී නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට එහි බහුතර සාමාජිකයන් පිරිසක් ගත් තීරණය නිවැරදි බවට ද එමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී නොමැති බවට ද සිය තීන්දුව මගින් පෙන්වා දුන් විනිසුරු මඬුල්ල රජයට නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 5ක මුදලක් ගෙවන ලෙසට ද පෙත්සම්කාර නීතිඥවරයාට නියෝග කළේය. එයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නොවන ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, ආචාර්ය දිල්කුෂි අනුලා විජේසුන්දර හා මහාචාර්ය දිනේෂ් සමරරත්න යන තිදෙනාට රුපියල් ලක්ෂ පහ බැගින් වූ නඩු ගාස්තුවක් ගෙවන ලෙසට ද විනිසුරු මඬුල්ල පෙත්සම්කාර නීතිඥවරයාට වැඩිදුරටත් නියෝග කළේය.

එම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පසුගිය අප්‍රේල් 30 වැනිදා කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු හැර වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් සඳහා කිසිවකු පත්කිරීම වළක්වමින් ජනාධිපතිවරයාට අතුරු තහනමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කොට තිබිණි. පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ලබාදෙනතුරු බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත්කොට තිබිණි. පෙත්සම් විභාගය පසුගිය ජූලි 25 වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එකී තීන්දුව ඊයේ (12දා) නිකුත් කිරීමට දින නියම කර තිබිණි.

එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට නම් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ නම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන ලෙස ද පෙත්සම්කාර නීතිඥවරයා සිය පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

නීතිපති, කථානායක, අගමැති හා ව්‍යවස්ථා සභාව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙත්සම්කාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment