හිටපු මන්ත්‍රී ශ්‍රී රංගාගේ නඩුවේ විනිසුරු මාරු කිරීමේ ඉල්ලීම ඉවතට – රංගා ඇතුළු සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයි ද නියෝග

116

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාධ්‍යවේදී එස්. ශ්‍රී රංගා විසින් තම නඩුව වවුනියාව මහාධිකරණයේ වෙනත් විනිසුරුවරයෙකු හමුවේ විභාග කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම 4 දා ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

මෙම පෙත්සමේ මූලික කරුණු සලකා බැලීම සඳහා ඇස්තමේන්තු ගත නීති ගාස්තු ශ්‍රී රංගා ගෙන් අය කරන ලෙස ද අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

තමන් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව දැනට වවුනියාව මහාධිකරණයේ විභාග වන නඩුවේ ප්‍රධාන විනිසුරුවරයා වශයෙන් කටයුතු කරන එම්.එම්.එම්. මිහාල් මහතා පක්ෂග්‍රාහී ලෙස නඩුව ගෙන යන නිසා තමන්ට අගතියක් සිදු වන බව කියමින් ශ්‍රී රංගා මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත ගොනු කොට තිබුණි.

වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතා පක්ෂපාතීව කටයුතු කරන බවටත් ශ්‍රී රංගාට එරෙහිව නඩුව මෙහෙයවන බවටත් කිසිම සාක්කියකින් පෙත්සම්කරුට ඔප්පු කරගැනීමට නොහැකි වීම නිසා අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කොට ඇත.

දීර්ඝ කාලයක් තමන් බන්ධනාගාර ගත කොට සිටින්නේ වවුනියාව මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගය නිසා බව කියා සිටි පෙත්සම්කරු එම නියෝගය ඉවත් කරන ලෙසද මෙම පෙත්සම මගින් ඉල්ලා තිබුණි.

ශ්‍රී රංගා ඇතුළු විත්තිකරුවන් පස් දෙනාට වවුනියාව මහාධිකරණයෙන් ලබා දී ඇති නියෝගය පරිදි නොවැම්බර් මස 6 වැනිදා දක්වාම ඔවුන්ව රිමාන්ඩ් බාරයේ තබන ලෙසද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කොට තිබේ.

2011 වසරේ මාර්තු 30 වැනි දින සැකකාර ශ්‍රී රංගා එවකට මන්ත්‍රීවරයා මැදවච්චිය සිට සෙට්ටිකුලම ප්‍රදේශයට ලියාපදිංචි නොකළ ජීප් රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවක සෙට්ටිකුලම රෝහල ඉදිරිපිට රිය අනතුර සිදුව ඇති අතර එහිදී අලව්ව, නවතල්වත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන් (36759) ජී. උදය ජයමිණි පුෂ්පකුමාර නිලධාරියා මියගොස් සිටි අතර සාවද්‍ය තොරතුරු වාර්තා කරමින් සැරයන්වරයා රිය පදවා ජීවිතක්ෂයට පත්වූ බවට පවසා එවකට රාජකාරී කළ පොලිස් නිලධාරීන් හා එක්ව විමර්ශන අවසන් කොට ඇති බවට අධිකරණයේදී ප්‍රකාශ විය.

එම අනතුර සම්බන්ධයෙන් මියගිය සැරයන්වරයාගේ බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැවැත්වූ විමර්ශනයකදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා විසින් රිය පදවා අනතුර සිදුකොට ඇති බවට අනාවරණයවූ අතර අධිචෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින් වවුනියාව මහාධිකරණයේ නඩු පවරා තිබිණි.

අදාල නඩු විභාගයේදී සාක්ෂි ලබාදුන් දෙදෙනකු හට දුරකථනයෙන් බලපෑම් කරමින් අනතුරව එම සාක්ෂිකරුවන් වෑන් රථයක නංවාගෙන වෙනත් ස්ථානයකට ගොස් සාක්ෂි ලබා නොදෙන ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විත්තිකාර හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේද පසුගිය මාර්තු 28 වැනිදා නඩු පවරනු ලැබීය. තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා ලබා සිටි එවකට හිටපු සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව මහතා අධිකරණයේ පෙනී සිටිමින් සියලු‍ චෝදනාවන්ට තමන් වරද

පිළිගන්නා බව අධිකරණයට ප්‍රකාශ කළ අතර ඉදිරිපත්වූ කරුණු සලකා බලමින් විනිසුරුවරයා සෙට්ටිකුලම පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව නැමැත්තා හට අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කළේය.

හිටපු වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී අමරසිරි සේනාරත්න (විශ්‍රාමික නියෝජ්‍යය පොලිස්පති), වවුනියාව හිටපු සහකාර පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර බණ්ඩාර (විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී), සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන් ප්‍රියදර්ශන හේරත්, පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.ජි.පද්මපාල යන නිලධාරීන් මෙම නඩු විභාගයේ අධිචෝදනා ලැබූ අනෙක් නිලධාරීන් වේ.

නඩු විභාගය ලබන නොවැම්බර් 6 වැනිදා වවුනියාව මහාධිකරණයේදී නැවත කැඳවීමට නියමිතය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment