ලෝකයේ භූ දේශපාලන සැකැස්ම සඳහා අතිශයින්ම වැදගත් වන ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයයි. පසුගිය අඟහරුවාදා පැවැති මැතිවරණයෙන් රිපබ්ලිකන් (Republican) පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජයග්‍රහණය කළේය. ලිපිය ලියන මොහොත වන විටත් නෙවාඩා සහ ඇරිසෝනා ප්‍රාන්තවල අවසන් ප්‍රතිඵල නිකුත් වී නැත. කෙසේ නමුත් ලෝකයේ බලවත්ම තනතුර ට්‍රම්ප් මහතාට හිමි වී ඇති බව පැහැදිලිය. ඔහු මේ වන විටත් මැතිවරණ විද්‍යාල ( Electoral College) ආසන 270 ඉක්මවා ඇත. එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට අනුව සම්පූර්ණ මැතිවරණ විද්‍යාල නියෝජිත සංඛ්‍යාව 538ක් වන අතර ජයග්‍රහණය කරන අපේක්ෂකයා ඉන් අඩකට එකක් හෝ වැඩියෙන් ලබා ගත යුතුය. අවසන් ප්‍රතිඵලය අනුව බොහෝ දුරට ට්‍රම්ප් මහතාට ආසන 312 ක් හා කමලා හැරිස් මහත්මියට ආසන 226 ලැබෙනු ඇතැයි අපේක්ෂිතය.

දෙවන ට්‍රම්ප් යුගය ඇරඹේ

මේ වන විට රිපබ්ලිකන් පක්ෂය නව පාලනයේ තනතුරු සඳහා පත්කරන්නන් පිළිබඳව අවසන් තීරණ ගනිමින් සිටියි. කමලා හැරිස් මැතිවරණ පරාජය පිළිගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකථනයෙන් කතා කර සුබ පැතුවාය. ජයග්‍රාහකයාට සුබ පැතූ ජනාධිපති ජෝ බයිඩන් සාමකාමි බල හුවමාරුවක් සඳහා ඉදිරි කටයුතු සාකච්ඡා කර ගත් බව අසන්නට ලැබේ. ඇමෙරිකානු ක්‍රමය තුළ ජයග්‍රාහකයා පසු දිනම වැඩ භාර ගෙන ධවල මන්දිරයේ ඕවල් කාමරයේ වාඩි ගන්නේ නැත. පවත්නා පාලන තන්ත්‍රයේ නිලධාරීහු හා නව පාලනයේ බලධාරීහු සහයෝගයෙන් කටයුතු කර නව ජනාධිපතිවරයාට මෘදු ලෙස බලය හුවමාරු කරති. ඒ සඳහා මාස දෙක හමාරක් පමණ වෙන් කර ඇති අතර නව ජනාධිපතිවරයා දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ජනවාරි මස 20 වැනිදාය.

මැතිවරණයට පසු දින ෆ්ලොරිඩාවේදී සිය ආධාරකරුවන් හමුවේ ජයග්‍රාහී දේශනය පැවැත්වූ ට්‍රම්ප් මහතා කියා සිටියේ තමන් ඇමෙරිකාව යළිත් විශිෂ්ටත්වයට පත් කරන බවය. ඉදිරි වසර හතරක කාලය එක්සත් ජනපදයට ස්වර්ණමය යුගයක් වනු ඇති බවට ඔහු සපථ කළේය. මැතිවරණ ප්‍රචාරක රැලියකදී තමන්ව ඝාතනය කිරීමට දරන ලද උත්සාහය පිළිබඳව සිහි කරමින් ට්‍රම්ප් මහතා සඳහන් කළේ ඇමෙරිකාවට සේවය කිරීම සඳහා දෙවියන් විසින් තමාගේ ජීවිතය බේරා දුන් බවයි. එම නිසා හැකි උපරිමයෙන් තම වගකීම ඉටුකරන බව ඔහු පවසා සිටියේය. රට මැද පිහිටි කෘෂිකාර්මික ජනපදවල ගතානුගතික ක්‍රිස්තියානුවන් ට්‍රම්ප්ගේ ගැලවුම්කාර භූමිකාව ඉහ මුදුනින්ම පිළිගෙන ඇති බව මැතිවරණ ප්‍රතිඵල අනුව පෙනෙන්නට තිබේ.

ෆ්ලොරිඩාවෙන් හැමූ ට්‍රම්ප් සුළඟ

පළමු ධුර කාලයකට මැතිවරණයකින් තේරී පත් වන ඇමෙරිකානු ජනාධිපතිවරයකුට නැවතත් සිය දෙවන ධුර කාලය සඳහා තරග කළ හැක. එය සාම්ප්‍රදායානුකූල සහ ව්‍යවස්ථාමය අයිතියකි. තම වයස ගැනවත් නොසිතා ජෝ බයිඩන් මහතා තරගයට ඉදිරිපත් වීමට උත්සාහ කළේ එවැනි පසුබිමක් තුළය. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තම වාඩුව ගැනීමට සැලසුම් ඇන්දේ ධවල මන්දිරයෙන් පිටව ගිය දිනයේ සිටම ය. ඔහු නැවත කරළියට එන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. 2022 නොවැම්බර් 22 දින ෆ්ලොරිඩාවේ පිහිටි තම වතුයායේදී විශාල රැලියක් පවත්වමින් ඔහු තම අභිලාෂය ඉදිරිපත් කළේය. “ඇමෙරිකාව නැවත විශිෂ්ටත්වයට රැගෙන යමු (Make America Great Again)” නමින් වූ තම සුපුරුදු ආදර්ශ පාඨයම නැවත කරළියට ගෙන ඒමට ඔහු කටයුතු කළේය. පසුව ජෝ බයිඩන් සටනින් ඉවත්ව යෑමත් පුරප්පාඩු වූ ඩිමොක්‍රටික් අපේක්ෂකත්වයට කමලා හැරිස්ගේ පත් වීමත් ඊට හේතු වූ කාරණාත් පිළිබඳව අපි පසුගිය සතියේ විස්තර කළෙමු.

සම්ප්‍රදාය කණපිට පෙරළුෑ පෙරළිකාරයා

ධවල මන්දිර දේශපාලන ඉතිහාසයේ දක්නට ලැබෙන සුවිශේෂත්වය වන්නේ එහි පදිංචිය සඳහා උත්සාහ කරන දේශපාලනඥයන්ගේ නාමයන් යම් සීමිත කාලයකින් පසු මැකී යෑමයි. යමෙකු ජනාධිපති ධුර වාර දෙකම ජයග්‍රහණය කළහොත් උපරිම කාලය වසර අටකි. දෙවන ලෝක යුද සමයෙන් පසුව පත් වූ හැරී ටෲමර්, රොනල්ඩ් රේගන්, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ බරැක් ඔබාමා යන හිටපු ජනාධිපතිවරු තම වාර දෙක සම්පූර්ණ කර විශ්‍රාම ගියහ. ඩේවිඩ් අයිසන්හවර්, ලින්ඩන් ජොන්සන්, ජෙරල්ඩ් ෆෝඩ්, ජිමී කාටර්, ජෝර්ජ් බුෂ් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන මැතිවරණයන් පරාජයට පත්විය. ඊට අමතරව රිචඩ් නික්සන් මහතාට වෝටර් ගේට් දෝෂාභියෝගය හමුවේ ධුරය හැර යෑමට සිදුවිය. එක්සත් ජනපදයේ බිහි වූ වඩාත්ම ආකර්ෂණීය ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි මහතා තම පළමු ධුර කාලයේදීම ඝාතනය විය.

ජනාධිපති ධුර කාල දෙක නීතියක් බවට පත්වූයේ 1947 දීය. එක්සත් ජනපද ව්‍යවස්ථාවට එක් කරන ලද 22 වැනි සංශෝධනයෙන් දෙවතාවක් ජනාධිපති ලෙස තේරී පත් වූ කිසිවකුට නැවත තේරී පත්වීම තහනම් කර ඇත. නීතියක් නොවුණ ද ඇමෙරිකානු ඉතිහාසයේ එක් අයකු හැර වෙනත් කිසිදු ජනාධිපතිවරයකු දෙවරකට වඩා ධුරයේ රැඳී සිටීමට උත්සාහ නොකළේය.

ට්‍රම්ප් මහතා සම්බන්ධයෙන් වූ සුවිශේෂීත්වය වන්නේ ධුර කාල දෙක නීතියක් බවට පත්වීමෙන් පසු තුන් වැනි වරටත් තරග කරන පළමු අපේක්ෂකයා ඔහු වීමයි. මෙය ඔහු අඛණ්ඩව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා වූ තුන්වැනි වතාවයි. ඔහුගේ නිල ජනාධිපති සටන 2012 වසර දක්වා ඈතට දිව යයි. එවකට ඩිමොක්‍රටික් අපේක්ෂක බරැක් ඔබාමා සිය දෙවන ධුර කාලය සඳහා තේරී පත් වීමෙන් පසුව 2016 මැතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් කරළියට ආවේය. 2012 සිට 2029 මීළඟ ජනාධිපතිවරයා දිවුරුම් දෙන දිනය දක්වා වසර 17 ක් වැනි දීර්ඝ කාලයක් ඩොනල්ඩ් ට්‍රම්ප් නාමය ඇමෙරිකානු දේශපාලන පොර පිටියේ ඉහළින්ම වැජඹීම සුවිශේෂී ත්ත්ත්වයකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු එක්සත් ජනපදයේ බිහි වූ වඩාත් ආන්දෝලනාත්මකම ජනාධිපතිවරයා බවට විවාදයක් නැත. මේ වන විටත් බොහෝ දේශපාලන වාර්තා අලුතින් ලියන්නට සිදුවී ඇත. ඔහු වයස්ගතම එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත් වනු ඇත. දැන් ඔහුගේ වයස 78කි. එකී වාර්තාව දැනට හොබවන්නේ ජෝ බයිඩන් මහතාය. තවද ට්‍රම්ප් මහතා 1892 දී ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්ගෙන් පසුව බිහිවන “පරාජය වී නැවත පැමිණෙන” පළමු ජනාධිපතිවරයා බවට පත් වී ඇත.

විශිෂ්ටතම පුනරාගමනය

හිතුවක්කාර මහල්ලාගේ පුනරාගමනය

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනය ඇමෙරිකානු ඉතිහාසයේ විශිෂ්ටතම පුනරාගමනය (The greatest come back) ලෙස බොහෝ මාධ්‍ය විසින් වර්ණ ගන්වා ඇත. ඔහු නැවත ජනාධිපති සටනට පැමිණීමේ අභිලාෂය ප්‍රකාශ කරන අවස්ථාවේදී රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් පවා ලැබුණේ අතිශය සෘණාත්මක ප්‍රතිචාරයකි. ඔහුට ජනාධිපති ධුරය තබා රිපබ්ලිකන් අපේක්ෂකත්වයවත් ලැබේද යන්න සැක සහිත විය. ට්‍රම්ප්ගේ දේශපාලනය නිසා ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ඉරිතලා යන බව ප්‍රධාන පෙළේ රිපබ්ලිකන් නායකයන් පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

2020 ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ඔහුට එරෙහිව චෝදනා, අපවාද රාශියක් එල්ල විය. ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් පවා තහනම් කෙරුණි. තම මතය ජනතාව අතරට ගෙන යෑමට ඇතුළතින් හා පිටතින් අවහිර කරද්දී ඔහු Truth නමින් වූ තමන්ගේම සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කළේය. කොන්ග්‍රසය විසින් ඔහුව දෙවරක් දෝෂාභියෝගයට ලක් කර ඇත. දෙවන දෝෂාභියෝගයේදී රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයෝ පවා ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළහ. තවද අපරාධ චෝදනා ගණනාවක්ම ඔහුට එදිරිව ගොනු වී ඇත. රහසිගත තොරතුරු සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා 40කට ද තම පළමු උපාධියේ පාඨමාලා පිළිබඳ විස්තර ව්‍යාජ ලෙස සකස් කිරීමේ අපරාධ චෝදනා 34කට ද හිටපු ජනාධිපතිවරයා වරදකරු වී ඇත. ට්‍රම්ප් යනු කමකට නැති දේශපාලනඥයකු ලෙස හංවඩු ගැසීමට ඔහුට විරුද්ධ මාධ්‍ය කටයුතු කළේ මෙම චෝදනා උත්කර්ෂයට නංවමිනි. Fox News වැනි මාධ්‍ය අතළොස්සක් හැර බොහෝ ප්‍රධාන ප්‍රවාහයේ ඇමෙරිකානු මාධ්‍ය අනුගමනය කළේ ට්‍රම්ප් විරෝධී ප්‍රතිපත්තියකි.

මළකඩ තීරය හා හිරු පටිය රතු වෙයි.

මැතිවරණයේදී කමලා හැරිස් තම මධ්‍යම පාන්තික ජන්මය හා ඉන්දීය හා ජැමෙයිකානු සම්භවය පිළිබඳව උත්කර්ෂයට නැංවුවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික ජාතිකවාදී පදනම දෙදරවා යැවීමට තරම් එය ශක්තිමත් වී නැත. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ජීවත් වන 14% ක් තරම් වූ සංක්‍රමණික ජනතාවගේ ක්‍රියාකාරකම් පිළිබඳව සුදු ජාතිකයන් තුළ ඇත්තේ යම් බියකි. මීට අඩසියවසකට පමණ පෙර 80% ක් තරම් වූ සුදු ඇමෙරිකානුවන්ගේ ප්‍රතිශතය මේ වන විට 60% පමණ දක්වා පහළ බැස ඇත. ට්‍රම්ප් මහතාගේ “Make America Great Again” යන සටන් පාඨයේ යටි පෙළ කියවා ගතහොත් එය ආර්ථිකමය කාරණාවක්ම නොවේ. ඇමෙරිකාව නැවතත් සාම්ප්‍රදායික සුදු ජාතිකයන්ගේ ආධිපත්‍යය සහිත රාජ්‍යයක් බවට පත් කිරීමේ ජනප්‍රියවාදී සිහිනයක් ඒ තුළ ගැබ්ව ඇත. පැරණි සාම්ප්‍රදායික රිපබ්ලිකන් බලප්‍රදේශ පිහිටා ඇත්තේ රට මැද සහ පහළ උණුසුම් හිරු පටියේ (Sun Belt) පිහිටි ප්‍රාන්ත තුළයි. මැතිවරණ දිනයටත් පෙර සිටම මෙම ප්‍රාන්ත සුපුරුදු පරිදි රිපබ්ලිකන් රතු පැහැයෙන් වර්ණ ගැන්වෙන්නට විය.

මෙවර මැතිවරණ ප්‍රතිඵලයේ තවත් විශේෂත්වයක් වන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා තීරණාත්මක පාවෙන ප්‍රාන්ත (Swing States) සියල්ල ට්‍රම්ප් මහතා විසින් ජයග්‍රහණය කර තිබීමයි. අපේක්ෂකයන් දෙදෙනාම වැඩි බර තබා තිබුණේ මෙම Swing states නොහොත් Battle Ground states යනුවෙන් හැඳින්වෙන ප්‍රාන්ත කෙරෙහිය. ඒවා නම් මිචිගන්, කැලිෆෝනියා, ඇරිසෝනා, උතුරු කැරොලිනා, නෙවාඩා, ජෝර්ජියා හා විස්කොන්සින් යන ප්‍රාන්තයි. ජනාධිපතිවරයා කවුදැයි තීරණය වන්නේ මෙම ප්‍රාන්තයන්හි අවසන් මැතිවරණ ප්‍රතිඵලය අනුවය.

එක්සත් ජනපදයේ නැගෙනහිර හා බටහිර මායිම්වල පිහිටි ප්‍රාන්ත සාම්ප්‍රදායිකවම ඩිමොක්‍රටික් පක්ෂයට බලය හිමි කලාප යි. වඩාත් කාර්මීකරණයට ලක් වූ හා සංක්‍රමණික ජනතාවක් ජීවත් වන්නේ මෙම ප්‍රාන්තවලයි. බටහිරින් පැසිෆික් සාගරයට මායිම් වන වොෂින්ටන්, ඔරිගොන් හා කැලිෆෝනියා ප්‍රාන්ත ද සුපුරුදු ලෙසම ඩිමොක්‍රටික් පක්ෂයට හිමි විය. නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයට මායිම්ව හා මළකඩ තීරයට (Rust Belt) අයත් වූ නිව්යෝක්, නිව්ජර්සි, නිව් හැම්ප්ෂයර්, ඩෙලවාරේ, මැසචුසෙට්ස්, කනෙක්ටිකට්, වෙර්මවුන්ට්, රොඩ් දිවයින හා වර්ජිනියා යන ප්‍රාන්ත ද සුපුරුදු ලෙසම මෙවර ද ඩිමොක්‍රටික් පක්ෂයට හිමි විය. මෙම කලාපය මුලින් හැඳින්වූයේ වානේ තීරය (Steel Belt) යනුවෙනි. ගල් අඟුරු යුගයේ වඩාත් සශ්‍රීකව පැවති කර්මාන්ත කෙමෙන් අභාවයට යෑම නිසා පසුව මෙම කලාපය මළකඩ තීරය නමින් හැඳින්විය. නමුත් මෙම තීරයේ පිහිටි උතුරු කැරොලයිනා සහ පෙනිසිල්වේනියා යන තීරණාත්මක පාවෙන ප්‍රාන්ත ජයග්‍රහණය කිරීමට රිපබ්ලිකන් පක්ෂයට හැකි විය. රට මැද පිහිටි පිටිසර ප්‍රාන්ත හා පහළ හිරු පටියේ ප්‍රාන්ත සියල්ලම පාහේ රිපබ්ලිකන් පක්ෂයට හිමිව තිබුණි. මේ අතරින් ටෙක්සාස්, ෆ්ලොරීඩා, ජෝර්ජියා. ඇරිසෝනා ආදී ප්‍රාන්ත විශාල Electoral College ආසන සංඛ්‍යාවක් ඇති ප්‍රාන්තයි. මධ්‍ය ජනපදවලින් ඩිමොක්‍රටික් පක්ෂය දිනා ගත්තේ ඉලිනොයිස්, කොලරාඩෝ හා නිව් මෙක්සිකෝ ප්‍රාන්ත පමණි. ඩිමොක්‍රටික් පක්ෂය විසින් ජයග්‍රහණය කළ කැලිෆෝනියා හා නිව්යෝර්ක් ප්‍රාන්තවල ද විශාල Electoral College ආසන සංඛ්‍යාවක් තිබුණ ද එය රිපබ්ලිකන් ජයග්‍රහණය වැළැක්වීමට තරම් හේතුවක් වී නැත.

පාවෙන ප්‍රාන්තයක් වූ විස්කොන්සින් ට්‍රම්ප් මහතා ජයග්‍රහණය කරනු ඇතැයි අවසාන මොහොතේ පැවති සමීක්ෂණවලින් විද්‍යමාන වූ අතර එය එසේම සිදුවිය. නමුත් ඊට ආසන්න මිචිගන් ප්‍රාන්තයෙන් කමලා හැරිස් පරාජය වීම ඩිමොක්‍රටික් පක්ෂයේ සාම්ප්‍රදායක ඡන්ද පදනම දෙදරවා යැවීමකි. මීට බොහෝ දුරට බලපා ඇත්තේ මැදපෙරදිග ඊශ්‍රායල-පලස්තීන අර්බුදය බව පෙනෙන්නට තිබේ. මිචිගන් යනු අරාබි සම්භවයක් සහිත ඇමෙරිකානුවන් විශාල ප්‍රමාණයක් ජීවත්වන ප්‍රාන්තයකි. මොවුන් ඩිමොක්‍රටික් පක්ෂයට ලැදියාවක් සහිත ජන කොටසකි. බයිඩන් පාලනය විසින් ගෙන යන ඊශ්‍රායල හිතවාදී විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙම ජන කොටස් උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බව පෙනෙන්නට තිබේ. 1.4% න් තරම් වූ අඩු ප්‍රතිශතයකින් මිචිගන් ප්‍රාන්තය පරාජය වීම නිසා කමලා හැරිස්ට එහි ආසන 15ක් අහිමි විය.

දෙවන ට්‍රම්ප් යුගයේ ලෝකය

ට්‍රම්ප්ගේ පුනරාගමනය පිළිබඳව සෙසු ලෝකයට ඇත්තේ මිශ්‍ර හැඟීමකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳව ට්‍රම්ප් මහතා ඒ තරම් සැලකිල්ලක් නොදක්වයි. නේටෝ සංවිධානය හා යුරෝපා සංගමය සමග ඇති බැඳීම් ඔහුට එතරම් වැදගත් නැත. එසේ වුවද ලෝක සාමය පිළිබඳව යම් සුබවාදී බලාපොරොත්තුවක් නැතිවාම නොවේ. දෙවන ලෝක යුද්ධයට පෙර ඇමෙරිකාව යනු බාහිර යුද ගැටුම්වලට මැදිහත් නොවී අභ්‍යන්තරව ශක්තිමත් වූ රාජ්‍යයකි. ඇමෙරිකාව මූලික කරගත් බටහිර බලයක් සඳහා මුදල් වියදම් කළ ද එය තම රාජ්‍යයේ පැවැත්මට අනවශ්‍ය බරක් බව ට්‍රම්ප් මහතාගේ අදහසයි. එකල සෝවියට් දේශයෙන් මිලදී ගත් ඇලස්කාව දැන් එක්සත් ජනපද ප්‍රාන්තයකි. එම නිසා තම රටට මායිම් වන රුසියාව විරසක කර ගෙන ඈතින් පිහිටි යුරෝපයේ ආරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකාව පෙනී සිටින්නේ මන්දැයි ට්‍රම්ප් මහතා වරක් ප්‍රශ්න කර තිබුණි. දක්ෂ ව්‍යාපාරිකයකු වූ ඔහු ඕනෑම රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් දකින්නේ ගනුදෙනුවක් ස්වරූයෙනි. තම රට වෙනත් රටක ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නේ නම් ඔවුන් තම රටට මුදල් ගෙවිය යුතු බව ට්‍රම්ප්ගේ අදහසයි.

රුසියා-යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් බොහෝ විට සාමකාමී ප්‍රවේශයකට පිවිසීමට යුක්‍රේනයට බලකෙරුණු ඇත. එය දැනට රුසියාව විසින් අල්ලා ගෙන ඇති ඩොන්බාස් ඇතුළු නැගෙනහිර යුක්‍රේන භූමිය රුසියාවට අයත් වන සේ ඇතිකර ගන්නා ගිවිසුමක් වීමේ සම්භාවිතාවය වැඩිය. රුසියානු ජනාධිපතිවරයා මෙම යුද්ධය ඇද ගෙන ගියේ ට්‍රම්ප්ගේ ආගමනය බලාපොරොත්තුවෙන් බව අප මින් පෙරද පවසා ඇත. කෙසේ නමුත් ඊශ්‍රායලය සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය බයිඩන්ටත් වඩා හිතවත් බවකින් කටයුතු කරනු ඇත. ඉරානය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් රිපබ්ලිකන් පක්ෂයේ අභ්‍යන්තර දේශපාලනයට ලැබෙන අමුතු වාසියක් නැත. චීනය සමග එක්සත් ජනපදයට පවතින අවාසි සහගත වෙළෙඳ ශේෂය අඩු කිරීමට ඔහු උත්සාහ දරනු ඇත. ට්‍රම්ප් මහතාගේ සංක්‍රමණික ප්‍රතිපත්ති නම් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව ඉතා අසීරු කටයුත්තක් වන්නේ නිව්යෝර්ක් වැනි බොහෝ ජනාකීර්ණ නගරවල ක්‍රියාකාරීත්වය සංක්‍රමණිකයන්ගේ රැකියා හා බද්ධ වී තිබීම නිසාය. දෙවන ට්‍රම්ප් යුගයේ ලෝක භූ දේශපාලනයට ඇතිවන බලපෑම පිළිබඳව ඉදිරි සතියේ වඩාත් සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment