හිත ඇත්නම් ගල්, ගඩොල් උඩත් වගා කරන්න පුළුවන්

315

චන්ද්‍රලාල් අබේගුණවර්ධන යනු අවස්ථා කීපයකදී මෙරට හොඳම ගොවියා ලෙස ඇගයීමට පත් පුද්ගලයෙක්ය. කෘෂිකර්මය හරහා ජීවිතය ජයගත් ඔහු මුළුමනින්ම ප්‍රායෝගික මිනිසෙක්ය. කාලය කළමනාකරණයෙහි දක්‍ෂයෙක්ය. උපන් බිම අස්වැද්දීමේ වෙහෙසකර වෑයමක නිරත ඔහු එහි සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගත්තෙක්ය. රට උග්‍ර ආහාර අර්බුදයක ගිලෙමින් පවතින වටපිටාවක ඔහු උස් හඬින් ඉල්ලා සිටින්නේ වගා බිම් අස්වැද්දීම පිණිස මෙරට ජනතාව එකාමෙන් එකමුතු වෙන ලෙසය. නොරටට අතපෑම නතර කොට හැකි සෑම බිම් අඟලක්ම අස්වැද්දීම පිණිස පෙළ ගැසෙන ලෙස ඉල්ලා සිටින ඔහු ඒ සඳහා අවශ්‍ය පාරම්පරික දැනුම සහ බීජ ආදිය සැපයීම පිණිසද නිර්ලෝභීව ඉදිරිපත්වී ඇත. ඒ හරහා රට තුළ නිර්මාණය වෙමින් පවතින ආහාර හිඟයට යම් හෝ සහනයක් ලබාදීම ඔහුගේ අපේක්‍ෂාව බවට පත්ව ඇත.

එම පැතුම් සහගත අපේක්‍ෂාව මහ පොළොව මත සැබෑවක් බවට පත් කිරීම පිණිස වෙහෙස නොබලා කටයුතු කරන ඔහු ඉකුත් දිනක ‘දිවයින’ කාර්යාලයට ගොඩවිය. එහි අරමුණ බවට පත්වූයේ තමන් පිළිබඳ ප්‍රචාරයක් අපේක්‍ෂාවෙන් නොව වෙනත් කරුණක් මුල්කර ගනිමිනි. දේශීය බෝග වගාව සහ එය සාර්ථකව සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ දිවයින කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම පිණිස පැවැති දේශනයකට සහභාගි වීමට පැමිණි එම ගමනේදී ඔහු විසින් සිදුකළ දේශනය තුළ ගෙවතු වගාවේ සිට මහා පරිමාණ වගාව දක්වා එය හරියාකාරව සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ වැදගත් හරබර විස්තර රැසක් හෙළිදරව් විය.

එම දැනුම රටේ යහපත පිණිස බෙදාහැරීම යුතුකමක් වන බැවින් එම දේශනයෙන් සහ චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා සමග සිදුකළ කතාබහක් ඇසුරෙන් මෙම ලිපිය සම්පාදනය කිරීම අපගේ අරමුණ විය. ඒ අනුව සාර්ථක ගෙවතු වගාවක් සිදුකරන්නේ කෙසේද එහි සාර්ථක ප්‍රථිපල අත්පත් කර ගන්නේ කෙසේද යන මාතෘකාව ඔස්සේ අපගේ කතාබහ ඉදිරියට ඇදී යන්නට විය.

“මේ දිනවල අපේ රටේ ජනතාව ගත්තොත් ඒ අය කුමන හෝ බෝගයක් වවන්න යම් උත්සාහයක් දරමින් ඉන්නව. මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය හරහා ලොකු ප්‍රචාරයක් ලබාදෙන ආකාරයක් දකින්නට ලැබෙනවා. ඇයි මෙහෙම වුණේ. ඒකට හේතුව තමයි ඉදිරියේ රට තුළ උග්‍ර ආහාර අර්බුදයක් ඇතිවීමට නියමිතයි කියන බියක් මේ වෙද්දී ඇතිවෙමින් පැවතීම. නමුත් මේ උනන්දුව ටික දවසක් යද්දී නැති වෙනවා. ඒකතමයි මෙතෙක් කලක් ලංකාවේ සිස්ටම් එක බවට පත්වෙලා තිබුණේ. 2021, 22, වර්ෂ තුළ කෘෂිකාර්මික දැනුම හුවමාරු කර ගැනීම පිණිස ලෝකයේ රටවල් කීපයක සංචාරය කරන්න අවස්ථාව ලැබෙනවා. එතනදී කෘෂිකර්මාන්තය පැත්තෙන් අපි සහ ඒ අය ඉන්න තැන ගැන සංසදනය කරද්දී අපේ රට සම්බන්ධයෙන් ලොකු කලකිරීමක් ඇති වෙනවා. අපි මෙතැන ඉඳලා අපට එහෙම වුණේ ඇයි කියන කාරණය සම්බන්ධයෙන් කතා කරමු. අද අපේ මිනිස්සුන්ගේ ආයු කාලය කීයද අවුරුදු හැටයි හැත්තෑවයි. නමුත් අපට පෙර පරම්පරා ගත්තොත් ඒ අය වසර අනූව සියය ආයු වැළඳුවා. අද පරම්පරාව ලෙඩදුක් එක්ක මැරි මැරී ජීවත් වෙනවා. මේ තත්ත්වයට හේතුව තමයි වස විස සහිත ආහාර පරිභෝජනයට ගැනීම. මෙන්න මේ තත්ත්වයෙන් අපේ ජනතාව මුදා ගන්න හොඳම අවස්ථාවක් ලෙස මේ මොහොත ගන්න පුළුවන්. එතනදී තම තමන් තනි තනියෙන් කළ යුතු වැඩ කොටසක් පවතිනවා. තමන්ගේ සහ පවුලේ පරිභෝජනය පිණිස එළවළු වර්ග කීපයක් අල බතල ටිකක් තමන්ගේම ගෙවත්තේ වගා කරගන්න දැන්වත් ආරම්භය ගත යුතුයි. නමුත් මෙතනදී බොහෝ දෙනෙක් නඟන මැසවිල්ලක් තමයි ‘වගාව සාර්ථක නැහැනේ’ කියන කාරණය. බොහෝ දෙනෙක් එහෙම කියන්න මූලිකම හේතුව තමයි සම්ප්‍රදායික බෝග වගාව පිළිබඳ පාරම්පරික දැනුම නොතිබීම.”

හිත ඇත්නම් ගල්, ගඩොල් උඩත් වගා කරන්න පුළුවන්

අපගේ කතාබහ පිණිස එලෙස ආරම්භය ලබාගත් චන්ද්‍රලාල් අබේගුණවර්ධන ඉන් අනතුරුව විස්තර කර සිටියේ සාර්ථක ගෙවතු වගාවක් සිදුකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවය. එම පැහැදිලි කිරීම තුළ කුඩා ඉඩකඩක යම් වගාවක් ආරම්භ කිරීමේ සිට මහා පරිමාණ වගා කටයුත්තක් සිදුකිරීම දක්වා අවශ්‍ය වැදගත්ම කරුණු කාරණා රාශියක් ඇතුළත් විය.

“හොඳයි දැන් අපි බලමු සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වගාවක් සිදුකරන්නේ කෙසේද කියල. ගුවන්විදුලියේ රූපවාහිනියේ හැමදාම බණ දේශනා පවත්වනව වගේ මේ වගාව ගැනත් නිතර නිතර අපට අසන්න ලැබෙනව කියල දෙනව. නමුත් ඒ උපදෙස් අනුව කෙනෙක් කෘෂිකර්ම කටයුත්තකට යොමුවුණා කියමු. නමුත් අස්වැන්න දිහා බලද්දී තෘප්තිමත් වෙන්න බෑ. එහෙමනම් කොතැනද අපිට වරදින්නේ. මිරිස් පැළයක් හිටෙව්වොත් ටික දවසක් යද්දී කොඬ වෙනවා. නැත්නම් සත්තු වහනවා. වම්බටු ගහක් හිටෙව්වත් එහෙමයි. අල බතල හිටෙව්වොත් මීයෝ කනව කියනව. වෙනත් වෙනත් බෝග ගත්තොත් වඳුර කෑව කියනවා. ඉත්තෑවා එනව කියනවා. එහෙම නැත්නම් පෝර නැති හින්දා කිසිම වගාවක් කරන්න බෑ කියන මැසවිල්ලක් දැන් දැන් ඇති වෙමින් පවතිනවා. හැමෝටම පොදු මේ ගැටලු ටික ගැන අපි දැන් කතා කරමු. අතීතයේ ජීවත් වූ අපේ මුතුන්මිත්තන් මේ මහ පොළොව ඉතාමත් සාර්ථක ලෙස අස්වැද්දුවා. ඒ හින්දා තමයි අපේ රට පෙරදිග ධාන්‍යාගාරය නමින් හැඳින්වූවේ. එදා මීයෝ හිටියේ නැද්ද. අලි, වඳුරෝ, ඉත්තෑවෝ හිටියේ නැද්ද? ඒ සත්තු පරිසරයෙන් ඉවත් කරන්න වෙඩි තැබුවේ නෑ. හක්ක පටස් දැමුවේ නෑ. ඒ අය හොඳට ගොවිතැන කළා. අන්න ඒ වගා ක්‍රමය මීට වසර හැට හැත්තෑවකට ඉහත ලොකු පරිවර්තනයකට ලක්වුණා. ඊට පස්සේ අපේ මිනිස්සු බටහිර වගා ක්‍රමයට ටික ටික හුරුවෙන්න ගත්තා. රට රටවල්වලින් යන්ත්‍ර සූත්‍ර ගෙන්නුව, පෝර බෙහෙත් ගෙන්නුව. බීජ වර්ග ගෙන්නුව. ඒකේ ප්‍රතිඵලයක් ලෙස දැන් අපි කවුරුත් වගා කරන්න දන්නෙ බටහිර වගා ක්‍රමයට. පෝර දාල බෙහෙත් ගහල වගා කරන්න අපි හුරුවුණේ එහෙමයි. ඒකට තමයි අපි කියන්නේ රසායනික කෘෂිකර්මය කියල. මේ ක්‍රමය යටතේ මිරිස් පැළයක් හිටෙව්ව කියල අපි උදාහරණයකට ගමු. ඒ ශාකයේ උපරිම ආයු කාලය මාස හතරක් හෝ පහක් වේවි. නමුත් ඒ මිරිස් පැළයට කාබනික කෘෂිකර්මය යටතේ අපට රෝපණය කරන්න පුළුවන්නම් එහි ආයු කාලය වසර තුන හතරක් තරම් දීර්ඝ එකක් වේවි.”

කාබනික වගාව හා එහි සාර්ථකභාවය පිළිබඳ හෙළිදරව් කිරීම පිණිස චන්ද්‍රලාල් අබේගුණවර්ධන විසින් ප්‍රවේශය ලබා ගත්තේ ඒ ආකාරයෙන්ය. උග්‍ර රසායනික පොහොර හිඟයක් පවතින වටපිටාවක් තුළ සාර්ථක කාබනික වගාවක් සිදුකරන ආකාරය පිළිබඳ ඔහු විසින් හෙළිදරව් කර සිටියේ ඉන් අනතුරුවය.

“සෑම පැළයක්, බෝගයක් සිටුවීම පිණිස අපි මුලින්ම පස සකසා ගත යුතුයි. ඒ සඳහා පස් මිශ්‍රණයක් අවශ්‍ය වෙනවා. සාර්ථක පස් මිශ්‍රණයක් අවශ්‍ය නම් ඒ සඳහා පොළොව මතු පිට පස් ඒ වගේම දිරාපත් රොඩු, පස් සහ දහනය කරන ලද දහයියා සමසමව ගත යුතුයි. ශාකයක් රෝපණය කිරීම පිණිස මම සඳහන් කළ මිශ්‍රණයෙන් කිලෝ ග්‍රෑම් 15 ක් පමණ අවශ්‍ය වෙනවා. මේ ටික පොහොර උරයක ලිහිල්ව තැන්පත් කරල ඕනෑම ශාකයක් රෝපණය කරල බලන්න. ඉතා හොඳින් ඒ ශාකය උස්මහත් වෙන හැටි දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපි බලමු බතල වැලක් මඤ්ඤොක්කා දණ්ඩක් වගේ දෙයක් සාර්ථකව රෝපණය කරන්නේ කොහොමද කියල. අපි කවුරුත් දන්න දෙයක් තමයි අල බතල ඉන්දන්නේ සවස් කාලයේ කියන එක. අල බතල උදේ කාලයේ ඉන්දුවොත් සියයට හැත්තෑවක විතර අස්වැන්න අඩුවෙනවා. මේ සඳහාත් මම ඉහත සඳහන් කළ මිශ්‍රණයන්ගෙන් යුත් පසක් සකසා ගත යුතුයි. පොළොව සකසා ගැනීමේදී පාත්ති ලෙස එය සකස් කරනවනම් අඟල් 4 ක් පමණ උසකින් යුත් පාත්තියක් සකසා ගත යුතුයි. ඊට යටට පොළොව හාරල කරන වගාවක් සාර්ථක වෙන්නේ නෑ. ඊට හේතුව තමයි සෑම ගසටම නයිට්‍රජන්, පොටෑසියම්, පොස්පේට් අවශ්‍යයි. ඒ සඳහා ක්‍ෂුද්‍ර ජීවීන්ගේ සහයෝගය අපට අවශ්‍ය වෙනවා. ඔවුන් ජීවත් වෙන්නේ නිර්වායු තත්ත්වයෙන්. ඒ හින්දා අඟල් 4 ක් වගේ ඝනකම මතුපිට පස් තට්ටුවෙන් යට හාරන්න ගත්තොත් ක්‍ෂුද්‍ර ජීවීන් විනාශ වෙනවා. කාබනික වගාවේදී මේක අත්‍යවශ්‍යම කටයුත්තක් ලෙස නම් කරන්න පුළුවන්.”

හිත ඇත්නම් ගල්, ගඩොල් උඩත් වගා කරන්න පුළුවන්

“හොඳයි අපි ඒ ආකාරයෙන් යම් වගාවක් කළා කියල කියමු. ඊළඟට අස්වැන්නත් එක්ක අපි මුහුණ දෙන ප්‍රශ්න ගණනාවක් පවතිනවා. ඉල්මැස්සා වහනව, පිටි මකුණන් බෝවෙනව එහෙම නැත්නම් ඵලදාව කොඬ වෙනව. තවත් පැත්තකින් මීයන්ගෙන් ඉත්තෑවන්ගෙන් ඒ වගාවන් ආරක්‍ෂා කර ගන්න බැරි වෙනව. මේ වගේ ප්‍රශ්න තිබෙනවා. අපි දැන් බලමු මේ කියන ගැටලුවලට සාර්ථක විසඳුම් නැද්ද කියල.”

යම් විෂයක් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත පුද්ගලයෙක් වේනම් එම විෂය සම්බන්ධව පැන නඟින ගැටලු සඳහාද ප්‍රායෝගික විසඳුම් එවැනි පුද්ගලයන් සතුය. දේශීය කෘෂිකර්මය ගත් කල මේ වන විට ඒ හා පවතින ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත්තේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට යෑමේදී ඒ හා සම්බන්ධව පැන නඟින ගැටලු රාශියක් පැවතීමය. ඒ අතරින්ද භව බෝග ආරක්‍ෂා කර

ගැනීම ප්‍රධානතම ගැටලුව බවට පත්ව ඇත. චන්ද්‍රලාල් අබේගුණවර්ධන සතුව ඒ සඳහාද සාර්ථක විසඳුම් රැසක් ඇත. ඉත්තෑවාගෙන් සිදුවන වගා විනාශය නතර කර ගැනීම පිණිස ගෙන්දගම් ස්වල්පයක් ප්‍රමාණවත් බවත් පිටි මකුණන් ඇතුළු කෘෂි සතුන්ගෙන් සිදුවන විනාශය වළකා ගැනීම පිණිසද ඔහු සතු ප්‍රායෝගික විසඳුම් රැසක් ඇත. ඊට අමතරව මාසේ පෝය අනුව දින වෙන්කර ඒ ඒ බෝගයන්ට අදාළ කාල සීමාව තුළ වගාව සිදුකිරීම තුළ සතුන්ගෙන් සිදුවන හානි වළකා ගන්නා ආකාරය පිළිබඳව ඔහු සතුව මනා දැනුමක් ඇත. වල්පැළ වඳ කිරීමේ දේශීය ක්‍රමවේද තුන්සියයක් පමණ ඇති බව සඳහන් කළ ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ රටක් ලෙස අප ඉන් නිසි ප්‍රයෝජන ලබා නොගන්නා බවයි.

අපේ දේ අමතක කර වෙළඳ මාෆියාවක ගොදුරු බවට පත්වීම තුළ මෙරට කෘෂිකර්මය බරපතල කඩා වැටීමකට ලක්වී ඇති බවත් එය මෙරට කෘෂිකර්මාන්තය කඩා වැටීම පිණිස බලපාන ලද ප්‍රධානතම හේතුව බවත් පෙන්වාදුන් චන්ද්‍රලාල් අබේගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ දේශීය කෘෂිකර්මය යටතේ ගල් උඩ පවා වගා කළ හැකි හැකියාවක් ශ්‍රී ලාංකිකයා සතුව පැවති බවය. ඒ අනුව දේශීය කෘෂිකර්මාන්තය නැවත නඟා සිටුවීම පිණිස මහත් වෙහෙසක් දරන ඔහු එහිම දිගුවක් ලෙස නොමිලේ බීජ ලබාදීම, උපදේශනය ඇතුළු තවත් වැදගත් කටයුතු රැසක නිරත වෙමින් ඇත. වගාව පිණිස පස එතරම් වැදගත් සාධකයක් නොවන බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ හිරුඑළිය යනු වගාව පිණිස බොහෝ දේ කළ හැකි සාධකයක් බවය. බඳුන් වගාවට යොමුවීම තුළ නාගරික මහල් නිවාසයේ සිට ඕනෑම තැනක වගා කළ හැකි බවත් තමන් විසින් එය ප්‍රායෝගිකව පෙන්වාදී ඇති බවත් සඳහන් කළ ඒ මහතා අවසන් වශයෙන් අවධාරණය කර සිටියේ අවම වශයෙන් තම තමන්ට අවශ්‍ය එළවළු පලතුරු ආදිය තම තමන් විසින් නිපදවා ගැනීම පිණිස මෙතැන් සිට හෝ කටයුතු කිරීම තුළ ඉදිරියේ ඇතිවිය හැකියි යනුවෙන් සැකකරන උග්‍ර ආහාර හිඟයේ ගොදුරු බවට පත්වීමෙන් වැළකී සිටිය හැකි බවය.

රුවන් ජයවර්ධන
ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment