හිත හදාගන්න බැරිද?

219

සාමාන්‍ය ජීවිතයේදී ඇති වෙන සහ එල්ල වෙන විවිධ ගැටුම් සහ ගැටලූ ඉදිරියේ අපේ හිත ශක්තිමත් නොවුණොත් එයින් ඇති වෙන අතුරු ප‍්‍රතිඵල එතරම් සුබවාදී නැහැ. අපි ජීවත්වන්නේ විවිධාකාර සමාජ ජීවීන් සමග නිසා ප‍්‍රශ්න නැති ජීවිතයක් ගැන හිතන්න අපහසුයි. එහෙත් ප‍්‍රශ්න ඉදිරියේ අපි හිත රිදවා නොගෙන ඒ සියල්ල සමග ඉදිරියට යන්නේ කොහොද?

 * හොඳම අත්දැකීම ගැන හිතන්න

 එදිනෙදා ජීවිතයේදී යම් යම් වේදනාවන් හැලහැප්පීම් ඇති වූ විට එයින් මිදෙන්න මගක් තෝරා ගැනීම ඉතාම වැදගත්. කිසිම විටෙක අමිහිරි දෙය ගැනම නොසිතන්න. ඔබ සමග යම් ගැටුමක් ඇති කරගත් අයෙක් වේ නම් ඔහු හෝ ඇය ඔබට මීට පෙරාතුව කරන ලද උදව් උපකාර ගැන සිතන්න. විභාගයක් අසමත් වූයේ නම් සිදු වූ දෙය ගැන තැවෙනවාට වඩා යළිත් නැගිටින ආකාරය ගැන හිතන්න. ඇතත්ටම ජීවිතය යනු නොවැටී සිටීම නොව වැටි වැටී නැගී සිටීම බව දැනගත යුතුයි. දරුවන්ගේ ප‍්‍රශ්න ඉදිරියේ දෙමව්පියන් විදිහට ඔබ ඉතා සංවේදීවනු ඇත. එහෙත් ඒ ප‍්‍රශ්න වෙනුවෙන් විකල්ප ගැන හිතන්න.

 * හිත නිදහස් කර ගන්න

 සමහර දුක් වේදනාවන් නිසා අපි සමාජය ඉදිරියේදී ශක්තිවන්තයන් විදිහට හිටියත් එම ප‍්‍රශ්නය හිතේ දරාගෙන විඳවන අවස්ථාවන් තිබෙනවා. එහෙත් නිතරම අපි දුක් වේදනාවන් දරා ගැනීම වෙනුවට එයින් නිදහස් වීම වැදගත්. දුක් අඳෝනාවන් හිතේ දරාගෙන සිටිනවාට වඩා අඬා දොඩා ඒවා පිටකිරීම ඉතා වැදගත් බැව් දැන් පර්යේෂණ මගින් පවා පිළිගෙන තිබෙනවා.

 ජපානය මේ වෙනුවෙන් අපූරු ක‍්‍රමයක් ආරම්භ කළා. මානසික පීඩාව දුරුකර ගැනීම වෙනුවෙන් අඬන්න කැමැති කාන්තාවන් වෙනුවෙන්ම ‘‘ මිට්සුයි ගාර්ඩන් යොට්සුයා ’’ යනුවෙන් හෝටලයක කාමර කීපයක් වෙන් කරනු ලැබුවා. තමන්ට අවශ්‍ය පරිදි හිතේ දුක සමනය වෙන තෙක් අඬන්න අවසරය මේ හෝටලයේදී ලැබෙනවා. මෙම පරිශ‍්‍රය කාන්තාවන්ටම වෙන් කරනු ලැබුවක්. අඬන්න තරම් උත්තේජනයක් හිතේ නැත්නම් ඒ වෙනුවෙන් ගැලපෙන දුක්මුසු තේමාවන් සහිත රූප සහ චිත‍්‍රපටත් මේ කාමරයේ තිබෙනවා. අඬලා අවසානයේදී කඳුළු පිසදා ගැනීමට පිරිසිදු අත්පිස්නාවන් වැනි පහසුකම් පවා සපයා තිබෙනවා.

 හැබැයි ඉතිං අඬන්න නිකම් බැහැ. ඒ වෙනුවෙන් ඩොලර් 55 ක මුදලක් ගෙවලා කාමරයක් වෙන් කර ගැනීම අවශ්‍යයි. නමුත් ආතතියේ දරා ගෙන සිටීමේ ප‍්‍රතිඵල ඊට වඩා බොහොම දරුණුයි. මේ නිසා ජපානයේ කාන්තාවන් ලෝබ නැතුව සල්ලි ගෙවලා මෙම කාමර මිලට ගෙන තමන්ගේ හිත හෑල්ලූ කර ගන්නවා.

 * ධනාත්මක චරිත ගැන කියවන්න

 වැරදුනේ මට විතරක් නොවෙයි යන තැන ඔබට නැවතිය හැකි නම් ඇත්තටම ඔබ දිනුම්. මේ වෙනුවෙන් විවිධාකාර චරිත කියවා එයින් අත්දැකීම් ලබාගන්න. නොවැටුන කිසිම කෙනෙක් නොමැති බව හිතන්න. අනේ මට විතරද මෙහෙම යැයි කිසිම ලෙසකින් ඔබ ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා. ලෝකයේ තිස් තුන්වැනි කෝටිපතියා ලෙස සැලකෙන ජැක් මා විශ්වවිද්‍යාල ප‍්‍රවේශ විභාගයෙන් තෙවරක් අසමත් විය. රැුකියා තිහකට ඉල්ලූම් කළත් එකකුදු ලැබුණේ නැත. වෙන දෙයක් තබා චීනයේ කේ. එෆ්. සී. ආයතනය ආරම්භ කිරීමේදී සේවකයන් තෝරා ගැනීම වෙනුවෙන් පැවැති සම්මුඛ පරීක්ෂණයට සිටි ඉල්ලූම්කරුවන් විසිහතර දෙනාගෙන් විසිතුන් දෙනෙක් තේරුන අතර එයින් ප‍්‍රතික්ෂේප වූයේ ජැක් මා පමණි. හාවර්ඞ් විශ්වවිද්‍යාලයට දහවතාවක් ඉල්ලූම් කළත් ඒ සියල්ලම ප‍්‍රතික්ෂේප විය. ඒත් ඔහු සැළුනේ නැත.

 * සෞන්දර්යාත්මක කටයුත්තක නිරත වෙන්න

 කරවිලේ වැටුණ පණුවා වගේ ඒ මතම රැඳෙමින් දිවා රැය නොමැතිව කල්පනා කරනවාට වඩා කෙසේ හෝ එයින් මිදෙන්න බලන්න. වැඩිහිටි වුණත් ඔබටත් යම් විනෝදාංශයක් තිබීම ඉතාම වැදගත් වෙනවා. නිවසේ කටයුතු සහ වෙනත් සමාජ සම්බන්ධතාවයන් අතරම හිතට සුවයක් දෙන කුමන හෝ විනෝදාත්මක කටයුත්තක්ද තිබීම ඉතා වැදගත්.

 අපි ඉපදිලා ඉන්නේ දුක් විඳින්න කියන සිතුවිල්ලේ ඔබ රැුඳී සිටින්න අවශ්‍ය නැහැ. ඒ වගේම අනවශ්‍ය විදිහට දුක් වේදනාවන් උහුලාගෙන සිටීමත් මානසික ලෙසින් ගැලපෙන කටයුත්තක් නොවෙයි. ඒ නිසා නිතරම දුක් වේදනාවන් ලිහිල් කර ගැනීමට ඔබ විසින්ම උත්සාහ ගන්න. එය ඔබට අපහසු කටයුත්තක් නම් මානසික සැහැල්ලූව වෙනුවෙන් උපදේශන සේවයක පිහිට ලබා ගැනීමත් වරදක් නොවෙයි.

 * පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment