හිරුණිකා ඇතුළු 15 ට දැඩි කොන්දේසි මත ඇප

531

හිරුණිකා පොලිස් නිලධාරීන් සිප වැළඳගෙන ඔවුන් අපහසුතාවට පත්කරනවා
– ඒ එස් පී නෙවිල් ද සිල්වා

පොලිස් ආඥා පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හා පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ කුරුඳුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු පළාත් සභා මන්ත්‍රීනී නිරෝෂා අතුකෝරළ ඇතුළු සැකකාරියන් 14 දෙනා හා සැකකරුවකු අප කොන්දේසි පනවා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (15) නියෝග කළේය.

ලංකාවේ පොලිසිය දැන් මොසැම්බික් පොලිසියටත් අන්තයි
– නීතිඥ ගුණරත්න වන්නිනායක
පොලිසියයි නීතිඥවරුයි උසාවියේදී ගැටෙති
මහෙස්ත්‍රාත්ගෙන් දෙපැත්තට ම අවවාද
උසාවි ගෙනා බී වාර්තාව ආපසු පොලිසියට ගෙන ගිහින්

එක් අයකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඇප ලබාගැනීමෙන් අනතුරුව සෑම මසකම අවසන් ඉරිදා දින කුරුඳුවත්ත පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුවන්ට නියෝග කළේය.

පෙරේදා (14) උදෑසන 10.30 ට පමණ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් 35 දෙනකු පමණ හා පිරිමි පුද්ගලයන් 5 දෙනකු පමණ කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටි නිදහස් චතුරශ්‍රය අසල රැස්වී ඇති බවත් එලෙස රැස්වන බවට පොලිසිය දැනුවත් කිරීමක් සිදුකර නොතිබීම නිසා එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇති බවත් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේය. පොලිසියේ අවවාද නොතකා එම පිරිස ප්‍රේමකීර්ති ද අල්විස් මාවත හා බෞද්ධාලෝක මාවත ඔස්සේ පෙළපාලියකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලය අසලට ගොස් වීදි නාට්‍යයක් රඟ දක්වා ඇති බව පැවසූ සහකාර පොලිස් අධිකාරිවරයා එම පිරිස ජනාධිපති නිවස පිහිටි පැජට් මාවතට ද අනවසරයනේ ගමන් කර ඇති බවත් ජනාධිපතිවරයාට ආරක්ෂාව සැපයීමේ වගකීම පොලිසිය සතු බැවින් එම ප්‍රදේශයට ඇතුළුවීම වැළැක්වීමට පොලිසිය පියවර ගෙන ඇති බවත් අධිකරණය හමුවේ කියා සිටියේය.

එහිදී 3 වන සැකකාරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලිසියේ රාජකාරියට බාධාවන අයුරින් ප්‍රතිවිරෝධතා දක්වා ඇතැයි ද අධිකරණයට පෙන්දුන් සහකාර පොලිස් අධිකාරිවරයා එම සැකකාරිය කාන්තාවන් සතු වරප්‍රසාද භාවිත කරමින් එවැනි විරෝධාවලට එරෙහිවන පොලිස් නිලධාරීන් සිප වැළඳ ගනිමින් ඔවුන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු කරන්නියක් වන්නේ යැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී විදි නාට්‍ය කණ්ඩායම යුද හමුදා නිලධාරීන් භාවිත කරන ටී ෂර්ට් වැනි ඇඳුම් හා පොලිස් නිලධාරීන් භාවිත කරන කැප්වලට සමාන කැප් පැලඳ සිටි බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් සහකාර පොලිස් අධිකාරිවරයා සැකකාරියන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලිසියට රැගෙන පැමිණි පසු සෙසු පිරිස එම පොලිස් ස්ථානය ඉදිරිපිට වාඩිවී පොලිසියේ රාජකාරියට බාධා කර ඇතැයි ද පැවසීය. එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බැවින් හා විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් සියලු සැකකාරියන් හා සැකකරු රක්ෂිත බන්ධනාකාරගත කරන ලෙසට ද සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණුවලින් බහුතරයක් ඉතා අසත්‍ය බව පෙන්වා දෙමින් කරුණු දැක්වූ නීතීඥ රාජිත ලක්මාල් හා නීතීඥ තුසිත ගුණසේකර යන මහත්වරුන් එම කාන්තාවන් එදින නිදහස් චතුරශ්‍රය අසලට රැස්වී සාමකාමී අයුරින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට ට ගොස් වීදි නාට්‍යයක් දැක්වූයේ රටේ කාන්තාවන් අත්විඳිනා දුක් කන්දරාව කියාපෑමට මිස අන් කරුණකට නොවේ යැයි කියා සිටියහ. කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් සැකකාරියන්ගේ ප්‍රකාශ ලබා ගන්නා විට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥවරුන්ට ද පොලිසිය බලපෑම් කර ඇතැයි ද නීතීඥ රාජිත ලක්මාල් මහතා කියා සිටියේය.

පොලිසිය කාන්තාවනට සලකන ආකාරය මෑතකදී එක්තරා ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු ඔහු යටතේ සේවය කළ කාන්තා පොලිස් නිලධාරිනියකගේ බෙල්ලෙන් අල්ලා කළ හිංසනය මගින්ම මුළු ලොවටම පෙන්වා ඇතැයි නීතීඥ අතුල රණගල මහතා එහිදී පැවසීය. ලංකාවේ පොලිසියේ ක්‍රියා කලාපය මේ වනවිට මොසැම්බික් රාජ්‍යයේ පොලිසියටත් වඩා අන්තවී ඇතැයි පෙන්වා දෙමින් නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා කරුණු දැක්වූ අතර අධිකරණය අවසරය මත ආරම්භ කළ එම කරුණු දැක්වීම අතරතුර දී නෙවිල් ද සිල්වා හා දිල්රුක් යන සහකාර පොලිස් අධිකාරිවරුන් දැඩිව විරෝධතා දැක්වූහ. මෙම අවස්ථාවේදී නිතීඥවරුන් හා එම නිලධාරීන් අතර දැඩි සංවාදයක් ඇති විය. තම අධිකරණයට අවශ්‍ය නඩුවට පාදක වූ නීතිමය කරුණු පමණක් බවත් දෙපාර්ශ්වය අතර වෙනත් ගැටලු ඇතිනම් අධිකරණයෙන් පිටතට ගොස් ඒවා විසඳා ගන්නා ලෙසටත් එහිදී එකී නීතීඥවරුන්ට සහ පොලිස් නිලධාරීවරුන්ට අවවාදාත්මකව පැවසූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තම අධිකරණය හමුවේ පොලිසිය මෙන්ම නීතිඥවරුන්ද නඩුවට පාදක නොවන කරුණු දක්වන්නේ යැයිද පෙන්වා දුන්නේය.

පොලිසිය භාවිත කරන තොප්පිවලට සමාන තොප්පි පැළඳ සිටීමට එම වීදි නාට්‍ය කණ්ඩායම අවසර ගෙන නොමැති බවත් නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට වීදි නාට්‍ය රඟදැක්විය නොහැකි බවට කොන්දේසි පනවා ඇත්තේ පොලිසිය නොව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා බවත් පොලිසිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. එම සැකකාරියන් පිරිස ඊයේ (15) උදෑසන 9.15 ට පමණ කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණයට රැගෙන විත් තිබූ නමුත් නඩුවට පෙරවරු 11.00 ට පමණ දිනයට නියමිත නඩු කටයුතු හා මෝසම් කැඳවීම් අවසන් වනතුරුත් කුරුඳුවත්ත පොලිස් නිලධාරීන් නඩුවට අදාළ බී වාර්තාව අධිකරණයට ඉදිරිපත් නොකිරීම නිසා සැකකරුවන් ඇතත් බී වාර්තාව ඉදිරිපත් නොකරනුයේ මන්දැයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලිස් නිලධාරීන්ගෙන් විමසා සිටියේය. එම බී වාර්තා අධිකරණයට රැගෙන පැමිණි නමුත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් යම්කිසි කරුණක් නිසා එය ආපසු පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බවත් කඩිනමින් එය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් කුරුඳුවත්ත පොලිසිය නියෝජනය කළ පොලිස් නිලධාරියෙක් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම කරුණු ද නඩුව කැඳවූ අවස්ථාවේදී පෙන්වා දුන් සැකකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු නිකරුණේ අත්අඩංගුවට ගත් සැකකාරියන් අධිකරණයට ගෙනැවිත් දමා උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත බී වාර්තා අලුතින් සකස් කර නොකළ වැරදි සම්බන්ධයෙන් ද චෝදනා ගොනුකිරීමට පියවර ගෙන ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්හ. එම නඩුව ලබන වසරේ පෙබරවාරි 13 දක්වා කල් තැබිණි.

නීතිඥ සෙයිනුල් උතුම්, රොහාන් ආරියවංශ, නිශාන්ත වෙත්තසිංහ, ටි්‍රමාල් ගමගේ, ප්‍රසාද් සිල්වා ඇතුළු නීතීඥ මණ්ඩලයක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

පින්තූර – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment