හිරේ ඉඳන් කුඩු විකුණන සුපිරි ගේම මෙන්න

301

මම කුඩු බොන්න ඇබ්බැහි වුණේ හිරේදී….
මගේ හිතට අනුකම්පාවක් දැනිලම නෑ…
සමාජයේ නැති මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළ තියෙනවා…
එළියට වඩා ඇතුළේ මත්ද්‍රව්‍ය විකුණන එක ලේසියි

බන්ධනාගාරයක කාර්යභාරය වැරැදිකරුවන්ට දඬුවම් කිරීම සහ පුනරුත්ථාපනය කිරීමය. එහෙත් මෙරට බන්ධනාගාර අපරාධකරුවන්ට තක්සලාවකි. සුළු වැරැද්දක් කර හෝ සැකකටයුතු පුද්ගලයෙක් ලෙස සිරදඬුවම් නියම වූ හෝ රිමාන්ඩ් බන්ධනාගාරගත වෙන ඇතැම් පුද්ගලයන් න ිදහස ලබනුයේ ‘අපරාධ ලෝකයේ’ සුපිරි ගුරුවරුන්ගේ කීකරු ගෝලයකු ලෙසය. සමාජයට පිවිසෙන ඔහු ඇතුළේ සිටින ගුරුවරයාගේ මඟපෙන්වීම යටතේ අපරාධ කිරීම වෘත්තීය බවට පත් කරගන්නේය. එමෙන්ම වාර්තා වන ආකාරයට මෙරට බන්ධනාගාර මත්ද්‍රව්‍ය තිප්පළකි. සමාජයේ නැති මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුළ තිබෙන බව වාර්තාවන තවත් කතාවකි. ඒ කතාව සහ නුපුහුණු අපරාධකරුවන් පුහුණු කරන කත්සලාවේ ඇතුලාන්තය ඇතුළේ සිටි කෙනෙක් අපට කීවේය.

හේ අපට හමුවූයේ කුඩු නිසා වැනසුණු ජීවිත සුවපත් කරන පැල්මඬුල්ල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්ථානයේදීය.

පසුගිය දිනක අප එම විශෝධන මධ්‍යස්ථානයට යන විට මත්ලෝලි තරුණයන් සියයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටියහ. ඔවුන් සියලු දෙනා වයස අවුරුදු තිස්පහට නොවැඩි, රටට වැඩදායි තරුණයෝ ය. එහෙත් කුඩු පිළිලය එම තරුණයන්ව වැඩකට නැති ගාණට පත් කර තිබිණි. එම තරුණ ජීවිත මත් වී ඇති ආකාරය එකිනෙකට වෙනස් වුවද, කතාව ඇසෙන විට සිත මහ දුකකින් පිරිණි. එහෙත් මතට ඇබ්බැහි වූ කතා බොහෝමයක් අපි ඇසුවෙමු. ඒ කතා අතරින් මේ කතාව විශේෂය. ඔහු බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය අලෙවි කළ ජාවාරම්කාරයෙකි. පුංචි සන්දියේ සිට මවුපිය රැකවරණය, සෙනහස අතහැර මිත්තණිය ඇසුරෙහි උස් දඬු වූ ඔහු පාතාලයට තල්ලු වී ඇති ආකාරය ඛේදජනකය. දෙසවනේ රැඳෙනවිට දෑස් බොඳවන ඔහුගේ ජීවිත කතාව සහ බන්ධනාගාරයේ නොපෙනෙන පැත්ත ඔහුගේම වචනවලින් ඇසීම ඔබට වඩාත්ම සංවේදීය. එහෙයින් ඔහුට කතා කිරීමට ඉඩ හැර මම නිහඬ වෙමි.

“මම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණේ ප්‍රථම වරට බන්ධනාගාරගත වෙච්ච අවස්ථාවේ. සිරගත වෙනකොට මට වයස අවුරුදු විසිඑකට අඩුයි. ඒ කාලයේ රටම කතා කරපු කෝටි ගාණක මංකොල්ලයක සැකකරුවෙක් විදිහට තමයි බන්ධනාගාරගත වුණේ. ඒ වෙනකොට මම හොඳට බජාර් බහිනවා. හැමදාම රෑට නයිට් කල්බ් යනවා. කල්බ් යන්න පටන් ගත්තෙ අවුරුදු දාහසයේදී. සමහර දවස්වල රෑට නයිට් ක්ලබ් දෙක, තුනට යනවා. නයිට් ක්ලබ් යෑම පිස්සුවක් වෙලා තිබුණේ. ඩාන්සින් පෙති එක, දෙක ගත්තා. අරක්කු බිව්වා නෙමෙයි නෑවා. සිගරට් බිව්වෙ ඉඳල, හිටලා. ඔය කාලය වෙනකොට මම, මේ වගේ තුනක් විතර ඇති. හොඳට උස මහතයි. ජිම් ගිහින්, බෙහෙත් බීලා, හොඳට කාලා සුපිරියට ඇඟ හදාගෙන හිටියේ. බර කිලෝ 143 යි…” හේ දැනුදු පොඩි නැත. අඩි හතකට වඩා උසය. උසේ තරමට මහතය. ඇඟ පුරාම පච්චය. මුහුණේ පෙනුම රෞද්‍ර ය. ඔහු සමඟ ගත කළ හෝරාවකට ආසන්න කාලය තුළ සිනාහවක් දුටුවේ කලාතුරකිනි.

“මගේ පෙනුමට ස්කොඩ්වලට ගත්තෙ කතා කරලා. ප්‍රසිද්ධ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ගේම ස්කොඩ්වල හිටියා. ක්ලබ් අයිතිකාරයන්ගේ ස්කොඩ් ලීඩ් කරලා තියෙනවා. එහෙම වැඩ කරන අතරේ තමයි බන්ධනාගාරගත වෙන්න වුණේ. අවුරුදු එකහමාරක් විතර ඇතුළේ හිටියා. එතකොට ඇතුළේ හිටිය සේරම වැඩ්ඩො මාව හොඳට දන්නවා. ඒ අයගේ සහයෝගයත් ඇතිව ඇතුළට ගිහින් සතියක් විතර යනකොට හෙරොයින් විකුණන්න පටන් ගත්තා. අඩු නැතිව එළියෙන් බඩු ටික ලැබුණා. හිරකාරයො ගේනවා. මහත්වරු ගේනවා. කුඩු ඇතුළට ගේන්නෙම සුළු වැරැදි කරලා එන අය ඉන්නවා. ඒත් වැඩියෙන්ම මත්ද්‍රව්‍ය ඇතුළට ගේන්නෙ මහත්වරු. ඇතුළේ විකුණන අය තමයි එළියෙන් ඒ අයට බඩු ටික සෙට් කරලා දෙන්නෙ. ඇතුළට බඩු ටික ගෙනත් දෙනවට ලොකු මුදලක් ගෙවනවා. ඒ වගේම සමහර කාලවලට එළියේ ගාණට වඩා ඇතුළෙ හෙරොයින් මිල අඩුයි. එළියේ නැති කාලවලත් ඇතුළෙ බඩු තියෙනවා. එහෙම කාලවලට සික් කාරයො කුඩු බොන්නම නඩු දාගෙන ඇතුළට එනවා…”

හිරේ ඉඳන් කුඩු විකුණන සුපිරි ගේම මෙන්න

“බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය විකුණන්නෙ දෙතුන් දෙනෙක් නෙමෙයි. ගොඩ දෙනෙක් විකුණනවා. කුඩු, අයිස්, පෙති, ගංජා, එක එක ජාතියේ මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළ විකිණෙනවා. එළියේ එකවුන්ට්වලට සල්ලි වැටුණා කියලා මැසේජ් එක ආපු හැටියේ ඇතුළෙ අදාළ කෙනාට බඩු ටික දෙනවා. ලැබෙන සුනංගුවට වාට්ටු ඇතුළේම බොනවා. ඒත් බන්ධනාගාරගත වෙලා ඉන්න බහුතරය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙ නෑ. පාවිච්චි කරන අය නොබන අයට බලහත්කාරයෙන් දෙන්නෙත් නෑ. කුඩු ඇබිත්ත, බොන කෙනාට රත්තරං වගෙයි. කුඩු ඇබිත්තට වැසිකිළිවලට වතුර බාල්දි අදිනවා. රෙදි හෝදනවා. කෑම බෙදනවා. තේ හදනවා. ඇඟ මසාජ් කරනවා. නොකරන පර වැඩක් නෑ. කුඩු විකුණන අය ඇතුළේ ඉන්නෙ රජවරු වගෙයි. බන්ධනාගාරයේ තියෙන එකම අවුල අපිට ඕන වේලාවට සමාජයේ ඇවිදින්න බැරි එක විතරයි. අතට, පයට වැඩකාරයො තියාගෙන කාමරයට වෙලා ඉන්නකොට මටත් හිතුණා කුඩු චුට්ටක් බොන්න. දවසක් බිව්වා. ආයෙත් දවස් තුන හතරකින් බිව්වා. අන්තිමේ තුන්වේලටම මමත් කුඩු ගැහුවා. හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලත් කුඩු බිව්වා…”

“අයිස්, පෙති සියලුම මත්ද්‍රව්‍ය බීලා තියෙනවා. ඒ කිසිම මත්ද්‍රව්‍යයක් මට ෆීල් වුණේ නෑ. කුඩුවලට විතරයි මම ඇඩික් වුණේ. කුඩු බීමත් අවුරුදු දෙක, තුන නතර කරලා හිටපු අවස්ථාත් තියෙනවා. ඒත් හදවතට දරාගන්න බැරි පීඩනයක් ආපු හැටියේ කුඩු බිව්වා. හෙරොයින් හොයාගන්න අපහසු වුණෙත් නෑ. කියන සුනංගුවට බඩු ගෙනත් දෙන්න කොල්ලො හිටියා. පළමු වතාවේ හිරෙන් නිදහස් වෙලා ආවට පස්සෙ ජීවිතේ වැඩි කාලයක් ගෙවුවේ බන්ධනාගාරයේ. විටින්, විට කිහිප වතාවක්ම ඇතුළට ගියා. සිරගත වෙච්ච සෑම අවස්ථාවකම ඇතුළේ කුඩු විකුණුවා. එළියට වඩා නිදහසේ ඇතුළේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. ඒ වගේම එළියේ ඉන්නකොට කොච්චර හම්බ කළත් වැඩක් නෑ, වියදම් වෙනවා. ඇතුළේ ඉන්නකොට බිස්නස් කරලා හම්බ කරන එක ගෙඩියටම ඉතුරුයි. ඒ වගේ හේතු නිසා බන්ධනාගාර තුළ කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම නතර කරන්න හරි අමාරුයි. සමහර හිරකාරයන් ළඟ ෆෝන් තුන හතර තියෙනවා. සිම් කාඩ් දාහය, පහළොව තියාගෙන ඉන්නවා. එළියේ ගේම් ටික සේරම සැලසුම් වෙන්නෙ ඇතුළෙන් තමයි. ඒ වගේම පාතාලේ පොරවල්වලට ඇතුළෙ ඉන්න එක ආරක්‍ෂිතයි. වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන්…”

“මම එළියේ මත්ද්‍රව්‍ය ජාවාරම් නොකරපු නිසා කුඩුවලට මට තියෙන්නෙ එක නඩුවයි. අනිත් සේරම ගහමරාගත්ත සිද්ධි. ඉස්කෝලෙ යන කාලේ ඉඳලා මම රණ්ඩුවට බරයි. තරහා පාලනය කරගන්න බෑ.

දරාගැනීමේ ශක්තිය බින්දුවයි. එන කේන්තියට මිනිහෙක් මරන්න වුණත් පුළුවන්. ඒ වගේම පුංචි කාලේ ඉඳලා මම හිටියේ අම්මා, තාත්තාගෙන් ඈත් වෙලා. ඒත් අම්මා, තාත්තා මගේ සියලු අඩුපාඩුකම් සොයා බැලුවා. වියදමට සල්ලි දුන්නා. තේරෙන වයසෙ ඉඳලා ඇන්දෙ, පැළඳුවේ බ්‍රෑන්ඩඩ් විතරයි. ගමන් බිමන් ගියේ අධි සුඛෝපභෝගී වාහනවල. මම හම්බ කරන්න ගත්තට පස්සෙ මොන්ටේරෝ, ඇක්සියෝ සුඛෝපභෝගී වාහන කිහිපයක්ම ගත්තා. කෝටි ගණන් සල්ලි හම්බ කළා. ඇති වෙන්න යාළුවො ආශ්‍රය කළා. උපරිම උදව් කළා. නැති වෙන්න කැසිනෝ ගැහුවා. කෝටි ගාණක් සල්ලි නැති කරලා තියෙනවා. වාහන විකුණලා, උකස් තියලා, රත්තරං පවුම් පිටින් විකුණලා කැසිනෝ ගහලා තියෙනවා. මගේ වයිෆ් මාසෙකට රුපියල් ලක්‍ෂ අටක විතර පඩියක් ගත්තා. එයා ටුවර් එකක් යනකොට මට කාඩ් එක දීලා යන්නෙ. ඒ සල්ලිත් අරගෙන කැසිනෝ ගැහුවා. අන්තිමේ මගේ අතේ පිච්චිය නැතිව ගියා. ඒ ජීවිතය තිත්තයි. දැන් මට ඕන හැදෙන්න. ජීවත් වෙන්න තියෙන පොඩි කාලය හරි යහපත් විදිහට ගත කරන්න. ඒත් තවම හිත හදාගන්න බෑ. උදේ, සවස බුදුන් වැඳලා, භාවනා කරන සෑම අවස්ථාවකම පහන් සිතුවිලි පෙරළාගෙන ඉස්මතු වෙන්නේ මගේ වෛරක්කාරයාට දස වද දෙන හැටි. භාවනාවට හිත පාලනය කරගැනීමට බැරිව දැන් සමහර වේලාවට ඇඬෙනවා. මගේ ඇස්වලින් කඳුළු වැටෙනවා දැනීමත් මට සතුටක්. ආදරය කරුණාව මගේ හිතට දැනෙන්නෙ නෑ. තව කෙනෙක් ගැන මගේ හිතේ අනුකම්පාවක් උපදින්නේ නෑ. ඒ වගේම පුංචි කාලේ ඉඳලා මිනිස්සුන්ව රිද්දනකොට මගේ හිතට පුදුම සතුටක් දැනුණා. කොච්චර භාවනා කළත් අදටත් ඒ ගතිය හිතෙන් ඈත් වෙලා නෑ. දැන් මම මහන්සි වෙන්නෙ හිත පිරිසිදු කරගන්න. මාව එපා අයට නැවත මම ළං වෙන්නෙත් නෑ. ඉතිරි කාලයත් තනියෙන්ම ජීවත් වෙනවා…” ඔහුගේ මුව පළල් විය. මුව තුළ කැඩී, බීඳි ගිය දත් කිහිපයක්ම පෙනිණි. ඒ ගැන විමසීමට මම මැලි වෙමි. අපි කතාව නතර කළෙමු.

ඔහුට වයස අවුරුදු තිස්දෙකකි. සුප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දරුවෙක් වුවද ඔහු පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ 10 වසරට පමණි. එහෙත් කායවර්ධන ක්‍රීඩාවල නිරත වෙමින්, මනා පෞරුෂයකින් යුක්තව පිළිවෙලෙට ඇඳ පැළඳ, සුපිරි වාහනවලින් ගමන් බිමන් ගිය ඔහු විවාහ වී ඇත්තේ ගුවන් සේවිකාවක් සමඟය. මෙරට, එරට තරුපහේ හෝටල්වල, සුපිරි සමාජශාලා සහ කැසිනෝශාලාවල කා, බී විනෝද වූ ඔහු උපරිමයෙන්ම සැප වින්දේය. කාලයත් සමඟ පෙර පින් අවසාන වී මත්ද්‍රව්‍යයට ජීවිතය සින්න වූ විට විවාහ ජීවිත ද දෙදරා ගොස් අසරණකමේ පතුළටම වැටිණි. ජීවිතයේ තවත් නැති වෙන්න දෙයක් නැති බව හේ අපට කීවේය. සැප මෙන්ම දුක ද උපරිමයෙන් විඳි ඔහු දැන් ජීවිතය අවබෝධ කරගෙන සිටින්නේය. ඒ සැනසීම උරුම කරදී ඇත්තේ මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය සහ කුප්පියාවත්තේ බෝදානන්ද හාමුදුරුවෝ බව හේ අපට කීවේ නිම් හිම් නැති සතුටිනි. එහෙයින් මහා දාමරිකයන් පවා සුමගට ගන්නා ‘මිතුරු මිතුරෝ’ මේ රටට සම්පතකි. තාක්‍ෂණික ක්‍රමවේදයන් සහිතව අපරාධ පුහුණු කරන ‘බන්ධනාගාර තක්සලාව සහ මත්ද්‍රව්‍ය තිප්පොළ’ පුනරුත්ථාපනය කිරීමේ කාලය එළැඹ ඇති බවද මතක් කරමින් මම නිහඬ වෙමි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment