හිරේ සිටි විපක්ෂ නායිකාවට නිදහස

482
විපක්ෂ නායිකා කලිඩා ෂියා

පාර්ලිමේන්තුවත් විසුරුවයි

හමුදා පාලනයක් එපා – අරගලකරුවෝ කියති

ෂික් හසිනාගේ ඇඳුම් ප්‍රදර්ශනය කෙරේ

හිටපු ක්‍රිකට් නායකයාගේ නිවසත් ගිනිබත්

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා වාසෙඩ් ඉල්ලා අස්වී රටින් පලා ගොස් දැන් දිල්ලි නුවර රහසිගත නිවසක වෙසෙන බව ඉන්දීය මාධ්‍ය කියයි. මේ අතර අගමැතිනිය ධුරයෙන් පහකිරීමට මූලික වූ ශිෂ්‍ය ප්‍රජාව ප්‍රමුඛ විරෝධතාකරුවන් හා හමුදාව අතර මත ගැටුමක් ඇතිව තිබේ.

හිරේ සිටි විපක්ෂ නායිකාවට නිදහස
බංගලදේශයේ නිදහසේ පියාගේ පිළිරුවත් කඩා බිඳ දමති

හමුදාව ප්‍රමුඛ රජයක් පිළිනොගන්නා බව බංග්ලාදේශ ශිෂ්‍ය විරෝධතාකරුවන් පවසන බව එරටින් වාර්තාවේ. බංග්ලාදේශ හමුදාපතිවරයා ප්‍රකාශ කළේ අන්තර්වාර රජයක් පිහිටුවා නව මැතිවරණයක් කැඳවන බවය. විරෝධතාකරුවන් පවසන්නේ නොබෙල් සාම ත්‍යාගලාභී මොහොමඩ් යුනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස පත් කිරීමට අවශ්‍ය බවය.

එසේම ඊයේ (06දා) පස්වරු 3ට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස විරෝධතාකරුවන් එරට ජනපතිගෙන් ඉල්ලා තිබිණි. එම ඉල්ලීම අනුව ඊයේ සවස බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එරට පාර්ලිමේන්තු කාර්යාලය නිවේදනය කර තිබිණි. මේ අතර නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යූනුස් ඊයේ උදෑසන නිකුත් කළ ෆේස්බුක් වීඩියෝවක සඳහන් කර තිබුණේ සිසු නායකයින්ගේ ඉල්ලීමට අනුකූලව ළඟදීම පිහිටුවන අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කිරීමට කැමැති බවයි. හමුදාපතිවරයා හා සිසුන් අතර හමුවක් ද ඊයේ පැවැත්වූ බව එරට මාධ්‍ය කියයි.

මේ අතර, ෂෙයික් හසීනාගේ පුත්‍රයා වන සජීබ් වසේඩ් බීබීසීයට ප්‍රකාශ කර තිබුණේ සිය මව නැවත දේශපාලනයට පැමිණීමක් නොවනු ඇති බවය. ‘සියලු වෙහෙස මහන්සියෙන් පසු සුළුතරයක් ඇයට එරෙහිව නැගී සිටීම ගැන ඇය කලකිරුණා. මේ රට තවත් පාකිස්තානයක් වෙන්න පුළුවන්’ යැයි ඔහු පවසා තිබේ.

බංග්ලාදේශ ජනපතිවරයා සඳුදා රාත්‍රියේ ජාතිය අමතමින් විපක්ෂ නායිකා බෙගම් ඛලිඩා සියා සිරෙන් නිදහස් කරන බව පවසා ඇත. ඇය සිරගත කළේ දූෂණ චෝදනා මතය. ඛලිඩා සියා කියා තිබුණේ එම චෝදනා දේශපාලනික අරමුණු මත ගොනු කර ඇති බවය.

බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය පෙරේදා ඉල්ලා අස්වීමෙන් පසු රට පුරා විවිධ ස්ථානවලින් ප්‍රහාර, මංකොල්ලකෑම්, විනාශ කිරීම් සහ ගිනිතැබීම් පිළිබඳ වාර්තා පළවෙමින් තිබේ. එසේම ඊයේ දිනයේ ඩකා අගනුවර පොලිසිය දක්නට ලැබුණේ නැත. නගරය පුරා අරාජිකත්වය පැතිර තිබිණි. මාර්ග ආරක්ෂා කිරීමට රථවාහන පොලිසිය නැති නිසා සිසුන් රථවාහන හසුරවනු දක්නට ලැබිණි. පෙරේදා (05දා) අගමැති නිලනිවසේ භාණ්ඩ පමණක් නොව එළුවා ද පැහැර ගැනිණි.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් පත් කරන බව නිවේදනය කර ඇති බංග්ලාදේශ ජනාධිපති කාර්යාලය ආණ්ඩුවට එරෙහිව විරෝධතා පැවැත්වීම හේතුවෙන් ඉකුත් ජුලි 01 දා සිට අගෝස්තු දක්වා හිටපු අගමැතිනි ෂික් හසිනාගේ රජය විසින් අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කිරීම අරඹා ඇති බවත් දැනටමත් බොහෝ දෙනකු නිදහස් කර ඇති බවත් පවසයි.

හිරේ සිටි විපක්ෂ නායිකාවට නිදහස
හිරේ සිටි විපක්ෂ නායිකාවට නිදහස

මේ අතර දූෂණ චෝදනා මත වසර ගණනාවක් නිවාස අඩස්සියේ තබා සිටි බංග්ලාදේශයේ ප්‍රථම අගමැතිනිය මෙන්ම වත්මන් ප්‍රධාන විරුද්ධ පක්ෂය වන බංග්ලාදේශ් නැෂනලිස්ට්ස් (බීඑන්පී) පක්ෂයේ නායිකා ඛලිඩා සියා නිදහස් කර ඇති බව බංග්ලාදේශ බලධාරීහු පවසති. මේ අතර හිටපු අගමැතිනිය බලයෙන් ඉවත් කිරීමේ අරගලය මෙහෙයවූ ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් හා සිවිල් ක්‍රියාකාරීන් පොලිස් ස්ථානවලට ද පහර දී ගිනි තැබීම හේතුවෙන් බංග්ලාදේශ පොලිස් නිලධාරීන්ගේ සංගමය ඊයේ (06) දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කර තිබිණි. සිය සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවට සහතිකයක් ලබා දෙන තෙක් වර්ජනය පවත්වාගෙන යන බව එම සංගමය නිවේදනය කර තිබේ.

හිරේ සිටි විපක්ෂ නායිකාවට නිදහස

බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් සිටි සාර්ථකම ක්‍රිකට් නායකයා සේ සැලකෙන මෂ්රෆී මොර්ටාසා ගේ නිවස ද පෙරේදා (05දා) ගිනි තබා විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මොර්ටාසා හිටපු අගමැතිනි ෂික් හසිනා වජිඩ්ගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි නිසා ඔහුගේ නිවස මෙසේ විනාශ කර ඇති බව වාර්තා වේ. නිරිතදිග බංග්ලාදේශයේ කුල්නා දිස්ත්‍රික්කයේ පිහිටා තිබූ මොර්ටාසාගේ නිවස මෙසේ විනාශ කර තිබෙන බව බංග්ලාදේශයේ ඩකා ටි්‍රබියුන් පුවත්පත විසින් වාර්තා කර තිබේ.

හිටපු බංග්ලාදේශ අගමැතිනියගේ නායකත්වයෙන් යුත් අවාමි ලීග් පක්ෂයට සම්බන්ධ දේශපාලනඥයන් රැසකගේ නිවාස ද සංවිධානාත්මක කණ්ඩායම් විසින් පසුගිය දිනවල ගිනි තබා විනාශ කර ඇත. මේ අතර ඩකා අගනුවර පිහිටි බංග්ලාදේශ හිටපු අගමැතිනියගේ නිල නිවසට කඩා වැදුණු ඇතැම් පිරිස් ඇගේ සාරි, බ්ලවුස් මෙන්ම යට ඇඳුම් පවා සොරා ගෙන ගොස් ඇත. ඇතැමුන් ඒවා වීථිවල මහජන ප්‍රදර්ශනයට තැබීම සමාජ මාධ්‍ය ජාල පරිශීලනය කරන්නන්ගේ විවේචනයට ලක්ව තිබේ. ඇතැම් පිරිස් ෂික් හසිනා හිටපු අගමැතිනියගේ නිල නිවසින් ඇඳුම් සහිත බෑග් සොරාගෙන පලා ගොස් ඇති අතර පිරිමින් පවා ඇයගේ සාරි පැළඳ සිටින ඡායාරූප බංග්ලාදේශ මාධ්‍යයේ පළ කර තිබේ.

අගමැති නිල නිවසේ තිබූ ගෘහ භාණ්ඩ, විදුලි පංකා, වායුසමීකරණ යන්ත්‍ර, විදුලි උපකරණ මෙන්ම ශීතකරණ හා ඒවා තුළ තිබූ ආහාර වර්ග පවා එම නිවසට කඩා වැදුණු පිරිස් විසින් සොරාගෙන ගොස් ඇත.

හිරේ සිටි විපක්ෂ නායිකාවට නිදහස

හිටපු අගමැතිනි ෂික් හසීනා ධුරයෙන් ඉවත් වීමත් සමගම එරට හටගෙන ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඊයේ සර්ව පාක්ෂික සමුළුවක් පවත්වා තිබේ. මෙම සමුළුව සඳහා ඉන්දියාවේ පාලක පක්ෂය මෙන්ම විපක්ෂයේ පක්ෂවල නායකයන් ද සහභාගි වී තිබේ.
මෙම සමුළුව කැඳවා ඇත්තේ ෂික් හසීනා හිටපු අගමැතිනිය ධුරයෙන් ඉවත් වීමත් සමගම දකුණු ආසියානු කලාපයේ සිටින ඉන්දීය විරෝධී බලවේගයන් තවත් ශක්තිමත් වී ඇති බවට පැතිර යන මතවාද හේතුවෙන් බව විදෙස් මාධ්‍ය පවසයි.

චතුර පමුණුව – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment