හිස්බුල්ලා අනුගාමිකයාගේ  පිහිපහරට ලක්වූ රුෂ්ඩි

427

අහමඩ් සල්මාන් රුෂ්ඩි ලේඛකයකු, සාහිත්‍ය විචාරකයකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ඔහු 1947 ජුනි 19 වැනි දින ඉන්දියාවේ බොම්බායේ උපත ලැබීය. ඒ ඉන්දියාවට නිදහස ලැබීමට මාස දෙකකට පෙරය. කාශ්මීර මුස්ලිම් පවුලක උපන් ඔහු වයස අවුරුදු 14 දී එංගලන්තයට යැවූ අතර එහිදී මුලින්ම රග්බි කොලේජ් වෙත ඇතුළත් විය. උපාධිධාරියකු වූ පසු රුෂ්ඩි සිය දෙමාපියන් වෙත ආපසු පැමිණියේය. ඔහුගේ පළමු සේවා ස්ථානය රූපවාහිනියයි. පසුව ඔහු නැවත එක්සත් රාජධානියට ගිය අතර එහිදී ඔහු නාගරික වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක පිටපත් රචකයකු ලෙස සේවය කළේය. 1964 දී රුෂ්ඩි බි්‍රතාන්‍ය පුරවැසියකු බවට පත්විය. ඔහු සිව් වතාවක් විවාහ වී ඇත. සල්මාන්ගේ පළමු බිරිඳ ක්ලැරිස්සා ලුවාර්ඩ් සාහිත්‍ය ඒජන්තවරියකි; මෙම විවාහයේදී සල්මාන්ට සෆර් නම් පුතෙක් සිටියේය. දෙවන බිරිඳ එක්සත් ජනපදයේ ලේඛිකාවක් වන මේරියන් විග්ගින්ස් ය. රුෂ්ඩිගේ තෙවැනි විවාහය වූයේ බි්‍රතාන්‍ය ප්‍රකාශකයකු වන එලිසබෙත් වයිස් සමඟ ය. ඇය සල්මාන්ට පුතෙකු බිහි කළාය, ඒ පුතුට මිලාන් යන නම ලැබුණි. සිව්වන වතාවට රුෂ්ඩි විවාහ වූයේ පද්ම ලක්ෂ්මි සමඟ ය. දැන් පද්මා සමගත් දික්කසාද වී තිබේ. සල්මාන් සාහිත්‍යය සඳහා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ “ග්‍රිමස්” (1975) නවකතාව ප්‍රකාශයට පත් කිරීමෙනි. මෙම පොත ලියා ඇත්තේ විද්‍යා ප්‍රබන්ධයට මායිම් වූ ප්‍රභේදයක ය. කෙසේ වෙතත්, නවකතාව සාර්ථක නොවූ අතර විචාරකයන්ගේ සිත් ගත්තේ නැත. රුෂ්ඩිගේ මීළඟ කෘතිය වන “මිඩ්නයිට් චිල්ඩ්රන්” (1981) වඩාත් ජනප්‍රිය විය. මෙම නවකතාව තවමත් ඔහුගේ හොඳම කෘතිය ලෙස සැලකේ. කීර්තිමත් බුකර් ත්‍යාගය මේ නවකතාවට හිමිවිය.

හිස්බුල්ලා අනුගාමිකයාගේ  පිහිපහරට ලක්වූ රුෂ්ඩි
ප්‍රහාරකයා

සල්මාන් රුෂ්ඩිගේ “සාතනික කවි” (1988) නිකුතුවෙන් පසුව බලවත් ලෙස ආන්දෝලනයට පත්විය. මෙයට එරෙහිව මුස්ලිම් ජාතිකයෝ කැරලි

ගසන්නට විය. මුස්ලිම්වරු මෙම පොත දුටුවේ තම ඇදහිල්ලට සෘජු අභියෝගයක් ලෙස ය. ඉන්දියාව ඇතුළු බොහෝ රටවල නවකතාව තහනම් කරන ලදී. ඇත්ත වශයෙන්ම, කතුවරයා හුනාන් ඉබ්න් ඉසාක් (809 – 873) විසින් විස්තාරණය කරන ලද මුහම්මද් නබිතුමාගේ චරිතාපදානයේ අර්ථ නිරූපණයක් කිරීමට උත්සාහ කළේය. එහෙත් මෙයට මුස්ලිම් ලෝකය කොහෙත්ම කැමති නොවීය. 1989 පෙබරවාරියේදී ඉරාන නායක කොමේනි ලේඛකයාට මරණ දඬුවම නියම කළේය. එසේම ඉරාන නායකයා රුෂ්ඩි ඝාතනය කිරීම සඳහා ෆට්වා ආඥාවක් නිකුත් කරමින් කතුවරයාගේ හිසට ඩොලර් මිලියන 3ක් (පවුම් මිලියන 2.5ක්) ත්‍යාගයක් පිරිනමන බව පැවසීය. “දි සැටනික් වර්සස්” නවකතාව ඔහුගේ සිව්වැනි නවකතාවයි. එය ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය, ශ්‍රී ලංකාව, සූඩානය ඇතුළු රටවල් 12 ක තහනම් කර ඇත. රුෂ්ඩිට බි්‍රතාන්‍යයේ පුරවැසිකම හා ආරක්ෂාව හිමිවීම නිසා ඉරානය හා බි්‍රතාන්‍යය අතර තානාපති සබඳතාද, 1989 දී බිඳ වැටුණි. 1989 අගෝස්තු 03 වැනිදා මධ්‍යම ලන්ඩනයේ පැසින්ටන්හි හෝටලයක බෝම්බයක් පිපිරීමෙන් එහි තට්ටු දෙකක් විනාශ විය. මේ බෝම්බය රැගෙනවිත් තිබුණේ රුෂ්ඩි ඝාතනය කිරීම සඳහාය. පොතක සවිකර තිබූ එම බෝම්බය කලින් පුපුරා ගියේය. මේ බෝම්බය රැගෙන පැමිණි මුස්ඩාට් මහමුඩ් මසේ නම් තරුණයා මරණයට පත්වූ අතර ඔහු වෙනුවෙන් ටෙහෙරාන් නගරයේ විශේෂ සමරු ස්මාරකයක්ද ඉදිකර ඇත.

හිස්බුල්ලා අනුගාමිකයාගේ  පිහිපහරට ලක්වූ රුෂ්ඩි

රුෂ්ඩි 1990 දී නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමග මේ නවකතාව ගැන මෙලෙස පවසා තිබිණි. පසුගිය වසර දෙකක කාලය තුළ මම එහි කාර්යභාරය පැහැදිලි කිරීමට උත්සාහ කළෙමි” සාතනික පද එය කිසි විටෙකත් අපහාසයක් නොවීය. ගේබි්‍රයෙල්ගේ කතාව ඇදහිල්ල නැතිවීමෙන් මිනිසකු විනාශ කළ හැකි ආකාරය හා සමාන්තර වේ.” 2007 වසරේ දී ලෝක සාහිත්‍යයට කළ සේවය වෙනුවෙන් බි්‍රතාන්‍ය මහ රැජින රුෂ්ඩිට “නයිට් පදවියක්” පිරිනැමුවාය. මෙයද මුස්ලිම් ලෝකයේ දැඩි විරෝධයට හේතු විය. පසුගියදා ඝාතනයවූ අල්ඛයිඩා සංවිධානයේ නායක අයෙමාන් අල් සවාහිර් ප්‍රකාශ කර සිටියේ මේ “නයිට්” පදවිය පිරිනැමීම මුස්ලිම් ලෝකයට කළ නිග්‍රහයක් බවයි.

“සාතනික කවි” නිකුත්කර වසර 34කට පසුව සල්මාන් රුෂ්ඩි පිහිඇනුමකට ලක්වන්නේ නිව්යෝර්ක් නුවරදී වීම අභාවාචක සිදුවීමකි. ඔහුට පිහියෙන් ඇන්න පුද්ගලයා ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානයේ ආධාරකරුවෙකි. ෂියා ආගමික අන්තවාදී අදහස් දරන්නෙකි. 24 හැවිරිදි හදී මාටර් නිව්යෝර්ක් උසාවියට ඉදිරිපත්කර පසුව ප්‍රකාශ කළේ තමා නිවැරදිකරුවා බවයි. “සාතනික කවි” නිකුත්කරන විට හදී මාතර් උපත ලබා හෝ නැත. මොහු මේ පොත කියවා තිබේද නැද්ද යන්න අපි නොදනිමු.

ප්‍රහාරකයා නිව්යෝර්ක් ප්‍රාන්තයේ අසල්වැසි ප්‍රාන්තයක් වන නිව් ජර්සි හි ෆෙයාර්වීව් හි පදිංචිකරුවෙකි. ඔහු දකුණු ලෙබනනයේ යාරූන් සිට සංක්‍රමණය වූ ලෙබනන් දෙමාපියන්ට දාව එක්සත් ජනපදයේ උපත ලැබූ බව යාරූන්හි නගරාධිපති අලි ටෙෆ් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පවසා තිබිණි. ඇමෙරිකානු ප්‍රවෘත්ති සේවා වාර්තා කළේ හදී ගේ සමාජ මාධ්‍ය ගිණුම් විශ්ලේෂණය කිරීමෙන් ඔහු ෂියා අන්තවාදයට සහ ඉරාන දේශය ආරක්ෂා කිරීමට කැපවී සිටින ඉරාන සන්නද්ධ හමුදාවන්හි දෘෂ්ටිවාදාත්මකව මෙහෙයවන ශාඛාවක් වන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ හිතවාදියකු වන බවයි. 2020 ජනවාරි මාසයේදී බැග්ඩෑඩ්හිදී ඇමෙරිකාව විසින් ඝාතනය කරන ලද ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ හිටපු ප්‍රධානියා වන කසම් සුලේමානිගේ ඡායාරූප මොහුගේ ජංගම දුරකථනයේ එකතුකර තිබිණි. ඉරානයේ පිටුබලය ලබන ලෙබනන් සන්නද්ධ කණ්ඩායම වන හිස්බුල්ලාහි ප්‍රකාශකයෙක් සෙනසුරාදා (අගෝස්තු 13) රොයිටර් වෙත පැවසුවේ රුෂ්ඩිට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තම කණ්ඩායමට තොරතුරු නොමැති බවයි. “අපි මෙම විෂය ගැන කිසිවක් නොදනිමු, එබැවින් අපි අදහස් දක්වන්නේ නැත,” නිලධාරියා රොයිටර් වෙත පැවසුවේ නිර්නාමිකභාවයේ කොන්දේසිය මත ය. හදී දස වතාවක් මේ ලේඛකයාට පිහියෙන් ඇන තිබේ. නිව්යෝර්ක් පොලිසිය අධිකරණයට ප්‍රකාශ කර තිබෙන්නේ මේ ප්‍රහාරකයා කතුවරයාට පහර දීම සැලසුම් කර තිබෙන්නේ කාලයක සිට බවයි. සිකුරාදා උදෑසන රෂ්ඩි මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබූ දේශනයට සහභාගි වීමට අවසර පත්‍රයක් ද මිලදී ගෙන තිබුණු අතර බස් රථයකින් දේශන ශාලාවට ගොස් තිබේ. ඉරිදා ටෙහෙරානයේ ප්‍රකාශයට පත් කරන ලද පුවත්පතක් වන ණැහය්බ හි මුල් පිටුව කියා සිටියේ රුෂ්ඩි “දිව්‍ය පළිගැනීම” ලබාගෙන ඇති බවත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් සහ ඔහුගේ හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ “ඊළඟට” සිටින බවත්ය.

1991 දී “සාතනික කවි” නවකතාවේ ජපන් පරිවර්තකයා පිහියෙන් ඇන මරා දැමූ අතර එහි ඉතාලි පරිවර්තකයා දරුණු ලෙස තුවාල ලැබීය. නවකතාවේ නෝර්වීජියානු ප්‍රකාශකයා 1993 දී ඔස්ලෝ හි ඔහුගේ නිවසින් පිටතදී තුන් වතාවක් වෙඩි වැදී බරපතළ තුවාල ලැබීය.

පිහිඇනුම ලබා දිනකට පසුව මේ 75 හැවිරිදි කතුවරයාට නැවත කතා කිරීමට හැකිව ඇති අතර ඔහුට සවිකර තිබූ ඔක්සිජන් මැෂිමද ඉවත්කර ඇත. ඔහුගේ නියෝජිත ඇන්ඩෘ වයිලි මාධ්‍ය වෙත පැවසුවේ රුෂ්ඩි මහතාගේ එක් අතක ස්නායු බිඳී, අක්මාවට හානි වී ඇති අතර, ඇසක් අහිමි වීමට ඉඩ ඇති බව ය. පුරා වසර විස්සක් තිස්සේ රුෂ්ඩි ඇමෙරිකාවේ ජීවත්වෙයි. මෙම සාහිත්‍ය උත්සවයේදී රුෂ්ඩි මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වීමට නියමිතව සිටි හෙන්රි රීස් ද සුළු තුවාල ලබා තිබේ. ඔහු පීඩා තර්ජනයට ලක්ව පිටුවහල් කරන ලද ලේඛකයන්ට සහය පළකරන ලාභ නොලබන සංවිධානයක සම – නිර්මාතෘවරයා වේ. මෙම උත්සවයට පැමිණි සිටි පිරිස සහ ආරක්ෂක අංශ නිලධාරීන් හදි මටාර් වෙත කඩා පැන ඔහු මෙල්ල කර ගනිද්දී, දේශන ශාලාවේ සිටි වෛද්‍යවරයකු වහා රුෂ්ඩිට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දුන් බව පැවැසෙයි. පොලිසිය පැමිණ හදි මටාර් අත්අඩංගුවට ගනිද්දී, වෛද්‍ය ආධාරකරුවන් කණ්ඩායමක් වහා පැමිණ රුෂ්ඩිට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දී ගුවන් මගින් ඔහු ළඟම පිහිටි රෝහලට ගෙන ගියේය. රුෂ්ඩි රෝහලට ගෙන යෑම සිදුවූයේ හෙලිකොප්ටරයකිනි. මේ ප්‍රකට ලේඛකයා සිකුරාදා පිහි ප්‍රහාරයකට ලක් වූයේ උදෑසන 10.45 ට පමණය. සිද්ධිය සිදුවී පැයක් පමණ ගතවෙද්දී මේ පුවත ලෝකයේ සියලු මාධ්‍යවල ප්‍රධාන පුවත විය. මේ ප්‍රහාරයෙන් පසුව ප්‍රකට ලේඛිකා තස්ලිමා නස්රීන් මෙලෙස සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණාය. ඇයද මුස්ලිම් අන්තවාදී තර්ජනයට මුහුණදී සිටින්නියකි. “සල්මන් රුෂ්ඩිට නිව්යෝර්ක් නුවරදී ප්‍රහාරයක් එල්ල වූ බව මම දැනගත්තා. මම ඇත්තටම කම්පනයට පත්වෙලා. මම කවදාවත් හිතුවේ නැහැ එහෙම වෙයි කියලා. ඔහු බටහිර රටවල ජීවත් වන අතර 1989 සිට ඔහුට ආරක්ෂාව ලබා දී තිබෙනවා. ඔහුට පහර දුන්නා නම් ඉස්ලාමය විවේචනය කරන ඕනෑම කෙනකුට පහර දිය හැකියි. මම කණස්සල්ලට පත්ව සිටිමි”.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment