හිස් වචනවලින් ඇස් වසා වැලි ගැසීම

33

කොවිඞ් වසංගතය ලොව වැළඳගත් මේ කාලය තුළ ලොව ධනවත් පුද්ගලයන් දසදෙනා තම වත්කම් දෙගුණයකින් වැඩිකරගෙන ඇති බව OXFAM ආයතනය වාර්තා කර තිබේ. 2020 මාර්තු මාසයේ සිට 2021 නොවැම්බර් දක්වා වූ කාලය තුළ මෙම දසදෙනාගේ වත්කම එකතුව ගෙන සලකා බලන කල, එය අමෙරිකානු ඩොලර් බිලියන 700 සිට අමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.5 දක්වා වර්ධනය වී තිබේ.

මේ අයුරින් වසංගතයේ ආරම්භයේ පටන් මේ කාලය තුළ ලොව ඉහළම ධනවතුන්ගේ වත්කම් මේ අයුරින් දෙගුණයකින් ඉහළ නගිද්දී, ලොව දිළිඳු ජනතාවගේ මට්ටමට තවත් මිලියන 160 ක ජනතාවක් එක්වීම වාර්තාගත වී ඇත. පසුගිය දසකයන් තුළදී මේ ධනවතුන්ගේ සහ ධනවත් සමාගම්වලින් අයකර ගන්නා වූ බදු ප‍්‍රමාණයන් අඩුකර දැමීමද සිදුවන අතර සෘජු නොවන බදු පැනවීම් තුළින් පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළයෑම් හේතුවෙන් ඒ බර දිළිඳු කොටස් මත පැටවී තිබීම අපි දකිමින් සිටින්නෙමු.

ශ‍්‍රී ලංකාව තුළද අද අපි දකිමින් සිටින්නේ මෙයට සමාන තත්ත්වයක්මය. ශ‍්‍රී ලංකාව බදු තුළින් උපයාගන්නා වූ මුදලින් 80% ක්ම ලබාගන්නේ සෘජු නොවන ලෙසින් අයකරන බදුවලින් වන අතර ඒ නිසා මේ පාරිභෝගික භාණ්ඩ හරහා මේ බර ඉසිලීමට දිළිඳු ජනකොටස්වලටද සිදුව ඇත. විවිධ කරුණු කාරණා දක්වමින් ධනවතුන්ට බදු සහන දීම සහ දිළිඳු ජනතාව මත සෘජු නොවන බදු මගින් බර පැටවීම හේතුකොටගෙන මේ කාලවකවානුව තුළ දිළිඳු බවට එක්වන ප‍්‍රමාණය වැඩිවීම සහ ආදායම් විෂමතාවයේ වර්ධනය දකින්නට සිදුව ඇත. පසුගිය වසර කිහිපය තුළම මේ ආදායම් අසමානත්වය තුනී කරගැන්මට නැත්තම් පරතරය අඩුකර ගැන්මකට යෑමට සමාජයක් ලෙස අපි අපොහොසත්වී ඇත.

අද ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් 4/1 කට වැඩි ජනකොටසකගේ ජීවනෝපාය කෘෂිකර්ම ක්ෂේත‍්‍රය හා බැඳී පවතී. පොහොර සම්බන්ධව ගනු ලැබූ තීන්දු තීරණ සහ ඒ අනුව ගනු ලැබූ ක්ෂණික ක‍්‍රියාමාර්ග හේතුවෙන් අද වී නිෂ්පාදනය, එළවළු නිෂ්පාදනය, තේ නිෂ්පාදනය ඇතුළු ක්ෂේත‍්‍ර රැසකම නිෂ්පාදන කටයුතු අඩාලවීම සහ ඒ නිසා ජීවනෝපායන් අහිමිවීම මෙන්ම රටක් වශයෙන් අපනයන ආදායම් අහිමිකර ගැන්ම වැනි තත්ත්වයන් අද උදාවී ඇත. මේ තත්ත්වයන් උදාවී ඇත්තේ කොවිඞ් වසංගතය නිසා නොව, ගනු ලැබූ වැරදි තීන්දු තීරණ නිසාය.

ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව ඇමතීමේදී කියා සිටියේ ”අපේ සංචිත ප‍්‍රමාණය ඉතා පහළ මට්ටමකට වැටී භාණ්ඩ අපනයනයේ දුෂ්කරතාවන් ඇතිවූයේ, අපේ පාලනයෙන් තොර සිදුවූ මේ නොවැළැක්විය හැකි ක‍්‍රියාදාමයන් නිසාය.” යනුවෙනි. එසේ වුවද අපේ කලාපයේ ඇප්ගනිස්තානය හා ශ‍්‍රී ලංකාව හැර අනෙක් රටවල් සියල්ලම මේ වසංගත කාලය තුළ තම විදේශ සංචිත මැනවින් කළමනාකරණය කරගෙන ඇත. එපමණක් නොව ඉන්දියාව, බංගලාදේශය, වියට්නාමය ඇතුළු අපේ කලාපයේ රටවල් සියල්ල (ඇෆ්ගනිස්තානය හැර) අපට වඩා විශාල වශයෙන් සෘජු ආයෝජන මේ වසංගත කාල වකවානුව තුළ තම රටවලට ආකාර්ෂණය කර ගැන්මට සමත්ව ඇත. මේ වසංගත කාලය තුළ ප‍්‍රතිශතයක් වශයෙන් වැඩියෙන්ම ජීවිත සංඛ්‍යාවක් මේ කලාපය තුළ බිලි දී ඇති රට වන්නේ ඇෆ්ගනිස්තානයයි, දෙවන තැන සිටින්නේ ශ‍්‍රී ලංකාවයි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විශාරදයන්ගේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම් සහ උපදෙස් මායිම් නොකර විවිධ මිථ්‍යාවන් පසුපස යෑමේ විපාකයනට අපට ගොදුරුවීමට සිදුවිණ. නිසිකලට නිසි ලෙසට ගතයුතු පියවරවල් නොගැනීම මේ තත්ත්වයන්ට හේතු කාරණා විය.

කලින් කලට මුහුණදීමට සිදුවන ප‍්‍රශ්න සහ අර්බුද නිසිලෙස කළමනාකරණය කරගනිමින් රටක් ඉදිරියට ගෙනයෑමයී රටක ආණ්ඩුවකින් සිදුවිය යුත්තේ. ජනතාව රජයකින් අපේක්ෂා කරනුයේද තම ජීවිත ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය නායකත්වය ලබාදීමයි.

අද රුපියලේ වටිනාකම පහත වැටී ඇත. දැන් බිලියන ගණනින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට රජය කටයුතු කර ඇතිබව වගකිවයුත්තන් මාධ්‍ය ඉදිරියේ පිළිගෙන තිබීම අප දුටුවෙමු. මේ නිසා රුපියල අවප‍්‍රමාණයවීම තවදුරටත් සිදුවීම වැළැක්විය නොවේ. තම ආදායම් කඩාවැටී ඇති වාතාවරණයන් තුළ ජනතාව මේ මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැටලූවක්මය.

මේ අතර අසූචි පෙහොර නැව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් ගෙවීමට රජය කටයුතු කර ඇත. මේ ගෙවන ලද මහජන මුදල් කන්දරාව වෙනුවෙන් රටට ලැබුණු දෙයක් නැත. මේ ගනුදෙනුවට වගකිව යුත්තන් පිළිබඳ වග විභාගයක්ද නැත. ජනතාවගේ මුදල් පිළිබඳව මේ අයුරින් කටයුතු සිද්ධවීමට ඉඩදී බලා සිටීම අපි දකිමින් සිටිමු.

ස්වෛරී බැඳුම්කර වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් ගෙවා දැමීම ගැන රජය ප‍්‍රකාශ කර ඇත. ණය ගෙවීම් ප‍්‍රතිව්‍යූහගත කර ගන්නා ලෙස, ආර්ථික කටයුතු පිළිබඳ දැනඋගත් සියලූම දෙනා පාහේ රජයෙන් ඉල්ලා සිටීම පසුගිය දිනවල අපි මාධ්‍යයෙන් දුටුවෙමු. ශ‍්‍රී ලංකාවේ නීතිඥ මණ්ඩලයද මේ ප‍්‍රශ්නවලට විශාරද උපදෙස් ලබාගෙන වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වාදීම අපි දුටුවෙමු. ප‍්‍රතිව්‍යූහගත කිරීමකට නොයමින් ගෙවීම් සිදු කිරීම තුළින්, ඉදිරියේදී ජනතාවට අත්‍යාවශ්‍ය දෑ ගෙන්වා ගැන්ම පිළිබඳව බැ?රුම් තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවට කරන ලද අනතුරු ඇඟවීම් ගැන රජය සැලකිල්ලක් දැක්වීම දැකිය නොහැකි විය.

දැනටමත් ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වා ගැන්මට, තෙල් සහ ඉන්ධන ගෙන්වා ගැන්මට, අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ගෙන්වාගැන්මට විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් විශාල අර්බුදයක් මතුව ඇත. ජනතාවට ඉදිරියේදී මුහුණදීමට සිදුවිය හැකි ආහාර හිඟයන් ගැන රතු එළිය දැල්වී ඇත.

ජනපතිගේ පාර්ලිමේන්තු ඇමතීම තුළින්, ජනතාව මුහුණදී ඇති මේ ප‍්‍රධාන ප‍්‍රශ්න කිසිවක් ගැන නිසි ඇමතීමක් සිදුනොවිණ. ඒ දේශනය තුළින් සුපුරුදු ලෙසින් ජනතාවට සුරංගනා ලෝකයක් මැවීම නම් සිදුවූ බව සත්‍යයකි.

”ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම,” ”අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම,” ”කුසලතාව සහ ජ්‍යෙෂ්ඨත්වය මත සියලූ අධිකරණ පත්වීම් සිදුකිරීම”, ”සෑම ජනකොටසකටම සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්විය හැකි සුරක්ෂිත රටක් ගොඩ නැගීම,” ”ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරිපත් කරන නිරීක්ෂණවලට ධනාත්මක ප‍්‍රතිචාර දැක්වීම,” වැනි පදමාලාවන් අඩංගුව තිබූ දේශනය සහ අපේ රටේ යථාර්ථය අතර ඇත්තේ සැබැවින්ම මහා පරතරයකි.

”අප ජාතිවාදය ප‍්‍රතික්ෂේප කරනවා. වත්මන් රජයට අවශ්‍ය මේ රටේ සෑම පුරවැසියෙකුගේම ගෞරවය සහ අයිතිවාසිකම් එකසේ ආරක්ෂා කිරීමටයි. ඒ නිසා එකිනෙකාට එරෙහිව උසි ගැන්වීම් දැන්වත් නතර කරන ලෙස, මෙය කරන දේශපාලනඥයන්ගෙන් මම ඉල්ලා සිටිනවා.” ජනපති දේශනයේ ඇතුළත් වූ මේ අදහස් කොතරම් අගේද? මේවා සද්භාවයෙන් ඇදහිය යුතු අදහස්ය. මේ අගනා අදහස් භාවිතයට ගෙන ආ හැකිනම් ලෝකයා මන්ඩෙලාගේ සහ ටූටූගේ දකුණු අප‍්‍රිකාව වෙනුවට අපේ මේ පින් බිමෙන් ආදර්ශ ගැන්ම ගැන කථා කිරීම අරඹනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment