මිනිස්සු හීන දකින්න කොච්චර ආසද… මමත් අන්න එහෙමයි. හැබැයි අපි හීන දකින්න කැමති ඒ හීන ලස්සන නම් විතරයි. හීනයක් ලස්සන වෙන්න පාට ඕන. සංඛ ගාල්ලගේ කියල කියන්නෙ අන්න ඒ හීනවලට පාට දෙන අපූරු මිනිසෙක්. මට කලාතුරකින් හමු වුණ අපූරුම ඡායාරූප ශිල්පියෙක්.

සංඛ මට හමුවන්නේ අදට අවුරුදු 30 කට විතර ඉස්සර 1984 දී විතර දවසක. ඔව්… සංඛ එතකොට දිවයිනට අලුත්. මමත් දිවයිනට ඇවිත් වැඩි දවසක් නැහැ. දිවයින ඉරිදා සංග්‍රහයේ වැඩ කරද්දි මට නිතර මම ලියන ආටිකල්වලට පින්තූර ගන්න කෙනෙක් උවමනා වෙද්දි ලෝභ නැතුව මාත් එක්ක එකතු වුණේ සංඛ. නෑ බෑ කිව්වේ නෑ.

හීන හැබෑ කරන සංඛගේ කැමරාව සිනාසෙයි…

වෙලාවක් කලාවක් බැලුවෙත් නෑ. පත්තරය වෙනුවෙන් ආටිකල් එකකට දුර ගමනක් යන්න දෙපාරක් හිතුවේ නෑ, දුෂ්කර ගමක, ගඟ දිගක, කන්දක් උඩක, කැලයක, මුහුදු වෙරළක, පාලු අමු සොහොනක… මේ ඕනම තැනක යන්න කතා කරන සැණෙකින් ෆොටෝ ගහන්න කැමරාව අරන් දුවගෙන ආවේ සංඛ. මා එක්ක විතරක් නෙවෙයි. මට වඩා අති ප්‍රවීණයෝ වෙච්ච එවකට දිවයිනේ සිටි චන්ද්‍රසිරි දොඩංගොඩලා, කසුරිලා, කටුදෙනියලා, සිරිමෙවන්ලා, සිසිරලා ලක්ෂ්මන්ලා, එක්කත් සංඛ ගමන් බිමන් ගියා. දිවයිනට විතරක් නෙවෙයි, අයිලන්ඩ් එකට, චාන්දනී අක්කගෙ නවලියට, විදුසරට එහෙමත් සංඛ පින්තූර ගත්තා. පත්තර සමග අත්දැකීම් බෙදා හදාගත්තා. පිට පළාත්වල පරිසර චාරිකා, පරිසර ගවේෂණවලට යද්දි සංඛ පරිසරයේ තිබුණ සුවිශේෂතා හඳුනා ගත්තා. ඔහුගේ පරිසර ඡායාරූපකරණය වර්ධනය වුණේ එහෙම. ඔහු පරිසරයේ වර්ණ නිවැරදිව ඡායාරූපවලට උකහා ගන්න කලාව නිසි ලෙස දැනං හිටියා.

හීන හැබෑ කරන සංඛගේ කැමරාව සිනාසෙයි…

සංඛගේ ගම ගාල්ලේ අහංගම ගොයියාපාන. ලෝකෙ ලස්සනම මුහුදු වෙරළක් තියෙන ගම නිසා ඔහු නිතර ගියේ මුහුදු වෙරළේ නාන්න. මුහුදු වෙරළෙ සෙල්ලම් කරන්න. ගොයියාපාන කොක්ගල පැත්තෙ තියෙන අසමසම ඒ සුවිශේෂී මුහුදු වැල්ල සුන්දරත්වයෙන් ඔහු පුංචි කාලේ වශීකෘත වෙන්න ඇති. ඒ නිසා කොළඹ ඇවිත් අපිත් එක්ක පරිසර චාරිකා ගිහින් කැලේ කොළේ ගඟේ ඇළේ පින්තූර ගන්න සංඛට ලොකු පහසුවක්.

දක්ෂිණ ලංකාවේ අනන්‍යතාවය වූ මුහුදු වෙරළේ සුන්දරත්වය විශ්ව ප්‍රකාශනයක් කරන්න ඔහු ඔහුගේ පින්තූර තුළින් උත්සාහ කළා. පරිසර ඡායාරූපකරණයේදී ආලෝකකරණය හැසිරවීමේ කලාව සංඛ දැනං හිටියා. ඒ විතරක් නෙවෙයි, පරිසරය කැමරාවෙන් නිවැරදිව උකහා ගන්න ශිල්පය ඔහු පුංචි කාලෙම ප්‍රගුණ කරලා තිබුණා…

ගමේ ඇළේ දොළේ මුහුදේ නටලා සෙල්ලම් කරලා මාතර රාහුලයට ගිහින් ඉගෙන ගෙන තාත්තාගේ කැමරාවත් උස්සං කොළඹ ඇවිත් ගැටය කාලේ පත්තරේ වැඩට ආවා.

උසස් පෙළ කරන අතරම කැමරා ශිල්පය ගැන ඔහු හුඟක් දේ ඉගෙන ගත්තා. ඡායාරූප කලා සංගමේ පන්තිවලට ගියා. පත්ම කුමාර මෙත්තසේනලා වගේ ප්‍රවීණයෝ ඇසුරු කළා. කැමරා ශිල්පයට තාක්ෂණය හා සංවේදී බව පිළිබඳ දැනුම එකතු කරගත්තා. ඒ දැනුම අත්දැකීම් මත තව තවත් පෝෂණය කරගත්තා. අත්හදා බැලීම් ඒ අත්දැකීම්වලට එකතු වන විට හීනවලට පාට දෙන කලාව නිරන්තරයෙන්ම ඔහුගේ භාවිතාව ඇතුළට ප්‍රවේශ වුණා.

සංඛ කැමරාවෙන් මට හුඟක්ම උදව් කළේ පස්සේ කාලෙක මගේ වගකීම යටතට පැමිණි “මීවිත” අතිරේකයේ කවරවල පින්තූර ගන්න. සාම්ප්‍රදායික පින්තූරවලට වඩා අලුත් කලාවක පිහිටි සංඛගේ පින්තූරවල පැහැයට අපිත් වශී වුණා. පැහැය ආවෙ ආලෝකය හසුරවන්න ඔහුට තිබුණු අසාමාන්‍ය දැනුම හා පුරුද්ද නිසා. සංඛ කවදාවත් කවරවලට පින්තූර මහ දවල් ගත්තෙ නෑ. ඒ සඳහා ඔහු ලොකු කැපවීමක් කළා. මහ පොළොවට ලා හිරු රැස් වැටීගෙන එන උදේ පාන්දර ඔහු ඒ පින්තූර ගත්තා. ඒත් එක්කම මහ පොළව ටික ටික සිසිල් කරමින් ඉර බැහැගෙන යන හැන්දෑවේ රාස්සිගේ අව්වේ පාට ඔහු ආලේඛ්‍ය ඡායාරූපවල තවරා ගත්තා. සංඛ මීවිත කවරවලට කවුරුවත් නොගන්න අනර්ඝ පින්තූර ගත්තෙ එහෙම…

පින්තූරවල පැහැය ගැන ඔහු වඩාත් සැලකිලිමත් වුණා. පැහැය විතරක් නෙවෙයි පින්තූරයේ අංශුමාත්‍ර රූප දත්ත පවා නිවැරදිව උකහා ගන්න ඔහුට අවශ්‍ය වුණා. ඒ සඳහා ඔහු විවිධ ශිල්ප ක්‍රම අත්හදා බැලුවා. ඒ අත්හදා බැලීම් සියල්ල ඔහුට පසු කලෙක ඔහු වඩාත්ම ප්‍රගුණ කළ මංගල ඡායාරූපකරණයේ සාර්ථකත්වයට ඉවහල් වන්නට ඇති. මංගල ඡායාරූපකරණය පැත්තෙන් ඔහුට ලංකාවේ ඉහළටම පැමිණි කීපදෙනා අතරට පත්වෙන්න වැඩි කලක් ගත වුණේ නෑ.

හීන හැබෑ කරන සංඛගේ කැමරාව සිනාසෙයි…

අද සංඛ ගාල්ලගේ කියලා කියන්නේ බත්තරමුල්ලේ “studio click” ව්‍යාපාරයේ හිමිකරු. රුහුණ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වුණත් සංඛ පින්තූර ගැනීමේ රස්සාව අත්හළේ නෑ. නිසි කලට දිවයිනෙන් ඉවත් වුණා. පින්තූර ගැනීම වෘත්තීය මට්ටමෙන් ආරම්භ කළා. ප්‍රවෘත්තිකරණයෙන් ආරම්භ කළ කැමරාකරණය පරිසර ඡායාරූපකරණය, මංගල ඡායාරූපකරණය, වාණිජ හා වෙළෙඳ දැන්වීම් ඡායාරූපකරණය, ආලේඛ්‍ය හා මෝස්තර ඡායාරූපකරණය ආදී විවිධ මානයන් ඔස්සේ අත්හදා බැලුවා. ඔහු ලස්සන ලස්සන හීනවලට පාට දුන්නේ එහෙම…

හීන හැබෑ කරන සංඛගේ කැමරාව සිනාසෙයි…

සංඛගේ අත්හදා බැලීම් අතර මල් වගේ පුංචි දරුවන්ට වෙනම ඡායාරූප ආරක් ඔහු හඳුන්වා දුන්නා. පුංචි දරුවෝත් ගෙදර ඉන්න සුරතලනුත් එකට තියා අලුත් ආරකින් පින්තූර ගැනීම ආරම්භ කළා. වඩාත්ම ප්‍රචලිත වුණේ සංඛගේ පවුලේ පින්තූර.

සංඛගෙන් පවුලේ පින්තූරයක් ගන්න බොහෝ අය බත්තරමුල්ලට හොයාගෙන එන තත්ත්වයට ඔහු ඔහුගේ ඡායාරූපකරණයේ අනන්‍යතාවය ගොඩනඟා ගත්තා… ඔහු තම රසිකයන්ගේ හීනවලට පාට දුන්නේ එහෙම.

දැන් සංඛ අවුරුදු 35ක ඒ කළ අත්හදා බැලීම් ඔස්සේ පර්යේෂණාත්මකව නිමවූ නිර්මාණ පෙළක් ඔබ හමුවේ ප්‍රදර්ශනයේ තබන්න සූදානම්. “ක්ලික් ස්මයිල්” (click smile) නමින් ඒ ප්‍රදර්ශනය ආරම්භ වන්නේ ලබන 16 වැනිදා. තැන බත්තරමුල්ලේ කඩුවෙල පාරේ අංක 336 දරණ තැන පිහිටි studio click චිත්‍රාගාරය. 16 වැනි දා හවස 6.30ට ආරම්භ කරන ප්‍රදර්ශනය 17, 18 දින දෙකේත් විවෘතයි.

19 වැනිදා ඒ කිව්වේ ජගත් ඡායාරූප දිනයේ සංඛ අලුත්ම වැඩක් කරන්නත් ලෑස්තියි. ඒ කිව්වේ මුල් වරට ශ්‍රී ලංකාවේ ඡායාරූප කලා ක්ෂේත්‍රයට ජංගම ඡායාරූපාගාරයක් හඳුන්වාදීම. ඒක ටිකක් අමුතු වැඩක් තමයි. 19 වැනිදා හවස 5.00ට කොළඹ බත්තරමුල්ලෙ ‘දියසරු උයනට’ ආවොත් ඒ අමුතු වැඩේත් මොකක්ද කියල බලාගන්න බැරි වෙන එකක් නෑ…

පෝය දවසේ හැන්දෑවේ රසවතුන් එක්ක මිහිරි සන්ධ්‍යාවක් ගත කරන්න දියසරු උයනට එන්න කියලා සංඛ පුංචි ආරාධනයකුත් ඔබට කරනවා.

ඉතින් ඇවිල්ල බලමු. තමන්ට කියලා ලස්සනම ලස්සන, තමන් කැමති පින්තූරයක් අරගෙන දෙන්න මොකක්ද මේ සංඛ පාවිච්චි කරන උපක්‍රමය… හුඟක් අයට ඒක හීනයක්. බලමු ඔහු ඒ හීනය හැබෑ කරලා අපට පෙන්වන හැටි. හීනවලට පාට දෙන හැටි…

● බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment