සිද්ධිය වූ ස්ථානය
හුංගම රන්න ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙකු නිවසේ පිටුපස වෙඩි වැදී මියගොස් සිටියදී පෙරේදා (09දා) රාත්‍රී සොයාගත් බව හුංගම පොලිසිය පවසයි. මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ තිස්ස පාර, රන්න ලිපිනයේ පදිංචි ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සැළක් පවත්වාගෙන ගිය 51 හැවිරිදි සුමුදු නිශ්ශංක ලංකාමුල්ල නමැති එක් දරු පියෙකි.
මියගිය ව්‍යාපාරිකයා රාත්‍රි 10.00ට පමණ නිවසේ ඉහළ මහලේ සිට බිම් මහලට පැමිණ ඇති අතර පසුව ඔහු ඉහළ මහලට නොපැමිණීම නිසා නිවැසියන් විසින් සිදු කළ සොයා බැලීමේදී මෙම ව්‍යාපාරිකයා වෙඩි වැදී බිම වැටී සිටිනු දැක තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වීමෙන් පසු හුංගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ විමර්ශන අරඹා තිබේ. එහිදී සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ ව්‍යාපාරිකයා හා නිවැසියන් අතර එදින රාත්‍රියේ යම් ආරවුලක් සිදුව ඇති බවත් සිද්ධිය වූ දින රාත්‍රී 11.15ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයටද ඒ බව දන්වා ඇති බවත්ය. දෙවන වරට නිවැසියෙකුගෙන් පොලිස් හදිසි ඇමතුම් අංකයට යළි ඇමතුමක් ලැබී ඇත්තේ රාත්‍රි 11.45ට පමණය. මෙතෙක් සිදු කළ මූලික විමර්ශන වලදී පිටතින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති බවට සාක්ෂි අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳව තංගල්ල අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ ආරම්භ කෙරුණි.
ව්‍යාපාරිකයා හා බිරිඳ අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඇති වූ සිත් අමනාපයක් නිසා ව්‍යාපාරිකයා සියදිවි නසා ගන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. මියගිය ව්‍යාපාරීකයා වැටී සිටි ස්ථානයේ තිබී ව්‍යාපාරිකයාගේ ගිණි අවියද පොලිසිය විසින් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත්වරයා ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කෙරුණු අතර අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ද පැමිණ සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කර තිබේ. මියගිය පුද්ගලයාගේ සිරුර තංගල්ල මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා හුංගම පොලිස් ස්ථානාධිපතිවරයාට නියම කෙරුණි.
සිද්ධිය පිළිබඳව තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි හුංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත සම්පත් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන පවත්වති.
මත්තල – දිලීප් එන්. ජයසේකර