පොන්නාවලී හා කිරාංචි වසම් දෙකේ ඉඩම් අක්කර 3000ක් අනතුරේ

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවලී හා කිරාංචි ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 3000 ක් අත්පත් කර ගෙන හුණු ගල් කැනීම් කර සිමෙන්ති නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට සූදානම් වේ. වගා බිම්, කලපු, කඩොලාන පද්ධති, ලවණ වගුරු බිම් හා වනාන්තර ඇතුළු අක්කර 3000 ක භූමි ප්‍රදේශයක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට සැලැසුම් කර තිබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර තිබෙන බව අධ්‍යයනය කරනු ලැබ ඇත.

කෘෂිකර්මාන්තයේ, ධීවර කර්මාන්තයේ හා සත්ත්ව පාලනයේ නිරත ජනතාව ගේ භූමි ප්‍රදේශ බලහත්කාරයෙන් අත්පත් කර ගෙන, එම ජනතාව අවතැන් කර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම බරපතළ අර්බුදයකි. ව්‍යාපෘතිය සඳහා අදාළ ආයතනවලින් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැති නමුත් කර්මාන්තශාලාව හා කාර්යාල සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ද සිදු කර ඇත.

හුණුගල් කැඩීමෙන් පරිසර විනාශයක්

සිමෙන්ති නිෂ්පාදනයට භාවිත කෙරෙන ප්‍රධාන අමුද්‍රව්‍ය වන හුණුගල් ලබා ගැනීමට අවශ්‍ය ගවේෂණ කටයුතු සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් මාස 24 ක වලංගු කාලයක් සහිතව EL/213/R/3 අංක දරන ඛණිජ ගවේෂණ බලපත්‍රයක් 2012 ජූලි මස 20 වන දින නිකුත් කර තිබේ. මෙම බලපත්‍රය භාවිත කර එක්තරා දේශීය සමාගමක් විසින් පොන්නාවලී හා කිරාංචි ග්‍රාම නිලධාරී වසම්වල ව්‍යාපෘති ප්‍රදේශය සම්පූර්ණයෙන් ම ආවරණය වන පරිදි භූගත විදුම් 150 ක් පමණ සිදු කර

ගවේෂණ කටයුතු සිදු කර ඇත. ජනතාව ගේ කුඹුරු ඉඩම් හා ලවණ වගුරු බිම් ආවරණය වන පරිදි භූගත විදුම් සිදු කර හුණුගල් ලබාගත හැකි ප්‍රදේශ හඳුනාගෙන තිබේ. එහි දී ජනතාවට මෙම භූගත කැනීම් හා සම්බන්ධ තොරතුරු සහ සිමෙන්ති කර්මාන්තශාලාවට අදාළ තොරතුරු සැඟවීමට ද අදාළ සමාගම හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කටයුතු කර ඇත.

හුණුගල් කැඩීමෙන් පරිසර විනාශයක්

මෙම ඛණිජ ගවේෂණ කැනීම් අතරතුර කර්මාන්තශාලාව ඉදි කිරීම සඳහා පොන්නාවලී හා වේරවිල්ලු ප්‍රදේශයේ නාගමුනෙයි, වලෙයිපාඩු අතර භූමිය අත්පත් කර ගෙන ඇති අතර ඒ සඳහා මූලික ඉදිකිරීම් කටයුතු සිදු කිරීම ද අවසන් කර තිබේ.

සමාගමෙන් අහිමි කරන ජන ජීවිතය

මෙම ව්‍යාපෘතිය සඳහා යොදාගැනීමට නියමිත පොන්නාවලී ග්‍රාම නිලධාරී වසමේ පිහිටි පාලාවි, වලෙයිපාඩු, පොන්නාවලී හා වේරවිල් ගම්මානවල පවුල් 1300 ක් පමණ හා කිරාංචි ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මොට්ටයන්කුලම්, සිවපුරම්, කිරින්දාවනම් හා කිරාංචි ගම්මානවල පවුල් 1800 ක් පමණ ජීවත් වේ. පාලාවි, පොන්නාවලී, වේරවිල්, මොට්ටයන්කුලම් හා සිවපුරම් යන ගම්මානවල ජනතාව ප්‍රධාන වශයෙන් ම කෘෂිකර්මාන්තයේ නිරත වේ. වලෙයිපාඩු, පාලාවි හා කිරින්දාවනම් ගම්මානවල ජනතාව ධීවර කර්මාන්තයේ වැඩි වශයෙන් නිරත වන අතර පොල් වගාව ද සිදු කරයි. පොන්නාවලී, වලෙයිපාඩු හා වේරවිල් යන ගම්මානවල ජනතාව සත්ත්ව පාලනයේ වැඩි වශයෙන් නිරත වේ.

කෘෂි කර්මාන්තයේ නිරත ජනතාව මහ කන්නයේ වී ගොවිතැන සිදු කරන අතර ධීවර කර්මාන්තයේ නිරත ජනතාව කලපු ආශ්‍රිතව අපනයනය සඳහා මුහුදු කූඩැල්ලන් හා මුහුදු පාසි වගාව සිදු කරන අතර මාළුන් හා කකුළුවන් ද අපනයනය සඳහා ඇල්ලීම සිදු කරයි. කලපුව ආසන්නව සුළුපන්න ධීවරයන් හා ට්‍රෝලර් යාත්‍රා මගින් මුහුදු ධීවර කර්මාන්තයේ නිරත පිරිස් ද සිටී. සත්ත්ව පාලනයේ නිරත ජනතාව ප්‍රධාන වශයෙන්ම කිරි ගවයන් හා එළුවන් ඇති කිරීම සිදු කරයි. මෙම ප්‍රදේශයේ කිරි ගවයන් 20,000 ක් පමණ හා එළුවන් 10,000 ක් පමණ සිටී.

හුණුගල් කැඩීමෙන් පරිසර විනාශයක්

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය හා සත්ත්ව පාලනය සිදු කෙරෙන මෙම ප්‍රදේශයේ ජනතාව සශ්‍රීක ජන දිවියක් ගත කරන අතර ගැටලුවකින් තොර ව ජන දිවිය පවත්වා ගෙන යයි. ඔවුන්ට ඇති එක ම ගැටලු ව භූගත ජලය ලවණීකරණය වීම නිසා ජලය මිල දී ගැනීමට සිදු වීම ය. මෙම ප්‍රදේශයේ ජනතාව කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම් හා වෙරළබඩ වනාන්තර ප්‍රදේශ මෙන් ම

ගම්මානය වටා පිහිටි වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගෙන ඇත්තේ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති නිසා නොව ඔවුන් ගේ අවබෝධයෙන් ම මෙම පරිසර පද්ධති සියල්ල අනාදිමත් කාලයක් තිස්සේ ආරක්ෂා කර තිබේ. මෙම ප්‍රදේශයේ අලි – ඇතුන් ජීවත් වුව ද අලි – මිනිස් ගැටුමක් වාර්තා නොවීමට පරිසර පද්ධති ආරක්ෂා වී පැවතීම ප්‍රධාන හේතු ව වී ඇත.

නමුත් මෙම ව්‍යාපෘතියත් සමග එම තත්ත්වයන් සම්පූර්ණයෙන් ම වෙනස් වී වනාන්තර, කලපු, ලවණ වගුරු බිම්, වගා බිම් ඇතුළු සමස්තය විනාශයට ලක් වී ජන දිවියේ විශාල බිඳ වැටීමක් සිදු වනු ඇත.

සිමෙන්ති නිෂ්පාදනය සඳහා ලවණ වගුරු බිම් ආශ්‍රිත හුණු ගල් කැනීම හේතුවෙන් දැවැන්ත වළවල් සැකසෙන අතර ඒවා ලවණ ජලයෙන් පිරීයෑමෙන් භූගත ජලය ලවණීකරණය වීම වර්ධනය වීම නිසා ඒ ආශ්‍රිත සමස්ත ප්‍රදේශයේ ම භූගත ජලය ලවණීකරණය වීම නිසා වගා බිම් විනාශ වී ඒ හා බැඳුණු ජන දිවිය සම්පූර්ණයෙන් ම බිඳ වැටෙනු ඇත.

සත්ත්ව පාලනයේ නිරත ජනතාව, කිරි ගවයන් ගේ හා එළුවන් ගේ ආහාර බිම් ලෙස ලවණ වගුරු බිම් හා ඒ ආශ්‍රිත තෘණ භූමි භාවිත කරයි. මේ සියලු බිම් හුණු ගල් කැනීම සඳහා යොදා ගත් පසුව මෙම ප්‍රදේශයේ සත්ත්ව පාලනය හා බැඳුණු ජන දිවිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇත. එපමණක් නොව මෙම ප්‍රදේශයේ වනාන්තර ඇතුළු භූමි ප්‍රදේශ මෙම ව්‍යාපෘතිය සඳහා එළි පෙහෙළි කිරීමත් සමග අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වීම හා සීමා වීමෙන් මෙම ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම ද අලුතින් නිර්මාණය වී ජන දිවිය බිඳ වැටෙනු ඇත.

සමාගම වනසන ජෛව පද්ධති

මෙම ව්‍යාපෘතියට ලබා ගැනීමට නියමිත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හෙක්ටයාර 227 ක් (අක්කර 568 ක්) පමණ වන වීරවන්ඩියන්මුනෙයි රජයේ වනාන්තරය පිහිටා තිබේ. මෙම වනාන්තර පද්ධතිය වෙරළබඩ වනාන්තර තීරය සමග මෙන් ම කලපු ආශ්‍රිත කඩොලාන හා සම්බන්ධව පවතී. මෙම සමස්ත ප්‍රදේශයේ ම අලි – ඇතුන් ජීවත් වේ. මේ ප්‍රදේශයේ පිහිටි වීරපාන්ඩියන්මුනෙයි කලපුව, නාගමුනෙයි කඩොලාන පද්ධතිය, කෝවිල්කඩ ලවණ වගුරු බිම් පද්ධතිය තුළ කලපු හා නොගැඹුරු මුහුදු සීමාවේ ජීවත් වන මත්ස්‍යයන් ඉස්සන් හා කකුළුවන් ගේ බෝවීම සිදු වේ. එපමණක් නොව මෙම ලවණ පරිසර පද්ධති සංක්‍රමණික පක්ෂි විශේෂවල ප්‍රධාන ගොදුරු බිමක් වේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වැඩි ම ලවණ වගුරු බිම් හා කඩොලාන වනාන්තර ව්‍යාප්තව ඇත්තේ මෙම ප්‍රදේශයේ ය.

සමාගමේ යෝජිත සිමෙන්ති කර්මාන්තශාලාව සඳහා අමුද්‍රව්‍ය ලෙස හුණු ගල් ලබා ගැනීමට නියමිත ව ඇත්තේ මෙම ලවණ වගුරු බිම් කැනීමෙනි. මීට අමතර ව නාගමුනෙයි, වලෙයිපාඩු ප්‍රදේශයේ ස්ථාපිත කරන කර්මාන්තශාලාවේ අපජලය බැහැර කිරීමට නියමිත ව ඇත්තේ කෝවිල්කඩ ලවණ වගුරු බිම් පද්ධතිය හරහා සකස් කරන ඇළ මාර්ගයක් ඔස්සේ නාගමුනෙයි කඩොලාන පද්ධතිය ආශ්‍රිත වීරපාන්ඩියන්මුනෙයි කලපුවට ය. මේ හේතුවෙන් කඩොලාන, ලවණ වගුරු හා කලපු පද්ධතිය සම්පූර්ණයෙන් ම මෙම ව්‍යාපෘතියත් සමගම විනාශයට ලක් වනු ඇත.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

advertistmentadvertistment
advertistmentadvertistment