හුණුගල් තට්ටුව විපරීත වෙලා ඒ 9 පාරේ කි. මී. 57ක් ගිලා බැසීමේ අවදානමක්

538

ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ එම්. එම්. සී. යූ. බී. මොරේමඩ

පොළව අභ්‍යන්තරයේ විහිදී ඇති හුණුගල් පාෂාණය ඛාදනයට පත්වීමේ අවදානමින් මහනුවර යාපනය ඒ9 මාර්ගයේ උකුවෙල සිට නාඋල දක්වා කිලෝමීටර් 57ක ගිලා බැසීම් ඇතිවීමේ අවදානමක් හඳුනාගෙන තිබෙන බව ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ එම්. එම්. සී. යූ. බී. මොරේමඩ මහතා පැවසීය. ඒ9 මාර්ගය ආශ්‍රිත අභ්‍යන්තරයේ හුණුගල් තට්ටුව විපරීත දුර්වල පාෂාණ තට්ටුවක් බවට පත්වී තිබෙන බව ඔහු පැවසීය.

මාතලේ, උකුවෙල, රත්තොට, අඹන්ගඟ කෝරළය, ලග්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයෑම් අවදානම් සහ ලග්ගල සිට විල්ගමුව දක්වා භූගත පාෂාණ අතර විද්‍යාත්මක ගැටලු පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදුකළ පර්යේෂණවලදී තහවුරු කරගෙන තිබෙන බව ද හෙතෙම පැවසීය.

උකුවෙල සිට නාඋල දක්වා ඒ9 මාර්ගයේ අභ්‍යන්තරයේ විහිදී ඇති භූගත විපරීත හුණුගල් තට්ටුව දුර්වල පාෂාණ තට්ටුවක් බව සිදුකළ විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබේ. පවතින කාලගුණ තත්ත්වයන් සමග වෙනස්වීමට භාජනය වන හුණුගල් තට්ටුව අභ්‍යන්තරයේ හඳුනාගෙන ඇති කුහර දියවෙමින් වෙනස්කම්වලට ලක් වෙමින් තිබෙන බව ද හඳුනාගෙන ඇත.

රත්තොට කලාපයෙන් හඳුනාගෙන ඇති කළුගල් පාෂාණ (නයිෆ්) අතර පැළුම්/ කුස්තුර වැඩිවෙමින් පවතින බවත් වැසි ජලය ගලා යෑමත් සමග පාෂාණ ජීර්ණය වර්ධනය වී බලපෑම් ඇති කිරීමේ ලක්ෂණ හඳුනාගෙන තිබෙන බවත් පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබෙන බව හෙතෙම පැවසීය.

මාතලේ, ලග්ගල, උකුවෙල, රත්තොට, අඹන්ගඟ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් නායයෑම් වාර්තාවීම හඳුනාගෙන තිබේ. ජල වහන රටාව වෙනස්වීම, අක්‍රමවත් සංවර්ධනය නායයෑම් වලට පාදක වී තිබේ.

උකුවෙල සිට නාඋල දක්වා ඒ9 මාර්ගය අවට දුර්වල පාෂාණ තට්ටු අතර ඇති කුහරවල රැඳී ඇති අභ්‍යන්තර ජලය මතු පිටට ඇද ගැනීම නිසා කුහර හිස්වී ගිලාබැසීමේ අවදානමක් පවතින බවද ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ මොරේමඩ මහතා පැවසීය.

මාතලේ පැතිරී ගොස් තිබෙන විපරීත දුර්වල පාෂාණ ලෙස හඳුනාගෙන ඇති හුණුගල් කුහර තුළ රැඳෙන ජලය මතුපිට ජල ප්‍රභවයන් සමග සම්බන්ධ බව ද පර්යේෂණවලින් තහවුරු වී තිබේ. හුණුගල් කුහර තුළ ජලය ගංගා ඇළ දොළ සමග සම්බන්ධ වී තිබෙන බව ද තහවුරු කරගෙන තිබේ.

මාතලේ දිසාපතිනි තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වීර කැප්පෙටිපොල ශාලාවේදී පැවැත්වූ ඨක්‍ත්‍ ව්‍යාපෘතිය හා නකල්ස් භූදර්ශන විමර්ශන කමිටුවේදී මෙම කරුණු සඳහන් කෙරිණි.
මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment