සමරිසිභාවය රෝගයක්? විකෘතිතාවක්? මානසික අක්‍රමිකතාවක්?

සෑම ජූනි මාසයක් ම පාදක කොට ගෙන සමරනු ලබන අභිමානවත් මාසය (Pride Month) LGBTIQ+ ප්‍රජාවගේ අභිමානවත් ඉතිහාසය, ජයග්‍රහණ සහ සමාන අයිතිවාසිකම් සඳහා පවත්නා අරගලය උදෙසා ගෞරවය පිරිනමන ප්‍රබෝධමත් වූ වැදගත් අවස්ථාවකි. 1969 දී නිව්යෝර්ක් නගරයේ ස්ටෝන්වෝල් කෝලාහලය (Stonewall riots) අනුස්මරණය කරමින් එය නූතන ඛඨඊඔෂූ අයිතිවාසිකම් ව්‍යාපාරය කැලඹූ ප්‍රධාන සංධිස්ථානයක් සේ සැලකේ. පෙළපාලි, විවිධ සිදුවීම් සහ අධ්‍යාපනික ව්‍යාපාර ඔස්සේ එකී අභිමානී මාසය LGBTIQ+ ප්‍රජාව සතු දෘශ්‍යතාව, පිළිගැනීම සහ විවිධත්වය සැමරීම උදෙසා ප්‍රවර්ධනය කරනු ලබයි.

සමානාත්මතාවය මුල් බැසගත් සමාජයක් පෝෂණය කිරීමේ සාමූහික අධිෂ්ඨානය අවධාරණය කරමින් ශ්‍රී ලංකාව තුළ අභිමානවත් මාසයට විශේෂ වැදගත්කමක් හිමි වේ. වෙනස් කොට සැලකීම, සමාජ අපකීර්තිය, නීතිමය බාධාවන්, අයිතිවාසිකම් සහ නිදහස පවා සාක්ෂාත් කර ගැනීමේ ගැටලු ආදිය මගින් ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජාව සැලකිය යුතු අභියෝගවලට නිරන්තරයෙන් මුහුණ දෙයි. ශ්‍රී ලංකාවෙහි LGBTIQ+ ප්‍රජාව මුහුණ පාන මූලික සමාජ ප්‍රශ්නවලින් එකක් වන්නේ මානසික සෞඛ්‍ය ගැටලු ය. ඔවුන් අත්විඳින සමාජ ප්‍රතික්ෂේප කිරීම් සහ අසමාන ලෙස සැලකීම් බොහෝ විට ඔවුන්ගේ මානසික ආතතිය(Stress), කාංසාව (Anxiety) සහ මානසික අවපීඩනය (Depression) ඉහළ නැංවීමට හේතු සාධක වේ. බොහෝ පුද්ගලයන් පොදු සහ පෞද්ගලික යන දෙඅංශයේ ම හිරිහැරවලට මුහුණ දෙන බැවින් එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාජ නිරාවරණයට සහ ප්‍රචණ්ඩත්වයට ඔවුන් තුළ නිරන්තර බියක් ඇති කරනු ලබයි. මෙම නොනවතින ආතතිය ඔවුන්ගේ නිශ්චිත අවශ්‍යතාවලට ගැළපෙන උපකාරක මානසික සෞඛ්‍ය සේවාවන් නොමැතිකම මගින් ද සංකලනය වී ඇත. මානසික සෞඛ්‍ය අරගලවලට අමතරව, LGBTIQ+ ප්‍රජාවට සෞඛ්‍ය සේවා, රැකියා සහ නීතිමය ආරක්ෂාව සඳහා ප්‍රවේශ වීමේදී ද නිරන්තරයෙන් බාධා ඇති කෙරේ. එසේ ම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයෙහි ද නීති සම්පාදනය සම්බන්ධව පවත්නා අපැහැදිලි බව සහ අසාධාරණ බව ඔස්සේ පෙනී යන්නේ එකී ප්‍රජාව උදෙසා නීතිමය රැකවරණය අතින් ද ගැටලු උද්ගත වන බවයි.

නූතන සමාජයේ සැලකිය යුතු කරුණක් වන මානසික රෝග වනාහි පුද්ගල චින්තනයට සහ හැසිරීමට බලපාන තත්ත්වයන් ආවරණය කරයි. එසේ ම එය යමෙක් තුළ හට ගන්නා වූ සතුට හෝ දුක වැනි තාවකාලික චිත්තවේගීය තත්ත්වයක් ලෙස හඳුන්වන පුද්ගල මනෝභාවයට ද යම් ආකාරයක බලපෑමක් සිදු කරයි. මානසික අවපීඩනය (Depression), කාංසා ආබාධ(Anxiety Disorder), බයිපෝල අක්‍රමිකතා (Bipolar Disorder) සහ භින්නෝන්මාදය (Schizophrenia) ගෝලීය වශයෙන් ප්‍රචලිතව පවතින අක්‍රමිකතා කිහිපයකි. මෙම අක්‍රමිකතා පුද්ගලයන්ගේ ජීවන තත්ත්වයට දැඩි ලෙස බලපෑම් කළ හැකි අතර දෛනික ක්‍රියාකාරිත්වය, සබඳතා සහ සමස්ත යහපැවැත්මේ අභියෝගවලට තුඩු දෙයි. ඓතිහාසික වශයෙන් ගත් කල මානසික සෞඛ්‍යය පිළිබඳ වැරදි වැටහීම්, විශේෂයෙන් ම සමරිසිභාවය (Homosexuality) සම්බන්ධයෙන් සැලකිය යුතු අසාධාරණකම්වලට ලක් වී තිබේ. වර්ෂ 1973 වන තෙක් ඇමරිකානු මනෝචිකිත්සක සංගමය (American Psychological Association) සමරිසිභාවය මානසික ආබාධයක් ලෙස වර්ගීකරණය කර ඇත. මෙම වර්ගීකරණය විද්‍යාත්මක සාක්ෂිවලට වඩා පවතින සමාජ අගතීන් හා ප්‍රතිමානයන් පිළිබිඹු කරමින් ස්ථාපිත කෙරිණ. සමරිසි (Homosexual) ලෙස හඳුනා ගන්නා පුද්ගලයින් බොහෝ විට හානිකර සහ ඔප්පු නොකළ ප්‍රතිකාර ක්‍රම ඔස්සේ ඔවුන්ගේ ලිංගික දිශානතිය(Sexual Orientation) වෙනස් කිරීම අරමුණු කරමින් එකල මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රියාත්මක විය. කෙසේ වෙතත් පසුකාලීන සිදුවීම් මගින් එහි පවත්නා විද්‍යාත්මක පැතිකඩ පාදක කොට ගෙන විද්‍යාත්මක ප්‍රජාව සමරිසිභාවය මිනිස් ලිංගිකත්වයේ ස්වාභාවික සංසිද්ධියක් බව හඳුනා ගත්හ. ඒ අනුව 1973 දී, මානසික ආබාධ පිළිබඳ රෝග විනිශ්චය සහ සංඛ්‍යාන අත්පොත (Diagnostic & Statistcal Manual of Mental Disorder) තුළින් සමරිසිභාවය ඉවත් කරන ලදි.

එසේ ම ඇතැම් පාර්ශ්වයන් සමරිසි බව පෞරුෂ ආබාධයක් හෝ විකෘතිතාවයක් සේ සලකයි. නමුත් එය එසේ නොවේ. එකම ලිංගයේ පුද්ගලයන්ට ආදර සහ ලිංගික ආකර්ෂණය ඇති වීම මානව ලිංගිකත්වයේ ස්වභාවික විචල්‍යයකි. පසුකාලීන පර්යේෂණ මගින් තහවුරු වූයේ සමරිසි පුද්ගලයින් විෂමරිසි (Heterosexual) පුද්ගලයන් හා සසඳන විට මානසික රෝගාබාධයක් ප්‍රදර්ශනය නොකළ බවයි. ඒ අනුව නිරීක්ෂණය කරන ලද ඕනෑම මානසික අක්‍රමිකතාවක් මිනිසාගේ ලිංගික දිශානතිය නොව සමාජීය හා ඒ ආශ්‍රිත ගැටලුවල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන බව විද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලදි. මෙලෙස සමරිසිභාවය මානසික අක්‍රමිකතාවලින් ඉවත් කිරීම මගින් ලිංගික දිශානතිය මානසික ආබාධයක් නොවන බව හඳුනා ගැනීමට තීරණාත්මක සාධකයක් බවට පත් විය. මෙම සාධකය තහවුරු වූයේ පුළුල් අධ්‍යයනයන් සහ සමරිසි බව මිනිස් ලිංගිකත්වයේ සාමාන්‍ය සහ ස්වාභාවික විචල්‍යයක් බව පිළිගැනීම මත ය. ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization) ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සංවිධාන එතැන් සිට සමරිසි බව රෝගයක්, ආබාධයක් හෝ විකෘතිතාවක් නොවන බව තහවුරු කර ඇත.

පුද්ගල සංස්කෘතියේ අපේක්ෂාවන් මගින් කැපී පෙනෙන ලෙස අපගමනය වන, සමාජ වෘත්තීය හෝ වෙනත් ක්‍රියාකාරී ක්ෂේත්‍රවල සැලකිය යුතු පීඩාවක් හෝ දුර්වලතාවයක් ඇති කරන කල් පවත්නා හැසිරීම් රටාවන්, සංජානනයන් සහ අභ්‍යන්තර අත්දැකීම් මගින් පෞරුෂ ආබාධ මූලික කොටස් තුනක් යටතේ බෙදා දැක්විය හැකි ය. ඒ අනුව මායිම් පෞරුෂ ආබාධය (Borderline Personality Disorder) යනු අමුතු ආකාරයේ විකාර පෞරුෂයකින් හෙබි වීමයි. නර්සිස්ටික් පෞරුෂ ආබාධය (Narcissistic Personality Disorder) යනු නාට්‍යමය, චිත්තවේගී හෝ දෝෂ සහිත පෞරුෂයකින් හෙබි වීමයි. සමාජ විරෝධී පෞරුෂ ආබාධය (Antisocial Personality Disorder) යනු කාංසාමය හා බිය සහිත පෞරුෂයකින් හෙබි වීමයි. සමරිසිභාවය පිළිබඳ සිදු කළ මනෝ විද්‍යාත්මක පර්යේෂණ මගින් ද තහවුරු වූයේ එය පෞරුෂත්ව ආබාධ ආශ්‍රිත නිර්ණායකවලට ඇතුළත් නොවන බවයි. ඒ අනුව සමරිසිභාවය පෞරුෂ ගැටලුවක් යැයි කීම වැරදි මතයකි. එසේ ම සමරිසි බව යනු විකෘතිතාවයක් නොවේ. විකෘතිතා යනු ශරීර ව්‍යුහයේ පවත්නා භෞතික විෂමතාවන් ය. ඒ අනුව සමරිසිභාවය ලිංගික දිශානතියක් වන අතර එය භෞතික ලක්ෂණ හෝ අසාමාන්‍යතාවලට අදාළ කරුණක් නොවේ.

LGBTIQ+ ප්‍රජාව පුළුල් පරාසයක මානව අත්දැකීම් සහ අනන්‍යතාවයන් නියෝජනය කරයි. පිළිගැනීමේ සහ අයිතිවාසිකම්වල සැලකිය යුතු ප්‍රගතියක් තිබියදීත්, LGBTIQ+ ප්‍රජාව ගෝලීය වශයෙන් සහ ශ්‍රී ලංකාව තුළ බොහෝ මානසික අභියෝගවලට මුහුණ පාන ප්‍රජාවක් බවට පත් ව ඇත. ඓතිහාසිකව ගත් කල LGBTIQ+ ප්‍රජාව වෙනස් කොට සැලකීම්, අපකීර්තිය සහ පිළිගැනීමේ ඌනතාවය හේතුවෙන් සැලකිය යුතු මානසික පීඩාවන්ට මුහුණ දී ඇත. බොහෝ LGBTIQ+ පුද්ගලයින් පවුලෙන් ප්‍රතික්ෂේප කිරීමට ලක්වන අතර තම අනන්‍යතාවයෙන් සමාජයට ගමන් කිරීමට පවතින බිය නිසාවෙන් හුදකලා වීමට ද පටන් ගෙන ඇත. මෙම සාධක හේතු කොට ගෙන සියදිවි නසාගැනීම් වැනි ඉහළ මට්ටමේ මානසික සෞඛ්‍ය ගැටලුවලට LGBTIQ+ ප්‍රජාව පත් ව ඇත. සමානාත්මතාවය හා මනුෂ්‍යත්වයෙන් යුතු සමාජයක් නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් පොදු සමාජයේ වෙසෙන LGBTIQ+ ප්‍රජාව ද සාමාන්‍ය ප්‍රජාවක් බව අවබෝධ කර ගැනීම වැදගත් වෙයි.

සදීප මල්ෂාන්

advertistmentadvertistment
advertistmentadvertistment