හුරු පුරුදු දෑ පවා නැවුම් මිහිරකින් පෙන්වන ‘මිටියාවතට හැරුණු කවුළුව’

61

(කවිවර ප්‍රකාශනයකි)

‘විශ්වයෙහි සැඟව ඇති සොඳුරු දසුන් වසා දැමූ වේල්පට සෙමෙන් ඔසවා එකී සුන්දරත්වය අපට පෙන්වා දෙන්නේ කවියා ය. කවියා යනු හුරු පුරුදු දෑ පවා නුහුරු නුපුරුදු නැවුම් මිහිරකින් අපට පෙන්වා දෙන්නට සමර්ථයෙකි.’

පර්සි ෂෙලී නම් වූ ප්‍රකට ඉංග්‍රීසි ජාතික කවීන්ද්‍රයා ‘කවියා’ යන සොඳුරු වදන නිර්වචනය කොට ඇත්තේ එපරිද්දෙනි.

‘මිටියාවතට හැරුණු කවුළුව’ ඇසුරෙන් සුනන්දා උත්සාහ ගෙන ඇත්තේද හුරුපුරුදු දෑ පවා නුහුරු නුපුරුදු නැවුම් මිහිරකින් අපට පෙන්වා දෙන්නටය.

එය අප සහෝදර සම්මානිත කිවිඳිය සුනන්දා රණසිංහ කිවිඳියගේ එකොළොස්වන කාව්‍ය සංග්‍රහයයි. ඇය මුද්‍රණද්වාරයෙන් පාඨකයා අතට පත් කරන විසිහතර වන ග්‍රන්ථයයි.

පොතෙහි ඇතුළු පිටුවල කවි විඳින්නට පෙර මෙම ග්‍රන්ථයෙහි පිදුමෙහි ලියැවී ඇති කවිය පාඨකයා විසින් ග්‍රහණය කොට ගත යුතු ම යැයි මට සිතේ.

‘විසිරී නොයන්නට ජීවිත මල් රේණු
ඒ මත ප්‍රේමයේ බර තැබුවෙම ගෑනු
පිරිමි පපුවකත් ප්‍රේමෙන් හිරිවැටුණු
ශිරා සහ ධමනි පිරිමැද්දේ ගෑනු.’

ඇය මේ ග්‍රන්ථය පුදන්නේ එවන් වූ සුවහසක් ගැහැනුන් හට ය.

සුනන්දාගේ කවි ඇස කවදත් ඉතා තියුණුය. සූක්ෂ්මය. යමෙකුට නොවැදගත් සේ දැනෙන කිසියම් සරල අනුභූතියක් තුළින් වුව ජීවිතයේ විසල් පෙදෙසක් විවරණය කරන්නට සුනන්දාගේ බොහෝ කවි සමත් වේ. කාලාවකාශය, මිරිවැඩියක් හුදෙකලාව, බෝනික්කාගේ කවිය, මිස්ට මතකද, නැවතුමක් නැත වැනි මෙහි එන කවි ඒ සඳහා නිදසුන් ය.

කාලාවකාශය කව ඇසුරෙන් ඇය දකින්නේ සහ විමසන්නේ අල්මාරියේ අඳුරු කොනක සැඟව හිඳිනා ගැහැනියකගේ මංගල සාරිය පිළිබඳව ය.

‘ඇඳුම් අල්මාරියේ කෙළවරක
ඇත එක් නිහඬ පෙදෙසක්
කිසිදාක හිරු නොදකින
නිත්‍ය තුහින පෙදෙසක්…

එහි වැඩ හිඳී සමාධියෙන්
එක් උදාරම් සාරියක්
දිලිසෙන මුතු පබළු ඇස්
හරව හරවා අඩැසි බැල්මෙන්
අවශේෂ සාරි දෙස බලමින්…‘

සුනන්දා ඒ කව අවසන් කරන්නේ මෙසේය.

උහුලමින් වැහි බීරණි
දූලි දුම් රොටු කෙනෙහිලි
නොනගා කිසිත් මැසිවිලි
දුර ගමන් යන අතරෙහි
මැරුණු මල් යායට
ලිහීගිය ලිය වැලට
ආදරෙයි මං තවම.

(පිටුව-12)

ඉතා සරල අනුභූතියක් ඇසුරෙන් ඉගැඹුරු අරුත් සපයන ඇගේ තවත් හෘදයාංගම කවියකි, ‘මිරිවැඩියක් හුදෙකලාව‘.

තම කුඩා මිණිබිරිය බාලවියේදී පැළඳි මිරිවැඩියක් වෙරළු ගහ යට බෑවුමේ වියළි පත් යට දිරාපත්වෙමින් තිබෙනු දකින ඇගේ කවි සිත කඳුළක් බිම හෙලා නතර නොවී කවියක් අමුණන්නීය.

අප අත්විඳින යථා ලෝකයෙන් එහා ඇති කවි ලොවට ඒ මිරිවැඩිය ඔස්සේ ඇය අප කැටුව යන්නීය. ඒ මෙසේය.

ගෝලාකාර ලෝකයෙ දුර පළාතක
බැසගෙන කරවටක් උණුසුම් කබායක
සුවඳැති කෝපි බඳුනක පොඩි විරාමෙක
අද ඇති නුඹේ හිමිකරු රස සුයාමෙක…

(පිටුව-14)

ගුරු වෘත්තිය තුළ අපමණක් වූ අපූර්ව අත්දැකීම් විඳ හුරුපුරුදු සුනන්දා නොයෙක් විට ඒ මිහිරි අමිහිරි මතක සංවේදී කවි පෙළකට ගළපන්නීය. එබඳු අපූර්වතම නිර්මාණයකි, ඉකුත් වත. එම පැදි පෙළෙහි එන දෙවන හා තෙවන කවි දෙක පමණක්මත් මහත් අරුතක් සපයන්නේ යැයි මට සිතේ.

පෙරපර වණ නිසි විලසින්
ගළපා විඳගනු රිසියෙන
බුද්ධාගම පොත ඇතුළෙත් පෙම්පත් රහසෙම ඉගිළුණ
අතීතයක් තිබුණි මටත්
මතක කවුළු දොර හඬවන…

ගෑන්ඩ් ෆෝනයක අහසක
කෙටි පණිවිඩ කුණාටුවක
පෙම් සුළියක් මැවු වරදට
ගුරු මේසය ළඟ හිටගෙන
නුඹ අද මා යළි කැඳවයි
සැණෙකින් ඒ ඉකුත් වතට…

(පිටුව -24)

ප්‍රේමයෙන් හෝ ප්‍රේමයේ විරහවෙන් ආතුර නොවූ කවි සිතක් සොයාගත නුහුණු තරම් ය. සුනන්දාගේ කවි පොතෙහි ප්‍රේමය වස්තු විෂය කොටගත් වින්දනීය කවි කිහිපයක් ම තිබේ.

පාසල් වියේ බස් නැවතුම්පොළ සිහිගන්වන ‘හිත නවතින තැනක්’ ඉන් එක් කවියකි.

‘කෑගලු බස් නැවතුමේ
අදටත් තියෙනවා තැනක්
හිත මොහොතකට නවතින
හිතුවක්කාර සුළඟට
සුදු ගවුමෙ රැළි සෙලවෙන
නවකතා පොතක පිටු මැද
පෙම් පතක මුදු සුවඳ තවරන
අදටත් තියෙනවා තැනක්
හිත නිදහසේ ඉගිළෙන.’

(පිටුව-40)

දශක පහකට ආසන්න කාලයක් තිස්සේ කවිකම සමග නිරන්තරවම

ගනුදෙනු කරමින් හිඳින සුනන්දා මේ වනවිට හෙළ කවි කෙතෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති හසල කිවිඳියකි.

ඇගේ කවි ඉගැඹුරු ය. කවි වදන් ඉතා පොහොසත් ය. සරල කවි වදන්වලින් නමුදු ඇය අපට දෙන්නේ හිත සිහින් රිදුමකින් සසල කරවන, ඇසට සීතල කඳුළක් නංවන මහා බරක් අමුණමිනි. අම්මාගේ අභාවය අළලා ඇය ලියා ඇති මේ කවිය ඊට හොඳම නිදසුනකි.

ගොක් කොළ රැහැන් එල්ලෙන
සුදු කොඩි සුළඟෙ වැළපෙන
මේ මළ ගෙදර
ඇත්තටම අම්මගෙමද…
බැඳී දැලි කුණු යහමින
ගෙවී ගිය නිය ඇතුළට
හංගගෙන සුදු මේස් ඇතුළේ
මේ පෙට්ටියේ ඉන්නේ
ඇත්තටම අපෙ අම්මද…

අපට බත පිසිනා විට
නැගුණු දුම් වලාවෙන් ආතුරව
නිල දියව ගිය දෙනෙත් පියාගෙන
නිවී සැනසී මෙසේ නිදන්නේ
ජීවිතේ කිසිදාක
ඉසුඹුවක් නොවිඳි අපෙ අම්මාද.
-නුඹ කෙසේ නිවුණාද-

(පිටුව – 60)

මිටියාවතට හැරුණු කවුළුවෙහි පසු පිට කවරයෙහි එන අවසන් කවියෙහි අරුත් ගන්වා ඇති සේ ම ඇසෙන ඉසියුම් නාදයකට පවා ඉතා ඉවසිල්ලෙන් සවන් දෙමින්, නෙත සිත ගැටෙන්නා වූ සරල අනුභූතීන්ට ද මනා අගයක් ආරෝපණය කරමින් කවි පබඳින්නීය. වැටෙන ඉපල් කටු අතු ගඟ දියට වැටී පාව යන මල් පිළිවෙළකට අසුරා තබන්නා සේ ඇගේ කවි අපේ සිත් තුළ හැඟුම් ,රිදුම්, සුසුම් මෙන් ම අපේක්ෂාවන් ද අසුරා තබන්නේය.

‘වැටෙන ඉපල් කටු අතු ගඟ දිය අවුරා
පාවෙන මල් ගනී පිළිවෙළකට අසුරා
ගඟට නැමුණු අතු මල් පලසට කොඳුරා
දොඩන බස් ඇසේ කවියකු හට ඉඳුරා.’

මිටියාවතට හැරුණු කවුළුවෙන් එබී බලන්න. ඔබට බොහෝ දුර පෙනෙනවා ඇත. බොහෝ දෑ පෙර නොවූ විරූ අසිරිමත් බවෙකින් පෙනෙනු ඇත. සිත ආනන්දයෙන් පිරී යනවා ඇත. ඔබේ සිත තිබුණාටත් වඩා සුසංවේදී වනු ඇත. ඉදින්, ඔබේ ඇසට කඳුළක් නැගෙන්නටද පුළුවන.

හුරු පුරුදු දෑ පවා නැවුම් මිහිරකින් පෙන්වන ‘මිටියාවතට හැරුණු කවුළුව’

සුනිලා විජේසිංහ


advertistmentadvertistment