හෘද සාක්‍ෂිය සමග සාකච්ඡා කිරීමට ඇරයුමක්

890

පසුගිය දවසක කොළඹ තුරඟ තරග පිටියේදී විශ්වවිද්‍යාල සිසුවියක් ඝාතනය කළ තරුණයා රාජපක්‍ෂවරුන් පලවා හැරීමේ අරගලයේ ප්‍රධානියකු බව ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග විසින් පවසනු ලැබ ඇත. තරුණියගේ ඝාතකයා ආතතියට ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි. එහෙත් ඒ කිසිවක් තම පෙම්වතියට පැවසුවේ නැතිවා වන්නට පුළුවන. අද බොහෝ විට ආවේගය පාලනය කිරීමට තරුණ තරුණියන් අපොහොසත් වීම නිසා අපට ඉතිරි වන්නේ කඳුලක් පමණි. අප මෙතැනදී වරද කාගේ දැයි යන්න කීමට ඉක්මන් නොවෙමු. කෙසේ වෙතත් රටට දීප්තිමත් අනාගතයක් උරුම කරදෙන්නට තම භද්‍ර යෞවනය කැපකළ හැකිව තිබියදී මෙවැනි ඛේදවාචක අසන්නට ලැබීම කනගාටුවට කරුණකි. ජීවිතයේදී ඇතිවන මෙවැනි හැලහැප්පීම්වලදී යෞවන යෞවනියන්ට නිසි මනෝපදේශන දීමට විධිමත් පියවර ගත යුතුය. එය වෙනම සාකච්ඡාවට බඳුන් විය යුත්තකි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට දුරකථනයෙන් මරණ තර්ජන කරනු ලැබ ඇත. සමහර විට මෙය එම නිලධාරීන් දෙදෙනාට ශාරීරික අගතියක් ඇති කිරීමේ හෝ මානසික බිය වැද්දීමක් ඇති කිරීමේ හෝ හේතුවෙන් කරන ලද තර්ජනයක් වීමට පුළුවන. මේ තර්ජනය ලැබී ඇත්තේ එම නිලධාරීන් දෙදෙනාගේ දුරකථනවලට ය. එසේ නම් එසේ තර්ජනය කළ අය අත්අඩංගුවට ගැනීම ඉතා පහසු ක්‍රියාවක් බව බැලූ බැල්මට පෙනීයෑමට ඉඩ තිබේ. එහෙත් මෙවැනි තර්ජනයක් බොහෝ විට සිදුකෙරෙන්නේ කාගෙන් හරි හොරකම් කරන ලද හැඳුනුම්පතක් ඉදිරිපත් කර ලබාගන්නා සිම් එකකිනි. තර්ජනය අවසන් වූ පසු සිම්එක වීසිකර දමනු ලැබේ. නඩුව එතනින් අවසන් කළ හැකිය. මිනිහෙක් මරන එකා ටෙලිෆෝන් කෝල් දිදී මිනී මැරුම් සිදුකරන්නේ නැත. ඒකා ක්‍ෂණිකව පැමිණ කපා කොටා හෝ වෙඩි තබා තම ඉලක්කය සුනුවිසුණු කර දමා පැන යයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනාට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම්වලට අනුව පෙනී යන ප්‍රධාන කාරණා දෙකක් තිබේ. එකක් නම් කවුරු හරි ආණ්ඩුව පිටින් යන්නට මේ වැඩේ කරන බව ය. නො එසේ නම් ඇත්තටම එම දෙදෙනා බියවැද්දීම සඳහා මේ තර්ජනය කළා වෙන්නට පුළුවන. කෙසේ වුවද මෙය නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ. දුරකථනවලින් මරණ තර්ජන කිරීම සම්පූර්ණයෙන් නීතිවිරෝධී වැඩකි. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනාට තර්ජන කළ එකා අල්ලා ගත හැකි නම් ඔහුට එරෙහිව දැඩි පියවර ගත හැකිය.

ලංකාව ඉතාම සංවේදී අවස්ථාවකට මුහුණදී සිටී. දේශපාලනයේ යෙදෙන කණ්ඩායම්වල අපේක්‍ෂාව වන්නේ ඡන්දයක් පැවැත්වෙනු දැකීමට ය. ඒ අතර ඡන්දයට විරුද්ධ කොටසක් ද වෙති. ඇතැම් දේශපාලනඥයන් උත්සාහ කරන්නේ රුපියල් බිලියන 10 ක පමණ මුදලක් වැයවන මේ ඡන්දය මගින් මහජන මතය ඇස්තමේන්තු කිරීමට ය. ඒ අරමුණ ඇතිව වැඩ කිරීම විශාල පාපයකි. බිලියන 10 ක මුදලකින් බඩගිනිකාරයන් සෑහෙන ප්‍රමාණයකට කන්න දෙන්නටත් පොත් නැති ළමයින් සෑහෙන ගණනකටත් පොත් දෙන්නට පුළුවන. එතැනින් එහා මේ ගැන අපි කතා නොකරමු. ඡන්දය සම්බන්ධයෙන් මේ රටේ දේශපාලනඥයන් තම හෘද සාක්‍ෂිය සමග සාකච්ඡා කර තීන්දුවක් ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment