හෙටක් නැති රටක අද දවසේ අඳෝනාව…රට ඉබේ ලොක් ඩවුන්

94

නිදහසින් පසු මෙතෙක් කලක් රට කරවූ දශක හතක දේශපාලනය විසින් මේ වන විට මෙරට බංකොලොත් රාජ්‍යයක් බවට පත් කොට ඇත. මැතිවරණ ඉලක්ක කරගනිමින් ඒ ඒ පක්ෂ විසින් කරන ලද දේශපාලන උදාරම් බස් රෙද්ද පල්ලෙන් බේරෙමින් පවතී. වත්මන් රජය විසින් බලයට පැමිණීමට පෙර ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම වෙනුවට මේ වන විට දකින්නට ඇත්තේ මුළුමහත් රටම මහත් අභාග්‍යයකට වැටී ඇති ආකාරයක්ය. එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය මූලික මිනිස් අවශ්‍යතා කිහිපය පවා සම්පූර්ණ කර ගැනීම ද මේ වන විට රට හමුවේ මහත් අභියෝගයක් බවට පත්ව ඇත. එබැවින් රටේ බහුතරයක් ජනතාවට “අද දවස” ගෙවා ගැනීම පවා දුෂ්කරය. එවැනි වටපිටාවක් තුළ හෙටක් පිළිබඳව සිතීම සිහිනමය අපේක්ෂාවක් බවට පත්ව ඇත. ඉන්ධන, ගෑස්, ඖෂධ හිඟයෙන් රටම ගල් ගැසී අවසන්ය. එපමණක් නොව අත්‍යන්තයෙන්ම පවත්වාගෙන යායුතු රටේ පාසල් පද්ධතිය පවත්වාගෙන යෑමට පවා රට තුළ ක්‍රියාත්මක කැත හිරිකිත දේශපාලනයට නොහැකි වී ඇති බව මේ වන විට පමණටත් වඩා පැහැදිලි වෙමින් ඇත. අපට ජීවත් වීමට සිදුව ඇත්තේ දේශපාලනය සූදුවක් බවට පත්කරගත් රටක, රටේ ජනතාව තෙල් පෝලිම්වල මැරී වැටෙමින් පවතින වටපිටාවකය. ඉදිරියේදී මේ තත්ත්වය තව තවත් උත්සන්න වනු විනා විසඳුමක් සොයා ගන්නා ආකාරයක් දකින්නට නැත. එදාවේල රත් කර ගැනීම පවා උභතෝකෝටිකයක් බවට පත්ව ඇති වටපිටාවක “බඩගින්න” පිළිබඳ ප්‍රශ්නය අන් කවරදාටත් වඩා දැඩිව දැනෙමින් ඇත. මව්වරුන් තම සිඟිති දරුවන් සමඟ ගඟක මුහුදක පනිමින් ජීවිත නැතිකරගන්නා තත්ත්වයක් දක්වා අර්බුදය උත්සන්න වී ඇත. පියවරුන් තම කුඩා දූ දරුවන්ගේ කුසගිනි නිවීම පිණිස මහමගට බැස විළාප නගන ආකාරය රිදුම් සහගතය. එවැනි සකලවිධ විපත්වලින් ගහන රටක් තුළ දේශපාලකයන් විසින් තවමත් රටට විහිළු සපයමින් ඇත. ඉන් හැඟවෙන්නේ දැක්මක්, චින්තනයක් නැති නායකයන් තම බලය පවත්වා ගෙන යෑමේ පටු න්‍යාය පත්‍ර මත මිනිස් ජීවිත සමඟ පිස්සු කෙළිමින් සිටින බවය. ඔවුන් තවදුරටත් කියා සිටින්නේ දුෂ්කරම කාලය ඉදිරියේ දී උදා වීමට නියමිත බැවින් එම තත්ත්වයන්ට මුහුණ දීම පිණිස සූදානම් වන ලෙසය.

එවැනි දුෂ්කරම තත්ත්වයක් දක්වා රට ඇද දමා ඇති මොහොතක මෙරට සමාජ තීරු කිහිපයක් නියෝජනය කරන පුරවැසියන් කිහිප දෙනෙකු සමඟ කතාබහක නිරත වීමේ අවස්ථාවක් පසුගියදා උදා විය. එහිදී ඔවුන් වෙන් වෙන් වත් ඒ හැරුණු කොට සමාජයක් ලෙස පොදුවේ මුහුණ දෙන ජීවන ගැටලු ආදිය පිළිබඳවත් ඔවුන් හා සිදුකළ කතාබහින් අවබෝධ වූවේ බලාපොරොත්තු විරහිත බව විසින් රටම නිර්වින්දනය වී ඇති බවකි. බස්රිය, දුම්රිය, පදික වේදිකාව, වැඩ බිම, කාර්යාලය ආදි ස්ථානවලදි මුණ ගැසුණ එකී නොකී මේ කියන මිනිසුන් සමග සිදු කළ කතා බහ තුළ දැඩි ව ඉස්මතු ව පෙනුණු කාරණය බවට පත්වූයේ හිඟමනට වැටී ඇති රටක “එදාවේල” පවා උපයා ගැනීම මේ වන විට අභියෝගයක්ව පවතින බවය. ඔවුන්ගේ මුහුණු තුළ 69 ලක්ෂයක දේශපාලනික වේදනාවද අඩු වැඩි වශයෙන් දැකගත හැකිව තිබුණි. හරිහමන් දේශපාලන නායකත්වයක් නොමැති තත්ත්වයක් තුළ සමාජයක් ලෙස තම තමන්ට විඳින්නට සිදුව ඇති සකලවිධ පීඩාවන් පිළිබඳ උපන් වේදනාව, පසුතැවීම, අපේක්ෂාභංගත්වය ඒ කටහඬවල් කීපය තුළ විය. පහත පෙළ ගැසෙන්නේ ඔවුන් අප හමුවේ තම තමන්ගේ “ජීවිත මහන්සිය” පිළිබඳ සංවේදී වූ අයුරුය. එහිදී පළමුව අදහස් දක්වා සිටියේ ඉහත සඳහන් සමාජ තීරු නියෝජනය කරන පිරිස අතරින් එකක් වන ත්‍රීවීල් රස්සාව තම දෛනික ආදායම් මාර්ග බවට පත් කරගත් කොටහේන ප්‍රදේශයේ පදිංචි ත්‍රීවිල් රථ රියදුරෙකි.

හෙටක් නැති රටක අද දවසේ අඳෝනාව…රට ඉබේ ලොක් ඩවුන්

“….පත්තරවලින්, ටී.වී එකෙන් හැමදාම ඇවිල්ලා අපෙන් ප්‍රකාශ ගන්නව. ඒ දේවල් පත්තරේ, ටී.වී වල යනවත් ඇති. එහෙම පළ වුණා කියලා මේ මාස හතර පහ ඇතුළත අපට සත පහක සහනයක් ලැබුණේ නෑ මහත්තයෝ. මේ කොළඹ ජීවත් වෙන අපි හුස්ම ටික හැර අනිත් හැමදේම සල්ලිවලට ගන්න ඕන. රැයක් දහවලක් නැතුව මේ රස්සාව කරල කීයක් හරි හොයාගෙන කාටවත් අතනොපා ජීවත් වෙච්ච මිනිස්සු විදියට අපි මේ මෑතක් වෙනකම් කාල බීල ඇඳල හිටිය. දරුවන්ට ඉගැන්නුවා ලයිට් බිල වතුර බිල ගෙව්වා. මේ රෝද තුනට පින්සිද්ද වෙන්න තමයි ඒ හැම දෙයක්ම කළේ. අද අපිට කීයක් හරි හොයා ගන්න තෙල් ටික නෑ. තෙල් ගන්න පෝලිමේ හිටියොත් දරුවො ටික බඩගින්නෙ. මට ඉස්කෝලේ යන දරුවෝ තුන්දෙනෙක් ඉන්නව. බිරිඳයි මමයි එක්ක පස්දෙනයි. පස්දෙනෙකුගේ බඩට කන්න දෙනව කියන එක තාත්තා කෙනෙක් විදිහට මේ වෙද්දි මට ලොකු අභියෝගයක් බවට පත්වෙලා තිබෙනව. විශ්වාස කරන්න… දවල් දෙකට විතර එක හොද්දකුයි බතකුයි හදලා දවල්ටයි රෑටයි දෙකටම හරියන්න දරුවන්ට කන්න දෙනව. දැන් වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ… එහෙම හරි ජීවත් වෙන්න තමයි ට්‍රයි කරන්නෙ. වාහනයට වෙලාවට තෙල් ටික ගහගන්න බෑ. ඒකට දවස් තුන හතර පෝලිම්වල ඉන්න ඕනා. එහෙම හිටියොත් දරුවන්ට කන්න දෙන්න විදියක් නෑ. ෂෙඩ්වල තෙල් නැති වුණාට වැඩි ගාණට එළියෙන් ගන්න පුළුවන්. පැට්‍රල් ලීටරයක් 1500 ක් වෙනවා. කුඩු විකුණනව වගේ හොරාට තමයි ඒක දෙන්නේ. නමුත් සල්ලි තියෙනව නම් ගන්න පුළුවන්. මේ රස්සාව කරන ගොඩ දෙනෙක් දැන් කරන්නේ පට්ට චාටර් එකක් කාලා තෙල් ටික ගහන් ඇවිල්ල 1500 ගාණේ ඒ තෙල් ටික එළියෙදි විකුණනව. තෙල් ලීටර් තුනක් වික්කට පස්සේ අතට රුපියල් 4500 ක් එනව.ඒ කියන්නේ දවසේ ගාණ අතට ආවා කියන එක. පෙට්ට්‍රල් ඩීසල් කියන්නේ අද රත්තරන්වලටත් වැඩිය වටින දෙයක්. ලීටරයක් දෙදහට දුන්නත් ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නව. ලොකු දරුවාගේ කරාබු දෙක උකස් කරලා ඒ සල්ලිවලින් වාහනේට වැඩි ගාණට තෙල් ගහගෙන තමයි මම අද උදේ පාරට බැස්සේ. බයක් නැතුව එහෙම ආවෙ ඕන තරම් හයර් තියෙන හින්ද. මිනිස්සුන්ට යන්න එන්න විදිහක් නෑ. ත්‍රීවිල් එකකට අතදාන මිනිස්සු හයර් එක ගැන හිතන්නේ නෑ. යන්න ඕන තැනට යන්න තමයි ට්‍රයි කරන්නේ. එහෙමෙයි කියලා මිනිස්සු හූරගෙන කන්න අපිට බෑ. අපිත් මිනිස්සු හින්දා පුළුවන් තරම් සාධාරණයට දුවලා කීයක් හරි හොයාගන්නව. රටට මෙහෙම වුණේ අපිවත් පාරෙ ඉන්න අහිංසක මිනිස්සු හින්දවත් නොවෙයි. අපිව වගේම අපේ දරුවන්ගේ ජීවිත පවා උකස් කරල දේශපාලන සූදුවක නිරත වෙලා ඉන්න ප්‍රභූවරු කියන හොර හැත්ත මේ අපරාධයට වග කියන්න ඕන.”

ත්‍රීවිල් රථ රියදුරකු වන ඔහු සිය ආවේගය මුදා හැරියේ ආකාරයෙන්ය. රට තුළ ජීවත් වන සෑම සමාජ ස්ථරයකම වත්මන් තත්ත්වය ඉහත සඳහන් පරිදිය. අවිනිශ්චිත බව අනාරක්ෂිත බව විසින් රටවැසියන් උපන් බිම තුළ අනාථයන් බවට පත්කොට අවසන්ය. අප හා දෙවනුව කතාබහට එක්වූවේ එදා වේල සොයා ගැනීම පිණිස දිනපතා වැටුපට රස්සාවේ යෙදෙන කුලී කම්කරුවෙක් ය.

“…..උද්ධමනය අරක මේක ගැන කියන්න මම දන්නේ නෑ මහත්තය. මම දන්න එකම දේ තමයි උදේට පාරට බැහැල කොතන හරි තැනක දවසෙ වැඩක් කරල කීයක් හරි හොයාගන්න එක. අපි වැඩ කළේ රුපියල්වලට මිසක් ඩොලර්වලට නෙවෙයි. මොන කරුමයක්ද මන්ද රටේ ඩොලර් නෑ කියල කියපු දවසේ ඉඳල අපේ රස්සාවටත් හෙනහුරා ගැහුව. වෙනදට උදේ පාරට ආවහම වැඩ තුන හතර එන දවස් තිබුණා. දැන් මෙලෝ දෙයක් නෑ. කුලී රස්සාව කරන අපි වගේ මිනිස්සු ඉන්නව නේද. වෙන කරන්නම දෙයක් නැති හින්ද තමයි අපි මේක තෝරගෙන තියෙන්නේ. දැන් පාන් කාලක් එක්ක ප්ලේන්ටියක් බොන්න රුපියල් සීයකට වැඩිය යනව. එහෙමවත් බඩගිනි නිවාගන්න අතේ සතයක් නෑ. මේ රස්සාව කරන හුඟදෙනෙක් දැන් හිඟමනට වැටිලා ඉවරයි. ඡන්දෙ කාලෙට අපිත් එක එකාට කතිරෙ ගැහුව. දැන් තේරෙනවා ඒ ගහ ගත්තෙ අපිටම කියල…”

ඒ සමාජයේ දුප්පත්ම ස්ථරය නියෝජනය කරන කුලී කම්කරුවන්ගේ හඬය. වැලිකැටයේ සිට ගල් ගඩොල් සිමෙන්ති නොසිතූ මිල ගණනින් ඉහළ නැගීම හේතුවෙන් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ නිරත තවත් ලක්‍ෂ සංඛධ්‍යාත පිරිසක් කර කියාගත හැකි කිසිවක් නොමැතිවීම හේතුවෙන් දිනෙන් දින අසරණභාවයට පත් වෙමින් ඇත. ලෝක ආහාර වැඩසටහන සිය නවතම වාර්තාවේ සඳහන් කර සිටින්නේ ශ්‍රී ලාංකික ජනතාවගෙන් මිලියන 6.26 ක් ආහාර අනාරක්‍ෂිතතාවයේ ගොදුරු බවට පත්ව ඇති බවත් ඒ අනුව නිවාස දහයක් ගත් විට යටත් පිරිසෙන් නිවාස තුනක් එම තත්ත්වයට මුහුණදී ඇති බවත්ය. එම වාර්තාව මගින් වැඩි දුරටත් පෙන්වාදී සිටින්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් පෝෂ්‍යදායී හා ප්‍රමාණවත් මට්ටමින් ආහාර ගැනීමට ජනතාව අසමත් වී ඇති බවකි.

“පෙරදිග ධාන්‍යාගාරය” බින්දුවටම හිස් කරන ලද හිස් මිනිසුන්ගේ පාලනයට ලක්ව ඇති රටක් ලෙස මෙරට රාජ්‍ය සේවයද මේ වන විට බරපතළ විපතකට ලක්වී ඇත. ඒ සම්බන්ධව අදහස් දැන ගැනීමේ අටියෙන් රාජ්‍ය සේවකයන් කීප දෙනෙක් සමග සිදු කළ කතාබහ තුළ ඔවුන් අවධාරණය කර සිටියේ රට හිඟමනට ඇද දැමීමේ වරදට දේශපාලනඥයන් මෙන්ම ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන්ද වගකිවයුතු බවත් රට තුළ උද්ගතව ඇති සමාජ ආර්ථික ප්‍රශ්න හමුවේ මේ වන විට රාජ්‍ය සේවයද බරපතළ කඩා වැටීමකට ලක්වෙමින් පවතින බවත්ය.

“රාජ්‍ය සේවය ගත්තොත් ඒ ඒ ආයතනවල වැඩ කරන රාජ්‍ය සේවකයන්ගෙන් විශාල පිරිසක් සේවයට වාර්තා කරන්න පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරනවා. මේ වෙද්දි රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනය වෙන්නේ නෑ. බස් රථ ධාවනය වුණත් පිට පළාත්වල ඉඳල කොළඹ රස්සාවට එන කෙනෙකුට දැන් තිබෙන බස් ගාස්තුව දරා ගන්නත් බෑ. ඒ නිසා බොහෝ දෙනෙක් දුම්රිය පාවිච්චි කිරීමේ ප්‍රවනතාවයක් ඇතිවෙලා තිබෙනවා. නමුත් අපේ රටේ දුම්රිය නියමිත කාල සටහනට අනුව ධාවනය වෙන්නේ එහෙමත් දවසක පමණයි. ඒ මදිවට ඒ අය හිතෙන හිතෙන වෙලාවට වැඩ වර්ජනය කරනව. මේ හේතුවෙන් දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍ර මිලදී ගත්ත දුම්රිය මගීන් හැමදාම වගේ දැඩි පීඩාවකට පත්වෙනවා. දැන් රටේ පවතින තත්ත්වයත් එක්ක ගාල්ලෙන් දුම්රියට නගින දුම්රිය මගීන් කොළඹින් බහිනකොට බාගෙට මැරිලා. එහෙම තත්ත්වයක් තුළ තමන්ගේ සේවා ස්ථානයට ගිහින් රාජකාරියේ නිරත වෙන්න තරම් මානසික ශක්තියක් ඔවුන්ට නෑ. මේ තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවය දිනෙන් දින අකාර්යක්‍ෂම වෙනව. ඒක දැනටමත් සිද්ධවෙලා ඉවරයි. මේ තත්ත්වයෙන් රට මුදා ගන්න නම් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම පුළුල් පරිවර්තනයකට ලක්විය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් ඉටුවිය යුතු වගකීම වගේම රජයෙන් ඔවුන්ට හිමිවිය යුතු සේවා හා පහසුකම් ප්‍රමාණයකුත් පවතිනවා. මේ දෙක එක රේඛාවකට රැගෙන එනතුරු විධිමත් රාජ්‍ය සේවයක් අපේ රට ඇතුළෙ බලාපොරොත්තු වෙන්නේ බැහැ…”

හෙටක් පිළිබඳ බලාපොරොත්තුවක් නැති රටක අද දවස ගත වෙමින් පවතින්නේ ඉහත සඳහන් නහුතයක් දුෂ්කරතාවයන් මධ්‍යයේය. රට දිනෙන් දින අරාජිකත්වය කරා ළඟාවන වටපිටාවක පාතාලයද සිය සුපුරුදු මිනිස් දඩයම ආරම්භ කර ඇත. සතර අතට කොකා ගස්සන පාතාලය විසින් ගතවූ සති කීපය තුළ පමණක් මිනිස් ජීවිත පහළොවකට ආසන්න ප්‍රමාණයකට මරණය ළඟා කර ඇත.

තවත් අන්තයකින් හොරකම, මංකොල්ලකෑම කරළියට පැමිණෙමින් ඇත. නාඳුනන යතුරු පැදිකරුවන් විසින් මාල කැඩීමෙන් ආරම්භ වන එම ජාවාරම මේ වන විට ගෙල සිඳ ගෙල පැළඳි මාලය කඩාගෙන යෑම දක්වා දුරදිග ගොස් ඇත. ඒ අනුව නිදහසේ මහමඟ ගමන් කිරීම පවා මේ වන විට මාරාන්තික චාරිකාවක් බවට පත්ව ඇත.

කනගාටුවට කරුණ බවට පත්ව ඇත්තේ මෙවන් විපත් රට හමුවේ නිර්මාණය කළ තුට්ටු දෙකේ දේශපාලනයට තවමත් රට තුළ පවතින ඇත්ත පිළිබඳව නිවැරදි වැටහීමක් නොතිබීමය. ඒ පිළිබඳව තේරුම් ගන්නා බවක් පෙනෙන්නටද නැත. එහි ප්‍රතිඵලයක් ලෙස කුලී කම්කරුවාගේ සිට රාජ්‍ය සේවය දක්වා සියළු සමාජ ස්ථරයන් බිත්තියටම හේත්තු වී හමාරය. සියළු විපත් මැද මේ වන විට රටම පාරට බැස උස් හඬින් ඉල්ලා සිටින්නේ මව්බිම අලුත් හුස්මකින් පුරවාලීමට සමත් පුළුල් සමාජ පරිවර්තනයක් ලහිලහියේ අවශ්‍ය බවක්ය. එම වෙනස ඇතිකළ හැක්කේ කැත හිරිකිත දේශපාලන මඩ ගොහොරුව සුද්ධ පවිත්‍ර කිරීමෙන් පමණක් බව බහුතරයක් ජනතාවගේ මතය බවටද පත්වී ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment