හෙට ඇතිවෙන වෙනස ආර්ථිකයට දැනෙන හැටි…

568

ඔක්තෝබර් 01 වැනිදා එනම් හෙට දිනයේ ප‍්‍රධාන සිදු වීම් දෙකක් සිදු වීමට නියමිතව ඇත. එනම් රජය විසින් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කෙටිකාලීන පෙර දැක්මක් (රෝඞ් මැප් එකක්) ප‍්‍රකාශයට පත් කිරීම හෙට දිනයේ සිදු වීමට නියමිතය. ඒ අනුව හෙට දින රට විවෘත වනු ඇති අතර පසුගිය දා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද මාධ්‍යයට කීවේ සීමාවන්ට යටත්ව රට විවෘත වනු ඇති බවයි. කෙසේ වෙතත් හෙට දිනයේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමේ අවසන් තීරණය අද සවස ගනු ඇත. මේ නිසා හැමදෙනාම බලා සිටින්නේ හෙට දිනයේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි. කෙසේ වෙතත් දිගටම රට වසා තැබීමට ද හැකියාවක් නැත.

හෙට ඇතිවෙන වෙනස ආර්ථිකයට දැනෙන හැටි...

හෙට දිනයේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් වුවත් එය මුළුමනින්ම රට විවෘත වීමක් ද නොවනු ඇත. එනම් රට විවෘත වීම සිදු වනු ඇත්තේ තවදුරටත් කිසියම් සීමාවන්ට යටත්ව ය. ඒ සීමාවන් මොනවාදැයි අද (30) සවස හෝ රාත‍්‍රියේ ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇත. එසේම මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා මේ ලියුම්කරුට ප‍්‍රකාශ කළේ හෙට (01) උදේ මහ බැංකුවේ කෙටිකාලීන පෙර දැක්ම එළිදැක්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි. අද ආර්ථිකය ගැන පවතින අවිනිශ්චිත බව දුරු කර ආර්ථික මෙහෙයවන දිශානතිය ගැන මහජනයාට සහ ආර්ථිකයේ අනෙකුත් සියලූම පාර්ශ්වකරුවන් තුළ විශ්වාසයක් ඇති කිරීමට සමත් ප‍්‍රතිපත්ති මාලාවක් මෙමගින් ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අනුව රට විවෘත වීමෙන් පසු සහ මහ බැංකුවේ කෙටිකාලීන පෙර දැක්ම එළිදැක්වීමෙන් පසු රටේ කුමන වෙනසක් වෙයිද? එය ආර්ථිකයට කෙසේ බලපානු ඇති ද? ඒ ගැන අපි මේ ලිපියෙන් අවධානය යොමු කරමු.

කොරෝනා වසංගතය හමුවේ අප මුහුණ දී සිටින මේ විපත අප සියලූ දෙනා එක්ව සාමූහිකව ජයගත යුත්තකි. එය රජයට පමණක් භාර දී සිටිය හැකි දෙයක් නොවේ. කොරෝනා වසංගතය පැතිරීම හමුවේ එය පාලනය කිරීමට අනුගමනය කළ ක‍්‍රියාමාර්ග නිසා ආර්ථික කටයුතු අකර්මණ්‍ය වූ අතර රජයේ වියදම් ද ඉහළ ගියේය. මේ නිසා රටට ඩොලර් නැතුවා පමණක් නොව රජයට මුදල් ද නැත. එනම් රජයේ වියදම් ඉහළ ගොස් ආදායම් අඩු වී ඇත. එසේ තිබියදී මේ රජයේ ඇතැම් ඇමැතිවරු රජයට කිසිදු මුදල් ප‍්‍රශ්නයක් නැති බවට ප‍්‍රසිද්ධියේම මහා උද්දච්චකමකින් බොරු පුරාජේරු කතා කියමින් සිටිති. මෙවැනි අමාරු කාලයක එවැනි බොරු පුරාජේරු කතා කීමෙන් ඇති වැඩක් නැත. එය සියලූ දෙනාම එක්ව මේ කොරෝනා ආර්ථික විපතින් මිදීමට ගත යුතු උත්සාහයට ද බාධාවක් වනු ඇත. ඒ නිසා ආණ්ඩුවේ සහ විපක්ෂයේ අය මේ වසංගතයත් සමග දේශපාලනය කිරීම මදකට හෝ නවතා රට මුහුණ දී තිබෙන ඇත්ත ප‍්‍රශ්නය ගැන අවධානය යොමු කර එම විපතින් මිදීමට දායකත්වය ලබා දිය යුතුව තිබේ.

මේ පසුබිම තුළ හෙට සිට ඇති වෙන වෙනස රටේ ආර්ථිකයට බලපාන හැටි ගැන අපි සාකච්ඡා කරමු. රජය විසින් අද සවස දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම පිළිබඳ තීරණය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරනු ඇත. ඒ සමගම තවදුරටත් ක‍්‍රියාත්මක කෙරෙන අනෙකුත් සීමාවන් ද නිවේදනය කරනු ඇත. මහජනයාට තිබෙන්නේ එයට අනුගතව තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් තමා කරන රැකියා කටයුතු හෝ වෙනත් ආර්ථික කටයුතුවල ආරක්ෂිතව නිරත වෙමින් කොරෝනා ආර්ථික විපතින් මිදීමට තම උපරිම දායකත්වය ලබා දෙමින් කටයුතු කිරීමයි. මෙය සමාජයේ සෑම පාර්ශ්වයකම සාමූහික ප‍්‍රයත්නයක් විය යුතු වේ. පසුගිය කාලයේ නිරෝධායන ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වුවත් එය මුළුමනින්ම රට වසා තැබීමක් නොවූ බවද අපි දනිමු. කිසියම් දුරකට රටේ ආර්ථික කටයුතු සිදු වීමට ඉඩ දෙමින් එය ක‍්‍රියාත්මක විය. මේ කාලයේ පුද්ගලික වාහන කෙතරම් මහමග ධාවනය වුවත් පොදු ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මක නොවීය. ඒ නිසා පුද්ගලික හා රජයේ සේවකයන් සේවා ස්ථානවලට කැඳවූයේ ද සීමිතවය. මේ නිසා අඩුපාඩු තිබුණත් ප‍්‍රමාද වී හෝ ක‍්‍රියාත්මක කළ මේ කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග නිසා කොරෝනා මරණ සහ ආසාදිතයින් වාර්තා වීම මේ වන විට සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ද පැහැදිලිය. එනම් රට විවෘත වුවත් මේ තත්ත්වය දිගටම ආරක්ෂා කරගනිමින් ආර්ථික කටයුතු පණ ගන්වා ගත යුතු වේ. මේ නිසා රට විවෘත වුවත් අප නම් සිතන්නේ ඒ සමගම සියලූ රාජ්‍ය අංශ සහ පෞද්ගලික අංශ සේවකයන් සියලූ දෙනාම වහාම සේවයට කැඳවීම සුදුසු නොවන බවයි. මේ නිසා නව සාමාන්‍ය තත්ත්වය යටතේ කිසියම් කාලයක් අප තවදුරටත් ආරක්ෂිතව කටයුතු කිරීම වඩාත් සුදුසු වන අතර ඒ ගැන වෛද්‍ය අංශ ද අදහස් දක්වා තිබිණි.

කොවිඞ් අභියෝගය හමුවේ නව සාමාන්‍යකරණය යටතේ රටේ ආර්ථික ක‍්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට සියලූ අංශ එක්ව කටයුතු කළ යුතු බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා (2) පැවති කොවිඞ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී ප‍්‍රකාශ කර තිබිණි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මෙම සාකච්ඡාවේ දී ඔහු තවදුරටත් කියා තිබුණේ මේ වසරේ (2021) දෙවන කාර්තුවේ සියයට 12.3 ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකි වූ බවත්, රට වසා තැබීම හේතුවෙන් තෙවන කාර්තුවේ දී එය සියයට 1 ක් දක්වා පහත වැටීමට ඉඩ ඇති බවයි. එසේම සිව්වන කාර්තුවේ දී රටේ ආර්ථික වර්ධන වේගය සියයට තුනක මට්ටමක පවත්වාගෙන යාමට ඉලක්ක සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මුදල් ඇමැතිවරයා එහිදී පැහැදිලි කර තිබිණි. ඒ තුළින් මේ වසරේ දී රටේ සමස්ත වාර්ෂික ආර්ථික වර්ධනය ප‍්‍රතිශතයක් ලෙස සියයට 5 ක මට්ටමක පවත්වා ගැනීමට හැකි වනු ඇති බවට ද මුදල් ඇමැතිවරයා විශ්වාසය පළ කර තිබිණි. අප දන්නා තරමින් තෙවන කාර්තුවේ ආර්ථික වර්ධන අගයන් තවමත් ගණනය කර නැත. මුදල් ඇමැතිවරයා කියන ලද තෙවන කාර්තුව සඳහා සියයට එකක පුරෝකථන අගය කවරෙක් ගණනය කළ අගයක් දැයි පැහැදිලි නැත. කෙසේ වෙතත් කොවිඞ් වසංගත තත්ත්වය අගෝස්තු මාසයේ යළි හිස එසවීම නිසා රටේ නිෂ්පාදන ක‍්‍රියාකාරකම් පහළ වැටුණු අතර එය අගෝස්තු මස නිෂ්පාදන සහ සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගයන් පහත වැටීමෙන් ද නිරූපණය විය. කෙසේ හෝ මේ වසරේ (2021) තෙවන කාර්තුවේ ආර්ථික වර්ධන අගය සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇතැයි සිතිය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නම් පසුගිය ජුලි මාසයේ කියා තිබුණේ මේ වසරේ ශ‍්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනය සියයට 4 දක්වා පහත වැටෙනු ඇති බවයි. මෙය බොහෝ දුරට මේ වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික ක‍්‍රියාකාරිත්වය අනුව තීරණය වනු ඇත.

රටේ ඩොලර් ප‍්‍රශ්නයක් ද තිබෙන නිසා ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමේ දී අපේ සංචාරක කර්මාන්තය පණ ගන්වා ගැනීම අතිශයින් වැදගත්ය. රට විවෘත වීමෙන් පසු උදාවන නව සාමාන්‍ය තත්ත්වය යටතේ මෙරටට වැඩි සංචාරකයන් පිරිසක් පැමිණීම සාමාන්‍ය දෙයකි. එහෙත් අපේ තිබෙන ඉහළ විභවතාවට සාපේක්ෂව එය කිසිසේත්ම ප‍්‍රමාණවත් නැත. අපේ රටට සංචාරක පැමිණීම් සැලකිය යුතු ලෙස වර්ධනය කර ගැනීම සඳහා මෙරට සංචාරක කර්මාන්තයේ සියලූ පාර්ශ්වකරුවන් සමග මීට වඩා වැඩි විධිමත් මෙහෙයුමක් අවශ්‍ය වේ. ඒ අතින් අප පසුගිය කාලයේ බෙහෙවින් අසාර්ථක බව කිව යුතුය.
වෙනත් රටවල් කොවිඞ් සමගම අපට වඩා වාර්තාගත සංචාරක පැමිණීම් වාර්තා කරගෙන ඇත. මෙයට හොඳම උදාහරණයක් වන්නේ මාලදිවයිනයි. මේ වසරේ මුල සිට අගෝස්තු දක්වා අපේ රටට පැමිණ ඇති සංචාරකයන් ගණන 24,377 කි. එහෙත් මාලදිවයිනට පසුගිය ජුලි මාසය වන විට පැමිණි විදෙස් සංචාරකයින් ප‍්‍රමාණය පන්ලක්ෂය ද ඉක්මවා ගොස් තිබේ. මාලදිවයින සහ ශ‍්‍රී ලංකාව එකිනෙකට වෙනස් රටවල් දෙකක් විය හැකි වුවත් අපේ සංචාරක බලධාරීන් මේ සම්බන්ධයෙන් ඉතා අසාර්ථක බව පැහැදිලිය. ඩොලර් හිඟයට ඇති ප‍්‍රධාන විසඳුම් දෙකෙන් එකක් වන්නේ රටට ඩොලර් ලැබීම් වර්ධනය කර ගැනීමයි. ඒ නිසා අපේ සංචාරක කර්මාන්තයේ විභවතාවයෙන් උපරිම ප‍්‍රයෝජන ගත යුතුව තිබේ. එහෙත් දැන් සිටින සංචාරක බලධාරීන්ට මේ අභියෝගය ජයගත හැකිද යන ප‍්‍රශ්නය තිබේ.

අපේ විදේශ විනිමය ප‍්‍රශ්නයට තවමත් සැලකිය යුතු විසඳුමක් රජය පැත්තෙන් හෝ මහ බැංකුව පැත්තෙන් රටට ප‍්‍රකාශයට පත් වී නැත. ඒ නිසා ආනයනකරුවන් සහ අපනයනකරුවන් තුළ කිසියම් අවිනිශ්චිත බවක් තිබේ. හදිසියේම මහ බැංකු අධිපතිවරයා වෙනස් වූයේ ද මේ බරපතල විදේශ විනිමය අර්බුදය ඇතුළු ආර්ථික ප‍්‍රශ්න ජය ගැනීමට සමත් ශක්තිමත් නායකත්වයක් මහ බැංකුවට අවශ්‍ය බවට ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජය කල්පනා කළ නිසා විය හැකිය. මේ නිසා හෙට (01) දින එළිදක්වන මහ බැංකුවේ කෙටිකාලීන පෙර දැක්මේ අන්තර්ගතය ගැන කාගේත් අවධානය යොමු වනු ඇත. එනම් දැන් ආර්ථිකය ගැන පවතින අවිනිශ්චිත බව දුරු කර ආර්ථිකය මෙහෙයවන දිශානතිය ගැන මහජනයා තුළ එමගින් විශ්වාසයක් ඇති කිරීමට එහි සඳහන් ප‍්‍රතිපත්ති මාලාව හේතුවනු ඇත. කොවිඞ් වසංගතය සමග රටේ ආර්ථික ප‍්‍රශ්න දරුණු වී තිබුණත් ඒවාට ලබාදෙන විසඳුම් හෝ ඉදිරි කාලයේ ආර්ථිකය මෙහෙයවන පැහැදිලි දිශානතිය කුමක් ද යන්න ගැන මෙතෙක් පොදු ජනයා වෙත හෝ ආර්ථිකයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන්ට හරි පැහැදිලි බවක් නොතිබිණි. මේ නිසා හෙට එළිදකින රෝඞ් මැප් එකෙන් (මාර්ග සිතියමෙන්) ඒ සඳහා පැහැදිලි කිරීමක් ලැබෙනු ඇතැයි ද බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටී.
මහ බැංකුව සාමාන්‍යයෙන් සෑම වසරකම මුල එම වර්ෂය සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප‍්‍රතිපත්ති පෙර දැක්මක් එළිදක්වනු ලබයි. නව මහ බැංකු අධිපති කබ්රාල් මහතාගේ නායකත්වයෙන් හෙට එළිදැක්වීමට යන්නේ එවැනි කෙටිකාලීන පෙර දැක්මකි. එහි අන්තර්ගත ප‍්‍රධාන අංශ මොනවා දැයි මේ ලියුම්කරු ඇසූ විට මහ බැංකු අධිපති කබ්රාල් මහතා එයට ඉංග‍්‍රීසියෙන් මවෙත එවන ලද පිළිතුරේ සඳහන් වූයේ ‘stability, stability, stability’’ යන්නයි. ඒ අනුව පැහැදිලි වන්නේ හෙට එළිදකින පෙර දැක්මේ ප‍්‍රධානම අවධානය යොමුවන්නේ ආර්ථික ස්ථායිතාව ඇති කර ගැනීමට බවයි. මෙවැනි ප‍්‍රතිපත්ති මාලාවක් එළිදැක්වූ පමණින් සියලූ ආර්ථික ප‍්‍රශ්නවලට විසඳුම් නොලැබේ. එහෙත් මෙවැනි පෙර දැක්මක් මගින් ආර්ථිකය ඉදිරියට මෙහෙයවෙන ආකාරය පිළිබඳ ඉලක්ක ප‍්‍රකාශයට පත් වීම තුළ පොදු ජනයා තුළත් ආර්ථිකයේ සෙසු පාර්ශ්වකරුවන් තුළත් කිසියම් විශ්වාසයක් ජනිත වීම ඉතා වැදගත්ය. එය ආර්ථිකය පිළිබඳ මෙන්ම ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන දැනට පවතින අවිනිශ්චිතතා දුරු කිරීමට හේතුවක් වනු ඇත.

පසුගිය කාලයේ මෙන්ම තවමත් ආර්ථික කටයුතු ගැන බලවත් අවිනිශ්චිතතා පවතී. ඒ නිසා මහ බැංකුව කඩිනමින් එළිදක්වන මේ කෙටිකාලීන පෙර දැක්ම ආර්ථිකය ගැන දැනට පවතින බිය සැක දුරු කිරීමට සමත් වන මට්ටමේ එකක් විය යුතු වේ. එම පෙර දැක්ම එළිදැක්වූ පසු වඩාත් වැදගත් වන්නේ එහි සඳහන් වන ඉලක්ක සහ එම ප‍්‍රතිපත්ති මාලාව ඒ අයුරින්ම අනුගමනය කරමින් එහි ඉලක්ක ඉටු කර ගැනීමට නිසි පසුවිපරමකින් යුතුව කටයුතු කිරීමයි. එසේම පවතින තත්ත්වයෙන් ආර්ථිකය ගොඩ ගැනීම සඳහා සියලූ දෙනාම ඒ සඳහා එක්ව කටයුතු කිරීමයි.

රේගුව විසින් වාර්තා කරන අපනයන වටිනාකමට සාපේක්ෂව බැංකු විසින් වාර්තා කරන ලද රට වෙත ලැබී ඇති අපනයන ඉපැයීම්වල අගය අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 345ක පරතරයක් පෙන්නුම් කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පසුගියදා අනාවරණය කළේය. දැනට අපනයනකරුවන් සිය අපනයන ආදායම් සියයට සියයක් රට වෙත රැුගෙන ආයුතු බවට වන නියාමනයක් පවතී. එහෙත් එයට අනුකූල නොවන තත්ත්වයක් තිබෙන බව පෙනේ. 2020 වසරේ ජනවාරි සිට 2021 වසරේ ජූලි දක්වා කාලය තුළ අපනයන ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීමේ මැළිකමක් ඇති වීම නිසා එමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත වන ලැබීම් සීමා වී තිබෙන බව ද මහ බැංකුව නිරීක්ෂණය කර තිබේ. ඒ නිසා අපනයනකරුවන් තුළ ඩොලරයේ අගය, විනිමය අනුපාතය ගැන කිසියම් විශ්වාසයක් ඇති කළ යුතුව ද තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]


advertistmentadvertistment