විදුලියෙන් බැබළෙන මතු පරපුරක අනාගතය
‘විදුලිය පාවිච්චි කිරීම මෙන්ම ඒ පිළිබඳ දැනුවත්වීම අත්‍යවශ්‍ය කරුණක්’ – මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියක්
‘විදුලිය අපට වටිනා සම්පතක්. අපි එය රැකගත යුතුයි.’ – මාතලේ විජය ජාතික විද්‍යාලයේ සිසුවෙක්
විදුලිය ගැන අප දන්නා කරුණු මෙන්ම නොදන්නා කරුණුද බොහෝ ඇත. ඇත්තටම විදුලිය නිපදවෙන්නේ කෙසේද? එම විදුලිය රට පුරා බෙදාහැරීමේ ක්‍රියාවලිය කෙබඳුද? ඉහත කාරණා හැරුණු කොට විදුලියෙන් ආරක්ෂාවීමට විදුලි පාරිභෝගිකයන් කුමක් කළයුතුද? ආදී මේ කරුණු කාරණා ගැන ජනතාව දැනුවත්වීම බොහෝ වටින්නේය.
මෙරට විදුලි බලය උත්පාදනය කරනු ලබන්නේ ජලය, ඛනිජ තෙල්, ගල්අඟුරු, හිරුඑළිය හා ස්වභාවික සුළං ආදී ප්රභවයන්ගෙනි. මේ ආදී ප්‍රභවයන්ගෙන් නිපදවෙන විදුලිය එකිනෙකට සම්බන්ධව අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග ඔස්සේ රටේ විවිධ ප්‍රදේශයන්හි උපපොළ වෙත ලැබී එහිදී වෝල්ටීයතාව අඩුකිරීමට ලක් වන අතර එම විදුලිය පොළොව මට්ටමේ ඉහළින් දිවෙන මාර්ග ඔස්සේ හා පොළව අභ්‍යන්තරව දිවෙන බෙදාහැරීම මාර්ග මගින් විදුලි පාරිභෝගිකයන්ට සපයනු ලබයි. ඒ විදුලිය අපට ලැබෙන සංකීර්ණ ක්‍රියාවලියයි. මේ කියන විදුලිය අද මිනිස් ජීවිතවලට නැතිවම බැරි අත්‍යවශ්‍ය ශක්ති ප්‍රභවයක් බවට පත්ව ඇත. එහෙත් විදුලිය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව සහ ඉතා පරිස්සමින් භාවිත නොකළහොත් එහි ඛේදනීය ප්‍රතිඵල අත්විඳීමට සැකයක් නැත. එම නිසා විදුලියේ ප්‍රයෝජන මෙන්ම එහි අනතුරුදායක පැත්ත ගැනද ජනතාව දැනුවත්වීම බොහෝ වටින්නේය. විදුලි බලය නිපදවීම, බෙදහැරීම හා එහි නඩත්තුව කටයුතු හැරුණු විට ඒ පිළිබඳ ජනතා දැනුවත් කිරීමේ කටයුතුවලටද ලංකා විදුලි බල මණ්ඩලය සිය වගකීම නොපිරිහෙලා ඉටුකරමින් පවතී.
ඒ උදාර කර්තව්‍යයට ජවයක් දෙමින් පාසල් මට්ටමින් රටේ අනාගත පරපුර දැනුවත් කිරීමේ අරමුණින් පාසල් විෂයානුබද්ධව ඇති විදුලි බලය සංරක්ෂණය, පුනර්ජනනීය බල ශක්තිය හා විදුලි ආරක්ෂණ ක්‍රමවේද, විදුලිය බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳ සිසුන්ට නිසි අධ්‍යාපනයක් හා අවබෝධයක් ලබාදීමට උපාලි පුවත්පත් සමාගමේ සුජය පුවත්පත පාසල් දරුවන් දැනුවත් කිරීමේ උදාර මෙහෙවරක නියැළෙන්නේය.
එහි තවත් එක් පාසල් දරුවන් දැනුවත් කිරීමේ සම්මන්ත්රණ මාලාවක් පසුගියදා මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පවත්වන්නට යෙදිණි. මෙම සම්මන්ත්‍රණය සඳහා මාතලේ විජය ජාතික පාසල, ක්‍රිස්තුදේව ජාතික පාසල, ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලය, විජයපාල මහා විද්‍යාලය, සුජාතා බාලිකා මහා විද්‍යාලය හා මඩවල උල්පත මහා විද්‍යාලය යන විදුහල්හි සිසු සිසුවියෝ සහභාගි වූහ.
මෙම සම්මන්ත්රණ මාලාවේදී විදුලි සංරක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය, විදුලි ආරක්ෂණ ක්‍රමවේද සහ විදුලිය බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳ දරු දැරියන් දැනුවත් කිරීම් සිදුකෙරිණි. විදුලිය පිළිබඳ හා ඉන් ආරක්ෂා වීමට දැනුවත් කිරීම් දේශකවරුන් දැනුවත් කළ අතර විදුලි සංරක්ෂණයේ අවශ්‍යතාව, පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ට යොමුවීමේ අවශ්‍යතාව හා බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳවද දැනුවත් සිසුන්ට මනා අවබෝධයක් ලබාදීමට කටයුතු කරන ලදී.
මෙම දේශන මාලාවේ එක් අදියරක් ලෙස සිසුන්ගේ දැනුම පරීක්ෂා කිරීම සඳහා සිසුන්ගෙන් විදුලිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් එහිදී ඉදිරිපත් කරන්නටද දේශකයන් අමතක නොකළහ. ඉදිරිපත් කළ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සැපයීම මෙන්ම ඊට යහපත් ප්‍රතිචාරද දරු දැරියන්ගෙන් ලැබීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් විය.
“අපි ගොඩක් ඉගෙන ගන්නේ විෂය කරුණු විතරයි. හැබැයි අද ඊටත් වඩා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. විදුලිය අපට ලැබෙන්නේ කොහොමද, අපි ඒවා රැකගත යුත්තේ කෙසේද කියන ඒවා ගැන අපට ගොඩක් දේවල් දැන ගන්න ලැබුණා. ඇත්තටම විදුලිය අපට වටිනා සම්පතක්. අපි එය රැකගත යුතුයි.” එසේ කියන්නට වූයේ මාතලේ විජයජාතික විද්‍යාලයේ සිසුවෙකි.
මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියක විදුලියේ අගය හරි අපූරුවට විස්තරයක් යෙදිණි. ඇය කියන්නට වූයේද මිනිසුන් වන අපට අත්‍යවශ්‍ය විදුලිය පාවිච්චි කිරීමේදීද ඒ පිළිබඳ දැනුවත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවය. මෙම අවස්ථාවට මාතලේ සිරිමාවෝ ජාතික පාසලේ විදුහල්පතිනිය, මාතලේ දිවයින අලෙවි නියෝජිත මහින්ද හුලංගමුව, සුජය ශිෂ්‍යත්ව අධ්‍යාපනික පුවත්පතේ කර්තෘ කෝකිලා වෙත්තසිංහ මහත්මිය හා කර්තෘ මණ්ඩල සාමාජිකයින් ඇතුළු දේශකවරුන් පිරිසක් සහභාගී වූහ.
රමින්ද මාවතගේ