හෙණම ගහපන් යැයි කීම වරදක්ද නැද්ද?

1246

මේ රටේ ගුරු පරපුර නැවත වතාවක් දෙමව්පියන්ගේ චරිතය නිරූපණය කිරීමට පටන්ගෙන ඇත. පසුගියදා කන්තලේ පළාතේ කුඩා දැරියක් සිය විදුහල්පති හමුවී දුක්ගැනවිල්ලක් කීවාය. එනම් ඇගේ හොඳම මිතුරිය වෙනත් මිතුරියක් සොයාගත් බැවින් දිගටම පාසල් පැමිණීමේ අවස්ථාව ඇයට නැතිවන බවය. මෙය ඉතා ගැටලුකාරී කතාවකි. හොඳම මිතුරිය අහිමි වීම දැරියකට පාසල් නොපැමිණීමට හේතුවක් වන්නේ කෙසේද? ඒ පිළිබඳ කතාව මෙසේය. මේ කියන දැරිය ඉතා දුප්පත් පවුලක දියණියකි. ඇයට බොහෝවිට උදේ ආහාර ලැබුණේ නැත. ඇය අනුභව කළේ සිය හොඳම මිතුරියගේ උදේ බත් පතින් කොටසකි. උදේ කෑම නැති දවසට ක්ලාන්ත වීමේ ප්‍රවනතාවක් මේ දැරිය තුළ විය. ඒ අතර ඇගේ හොඳම මිතුරිය වෙනත් මිතුරියක් සොයා ගැනීම නිසා වෙනදා ඇයට ලැබෙන ආහාර කොටස දැන් ලැබෙන්නේ ඒ අලුත් මිතුරියටය. ඇය නිතර පාසල් ඒමට බැරි බව විදුහල්පතිතුමාට කියන්නේ හොඳටම ඇඟ දුර්වල යැයි හැඟෙන දවසට උදේ ආහාරය නොලැබෙන්නේ යැයි ඇයට හැඟෙන්නේ නම් ක්ලාන්ත වීමට ඇති ඉඩ කඩ නිසාය. මෙහිදී ඒ කාරුණික විදුහල්පතිතුමා මෙසේ කීවේය.

“පුතේ ඔයාට කෑම නැති වෙලාවට හොරෙන්ම ඇවිල්ලා මට කියන්න. උදේ කෑමයි දවල් කෑමයි දෙකම මම ගෙන්නවලා දෙන්නම්” දැන් මේ දැරිය ක්‍රමානුකූලව පාසලට එන්නීය. රජයේ සේවකයකු වූ විදුහල්පතිතුමා (සමහරවිට ඔහුටත් කන්න නැතුව ඇති) දැරියගේ කුසගින්න නිවීමෙන් අප්‍රමාණ සතුටක් ලබනවා ඇත. මෙවැනි ගුරුපරපුරක් මීට අවුරුදු තිහ හතළිහකට පෙර මේ රටේ සිටියේය. විවෘත ආර්ථිකයෙන් පසු තමන්ටත් වැලේ වැල් නැති වූ බැවින්දෝ අපේ ගුරු පරපුර අතුරුදන් විය. අපේ කතාවේ දෙවැනි කොටස පටන් ගන්නේ මෙතැනිනි.

කැලණියේ දළුගම සාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයේ උගත් පසළොස් හැවිරිදි දරුවෙක් නිතරම පාසල් ගමන මගහළේය. පසුගිය දිනක පන්ති භාර ගුරුතුමිය ඒ පිළිබඳ සොයා බැලුවාය. එවිට දරුවාගේ කම්මුලේ තිබූ ඇඟිලි පහරවල්, තොලේ තිබූ පැලීම් ඇඟේ පතේ වූ තුවාල රැසක් ඇයට දැකගැනීමට ලැබිණ. මේ පිළිබඳව සොයා බැලීමේදී පෙනී ගියේ මේ දරුවා මව සහ පියා වෙන්වූ පවුලක දරුවකු බවත් මීට අවුරුදු හතරකට පෙර දරුකමට හදාගැනීම සඳහා පිටස්තර යුවළකට භාරදී ඇති බවත්ය. ඔහුට ලැබුන අලුත් අම්මා යක්ෂණියකි. එතැන් සිට එම ගෙදර ඉවුම් පිහුම් කටයුතු, පිරිසිදු කිරීමේ කටයුතු, පිඟන් සේදීම, වැසිකිළි සේදීම යන සියල්ලම කිරීමට පවරන ලද්දේ මේ කුඩා පිරිමි ළමයාටය. වෙනකක් තබා ගෙදර මහ ගැහැනියගේ සහ මහ මිනිහාගේ යට ඇඳුම් පවා සෝදන ලද්දේ මේ කුඩා දරුවා විසිනි. කිසියම් අවස්ථාවක මේ පොඩි එකා අතින් යමක් වැරදුනු කල්හි එස්ලෝන් බට සහ රබර් හෝස් යනාදියෙන් ළමයාට පහරදෙන ලදී. මෙය සිදුකරන ලද්දේ සැමියා සහ බිරිඳ එක්වය. එහෙත් පළමු පහර එල්ල කළේ පෙරකී යක්ෂණියයි. මේ පිළිබඳ පුවත ඊයේ දිවයිනේ පළවී තිබේ. මේ ගැන තවදුරටත් සොයා බැලීමෙන් පසු අපට දැනගැනීමට ලැබුණේ පෙරකී යක්ෂයා සහ යක්ෂණිය එක්ව මේ කුඩා දරුවාට පහරදීමෙන් කිසියම් පරපීඩා කාම සතුටක් ලබන බවය. මේ දරුවාගේ මේ කතන්දරය ඇසූ පන්ති භාර ගුරු මාතාව ඒ බව විදුහල්පතිතුමාට දන්වා ඇත. එතුමා වහාම මේ ඛේදවාචකය පිළිබඳව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ හදිසි ඇමතුම් අංකයට දුරකථනයෙන් දැනුම් දුන්නේය. ළමා රක්ෂණ අධිකාරිය වහා ක්‍රියාත්මක වූ අතර ඔවුහු කිරිබත්ගොඩ පොලිසියේ සහ පෑලියගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් කැටුව පාසලට පැමිණ දරුවාගේ ප්‍රකාශ සටහන් කර ගත්තේය. දරුවාට පහරදෙන යක්ෂ යුවළ එම තුවාල කැළැල් පිළිබඳ පිටස්තර පාර්ශ්ව ප්‍රශ්න කළොත් ඒවා නාන කාමරය තුළ වැටී සිදුවූ තුවාල බව කියන ලෙසත් එසේ නොකළොත් දරුණු වධ දී ළමයා මරාදමන බවත් කියා ඇත. දරුවා දුක් සාගරයක ගැලී සිටින බව ඔහුගේ මව දැන සිටියාය. දරුවාගේ මව කැඳවූ විදුහල්පතිවරයා මේ සියලු විස්තර කියා දරුවා භාරගන්නා ලෙස ඇයට දන්වා ඇත්තේ වී නමුදු ඇය දරුවා භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත. එයට හේතුව එම කාන්තාවද අලුත් විවාහ ජීවිතයක් ආරම්භ කර ඇති බැවින් එම දරුවා භාරගැනීමට ඇගේ අලුත් සැමියා අකැමැති වීමය. මුන් සියල්ලම යමපල්ලෝ වෙති. මෙතැන සිටින යමපල්ලන් ගණන හයකි. දරුවා දැනට සිටින නිවසේ යුවළ අමු ම අමු යමපල්ලෝය. එම දරුවාගේ පියා සහ මව ද අමු ම අමු යමපල්ලෝය. එසේම එම පියාගේ අලුත් බිරිඳ ද මවගේ අලුත් සැමියාද යමපල්ලෝය. මෙම සිද්ධියේ සුර දූතයන් හමුවන්නේ කැලණියේ දළුගම සාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලය, ප්‍රදේශයේ පොලිසි සහ ළමා හා කාන්තා කාර්යාංශයෙනි. පාරේ යන එන, කුඹුරු කොටන අසරණ මිනිසුන්ට හෙණ ගෙඩි පාත්වෙද්දී මෙවැනි යම පල්ලන්ට හෙණ නොවදින්නේ ඇයි? මේ යම පල්ලන්නට හෙණම ගහපන් යනුවෙන් පෘථග්ජනයන් වශයෙන් අප ප්‍රාර්ථනය කිරීම වරදක්ද?

ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් සෑහෙන පිරිසක් ඉහත සඳහන් කෙරුණු ආකාරයේ දුක් දොම්නස් විඳින බව අපි දන්නෙමු. මෙය අද ඊයේ කතාවක් නොව පරණ කතාවකි. වැඩිහිටියන් විසින් ළමයින්ට පහරදෙන්නේ එම දරුවන් කෙරෙහි ඇති ආදරය නිසා ඔවුන් හදාගැනීමට යැයි ගොන් මතයක් සමාජයේ පවතී. අප දරුවන්ට පහරදෙන්නේ අපට පෙරළා පහරදීමට තරම් ශක්තියක් දරුවන්ට නැති හෙයිනි. දරුවන්ට ශක්තිය තිබේ නම් තමුන්ට පහරදෙන වැඩිහිටියන් දෙකට කැඩීමට එම දරුවන් පියවර ගන්නවා ඇත.


advertistmentadvertistment