එක්දහස් නවසිය පහළොවේ ජූලි මස 07 වැනිදා උදයේ හිරු සිය ආලෝක ධාරා මහ පොළවට පතිත කරවූයේ අඳුරු වලාකුළු අතරේ සිටිමිනි. හිරුගේ දීප්තිමත් ස්වභාවය එදා නොවීය. ඒ නිසා වැලිකඩ බන්ධනාගාරයේ ඇල්හෝල් නම් රැඳවි ශාලාවටද ආලෝක රැස් දහරා පතිත නොවීය. එම ශාලවේ රඳවා සිටි විශේෂ සිරකරුවන් පිරිසක් විය. එනම් 1915 වර්ෂයේ දිවයින පුරා ඇවිලවුණු කෝලාහලයට නායකත්වය දුන් බවට චෝදනා ලැබ සිටි එවකට ලංකාව පාලනය කළ බි්‍රතාන්‍ය පාලකයන්ගේ යුද්ධ නීතිය යටතේ මරණ දන්ඩනයට ලක්ව සිටියෝ ද ඒ අතර වූහ. දහනව වන සියවස අගභාගයේ සිට මුලු ගැන්වුණු අමද්‍යප ව්‍යාපාරය සංවිධානය කළ එෆ්. ආර්. සේනානායක වැනි ජන නායකයන් ඒ අතර විය. පියදාස සිරිසේන, නීතිඥ ජෝන් ද සිල්වා, රිචර්ඩ් සල්ගාදු, පී. සී. එච්. දියෙස,් පී. එස්. තිසේරා, බොරලුගොඩ රාළහාමි සහ රොමානිස් පෙරේරා වැනි ජාති මාමකයන් අසූහය දෙනකු හෙන්රි පේද්‍රි්රිස් සමග සිර ගෙදර රඳවා සිටියහ.
1915 ජූලි මාසයේ හත්වන දින උදේ හතට පමණ බන්ධනාගාර ජේලර්වරයෙකු පැමිණ මේ රැඳවියන් පිරිසට ඇල්හෝල් නම් ශාලාවේ ආලින්දයේ එක පෙළට සිට ගන්නට කීහ. බයිනෙත්තු සහිත රයිෆල් දෙකක් අතින් ගත් යුද්ධ භටයන් දෙදෙනකුට මැදිව නගරාරක්ෂක නිල ඇඳුමින් සිටි යොවුන් වියේ තරුණයෙකු මේ පිරිස අතරින් කැඳවාගෙන ගියහ. කපිතාන් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් නම් ඒ තරුණයා මරණ දන්ඩනයට කැපව සිටියහ. බි්‍රතාන්‍ය යුද්ධ අධිකරණය විසින් කැඳවූ විශේෂ නඩු වාරයකදී ජූලි මස 1 වැනිදා ඔහුට මේ මරණ දණ්ඩනය පැනවිය. එයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට පවා ඔහුට නොහැකි වුණි. මේ තරුණයා පිටිපසින් යුද හමුදා විශේෂ කොමසාරිස් ඒ. සී. ඔල්නට් මහත් අභිමානයෙන් ගමන් කළේය. තවත් අඩ හෝරාවක් පමණ ගත වූ කල්හි වෙඩි හඬක් නිකුත් විය. ඇල්හෝල් ශාලාවේ සිටියවුන් භීතියෙන් මුසපත්ව කඳුළු වගුරවමින් ශෝකයෙන් භරිතව තන්හි තන්හි වැතිර උන්හ. හෙන්රි පේද්‍රිස් ඝාතනයෙන් ස්වල්ප වේලාවකට පසු හෙන්රි පේද්‍රිස් වාඩිවී සිටි ලේ තැවරුණු පුටුව ඇල්හෝල් ශාලාවට ගෙනා ඔල්නට් නම් යුද හමුදා කොමසාරිස්වරයා ඒ පුටුව පෙන්වා ‘ඔය ඊනියා අමද්‍යප ව්‍යාපාරය වැනි රාජද්‍රෝහී සංවිධාන පිහිටුවාගෙන ආණ්ඩුවට හතුරුකම් කරන කාටවුවත් අත්වන්නේ මෙවැනි ඉරණමක් බව පෙන්වා දුන්නේය‘. මේ ප්‍රකාශයෙන් කිපුණු එෆ්. ආර්. සේනානායක මහතා ශෝකයෙන් පීඩිතව මෙසේ පැවසා ඇත.
‘මොනවා අපේ තරුණයෙකුට වෙඩි තබා ඒ තරුණ ලෙයින් සේදුණු පුටුව ගෙනවුත් අපටම පෙන්වීමට තරම් ඔබලා නිවට නියාලු බියසුලු ජාතියක්ද. ඔහු කළ වරද කුමක්ද තමන්ගේ සහෝදර ජනතාවට විරුද්ධව තුවක්කුවක් එල්ල කළ හැකි දුෂ්ඨයා කවුරුද. තමන්ගේ කම නිසා මමත්වය නිසා මගේය යන හැඟීම නිසා මනුෂ්‍යත්වය අගය කරන සත්පුරුෂයෙකුට එසේ කළ නොහැකි‘ යැයි කී එෆ්. ආර් දෙස ඔල්නට් නිලධාරිවරයා ගල් ගැසී බලා සිටි යැයි ජයසේන දහනායක ලියූ සේනානායක චරිතයේ තියා ඇත.
1815 දී මෙරට බි්‍රතාන්‍යයන්ට ගිවිසුමකින් පවරා දුන් පසුව ඔවුන් විසින් ජාතික සටන් නිහීන ලෙසට මර්දනය කොට ඉඩම් කොල්ල කමින් මනුෂ්‍ය ඝාතන කරමින් රට මහත් විපර්යායකට ලක් කළේය. 1848 පසු ඉංග්‍රීසීන්ට විරුද්ධව අවි අතට
ගැනීමට සමතෙක් නොවීය. නමුත් භික්ෂූන් වහන්සේ විසින් දකුණු සිරිලක ආරම්භ කරන ලද බෞද්ධ පාසල් ව්‍යාපාරයෙන් පන්නරය ලබා පසුව විදෙසින් පැමිණුන ඔල්කට් තුමාගේ සහ මිගෙට්ටුවත්තේ ගුණානාන්ද හිමියන් ගේ නායකත්වය මත ඔප් නැංවුණු ජාතික ව්‍යාපාර ඔස්සේ නැවතත් සාමකාමී ලෙසට ජාතිය සංවිධන ගත විය. අමද්‍යප ව්‍යාපාරය උත්සන්න වූයේ ඉංග්‍රීසින් විසින් 1912 දී දුරාබදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම නිසාවෙනි. අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් ඉන්දියාවේදී සිර අඩස්සියට පත් වූ පසු ඒ සටන අතට ගත් දේශීය ජන නායකයන් මර්දනය කිරීම පිණිස ඉංග්‍රීසින් යොදා ගත්තේ මරක්කල අන්තවාදයයි. දිවයිනේ විවිධ පළාත්වල ඇති කරන ලද ගැටුම් නිසා බෞද්ධයන් කුපිත කිරීම ලේසි පහසු විය. 1915 මැයි මස 5 වැනිදාට යෙදී තිබූ වෙසක් උත්සවය සඳහා මහනුවර පැවති බැති ගී කරත්ත පෙරහැර කඩාකප්පල් කිරීම නිදසුනකි. බෞද්ධයන් මේ අවස්ථාවේදී දන්සල් පැවැත්වීම නිසා මුස්ලිම් කඩවල වෙළෙඳාම නැති වී යන්නේ යැයි යන අදහස නගර සභාවේ නිලධාරීන් වෙත ඒත්තු ගැන්වීමට මුස්ලිම් නායකයන් උත්සාහ කළහ. මේ නිසා දන්සැල් පැවැත්වීමට නගර සභාවෙන් නිසි අවසරය නොලැබුණි. එසේම පොලිසිය විසින් කරත්ත පෙරහැරට බාධා කිරීම නිසා ඇති වූ කලබලය මහත් නොසන්සුන්තාවක් බවට පත් විය. යුද්ධ නීතිය යටතේ දවස් සියයක් නම් ග්‍රන්ථය සකස් කළ ආමන්ඩ්ද සූසා මහතා 1915 මරක්කල කෝළාහලයට හේතු දක්වන්නේ බි්‍රතාන්‍ය රජයේ සහ නිලධාරීන්ගේ ඔලමොට්ටලකම් ගෙනහැර දැක්වීමෙනි.
එහිදී කුරුණෑගල උසාවියේ පවරා තිබූ අංක 3649 දරණ නඩුව විභාග කළ ජී. ඩබ්. වුඩ්හවුස් මහතා මුස්ලිම් සිංහල දෙපක්ෂය සමගි කරලීමට බැරි වීම පිළිබඳව පොලිසිය හෙලා දැක්කේය. සමගි කරවීම වෙනුවට පොලිසිය කර තිබෙන්නේ නඩු යෑමට දෙපක්ෂයම දිරි ගැන්වීම යැයි ඔහු සඳහන් කළේය. 1915 දී බලවත් ජීවිත හානිවලට පසුබිම් වූ මුස්ලිම් කෝලාහලයට ලංකා පොලිසියේ ප්‍රතිපත්තියෙහි පැහැදිලි දුර්වලකම හේතු වී ඇති බව ද හේ වැඩි දුරටත් ප්‍රකාශ කළේය. බෞද්ධයන් ගැටුම් වැළැක්වීමට උත්සාහ කරද්දීත් ඔවුන්ගේ අවංක භාවය පැහැදිලිව පෙනෙන්ට තිබියදීත් මුස්ලිම් අය ඕනෑකමින් පීඩාකාරී වූහ. බෞද්ධයනට පාඩමක් උගන්වන අටියෙන් පෙරහැරට විරුද්ධව මුස්ලිම් ජන කණ්ඩායම් පල්ලි ළඟට රැස්වූහ. මෙම ගොඩනැගිල්ල පාඨශාලාවක් විනා පූජනීය ස්ථානයක් නොවන බව අවංකවම විශ්වාශ කළ බෞද්ධයන් ඔවුනට අභියෝගයක් වශයෙන් නොව සාමාන්‍ය පිළිවෙළකට අනුව එම ස්ථානය පසුකර ගියහ. මුස්ලිම් අය ඉල්ලා සිටි කෙණෙහිම ඔවුහු තූර්ය වාදනය නැවැත්වූහ. එහෙත් මුස්ලිම් ජනයා පෙරහැර විසිරුවා හැරීමට දැඩිව තීරණය කර ගෙන සිටි හෙයින් ඔවුහු පෙරහැරට ගල්වලින් ගැසූහ. සමහරෙකුට පහර දුන්හ. පිළිමයට මඩ ගැසූහ. මේ කෝලාහලය පසුබිම් කර ගනිමින් ඉංග්‍රීසින් විසින් සිංහල ජන නායකයන් අත්අඩංගුවට ගත්හ. මේ සියල්ල පිටුපස මහ මුදලිකමේ සිටි සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා සිටි බව පැවසේ.
හෙන්රි පේද්‍රිස් තරණයා ඉංග්‍රිසීන් ගේ තුච්ච නීතිය යටතේ මැරුම් කෑවේය. ඒ නීති වලින් අදත් අප පීඩා වඳිමින් සිටිමු. ප්‍රසිද්ධ මිනිරන් ව්‍යාපාරිකයෙකු වූ දීසන් පේද්‍රිස් ගේ පියා ලංකාවට විශාල අපනයන ආදායමක් හිමිකර දුන් මිනිරන් නිෂ්පාදකයෙකු විය. මීගහතැන්නේ ඔහුගේ ප්‍රධාන මිනිරන් පතල තිබුණි. පුතාගේ වියොවින් සොවින් තැවුණු ඔහු සිය ව්‍යාපාරය සහ මිනිරන් පතල් වසා විකුණා දැමූ බව පැවසේ. බි්‍රතාන්‍යයන්ට හිසරදයක්ව පැවති දේශීය ව්‍යාපාරිකයාගේ නැගී සිටීම තුළ නැවත ජන නැගිටීමක් වෙතැයි ඉංග්‍රීසීන් බියට පත් වූහ. 1948 දී අපට සීමිත නිදහසක ලැබුණේ අහම්බෙන් මෙනි. ඒ නිදහස 1972 දී තවත් පුළුල් කරගත්තද මේ වන විට තිරසරව පවත්වාගෙන යෑමට නොහැකි වී තිබේ. රජයේ ව්‍යාපාර විකුණා දමමින් ජනතාවට අධික බදු බර පැටවීම කිරීමට සැලසුම් කරනුයේ මෙරට ආර්ථිකයට යළි නැගිටීමට හැකි නොවනු සඳහාය. මෙය විදෙශ හාම්පුතුන් විසින් සැලසුම් කරන ලද්දකි.
2023 දෙසැම්බර් මස 11 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් අපූරු යෝජනාවක් සම්මත කරගෙන තිබේ. හෙන්රි පේද්‍රිස් නගරාක්ෂක භටයා ඉංග්‍රීසින් විසින් වෙඩිතබා ඝාතනය කොට වසර 108 ක් පිරීම නිමිත්තෙන් ඒ ඝාතනය සම්බන්ධව පරීක්ෂා කිරීමට සහ වාර්තාවක් ලබා දීමට විශ්‍රාමික විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කර තිබේ. පේද්‍රිස් වීරයා පිළිබඳ කතාව මේ රටේ ජාතිකත්වය සමරන බොහෝ දෙනකු දන්නා කරුණකි. යුද්ධ නීතිය යටතේ දවස් සියයක් නම් ග්‍රන්ථයේ මේ පිළිබඳ බොහෝ තොරතුරු සහ ඒ ඝාතනයට තුඩු දුන් හේතු දක්වා තිබේ. හෙන්රි පේද්‍රි්ස් මහතා වෙඩි තබා ඝාතනය කොට ලේ තැවුරුණ පුටුව සමග බන්ධනාගාරයට පැමිණ ජාතික නායකයන්ට පෙන්නීම තුළින් ඉංග්‍රීසීන් බලාපොරොත්තු වූයේ රටේ ස්වාධීන්තවය වෙනුවෙන් නැගී සිටින නායකයන් දුර්මුඛ කිරීමයි. ඒ දුෂ්ඨත්වය ඉංග්‍රීසින්ගෙන් වර්තමාන කළු සුද්දන්ට උරුම වී තිබේ. ඔවුන්ට ද අවශ්‍ය මෙරට ඉංග්‍රීසි නීතිය තබාගෙන මෙරට පාරම්පරික ජනතාව මර්දනය කරමින් චෞර රාජ්‍යයක් ලෙසට විදෙස් ගැති පාලනයක් පවත්වාගෙන යෑමයි. ඒ අරමුණ සාර්ථක කර ගැනීමට නම් ස්වාධීනත්වය උදෙසා සටන් වදින මෙරට ජතික නායකයන් භේද භින්න කළ යුතුය. පපුව ඉදිරියට දමා කටයුතු කරන සැමට අත්වන ඉරණම පෙන්වා දිය යුතුය. මේ නායකයන්ට උදව් දෙන නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් දුර්මුඛ කළ යුතුය. ජනපති ලේකම් කාර්යාලයේ යෝජනාව එය විය හැකිද යන්න සැකයකි. හෙන්රි පේද්‍රිස් වීරයා මෙන්ම වාරියපොළ සුමංගල හිමී, කැප්පෙටිපොළ, කුඩාපොළ හිමි, පුරන් අප්පු වැනි ජාතික වීරයන් පමණක් නොව වර්තමාන කාලයේ සිංහල ජාතික ව්‍යාපාරයේ ආදර්ශය බවට පත් වූ අනාගරික ධර්මපාලයන් ගැනද පුන පුනා සමාජයේ කතාබහ කිරීමද අනාගත පරපුරට කියා දීමද කළ යුතුය. දුෂ්ඨයන් අතරේ අපගේ වීරයන් පඹයන් බවට පත් කිරීම නතර කළ යුතුය.
මතුගම සෙනෙවිරුවන්