හෙරොයින් මිලිග්‍රෑම් 2300ක් සන්තකයේ තබාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින්, දින කිහිපයක් තිස්සේ සිදු කළ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ නීතිඥයකු මේ මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
සැකකාර නීතිඥයා ඊයේ (12 දා) අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙලෙස නියෝග කෙරිණි.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණ 7ක සේවය කරන නීතිඥයකු වන අනුරාධපුර පරසන්ගස්වැව හන්දිය ප්‍රදේශයේ පදිංචි නීතීඥයෙකි.
සැකකාර නීතිඥයා අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේ, සැකකරු කලක සිට හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවරම් කරමින් හෙරොයින් පානය කරන බවට ලද තොරතුරුවලට අනුව දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන සිදුකර ඉකුත් 11 දින අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.
සැකකාර නීතිඥයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීද ඔහු හෙරොයින් පානය කරමින් සිටි බවද අධිකරණයට කියා සිටි පොලිසිය සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 2300ක් තිබී පොලිස් භාරයට ගත් බවද පවසා සිටියේය.
සැකකරු දීර්ඝ කාලයක සිට හෙරොයින් පානය කරමින් ජාවාරම් සිදු කර ඇති බවට දැනට සිදුකර ඇති මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වූ බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවද කියා සිටි පොලිසිය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණයෙන් ඇයැද සිටියේය.
සැකකාර නීතිඥයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින්, නීතිඥ මදාරා විජේසිංහ මහත්මිය පැවසුවේ, සැකකරු හෙරොයින් ජාවාරම සිදු කළ බවට එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සැරයන්වරුන් වන, සරත් සහ අජිත් යන මහත්වරුන් පෙනී සිටි අතර සැකකාර නීතිඥවරයා වෙනුවෙන් නීතිඥ මදාරා විජේසිංහ මහත්මිය ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකාර නීතිඥයා අනුරාධපුර නීතිඥ සංගමයේ සාමාජිකයකු වුවද අනුරාධපුර නීතිඥ සංගමයේ කිසිදු ජ්‍යෙෂ්ඨ නීතිඥයකු ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී නොසිටීම මෙහිදී විශේෂයෙන් කැපී කැපී පෙනුණි.
මේ අතර මෙම සැකකාර නීතිඥවරයා සිය නීතීඥ වෘත්තීය වරප්‍රසාදවලට මුවා වී, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් ජාවාරම් කොට බන්ධනාගාර රැඳවියන්ට ලබාදීමේ නිරතව සිටි බවටද විමර්ශන සිදු කරන නිලධාරීන් කරුණු අනාවරණය කර ගෙන තිබුණි.
බන්ධනාගාරයේ සිට මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන රැඳවියන්ට සිය නීතිඥ භාවය භාවිතා කරමින් ඔවුන් සමග කතා බහ කරමින් විෂ මත්ද්‍රව්‍ය අධිකරණ සිර මැදිරි තුළදීද ඉතා සූක්ෂමව එම රැඳවියන්ට ලබා දී ඇති බවටද පොලිසියට බුද්ධි තොරතුරු ලැබී තිබේ. ඒ ඔස්සේද පුළුල් විමර්ශනයක් සිදු කරමින් පවතී.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළින හේවා පතිරණ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විතානගේ මහතාගේ අධීක්ෂණය යටතේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මිහින්තලේ – රංග චතූ