හෙස්බොල්ලා සංවිධානයට අයත් පේජර් උපකරණ පිපිරීමෙන් 09ක් මරුට

211

ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන ‘හෙස්බොල්ලා’ අන්තවාදී සංවිධානයට අයත් පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා භාවිත කරන අතේ ගෙන යන ‘පේජර්’ නමැති ඉලෙක්ට්‍රොනික් උපකරණ 5000ක් පමණ කිසියම් පිරිසක් විසින් පුපුරවා හැරීම හේතුවෙන් 09 දෙනෙකු මියගොස් තවත් 2800 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම පිපිරීම්වලින් තුවාල ලබා රෝහල්ගත කර ඇති පිරිසෙන් 200කට අධික පිරිසකගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

පෙරේදා (17) ලෙබනනය පුරා සිදුව ඇති මෙම රැහැන් රහිත පේජර් උපකරණ පිපිරීම්වලින් මියගොස් ඇති පිරිස අතර 08 හැවිරිදි දැරියක් ද සිටින බව වාර්තා වී තිබේ. ලෙබනනයේ සෞඛ්‍ය ඇමැති ෆිරාස් අබියාඩ් ට අනුව පේජර් උපකරණ පුපුරා යෑමෙන් තුවාල ලැබූවන්ගෙන් බොහොමයකට තුවාල සිදුව ඇත්තේ මුහුණට, දෑත්වලට හා උදරයට බව හෙළි වී තිබේ. මෙම පේජර් පිපිරීම් සිදු කර ඇත්තේ ඊශ්‍රායලය විසින් බවට චෝදනා කර ඇති හෙස්බොල්ලා සංවිධානය ඒ සම්බන්ධයෙන් සාධාරණ දඬුවමක් එරටට ලබා දෙන බවට ප්‍රතිඥාදී තිබේ. හෙස්බෝල්ලා සංවිධානය විසින් පරිහරණය සඳහා ආනයනය කර තිබූ පේජර් උපකරණ 5000ක පමණ ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් සුක්ෂම අයුරින් පුපුරන ද්‍රව්‍ය අටවා පිපිරිම් සිදු කර ඇති බව ලෙබනනයේ ආරක්ෂක අංශ උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය විසින් වාර්තා කර තිබේ. කෙසේ වුවද ඊශ්‍රායල හමුදා විසින් මෙම පිපිරීම්වල වගකීම භාරගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත. ඉරානයේ සහය ලබන දකුණු ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හෙස්බොල්ලා සංවිධානයට අයත් එකක හා ආයතන රැසක සේවය කරන සේවකයන් සතු පේජර් උපකරණ රැසක් මෙසේ පිපිරීම හේතුවෙන් විනාශ වී ගොස් තිබේ. මෙවැනි ඉලෙක්ට්‍රොනික උපකරණයක හටගත් පිපිරීම් සම්බන්ධයෙන් වාර්තා වී ඇත්තේ ප්‍රථම වරට බව බටහිර විශේෂඥයෝ පවසති

advertistmentadvertistment
advertistmentadvertistment